නෙත් අඳ පියාට ආලෝ­කය දී ලෝකය දිනූ මල් කැකු­ළක් | සිළුමිණ

නෙත් අඳ පියාට ආලෝ­කය දී ලෝකය දිනූ මල් කැකු­ළක්

ඉබ්බා­ග­මුව ආදර්ශ මහා විදු­හලේ දීප්ති සුභා­ෂිණී
ඉබ්බා­ග­මුව ආදර්ශ මහා විදු­හලේ දීප්ති සුභා­ෂිණී

සියල්ල මුදල් මත තීන්දු වන සමාජයක සාරධර්ම මෙන්ම මානවීය ගුණයන්ද අහෝසි වී නැති වී යයි. ඒ එවන් සමාජයක එවැනි දේට වටිනා කමක් හෝ පිළිගැනීමක් නොලැබෙන බැවිනි. එහෙත් එවන් සමාජයකට මහඟු ආදර්ශයක් වෙමින් අපේ නෙත් කෙවෙනි බොඳ කරමින් සිය අවංකත්වය මොනවට පෑ පාසල් දියණියක පිළිබඳ පුවතක් පසුගියදා ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා විය.

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වඩුපොළ ග්‍රාම නිලධාරී වසමේ කපුහේන ගම්මානයේ උපන් එච්. එම්. දීප්ති සුභාෂිණි ඉබ්බාගමුව ආදර්ශ මහා විදුහලේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දීප්තිමත් ශිෂ්‍යාවක වූවාය. එකොළොස් හැවිරිදි වියෙහි පසු වූ ඈ පවුලේ වැඩිහමල් දරුවා වූ අතර ඇයට බාල නැඟණියක් ද වූවාය. මව පියා හා නැඟණිය සමඟ කටුමැටි නිවසක ජීවත් වන ඇය ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවන දුගී බවේ පත්ලටම කිමිදුණු පවුලක සාමාජිකාවක වූවාය.

සුභාෂිණි දියණියගේ පියා වන අජිත් ප්‍රියන්ත (50)ගේ දෑස් අන්ධ ය. මව වූ කේ. ඩී. ශ්‍රියානි (35) රැකියාවක් නොකරන අතර සැමියාට කණවැල වෙමින් දරුවන් රැකබලා ගනී. ප්‍රියන්ත බස් රථ වලට නැඟ ගීත ගයනා කර ලැබෙන සොච්චම් මුදලින් දියණියන් දෙදෙනා පාසල් යවා ගෙදර වියදම සරිකර ගත්තේ මහත් අසීරුවෙනි. කොරෝනා වසංගතය පැතිරීමත් සමඟ ඔහුට තම රැකියාව ද අහිමි විය.

සුභාෂිණී දියණිය පියා, මව සහ තම බාල සොයුරිය සමඟ (දකුණේ සිට)

එතැන් පටන් ආර්ථික දුෂ්කරතා නිසාම දවසේ තුන්වේල එක වේලකට සීමා කිරීමට මේ දරුපවුලට සිදු විය. මේ දහසකුත් එකක් අගහිඟකම් හා දුෂ්කරතා මධ්‍යයේ වුව ඈ ඉගෙනීම කෙරෙහි සිත් යොමු කළාය. ඒ ඔවුන්ගේ අසරණ කමින් ගොඩ ඒමට වෙනත් පිළිසරණක් නොවුණු නිසාය. නැවත පාසල් වාරය ආරම්භ කිරීමත් සමඟ සුපුරුදු පරිදි පාසල් ගිය සුභාෂිණි දියණියට 7 වසර සඳහා වූ පෙළ පොත් ලැබුණි. එම පෙළ පොත් අලුත්ම ඒවා නොවුණු අතර, කලින් වසරේ සිසුන් භාවිතයට ගත් ඒවා විය.

නව පන්තිට ප්‍රවිෂ්ට වී ලද පෙළ පොත්වලින් පස්වනක් ප්‍රීතියෙන් උදම්ව සිටි සුභාෂිණි මහත් අභිරුචියෙන් පොත් පිටු පෙරළා බලන්නට වූවාය. එලෙස පිටු පෙරළන අතරවාරයේ එක් පෙළපොතක තිබූ මුදල් නෝට්ටු කිහිපයක් ඇගේ ඇස ගැටිණි. මහත්සේ විමතියට පත් වූ ඇය පොතේ පිටු හකුලාගෙන විත් එය පන්තිය භාර ගුරුතුමියවූ ෂකිලා මධුෂාණි ගේ අත තැබූවාය.

"මැඩම්.... මේ පොත ඇතුළේ සල්ලි වගයක් තියෙනවා..... " ඇය සිහින් හඬින් පැවසුවාය.

ඔවුන් ජීව­ත්වන පැල්පත තිබෙ­න අ­යුරු

ඇය ගෙනැවිත් තම අත තැබූ පොත පෙරළු ගුරුතුමිය එහි පිටු අතර රැඳී තිබූ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු කිහිපය දුටුවාය. එය රැගෙන ගණන් කර බැලූ විට රුපියල් විසි දහසක් විය. කලින් වසරේ ඒ පොත භාවිත කළ සිසුවාගේ නම පිටකවරයේ සටහන්ව තිබුණු හෙයින් ගුරුවරිය ඒ පිළිබඳව විමසිලිමත් විය. ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ විදුහල්පතිනි කාන්ති රුකුණායක සමඟ සාකච්ඡා කළ පන්තිය භාර ගුරුතුමිය පොතේ නම ලියා තිබු සිසුවා සහ ඔහුගේ දෙමාපියන් පාසල වෙත කැඳවනු ලැබිණ. පොත තුළට මුදල් පැමිණි ආකාරය එහිදී අනාවරණය විය.

එම පොත පරිහරණය කළ සිසුවා කිරිඳිගල්ල ප්‍රදේශයේ අයෙකි. ඔහුගේ පියා ත්‍රිරෝද රථයක් මිලදී ගෙන තිබුණු අතර එහි මාසික වාරිකය ගෙවීම සඳහා සූදානම් කොට තිබූ මුදල මේසය මත වු පෙළ පොත තුළට දමා තිබිණ. මේ කිසිවක් නොදත් පාසල් සිසුවා එම පොත ද සමඟ පොත් සියල්ල පාසලට ගෙනැවිත් දී තිබුණි. මුදල සොයමින් ගේ දෙවනත් කරමින් සිටි පියාට පාසලින් දුරකථන ඇමතුමක් ලැබුණේ ඒ අතරතුරය. වහා පාසල වෙත දිවගිය හෙතෙම මේ කරුණු අනාවරණය කර මුදලේ සැබෑ හිමිකරු තමන්බව තහවුරු කළේය. සැබෑ අයිතිකරුගේ අනන්‍යතාව තහවුරුකර ගැනීමෙන් පසු විදුහල්පතිනිය එම මුදල ඔහු අතට පත් කිරීමට කටයුතු කළාය.

සුභාෂිණි දියණිය ගේ පියා අජිත් ප්‍රියන්ත සිය දියණියගේ අවංකභාවය අගය කරමින් තම ජීවිත කතාව අපට හෙළි කළේ මෙලෙසින්ය.

"මගේ ගම් පළාත කෑගල්ල; මම අ.පො.ස. උසස් පෙළ දක්වා ඉගෙන ගෙන තිබෙනවා. මම සුළු සුළු ව්‍යාපාර කළා. ඒ අතරේ දවසක් ගසක් කැපීමට ගිය අවස්ථාවක එම ගසෙන් වැටුණු විෂ සහිත කිරි ඇස්වලට වැටුණා. ඊට පස්සෙ මගේ ඇස් පේන්නෙ නැතිව ගියා. කොපමණ ප්‍රතිකාර කළත් හරි ගියේ නැහැ. දුවල දෙන්නට උගන්නන්න ඕන; කන්න අඳින්න දෙන්න ඕන. කර කියා ගන්න දෙයක් නැතිව මං හරිම අසරණ වුණා. බිරිඳගේ යෝජනාව මත මං බස්වල සින්දු කියන්න පටන් ගත්තා. ඇය බොහොම ආසයි ජෝතිපාලගේ සින්දුවලට හුඟක් ඒවා ඇයට මතක තිබුණා. ඉතින් මම වැඩිපුරම කිව්වෙ ඒ අමරණීය ගායකයගේ සින්දු. ඒ හින්ද මට පොඩි ජෝති කියල නමකුත් පට බැදුණා. මට කණවැල ඇල්ලුවේ මගේ බිරිඳ සහ දියණියන් දෙදෙනායි."

තමන්ට මුහුණ පෑමට සිදූ වු අවාසනාවන්ත සිද්ධියක් විස්තර කරමින් "මට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආබාධිත දීමනාවක් වශයෙන් රුපියල් 5000ක මුදලක් ලැබෙනවා. එදා ඒ මුදල අරගෙන දුවත් එක්ක එද්දී මගේ අතින් රැපියල් 5000 වැටිල තිබුණා. මට ඇඬුණා; ඒත් එක්කම දුවත් අඬන්න පටන් ගත්තා. එදා අපි දෙන්නා අඬ අඬා ගෙදර ආවා. එදා වෙච්ච මේ සිද්ධිය දුවගේ හිතේ තදින් කා වැදී තිබුණා. දුප්පත් කෙනකුට ඔහු ළඟ ඇති මුදලක් නැති වුණාම කොයිතරම් දුකද කියලා මගේ දොණිට හිතෙන්න ඇති. ඈ අවංක චේතනාවෙන් මේ දේ කරන්න ඇත්තේ ඒකයි.

සුභාෂිණී දියණිය පාසල ‍ෙවත මුදල් ලබා­දෙන අයුරු

දියණියගේ මව කේ. ඩී. ශ්‍රියානි ප්‍රියන්තගේ කතාවට එක් වූවාය.

"අපි කට්ටියම එකතුවෙලා හැමදාම හවස හයේ ඉදලා හත දක්වා බුදුන් වඳිනවා. අනුන්ගේ මකන කෑල්ලක්වත් හොරෙන් ගන්න එපා කියලා මම දුවට නිතරම පාහේ කියනවා. දුප්පත්කම ලැජ්ජාවට කාරණයක් නෙමෙයි කියල මම ඇයට කියා දුන්නා.

ඊළඟට අප අතරට ආවේ අපේ කතා නායිකාව වූ සුභාෂීණිය. එදා මේ සල්ලි දැක්ක හැටියේ කොච්චර නැතිබැරිකම් තිබුණත් අනුන්ගේ නූල්පටක දෙයක් දෙයක් ගන්න එපා කියලා අම්මා නිතරම කියන හැටි මතක් වුණා. ඒ වගේම එදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳලා එනකොට තාත්තගේ රුපියල් පන්දාහ නැති වුණ වෙලාවේ අපි දෙන්නම අඬපු හැටි මට මතක් වුණා. මේ සල්ලි නැතුව ඒ මාමල නැන්දලත් මොන තරම් දුක් වෙයිද කියලා මට හිතුණා. මේ ළඟදි විශ්වවිද්‍යාලෙක අයියල අක්කල වගයක් ආවා. ඒ ගොල්ලොත් මගෙන් ඇහුවේ නංගිට මේ මුදල් ගන්න හිතුනෙ ම නැද්ද කියලයි. මම ඒ ගොල්ලන්ටත් අම්මා මට දී තිබුණු අවවාදය සිහිකර දුන්නා.

මේ පුවත සැලවීමත් සමඟ මෙම අසරණ පියාගේ අන්ධභාවය ගැන දැනගත් අයි. ඩී. එච් උණ රෝහලේ සාමාන්‍යාධිකාරි වෛද්‍ය ධනපාල තම මුදලින් රුපියල් ලක්ෂ 20 කට අධික මුදලක් වැය කර සිදු කරන ලද සැත්කමකින් ප්‍රියන්තගේ දෑස් වල පෙනීම නැවත ලැබුණි. මේ මහඟු‍ පුණ්‍ය කර්මයට දායක වෙමින් අක්ෂි සැත්කම සිදු කර ඇත්තේ බදුල්ල මහ රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍ය චාමරය. ප්‍රියන්ත තම දියණියන් දෙදෙනාගේ සහ ප්‍රිය බිරිඳගේ මුව කමල දැකීමට ලැබී ඇත්තේ වසර එකොළහකට පමණ පසුවය.

මෙම පුවත දැනගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධට කතාකොට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් මෙම පවුල වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් දන්වා තිබේ. මේ වනවිටත් එහි කටයුතු ආරම්භ කර ඇත.

මෙතෙක් කලක් මෙම පවුල නිවසූ ඉඩමේ හිමිකරු වන වඩුපොළ එස්.බී. පියසේන කිසිදු පැකිලීමකින් තොරව ඔවුන්ට නිවසක් ඉදිකර ගැනීමට තම ඉඩමේ පර්චස් කිහිපයක්ම ලබාදීමට කටයුතු කර ඇත. මෙම නිවස ඉදිකිරීම සඳහා ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් වසන්තා වර්ණකුලසූරිය, වඩුපොළ ග්‍රාම නිලධාරි සුජාතා අමරසේකර, වයඹ පළාත් හිටපු සභා මන්ත්‍රී රණවිරු හේරත් යන අය නොමසුරුව දායක වී සිටිති.

එසේම ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර ද නිවස ඉදිකර දීම සඳහා දායකවී සිටින අතර, දෑස් පෙනීම ලද සුභාෂිණිගේ පියාට ලොතරැයි ටිකට්පත් අලෙවි කර ආදායමක් ඉපැයීමට හැකිවන අයුරින් ඉබ්බාගමුව නගරයේ ලොතරැයි අලෙවි කුටියක් ලබා දීමට කටයුතු කර ඇත.

මේ සියල්ල සිදු වූයේ සුභාෂිණි දියණියගේ අවංකභාවය නිසාය. ඈ නිසා අද මුළු පවුලටම ඉමහත් සෙතක් සැලසී තිබේ. ඔවුන් ජීවත්වන කපුහේන ගම්මානය වෙතයාමට වැටී ඇති මාර්ගය පයින්වත් ගමන් කළ නොහැකි තරමට අබලන්වී තිබේ. ඇති හැකි කෙනකු එයද පිළිසකර කර දී ඔවුන්ට සහය වන ලෙස ඉල්ලා සිටිමු.

Comments