නිවසක් ඉදි කිරීමට පළමුව බ්‍රහ්ම පාදය යනු කුමක්දැයි හඳුනා ගනිමු | සිළුමිණ

නිවසක් ඉදි කිරීමට පළමුව බ්‍රහ්ම පාදය යනු කුමක්දැයි හඳුනා ගනිමු

‘නිවසක උතුම් පූජනීය ස්ථානයක් වන බ්‍රහ්ම පාදය නිවැරැදිව සොයා එය පූජනීයව තබා ගැනීම නිවසේ දියුණුව සෞභාග්‍ය ලබා ගැනීමට හේතුවන කරුණකි.‘

අප සියලු දෙනාගේ පළමු බලාපොරොත්තුව වන්නේ පදිංචිය සඳහා සුදුසු ස්ථිර නිවහනක් සාදා ගැනීමයි. එහෙත් එහිදී වාස්තු විද්‍යානුකූලව මෙන්ම ජ්‍යෙතිෂයානුකූලව නිවස ඉඳි කර ගැනීම සිදු කළ යුතු බව අතීතයේ සිටම හෙළයෝ විශ්වාස කළහ.

එසේ සාදා ගන්නා ලබන නිවස තමන්ගේ වාසනාවේ උදාව බවද ඔවුහු විශ්වාස කළහ. එසේ නිසි ක්‍රමවේදවලට අනුව ආර්ථික දියුණුව සැලසෙන ලෙසින් නිවසක් ඉදි කිරීමට පළමු පියවර තබන්නේ කෙසේද යන්න ගැන මෙහිදී විමසා බලමු.

ඒ සඳහා පළමුව නිසි දැනුමක් ඇති ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ සහ සැලසුම් ශිල්පියෙකුගේ සේවාව ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. පැතුම් සඵල කර ගැනීම සඳහා ගුප්ත වාස්තු විද්‍යා කරුණුවලට ගැළපෙන ආකාරයට නිවසේ ඉදිකිරීම් කළ යුතු වෙයි.

මෙම ලිපියේ මූලික අවධානය යොමු කරනු ලබන්නේ නිවසේ දිග පළල ගෘහ මූලිකයන්ගේ සහ දරුවන්ගේ උපන් නැකත්වලට ගැළපෙන ආකාරයට සකස් විය යුතු බව පෙන්වා දීමයි.

ජ්‍යෙතිෂ්‍යට අනුව නිවසේ දිග පළල අනුව නිවසට ද නැකතක් හිමිවෙයි. එම ගෘහ නැකත ගෘහ මූලිකයන්ගේ නැකත්වලට ද ගැළපීම අත්‍යවශ්‍ය වෙයි. ගෘහයේ දිග පළල අනුව ගැළපෙන වර්ගය (සංඛ්‍යාව) ජම්ම - සම්පත් - ක්ෂේම සාධක මිත්‍ර - පරම - මෛත්‍රී යන ශුභඵල දෙන සීහුම්වලට ගළපා ගත යුතු වෙයි.

යෝජිත නිවසේ දොර ජනේල තබන දිසාවන් ශුභඵල දෙන ආකාරයට සකස් විය යුතුයි. නිදන කාමර - පුද පූජා තබන ස්ථානය - මුළුතැන්ගෙය - සාලය - වැරැන්ඩාව - වැසිකිළි හා නාන කාමර - ළිඳ හෝ ජල ටැංකිය ස්ථානගත කිරීම, දරුවන්ගේ ‍ඉගෙනීමේ කටයුතු කරන ස්ථාන ආදී නිවසේ අත්‍යවශ්‍ය ස්ථාන වාස්තු විද්‍යාවට අනුව සකස් කිරීම නිවසේ අභිවෘද්ධියට - දියුණුවට අනිවාර්යයෙන් ම අදාළ වෙයි.

නිවසේ දිග පළල අනුව බ්‍රහ්ම පාදය පූජනීයව තබා ගැනීම මූලික කරුණකි. බ්‍රහ්ම පාදය නිවැරැදි වීම දෝෂවලින් තොරවීම අත්‍යවශ්‍ය ‍වෙයි. අතීතයේ මාලිගා ආදී සියලු වැදගත් ඉඳි කිරීම්වලදී බ්‍රහ්ම පාදය ගැන විශේෂ අවධානයක් යොමු කර ඇති බව පෙනේ.

එම නිසා එය ඉතා සූක්ෂමව නිවැරැදිව ගළපා ගත යුතුයි. දොර ජනේල තැබීමේදී ප්‍රධාන දොර තබන ස්ථානය පිටතට බසින දිසාව වහලයෙන් දොස් නොවැටීම ප්‍රධාන දොරේ ස්වරූපය පළල හා උස අනෙක් දොරවල්වලට අඩු නොවීම ප්‍රධාන දොර තැබිය යුතු ස්ථානය සම්බන්ධව වාස්තු විද්‍යාවේ කරුණුවලට අනුව ගැළපීම අවශ්‍ය වෙයි.

නිවසේ වහලය ඉදි කිරීමේදී ද එය වාස්තු විද්‍යා දෝෂවලට හසු නොවිය යුතු බවයි. මුදුන් ලී - යටලී - බාල්ක - කුරුපා - ලී මූට්ටු යනාදී අංග දෝෂවලින් නිදහස්ව ඉදිවිය යුතු වෙයි. නිවසේ අභ්‍යන්තර දොරවල් තැබීම ද නිදොස් විය යුතුයි. මුළුතැන්ගෙට සම්බන්ධ උඳුන, ජල ටැංකි - බේසම් ආදිය ඉදිකිරීමේදී එය වාස්තු විද්‍යාවට ගැළපී තිබීම අවශ්‍ය වේ. විශේෂයෙන්ම ළිඳ දොස්වලින් තොරවීම නිවසේ අභිවෘද්ධියට තදින් බලපානු ඇත.

වැසිකිළි වල හා ගේට්ටුව ඉදිකිරීම ද ස්ථිර ලෙස නිවස ඉදිරිපිට සිටුවන ශාක වර්ග සම්බන්ධව ද දැඩි ලෙස වාස්තු විද්‍යාව අනුව ශුභ ලෙස ගළපා ගත යුතුයි.

නිවසේ දොර ජනේල දෝෂ . උඩු මහල් නිවසක් නම් පඩි පෙළ නිර්මාණය පිළිබඳ දෝෂ ඉවත්වන ආකාරයට ගළපා ගත යුතුයි. නිවාසය ඉදිකිරීමේදී මුල්ගල තැබීම, දොර ජනේල තැබීම, ළිං කැපීම, වහලය ඉදිකිරීම නිවාස ප්‍රවේශය ආදී වැදගත් කරුණුවලදී සුබ නැකත් බැලීම ආගමික වතාවත් පැවැත්වීම නිවසේ දියුණුවට හේතුවනු ඇත.

නිවසක් ඉදිකිරීමේදී අනුගමනය කළ යුතු මෙම වාස්තු විද්‍යා කරුණු විශ්වකර්ම ප්‍රකාශය නාරද සංහිතාව වැනි අති උතුම් ඉන්දීය වාස්තු විද්‍යා ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. පැරණි ඍෂිවරුන් විසින් දක්වා ඇති උපදෙස් එම සංස්කෘත ග්‍රන්ථවල අන්තර්ගත වී ඇත.

අපගේ දේශීය ගුප්ත වාස්තු විද්‍යා කරුණු ද පාරම්පරිකව ඉදිකිරීම් කටයුතුවලදී ගෞරවයෙන් පිළිගනු ලැබේ. ගුප්ත වාස්තු විද්‍යා මූලධර්මවලට අනුව ඉදිකරනු ලබන නිවස පරම්පරාවන්හී අභිවෘද්ධිය දියුණුව සාධනය පිණිස හේතු වෙයි.

මේ සාරාංශගත කරුණු නිවසක් ඉඳි කිරීමේදී සැලකිය යුතු පොදු කරුණු යටතේය. එයින් පළමුවෙන්ම අප අවධානය යොමු කරන්නේ නිවෙසක බ්‍රහ්ම පාදය යනු කුමක්ද? හා බ්‍රහ්ම පාදය ගැන සැලකිලිමත් වී කළ යුත්තේ කුමක්ද යන කරුණ ගැනයි.

නිවෙසක බ්‍රහ්ම පාදය

ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේදී බ්‍රහ්ම පාදය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම වාස්තු විද්‍යාත්මකව ඉතා වැදගත්ය. බ්‍රහ්ම පාදය ලෙස ජ්‍යෙතිෂයේ අර්ථකථනය වන්නේ නිවෙසක අත්තිවාරමෙහි හරි මැදයි. වාස්තු විද්‍යාත්මකව ද මෙය ඉතාමත් වැදගත් උතුම් පූජනීය ස්ථානයක් ලෙස හැඳින්වේ. බ්‍රහ්ම පාදය, බ්‍රහ්ම ස්ථානය බ්‍රහ්මපිණ්ඩය යනුවෙන් ද අප රටේ පැරැන්නන් ගිනි කතිරය ලෙස හඳුන්වා ඇත්තේ ද මෙම ස්ථානයයි.

අප ඕනෑම කටයුත්තක් ආරම්භ කිරීමේදී කේන්ද්‍රභිසාරි බලය පිළිබඳ අවධානයක් යොමු කරන්නේ විද්‍යාත්මක පදනමක සිටය. එමෙන්ම නිවෙසක ද උපරිම දිග පළලෙන් හරි මධ්‍යයේ විශේෂ කේන්ද්‍රගත බලයක් පවතී.

මේ කේන්ද්‍රගත බලය සුබඵල පිහිටීමක් ළඟාකර ගැනීමට එම ස්ථානය නොකෙලසී තිබෙන ස්ථානයක් විය යුතු බව වාස්තු විද්‍යා මූලික සිද්ධාන්තයකි.

බ්‍රහ්ම පාදය පිහිටි ස්ථානය

මෙම සුබ පිහිටීම ඉතා නිවැරැදිව දැන ගැනීමට ඔබ මුලින්ම කළ යුත්තේ නිවෙසේ උපරිම දිග සහ පළල එකට යාවෙන මුල් හතර එකට සම්බන්ධවන විකිරණ රේඛා දෙකක් ඔබගේ නිවෙසේ මූලික සැලැස්මේ පැන්සලකින් ඇඳ ගැනීමයි.

මෙම රේඛා අප හඳුන්වන්නේ ගිනි කතිර රේඛා ලෙසයි. මෙම රේඛන දෙක එකිනෙකට කැපී යන ලක්ෂ්‍ය බ්‍රහ්ම ස්ථානය ලෙස සැලකේ. මෙය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට මෙහි වූ රූප සටහන් බෙහෙවින් උපකාරී වනු ඇත.

මෙම චිත්‍ර සටහන් හතරේම දක්වා ඇත්තේ 23 "3 x 28 5" දිග පළල ඇති නිවාස 4කි. එම නිවාස හතරේම බ්‍රහ්ම පාදය පිහිටි ආකාරය හොඳින් නිරීක්ෂණය කර බලන්න.

කිනම් දිග පළලකින් හෝ විශාලත්වයකින් යුතු නිවෙසක් වුවද බ්‍රහ්ම පාදය සොයා ගන්නේ මෙහි සටහනේ දක්වා ඇති ආකාරයටයි.

මූලික කරුණු

1. බ්‍රහ්ම පාදය පිහිටුවා ගැනීමේදී සම්බන්ධව සැලකිය යුතු මූලික කරුණු කීපයක් ඇත.

මෙම පාදය පිහිටන ස්ථානයට දොරටුවක්, ආරුක්කුවක්, පොකුණක්, ළිඳක්, උඳුනක්, නිදන ඇඳක්, ආසනයක් හසු නොවිය යුතුය. එසේ පිහිටීමෙන් එම නිවෙසට තදබල අසුබ ඵල ලබා දෙයි.

2. එම පාදයට බිත්ති මුල්ලක් වැටී තැබීම ද ඉතා අසුබ ඵල ලබාදෙයි.

දෝෂවලට හසුවීමෙන් නිවැසියන් බොහෝ දුක් කරදර පීඩා, භයානක රෝගාබාධ, පවුල් ආරවුල් ආදී අනේක විද ව්‍යසනයක් ඇතිවන බව වාස්තු විද්‍යා පොත පතෙහි සඳහන් වෙයි. මේ පිළිබඳ කළ සමීක්ෂණ රාශියකින් ද වසර ගණනාවක ලැබූ අත්දැකීම ද අනුව මෙම දෝෂය අනිටු විපාක ගෙන දෙන බවට දැන ගන්නට ඇත. ඒ අනුව බ්‍රහ්ම පාදය නිවෙසක ඉතා වැදගත් තීරණාත්මක ස්ථානයක් වන බව ඔබේ අවධානයට යොමුවීම වැදගත්ය. සොඳුරු නිවහනක පතන යස ඉසුර ළඟා කර ගන්නට බ්‍රහ්ම පාදය ගැන අවධානය යොමු කළ යුතුමය.

බ්‍රහ්මස්ථානයට අඟල් 6ක් නුදුරින් කණුවක් මත බුදු පිළිමයක් හෝ දේව පිළිමයක් තබා එතැන පූජනීය ස්ථානයක් ලෙස සකස් කර ගැනීම ද හැකිනම් දිනපතා වන්දනා මාන කිරීමද විශේෂ දියුණුවකට හේතු වෙයි. පැරැන්නන් ගිනි කතිරය ලෙසින් මෙම ස්ථානය හැඳින්වූයේද එහි ඇති වටිනාකම නිසා මෙන්ම එය නොසලකා හැරීමෙන් සිදුවන අනිටු විපාක ගැන හොඳින් දන්නා නිසා බව අපට පැහැදිලිය. නිවසක් තැනීම ආරම්භ කිරීමට පෙර සිටම මේ ස්ථානය ගැන සැලකිලිමත් වීමෙන් සියලු කරදර අනිසි වියදම් සියල්ල වළකා ගත හැකිය.

චන්දිම ජයරත්න

Comments