
- රෝස තිරිවානා නිධිය බලන්න කේබල් කාර් ළඟදීම
- නාමල් උයන ඇතුළත පංචාවාස විහාරාරාමයක් ?
මම හාමුදුරුනමක් ලෙස විවිධ අයුරින් ලැබෙන සබ්බ සකල මනාවම වියදම් කරලා රටටම ඔක්සිජන් දෙන්න පුළුවන් අක්කර 2000 ක නා වනයක් සුරැකීම කරනවා. ඒ එක්කම අක්කර 600 ක රෝස තිරුවානා කඳු 7 ක් සුරැකීම මම වසර 30 ක් සිට කරන්නේ දිවි හිමියෙන්. මේ සේරම මම කරන්නේ පරිසරයට හා ස්වභාව දහමට තිබෙන ආදරය නිසයි.”
මේ රෙට් ජීවත්වෙන කිසිම හිමිනමකට පුද්ගලයකුට කිව නොහැකි මේ සුවිශේෂී ප්‍රකාශය කළේ වසර 30 ක් තිස්සේ ගල්කිරියාගම ජාතික නාමල් උයන හා රෝස තිරිවාන කන්ද සුරකින වනවාසී රාහුල හිමිපාණන් ය.
මම ඉපදුණේ 1954 මාර්තු 29 දා පැවිදි වූයේ 1969 ජූලි 25 දා මම වැඩ සිටියේ මේ ළඟ රණව පන්සලේ, ඒකේ ඉන්න කොට මට මේ නාමල් උයන පිළිබඳව ආසාවක් ආදරයක් ඇති වුණා. ඒ කාලේ මම භික්ෂු සමාජය තුළ යකඩ සපත්තුවට පෑගිලා හිටියේ.
ඒ නිසා මට වයස 37 පිරෙන්න කලින් දවෙස ඒ කියන්නේ 1991 මාර්තු 28 වැනිදා මේ නාමල් උයනට වැඩියා. මට ඉන්න තැනක් තිබුණේ නෑ. මම මොර ගහක් උඩ පැලක් අටවා ගත්තා. මේ කැලේ ඉන්න අලි වලස්සු ඉන්න හින්දයි ගහ උඩ පැල හැදුවේ.” ඒ දවස්වල කිසිම පහසුකමක් තිබුණේ නෑ. මුල් දවස්වල පුදුම දුකක් වින්දේ.
ඒ අයුරින් එදා වසර 30 කට උන්වහන්සේ ආරම්භ කළ මොරගහ උඩ විප්ලවය හා දුෂ්කර ක්‍රියාව දැන් බොහෝ දුරට අවසන් කර ඇත්තේ අක්කර 2000 ක් විශාල නා වනයක් හා අක්කර 600 ක් විශාල ලොව පිරිසුදු රෝස තිරුවාන නිධියක් රටට ජාතියට දායාද කර දෙමින් ය.
උන්වහන්සේ වසර 30 ක් දුෂ්කර ක්‍රියාව කරන අතරේ ලැබුණු ජීවිත තර්ජන ද බහුල විය.
දඹුල්ල - අනුරාධපුර මාර්ගයේ මඩාටුගමට පැමිණ එහි සිට ආඬියාගල පාරේ කිලෝමීටර් 7 ක් ගොස් ගල්කිරියාගමට පැමිණීමෙන් නාමල් උයනට ළඟා විය හැකි ය.
නාමල් උයන වනසතුන්ගෙන් ගහන වනයකි. මෙය සුවිශේෂී පරිසර පද්ධතියකි. සමහර මිනිස්සුන්ගෙන් මෙන් වනවාසී රාහුල හිමියන්ට එම වනසතුන්ගෙන් හිරිහැරයක් කිසි දිනක සිදුවී නොමැත.
“මම නාමල් උයනට ඇවිත් මුලින් ම වාඩි වෙලා තියෙන්නේ මහ පිඹුරෙකුගේ ඇඟ උඩ. මම එදා ඇවිදගෙන ඇවිත් මහන්සියට නාමල් උයනේ ගල් පාත්‍රය ළඟ වාඩිවුණා. මට නිකම් රබර් මෙට්ටයක් උඩ ඉඳ ගන්නවා වගේ දැනුණා. ඒ එක්කම සතෙක් හුස්ම ගන්න සද්දයකුත් ආවා. මට ටිකක් සැක හිතිලා එතනින් නැගිටලා කෝටුවක් අරන් පාත්‍රය උඩ තිබුණු කොළ රොඩු ටික එහාට මෙහාට කළා. එතකොට තමයි දැක්කේ මහ විශාල පිඹුරෙක් රවුම් ගැහිලා නිදාගෙන ඉන්නවා. මගෙන් ඒ සතාට හිරිහැරයක් වුණෙත් නැහැ. සතාගෙන් මට හිරිහැරයක් වුණෙත් නැහැ. හැබැයි එදා මම හිතාගත්තා කකුල් දෙකේ මිනිස් සත්වයන් එක්ක ජීවත්වෙනවාට වඩා මේ වනසතුන් එක්ක ජීවත්වෙන්න ඕනේ කියලා.
වනවාසී රාහුල හිමියෝ මුලින් ම නාමල් උයනට වැඩම කළ දිනයේ ලැබූ අත්දැකීම් සිහිපත් කළේ එලෙසය.
“මම දවසක් හවසක ත්‍රිවිල් එකේ යනකොට එක පාරටම කැලය මැදින් අලියෙක් පැන්නා. අලියා ත්‍රිවිල් එකට ගහලා පොඩි කළා. මමයි ත්‍රිවිල් එක පදවපු ළමයයි විසිවුණා. මගේ ආවාසයට එතන ඉඳලා කිලෝමීටර් ½ ක් වගේ දුරක් තිබුණේ. කොහොම හරි මම හැමදාම කන්න දෙන බලු රංචුවක් හිටියා. මේ බලු රෑන කොහෙන් ආවද මන්ද එකපාරටම එතනට ආවා. ඇවිත් අලියාට බුරාගෙන පැන්නා. අලියා එහෙමම කැලයට දිව්වා. මම හිතනවා මේ සොබා දහම මම රැකගන්නවා වගේම මාව ඒ සොබා දහම විසින් ම ආරක්ෂා කරනවා කියලා.” රාහුල හිමියෝ වන අලි ප්‍රහාරයකින් ද බේරුණේ එලෙසය.
අත්හැරීම ගැන අපට බොහෝ විට අසන්න ලැබෙන්නේ දේශන පමණි. අත්හරින්න යැයි ශ්‍රාවකයාට දේශනාකර තව තවත් රැස්කරගන්නා සමාජයක අත්හරින්නේ කෙසේ දැයි සමාජයට ක්‍රියාවෙන් ඔප්පු කළ යතිවරුන් කීප දෙනා අතර වනවාසී රාහුල හිමියන්ට ද මුල් තැනක් හිමිවේ. තම ජීවිතය මෙන් රැකගත් නාමල් උයන උන් වහන්සේ අත්හළ හ. ඒ හා සම්බන්ධ සියලු චංචල නිශ්චල සියලු දේපළ අත්හළහ. ඒ සියල්ල උන් වහන්සේ 2018 දී මධ්‍යම සංස්කෘතික අරමුදලට නීත්‍යානුකූලව බාරදුන්හ. ඒ මතු පරපුරට නාමල් උයන රැකදීම සඳහා ය.
“මට ඕනේ වෙලාවක දැන් ගහක් යට වුණත් මැරෙන්න පුළුවන්. මට දේපළ ගැන, බැංකු පොත් ගැන, හිත හිත හිතෙන් මැරි මැරී ජීවත්වෙන්න ඕනේ නැහැ. මට දැන් ඕනේ වෙලාවක ගමන් මල්ලයි කුඩෙයි අතට අරන් නිදහසේ එළියට බහින්නත් පුළුවන්. මට දැන් කිසි බරක් නැහැ. මුල් කාලයේ මේ ප්‍රදේශයේ බොහෝ ගිහි පැවිදි අය පවා සිතුවේ මම මේ වනයට අරක්ගත් කුම්භාණ්ඩයෙක් කියලා. පොට්ටනි ගගහ එකතු කරන්න මට වුවමනා වුණේ නැහැ. මම මේ අත්හැරියා වගේ ඔය මට චෝදනා කළ හා කරන අයට අත්හරින්න පුළුවන් ද කියලා හිතන්න බැහැ. අනික මට චෝදනා අපහාස කරන හා කරපු අයගෙන් මම අහනවා ඔබ හදවතට තට්ටු කර අහන්න ඔබ මේ රටට දැයට හෝ අඩුම තරමින් ගමට කර ඇති සේවය මොකක්ද කියලා. භික්ෂුවක් වශයෙන් මගේ යුතුකම උපරිමයෙන් ඉටු කළා. නාමල් උයන අද ලෝකයේ ම ප්‍රසිද්ධයි. ලෝකයේ හැම රටකින්ම අද නාමල් උයන නරඹන්න එනවා. මම එදා දහදුක් විඳගෙන මේ නාමල් උයන රැකගත් නිසා අද එය රටට විදේශ ආදායම ගෙන එන ස්ථානයක් බවට පත් වුණා. මම නැති කාලෙක වුණත් නාමල් උයන දකිනවිට මගේ සේවය කාටත් සිහිපත් වේවි.”
සත්‍ය වශයෙන් ම රාහුල හිමියන්ගේ නාමය ඉතිහාස ගතවනු ඇත. මම නාමල් උයනට ආපු මුල් කාලයේ මට විරුද්ධව උද්ඝෝෂණ කළ, මට පෙත්සම් ගහපු, මට කැලෑ, පත්තර ගහපු සමහර මිනිසුන්ගේ දරුවන්ට නාමල් උයන ව්‍යාපෘතිය යටතේ රැකියා ලබාදීමට හැකිවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.” යැයි රාහුල හිමියෝ පවසති.
ජාතික නාමල් උයන යනු ජාතියේ උරුමයකි. එය රජය මට්ටමින් ස්ථිර ලෙස ප්‍රකාශයට පත් කළ යුතු ය. මේ කටයුත්තේ දී රෝස තිරිවානා නිධියේ ඇති ගල් කැට තරමට වඩා රාහුල හිමියෝ නින්දා අපහාස වින්දහ, බැණුම් ඇසූහ, තර්ජන ගර්ජනවලට ලක්වූහ. එහෙත් ඒ කිසිම බාධකයකට රාහුල හිමි සෙලවිය නොහැකි විය. උපතින් ම කෙසඟ සිරුරකට හිමිකම් කියන රාහුල හිමියන් නාමල් උයන රැකබලා ගැනීමට යෝධයන් සමඟ හැප්පුනහ. අවසානයේ එම යෝධයෝ මේ කෙසඟ සිරුර හිමි හිමියන් ඉදිරියේ දණ නැමූහ.
මම කැලෑ හොරුන්ට හොඳටම බණිනවා. එක් කණ්ඩායමක් ඇවිත් මාව බය කරන්න හැදුවා. ආයුධයක් අරන් ඇවිත්, මම ඒ කට්ටියටම හොඳ හල්මිල්ල පොල්ලකින් සංග්‍රහ කළා. ‘සිවුර නැත්නම් තමුසෙවත් ඉරනවා කියලා” උන් යන්න ගියා. උන්වහන්සේ අපට අත්දැකීම් පැවසූහ.
ඒ අතරම උන්වහන්සේ නාමල් උයන රෝස තිරිවාන කන්දේ සුවිශේෂී බව පිළිබඳව මාධ්‍ය මඟින් හෙළි කරමින් මහ ප්‍රචාරයක් ලබාදුන්නේ ය. ඒ නිසා ම නාමල් උයනට අත තියන්නට දැව හොරු පසුබට වූහ.
දැනට තිබෙන අයුරින් නාමල් උයන අක්කර 2000 පුරා විසිරී පවතී. ඒ අසල ඇති වසර මිලියන 500 කට වඩා පැරැණි බව කියන රෝස තිරිවාන කඳු වැටි හත ලොව සුවිශේෂී භූ විෂමතාවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒ නිසා මෙය දකුණු ආසියාවේ විශාල රෝස තිරිවාන කන්ද නිසා ලොව පුරා සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත් විය. ඒ නිසා ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රසිද්ධ වීමටත් මේ රෝස තිරිවාන කඳු පන්තිය හේතු වී තිබේ.
ආඬියාගල - මඩාටුගම මාර්ගයේ ඇති සෙල් ලිපියක් අනුව නාමල් උයන වනාහි දඬුවම් ලැබූ මිනිසුන් යවන මිනිස් අභය භූමියකි. මෙහි ජෛව විවිධත්වය ද සුවිශේෂී වේ. භූගෝලීය ලෙස ද, පුරාවිද්‍යාත්මක ලෙස ද කැපීපෙනෙන සුවිශේෂී ලක්ෂණ මෙහි ඇත.
නාමල් උයනේ සංචාරයක් ගිය අපට ලැබුණු ආස්වාදය වින්දනය හා සතුට කියා නිම කළ නොහැකි ය.
විවිධ ප්‍රමාණවල නා ගස්වල කොළ සිලි සිලි ගා ගැටෙද්දී මුඳුන් බොර දෙමළිච්චා, ගිරා මලිත්තා, හබන් කුකුළා, වළිකුකුළා වැනි අපේ රටට ආවේණික කුරුල්ලන් හා කොණ්ඩ කුරුල්ලා, පොල් කිච්චා, මහ නීල ගොයා, කොබෙයියා වැනි මෙහි සිටින කුරුල්ලන්ගේ කිචි බිචි නාදය ද නිසා අපට හැඟවෙන්නේ මහ වනපියස්සකට මොහොතකට ඇතුළුවූවාක් වැනි සුන්දරත්වයකි.
අප මීට පෙර නාගස් දැක තිබුණත් ජාතික නාමල් උයනේ ඇති නාගස්වල විශේෂතා රැසකි. එහි අතු බෙදුණු නාගස් බහුල අතර සමහර නාගස් අවුරුදු 1500 කට පැරැණි බව වනවාසී රාහුල හිමියන්ගේ අදහසයි. ප්‍රධාන නා විශේෂ දෙකක් වන දිය නා හා බටු නා එහි බහුලව අන්තර්ගතයි.
අපේ රටේ ජාතික වෘක්ෂය වන බටු නා ප්‍රභේදය මෙහි බහුලව දක්නට ලැබේ. නාමල් උයනේ සැබෑ නාමල් සුවඳ සමඟ නාමල් සුවඳවල මිහිරි වින්දනය බලා ගැනීමට නම් ඔබ අප්‍රේල් හා මැයි මාසවල එහි යා යුතුමය.
නාමල් උයන ඇතුළත පරිසරය ඉතා සිත් ගන්නා සුලු ය. එහි ඉදිරියට ඇදෙන විට වැසි දිනවල ජලය බහුල කුඩා ප්‍රමාණයේ දිය ඇලි 3 ක් දක්නට ලැබේ.
ඊට අමතරව මේ වන පියසේ කොහොඹ, කෝන්, පලු, වීර, හල්මිල්ල, කළුවර, කුඹුක්, වෙලං, කළුමැදිරිය, ඇහැල වැනි ගස් වර්ග ද බහුලව දක්නට ලැබේ.
මේ වනය තුළ කලාපීය ශාක ප්‍රභේද 102 ක් කුරුලු විශේෂ 108 ක් පැළෑටි ප්‍රභේද 82 ක් ක්ෂීරපායි විශේෂ 14 ක් ජීවත්වෙන බව නාමල් උයන පිළිබඳ කළ ජෛව විවිධත්ව සමීක්ෂණවලින් හෙළිවී තිබේ.
නාමල් උයන පිහිටා ඇත්තේ ඓතිහාසික අවුකන, දඹුල්ල, ඉබ්බන්කටුව, කලාවැව යන ස්ථානවලට මැදිව නිසා නාමල් උයනේ වටිනාකම තවත් වැඩි වී තිබේ.
රාහුල හිමියෝ කළමනාකරණයට දක්ෂය. දශක තුනක ආසන්න කාලයක් උන්වහන්සේ ජාතික නාමල් උයන නිසි ලෙස කළමනාකරණය කළහ. අද අපි දකින නාමල් උයන එහි ප්‍රතිඵලයයි.
මට මේ ගමන මෙතරම් ශක්තිමත්ව එන්න පුළුවන් වුණේ මේ රටේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ලැබුණු සහය නිසයි. මගේ ඇස්දෙක පියවෙන්න පෙර නාමල් උයන වෙනුවෙන් තවත් යමක් කිරීමට මගේ හිතේ තියනවා. ඒ රෝස තිරිවානා නිධිය බැලීමට කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමයි. ඒකෙන් නාමල් උයන පමණක් නෙමේ. සීගිරිය, දඹුල්ල ආදී ප්‍රදේශත් බලන්න පුළුවන්. පරිසරයට හානියක් නැතිව එය ක්‍රියාත්මක කළ හැකියි. මම හිතනවා එය සාර්ථක වුණොත් රටට තවත් විදේශ විනිමය සපයා ගන්න පුළුවන් වෙයි. ජනාධිපතිතුමාගේ අවධානය මේ සඳහා යොමු වෙයි කියලා මම හිතනවා. රටේ සංචාරක ව්‍යාපාරය තවත් දියුණු වීමට එය හේතුවක් වේවි. මෙහි ව්‍යාපෘති වාර්තාව දැනටම සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට පිරිනමා තිබෙනවා.
ගස් වැවීම වගේම වනය රැක ගැනීම දිවා රෑ පිං වැඩෙන පිංකම් කියලා සංයුක්ත නිකායේ වනරෝපා සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ පිංකම මම සිදු කර අද සතුටු සිතින් ඉන්නවා.” මේක රැක ගැනීම ඉදිරි පරපුරේ රාජකාරියක්.
රටට ලෝකයට වටිනා පරිසර පද්ධතියක් හඳුන්වා දී එය රැකගත් වනවාසී රාහුල හිමියෝ අද සතුටු වන්නේ එලෙසිනි.
වනවාසී රාහුල හිමියන්ගේ මෙම චරිතය මඟින් වර්තමාන ගිහියන් හට මෙන් ම තරුණ භික්ෂුන් වහන්සේට ආදර්ශ රැසක් ගත හැක. පක්ෂ දේශපාලනය නොකර පක්ෂ රකින භික්ෂු චරිතයක් නොවී සැබෑ බෞද්ධ දර්ශනය රැක ගැනීමටත්, මෙවැනි වටිනා සම්පතක් රැක ගැනීමටත් රාහුල හිමියන්ගේ චරිතයෙන් ආදර්ශ ලබාගත හැක.
නාමල් උයනේ පුරාවිද්‍යාත්මක මැදහත්කම පිළිබඳව පුරාවිද්‍යාත්මක කැණීම් පසුගියදා එහිදී ආරම්භ කර ඇත. ජාතික උරුමයක් පිළිබඳ රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක හා සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මෙම අවස්ථාවට එක්වූහ.
මෙම ස්ථානයේ පුරාවිද්‍යා කැණීම් සිදුකර මෙම ස්ථානය ජාතික උරුමයක් කරන ලෙස ද එහිදී වනවාසී රාහුල හිමියෝ ඉල්ලා සිටියහ.
එම ස්ථානය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට අපේක්ෂා කරන බව වනවාසී රාහුල හිමියෝ පවසති.
රෝස තිරිවානා නිධියේ සිට එන ජලය එකතුවන ජල පාත්‍රය අසල කෙරෙන පුරාවිද්‍යාත්මක කැණීම් පිළිබඳව අපට කරුණු දැක්වූ නාමල් උයන පුරාවිද්‍යා ව්‍යාපෘතියේ කළමනාකරු චන්දන වීරසේන මහතා පවසන්නේ පංචාවාස විහාරාරාමයක් මෙම ස්ථානයේ තිබී ඇති බවයි. පොහොය ගෙයක් , බෝධියක්, දාගැබක් සහ විහාර මන්දිරයක් මෙහි තිබූ බවට සාක්ෂ්‍ය ඇති බවත් ඔහු කීය.
මේ පිළිබඳව අදහස දක්වන වනවාසී රාහුල හිමි දැඩිව අවධාරණය කරන්නේ ගහකොළ ඇළ දොළ රැකගනිමින් ස්වභාව ධර්මය රැකගත්තේ නැත්නම් අපට පැවැත්මක් නැති බවයි. හාමුදුරුවන්ගේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව අප ඇසූ පැනයට රාහුල හිමි මෙසේ පිළිතුරු දුන්හ.
“මම අහස උසට පෙති පිළිම නොහැදුවාට මගේ රටට ඉතාම පිරිසිදු අක්කර 2000 ක් වූ නාගස්වලින් පිරුණු ඔක්සිජන් වනාන්තරයක් රැකලා දුන්නා. ඒ මගේ උපන් දේශයට කළ මේ උදාර ජාතික මෙහෙවර ප්‍රමාණවත් කියලා මට හිතෙනවා.”
ජාතික නාමල් උයන දශක තුනක් රැකබලාගත් වනවාසී රාහුල හිමියන් සිය අතීත ආවර්ජනය කරමින් එසේ පවසති. තමන් වහන්සේගෙන් ජාතියට ඉටුවිය යුතු යුතුකම් කොටස නිසි ලෙස ඉටු කළ නිසා තමන් වහන්සේට දැන් සැනසිල්ලේ, කැලයේ ගසක් යට හෝ අපවත්විය හැකි යැයි ද උන්වහන්සේ පවසති.
තමන් 1991 සිට රැකගත් මේ නාමල් උයන ලොව පරසිදු රෝස තිරිවාන නිධිය මීට වසර තුනකට පෙර මධ්‍යම සංස්කෘතික අරමුදලට භාරදී දැන් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන වනවාසී රාහුල හිමියන් ලොවටම ආදර්ශවත් චරිතයකි. පරිසරය සුරැකීම පිළිබඳ සම්මාන රැසක් ලබා ඇති උන්වහන්සේට තව දිගුකල් මේ නා වනය හා රෝස තිරිවාණ කන්ද සුරකිමින් ජීවත්වන්නට ශක්තිය, ධෛර්යය ලැබේවායි අපි පතමු.
ඡායාරූප - විමල් කරුණාතිලක