බඩ ඉරිඟු අර්බුදයෙන් අවු­රු­දු නැති බිත්තර වෙළෙන්දෝ | Page 3 | සිළුමිණ

බඩ ඉරිඟු අර්බුදයෙන් අවු­රු­දු නැති බිත්තර වෙළෙන්දෝ

දිරියේදි එළැඹෙන්නේ උත්සව සමයකි. බිත්තර හා කුකුළු මස් ව්‍යාපාරිකයින් අපේක්ෂා දල්වමින් බලා සිටින්නේ මෙවර හෝ තමන්ට නිසි ලාභය අත්පත් කර ගැනිමටය. පසුගිය වසරේ මේ වන විට රටේ පැවැති අයහපත් කොරෝනා වසංගතයෙන් බිත්තර වෙළෙන්දන්ගේ පමණක් නොව කුකුල් මස් ව්‍යාපාරිකයන්ගේද ජීවිතවලටද කණ කොකා හැඬුවේ පෙර නොවූ විරූ ලෙසය. එදා සිය නිෂ්පාදන විකුණාගත නොහැකිව පාරක් පාරක් ගානේ අඩු මිල ගණන් බිත්තර , කුකුළු මස් විකුණමින් දිවි ගැට ගසා ගන්නට වෙර දැරූ මේ ජීවිත මේ වසරේද ගොඩ එන්නට උත්සහ කළත් ඒ පිළිබඳ තවමත් ඇත්තේ අනපේක්ෂිත තත්ත්වයක්ය.

 

ලංකාවේ කුකුළු මස් හා බිත්තර ව්‍යාපාරය බෙහෙවින් ලාබ ලබන මෙන්ම රජයට බදු අය වන ආදායම් මාර්ගයකි. එහෙත් මේ වන විට මෙම ව්‍යාපරයන් හරහා සෘජු හා වක්‍ර ආදායම් මාර්ග උපයන මිලියනයකට ආසන්න ජිවිත ප්‍රමාණයක් දැඩි ජීවන අරගලයකට මුහුණ දී ඇත්තේ වසරක් ගෙවුණද කොරෝනාවේ අතුරු විපත් තවමත් විඳින නිසාවෙනි. ලංකාවේ කුකුල් මස් ව්‍යාපාරයට සම්බන්ධ මහා පරිමාණයෙන් වෙළදාම් කරන්නන් 15 දෙනෙක් පමණ ඇති අතර, මධ්‍යම පරිමානයෙන් මේ කටයුත්තේ නියැළෙන්නෝ 100 ක් පමණ සිටිති. ඉතිරි සියල්ලෝ මේ හරහා ආදායම් මාර්ග උපයන්නෝය. මෙ වන විට මෙම කුකුළු මස් ව්‍යාපාරය නිසා අංශ තුනක පිරිස් දැඩි අවදානමකට මුහුණ පා සිටිති. ඒ කුකුළු මස් ව්‍යාපාරිකයින්, බිත්තර ව්‍යාපාරිකයන් හා සත්ත්ව ආහාර නිෂ්පාදකයන්ය. විශේෂයෙන්ම සත්ත්ව ආහාර නිෂ්පාදනයේදි දැඩි අවශ්‍යතාවක් පවත්නා බඩඉරිඟු මිල අධිකව ඉහළ යාම මේ ගැටලු මතුවීමට ප්‍රධාන හේතුවකි.

කුකුළු මස් හා බිත්තර වෙළඳාම සාර්ථකව පවත්තේ උත්සව සමයේදිය. එක් අයෙකුගේ වාර්ෂික කුකුල් මස් පරිභෝජනය කිලෝ 10 ක් වන අතර බිත්තර පරිභෝජනය 115 ක් පමණ වෙයි. බිත්තර වෙළෙන්දෝ පවසන පරිදි අපේ රටට දෛනිකව බිත්තර ලක්ෂ 70 ක් අවශ්‍ය වෙයි. සාමාන්‍යයෙන් බිත්තරයක ආයු කාලය සති දෙකකි. එසේම මාසයකට කුකුළු මස් මෙට්රික් ටොන් 18,000 ක් රටේ පරිභෝජනයට අවශ්‍ය වෙයි. කුකුළු මස්වලට උපරීම සිල්ලර මිලක් රජය විසින් නියම කර තිබුණ ද බිත්තර මිල, වෙළෙඳපොළ තත්ත්වය අනුව උච්ඡාවචනය වෙයි. මේ වන විට බිත්තර මිල ඉහළ යායුතු වුවද දැන් දැන් නොසිතූ ලෙස පහළ වැටී ඇත්තේ සත්ත්ව ආහාර නිශ්පාදනයට අවශ්‍ය ප්‍රධානම අමුද්‍රව්‍ය වන බඩ ඉරිඟු අතරමැදියන් අතට පත්විමත්, අවශ්‍යතා ඇති අය අතට පත් නොවීමත්ය. මේ හේතුවෙන් නැවතත් බඩ ඉරිගු මිල අධික ලෙස ඉහළ ගොස් ඇත්තේ අනපේක්ෂිත ලෙසය.

“ සාමාන්‍යයෙන් වර්ෂයකට සත්ව ආහාර නිශ්පාදනයට බඩ ඉරිඟු මෙට්රික් ටොන් ලක්ෂ 6 ක් අවශ්‍යයි. සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්තියට අනුව බඩ ඉරිඟු රටින් ගෙන්වීම නවතා මෙහි වගා කරන්න පටන් ගත්තා. ගිය වසරේ මෙරට බඩ ඉරිඟු වැවුවත් ලැබුණේ සියයට 50 ක් පමණයි. සාමාන්‍යයෙන් කුකුළු ආහාරවලට 60%ක් ඉඩ ඉරිඟු අවශ්‍ය වෙනවා. බඩ ඉරිඟු වගා කරන්නේ මහා කන්නයේ නිසා වෙළෙඳ පොළට එන්නේ මාර්තු මාසයේ. ගිය වසරේ මෙහි උපරිම සිල්ලර මිල ලෙස රුපියල් 55 ක් ලෙස ගැසට් කළා. ඒ අනුව කුකුළු මස්වලට පාලන මිලක් ලබා දුන්නා. නමුත් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ බඩ ඉරිඟු හිඟය නිසා කිලෝව රුපියල් 65 ක් වුණා.. එසේ වුණේ මේ ක්ෂේත්‍රයට අදාළ නැති අයත්, අතරමැදියනුත් මේ බඩ ඉරිඟු අරගෙන හංගගත්ත නිසා.

එසේ හංගාගෙන පසුව ඔවුන් මේ බඩ ඉරිඟු වැඩි මිලකට අලෙවි කරන්න පටන් ගත්තා. පෙබරවාරි මාර්තු මාසය වන විට බඩ ඉරිඟු වෙළෙඳ පොළට ආ යුත්තේ කිරෝව රුපියල් 48-50 ත් අතර මිලකටයි. එහෙත් මේ වන විට කිලෝව රුපියල් 75 ක් පමණ වෙලා. තව ටික දිනකින් මෙය රුපියල් 110 ක් පමණ වේවි. අපි කිහිප වතාවත්ම මිල පාලන කරන්න කියලා රජයෙන් ඉල්ලා සිටියා. නමුත් මිල පාලනය වුණේ කුකුළු මස්වල විතරයි. දැන් බඩ ඉරිඟු මිල වැඩි නිසා කුකුළු මස් පවා වැඩි මිලට විකුණා ගන්න බැහැ....“ ඒ සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් එස්. ගුණසේකරය.

ඔවුන් පවසන පරිදි මේ වන විට මේ ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකගේ රැකියා කඩා වැටීමකට ලක්ව ඇත. බිත්තර මිල සීඝ්‍රයන් පහත වටෙමින් පවතින අතර බිත්තරයක් නිශ්පාදන මිලවත් සොයා ගත නොහැකි පරිදි අසරණ වී ඇත. තමන්ට නිසි පරිදි බඩ ඉරිඟු නොලැබේ නම් තිරිගු හෝ විදේශයකින් ගෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිති. මේ වන විට කුකුළු මස් වැඩියෙන්ම අපනයනය කරන රට වන බ්‍රසීලය ද මේ වන විට කොවිඩ් හේතුවෙන් කඩා වැටීමකට ලක්ව ඇති හෙයින් මැද පෙරදිගින් ලැබෙන්නා වූ ඉල්ලීම් සපුරා ලීමට හොඳ වෙළෙඳ පොළක් අපට ඇත. ඒ සඳහා රජයේ මැදිහත්වීම ලබා දෙන මෙන් ඔවුහු ඉල්ලති.

“ මේ දිනවල අපේ රටේම අස්වැන්න නෙළුවත් අපිට බඩ ඉරිඟු ලැබෙන්නේ රුපියල් 75-80 ත් අතර මිලකට. බිත්තරයක් නිශ්පාදනයට අපිට රුපියල් 15.50 ක මිලක් යනවා. නමුත් අපිට බිත්තර සිල්ලරට දෙන්න වෙලා තියෙන්නේ රුපියල් 14 කට. මේක අපිට දරා ගන්න බැහැ. වෙන කාලවල අපි ලාභ ලබන්නේ මේ උත්සව කාලවලින්. සමහර කාලවල බඩ ඉරිඟු අඩු වුණොත් ආනයනය කරන්න අවස්ථාව ලබා දුන්නා. නමුත් පසුගිය වසරේ අපිට බඩ ඉරිඟු වලට ආදේශකයක් දුන්නේ තිරිඟු පමණයි. මෙවර ඒ සහනයවත් නැහැ. මේ සියලු ප්‍රශ්න මතුවුණේ අතර මැදියන් මේ බඩ ඉරිඟු හැංගීම නිසා....“ ඒ සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම් සුසිල් කුමාරය.

මේ වන විට මෙම සංගමයේ ලියාපදිංචි සංඛ්‍යාව 2000 ඉක්මවා ඇත්තේය. නමුත් ලියාපදිංචි නොවූ විශාල සංඛ්‍යාවක්ද මේ හේතුවෙන් අසරණව සිටිති. වාර්ෂිකව සත්ත්ව ආහාර මෙට්රික් ටොන් ලක්ෂ 12 ක් හදා ගැනීමට බඩඉරිඟු මෙට්රික් ටොන් ලක්ෂ 6 ක් අවශ්‍යයි. කොවිඩ් හේතුවෙන් හෝටල් සංචාරක ක්ෂේත්‍ර කඩා වැටී ඇත. ලංකාවේ බිත්තර සියයට 30 ක් හා කුකුළු මස්වලින් සියයට 60-70 ක් යැවෙන්නේ සුපිරි වෙළෙඳ සැල්වලටය. රජයට වාර්ෂිකව රුපියල් බිලියන 10 ක් බදු වශයෙන් ගෙව්වද තමන්ට කිසිදු සහනාධාරයක් නොලැබෙන බව ඔවුහු චෝදනා නඟති.

“ මේ දිනවල අපිට බඩ ඉරිඟු නොලැබෙන ප්‍රධාන හේතුව තමයි, ඒ අස්වැන්න වෙනත් අය අතට යෑම. වෙනදට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2400 ක් වසරකට ලැබෙනවා. නමුත් මෙවර එහෙම ආවේ නැහැ. කුකුළු කෑම නිශ්පාදනයට මේ බඩ ඉරිඟු අත්‍යාවශ්‍යයි. ඒ වගේම කුකුළු බිත්තරයේ කහමදයේ වර්ණය එන්නේ මේ බඩ ඉරිඟු වලින්. මේ නිසා දැන් ගොවීන් ගොඩක් අසරණ වෙලා. තමන්ගේ ණය පියවා ගන්න බැරි වෙලා. ගිය වසරේත් අපි කොවිඩ් නිසා ගොඩක් අසරණ වුණා. මේ අවුරුද්දේවත් හොඳ වෙයි කියලා හිතුවා. නමුත් නොසිතූ පරිදි මේ අවුරුද්දේත් අපි අසරණ වෙන හැඩයි...“ ඒ සත්ත්ව ආහාර නිශ්පාදනය කරන ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ජී. ඩබ්ලිව්. පී. ගුණසිංහය.

කෙසේ වෙතත් එළැඹෙන සිංහල අවුරුදු උත්සව කාලයටත් කණ කොකා හැඬීමේ ලකුණු පහළ වී ඇත්තේය. විශාල මුදලක් යට කරමින් ගොඩ නඟාගත් ව්‍යාපාරය බිඳ වැටීමේ ලකුණු පහළ වී ඇත්තේය.

“ ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා, අපේම දේ අපේ භූමියේ වගාකර විදේශයකින් ගෙන්වන දේ අඩු කරන්න. මේ නිසා අපි ලංකාවේ වගාකරුවන්ට ණය ලබා දිලා වඩ ඉරිඟු මෙහි වගා කළා. මෙමදා අස්වැන්න බඩ ඉරිඟු අවශ්‍යතාවයෙන් 85% ක් සම්පූර්ණ වෙනවා. නමුත් අතරමැදියන් මේ අස්වැන්න ලබා ගැනීමේ මාෆියාවක් ක්‍රියාත්මක වෙලා. මේ නිසා අවශ්‍යතාවය ඇති අය අතරට බඩ ඉරිඟු නොලැබී ගියා. අතරමැදියන් බඩ ඉරිඟු ගබඩා කර ගනිමින් විශාල මුදලකට විකුණා ගන්න උත්සාහ කරනවා.

මේ ගැන අපි ජනාධිපතිතුමා සමඟත් සාකච්ඡා කළා. එලෙස අසාධාරණ ලෙස ගබඩා කර තබා ගන්නා අයට නීතිමය ක්‍රියාමාර්ග ගන්න උත්සාහ කරනවා. ඔවුන්ට එලෙස වැඩි විලකට විකිණීමට නොහැකියි. මන්ද බඩ ඉරිඟු සඳහා පාලන මිලක් ඇති නිසා. ඒ වගේම බඩ ඉරිඟුවලට ආදේශකයක් ලෙස තිරිඟු ගෙන්වීම ගැනත් අපි අවධානය යොමු කර තියෙනවා....“

ඒ පශු සම්පත්, ගොවිපල සංවර්ධන, කිරි හා බිත්තර කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී. බී හේරත්ය.

එදා කොවිඩ් නිසාවෙන් බැට කෑ ඔවුන්ට මෙදා උත්සව කාලයක් එසේම ගෙවන්නට සිදුවේද? බඩ ඉරිඟුවලින් රට ස්වයං පෝෂිත කළ යුතුවා සේම මෙවැනි අකටයුතුකම් කරන පිරිසට ද නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

 

Comments