
මෙරට අකර්මණ්‍ය වී ඇති සංචාරක කර්මාන්තයට කඩිනම් විසඳුමක් ලබාදීමට රජය විවිධ ක්‍රම හා විධි රැසක් අනුගමනය කරයි. ඒ අනුව මෙම වසර ඇතුළත රුපියල් කෝටි 19400 ක ආදායමක් සංචාරක කර්මාන්තය මගින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඉපයීමට සැලසුම් සකස් කිරීමට රජය සූදානම් බව ද මේ සඳහා සුදුසු කටයුතු වහාම සකස් කරන ලෙස ද ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානි බැසිල් රාජපක්ෂයන් සංචාරක ක්ෂේත්‍ර නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මේ අතර මෙවර කඩා වැටුණු සංචාරක කර්මාන්තය නව ප්‍රගතියක් අත්කර ගැනීමට 2020 දෙසැම්බර් මස සිට මේ දක්වා යුක්රේන සංචාරකයන් දහස් ගණනක් මෙරටට ගෙන්වීම ඉතා සතුටුදායක කරුණකි. ඒ අනුව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංගගේ සහාය ඇතිව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග එක්ව මේ කටයුතු සැලසුම් කළහ. ඒ වැඩපිළිවෙළ දැන් ඉතා සාර්ථක වෙමින් පැවැතීම රටටම සෙතකි. මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ද අත්‍යවශ්‍ය වේ.
සංචාරක ක්ෂේත්‍රයේ රැකියා කළ ලක්ෂ ගණනක් වන සේවක සේවිකාවන් පමණක් නොව සංචාරකයනට විවිධ දේ අලෙවි කරන ජංගම වෙළෙන්දා දක්වා මෙම ක්‍රියාවලිය මඟින් යළි නව ප්‍රබෝධයක් ඇතිවී ඇත. කෝවිඩ් වෛරස් පාලනය කරන අතර හැකිතාක් දුරට ආර්ථික ක්‍රියාකාරකම් අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාමට උත්සාහ ගත යුතුවේ. ඒ සඳහා අකර්මණ්‍ය වී ඇති සංචාරක පැමිණීම් යළි ක්‍රමයෙන් පණ ගන්වා ගැනීම සම්බන්ධයෙන් මෙම නියමු ව්‍යාපෘතිය අප දකින්නේ ඉතා වැදගත් මුල් පියවරක් ලෙසයි.
![]() |
මේ පිළිබඳව අදහස් දක්වන හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසන්නේ මේ නව වැඩපිළිවෙළ යටතේ මාර්තු 18 වන විට ගුවන් යානා 31 කින් මත්තල ගුවන් තොටුපළට සංචාරකයන් 5126 ක් ගෙන්වා ඇති බවයි.
මීට අමතරව ඔහු රුසියානු යුක්රේන කසකස්ථාන සංචාරකයන් 44000 ක් මෙරටට ගෙන්වීමට රජයෙන් අවසර ඉල්ලා තිබේ. ඒ ප්‍රමාණය මෙරටට ගෙන් වුවහොත් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 260 ක් එනම් රුපියල් ලක්ෂ 52000 ක් පමණ විදේශ විනිමයක් මෙරටට උපයාගත හැකි වනු ඇති බවත් උදයංග වීරතුංග පවසයි. ඒ අනුව ගෙන්වන හැම සංචාරකයකුට අවම වශයෙන් එක දිනකට ඩොලර් 150 මෙරටදී වියදම් කිරීමට යොමු කර ඇත.
පසුගිය වසර 20 ඇතුළත පැරැණි සෝවියට් රාජ්‍ය සංචාරකයන් මෙරටට පැමිණීම 4254 සිට 120056 දක්වා වැඩි කර ඇත. එනම් 2800% ක් වැඩි වීමකට භාජන වී තිබේ.
මේ සංචාරක ප්‍රවර්ධනය කටයුතු නිසා රටට ලැබෙන විදේශ විනිමය වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 190 ඉක්මවා ඇත.
මට රුසියාව සමඟ ලොකු සම්බන්ධයක් තිබෙනවා. මට සංචාරක ව්‍යාපාරයට සම්බන්ධතා තිබෙනවා. මේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන අපිට ඉක්මනින් ආරම්භ කරන්න ලැබුණේ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපෙක්ෂ මහතා මේ සඳහා ගුවන් තොටුපළ විවෘත කිරීමට උපදෙස් දීපු නිසයි. ඒ පිළිබඳව මම එතුමාට ස්තුතිවන්ත වෙනවා.” උදයංග වීරතුංග පවසයි.
මේ අතර පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ සාකච්ඡාවකදී පැවැති ගෝඨාභය රාජපක්ෂයන් අවධාරණය කර ඇත්තේ සංචාරක ව්‍යාපාරය මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන ඉලක්කයක් බැවින් අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ වේගවත් ඉදිරි ගමනකට දැන් සූදානම් විය යුතු බවයි.
සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් අමතා ජනාධිපති තුමා පවසා ඇත්තේ දැනට මෙරටදී සංචාරකයන්ට දෙන පහසුකම් පිළිබඳව සංචාරකයන් රටින් පිටව යන අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රතිචාර ලබාගත යුතු බවයි.
පසුව ඒ හොඳ නරක ප්‍රතිචාර ගැන අවධානය යොමු කළ යුතුව ඇත.
කෝවිඩ් මර්දන එන්නත ලබාදීමේදී හෝටල් සේවකයන්, සංචාරක මග පෙන්වන්නන් හා රියදුරු වැනි කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛතාව දැක්වීම කෙරෙහි ද අවධානය යොමු වී ඇත. සංචාරකයන් ආසාධිතයන් නොවන අවස්ථාවල පහසුකම් සපයන්නන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද මෙම සාකච්ඡාවේදී යෝජනා කෙරිණි.
අනුමත කරගත් සංචාරක සැලැස්ම අනුව සංචාරකයන් ගෙන්වීම හා මෙහෙයවීම පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව ද ජනාධිපතිතුමා සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
එසේ ම ආසාදිත සංචාරකයන් වහාම ලංකා හොස්පිටල් (පෞද්) වෙත සහ ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් කොග්ගල පවත්වාගෙන යන රෝහල වෙත යොමු කිරීමට ද මෙහිදී තීරණය විය. මේ දිනවල සංචාරක කටයුතු සඳහා සියලු සහන රජයෙන් ලැබී ඇති බැවින් නිසි සැලසුම් අනුව සංචාරකයන් ගෙන්වා ගැනීමේ හා ඔවුන්ට නිසි පහසුකම් දීමේ ඉදිරි ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරන බවට මෙහිදී ව්‍යවසායකයෝ පැවසූහ.
මෙහිදී ආර්ථික පුනර්ජනනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානී බැසිල් රාජපක්ෂයන් පැවසුවේ කෝවිඩ් මර්දන ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව අපේ රට 10 වැනි ස්ථානයේ සිටීමේ වාසිය සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට යොදාගත හැකි බවයි. කෙසේ වුවත් සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමට එහි නියැළෙන්නන් කටයුතු කළයුතු බවත් බැසිල් රාජපක්ෂයන් අවධාරණය කළේය.
මේ අතර ජාතික ආර්ථිකය ගොඩ නැංවීම සඳහා අපනයන ක්ෂේත්‍රයෙන් උපයන මුදල් පමණක් ප්‍රමාණවත් නොවන බව ද බැසිල් රාජපක්ෂයන් පෙන්වා දෙයි. ඒ අනුව අපේ ජාතික ආර්ථිකය යළි ගොඩනැංවීමට සංචාරක ව්‍යාපාරයේ දියුණුව අත්‍යවශ්‍ය බව අවධාරණය කරන බැසිල් රාජපක්ෂයන් සංචාරක ක්ෂේත්‍රයේ සිටින සියලුම දෙනා ඉක්මනින් එන්නත්කරණයට අවධානය යොමු කරන බව ද පවසයි.
සංචාරය සඳහා ආරක්ෂිත සහ සුදුසු රටවල් අතර විදේශ සංචාරකයන්ගේ පළමු තෝරා ගැනීමේ රටවල් 10 තුළ ශ්‍රී ලංකාව සිටින බවත් ඒ අනුව සංචාරකයන් වැඩිපුර ආකර්ෂණය කර ගැනීම සඳහා නව සැලසුම් සකස් කරන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා සංචාරක ප්‍රවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.
මේ අතර සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ද මෙරට සංචාරක ප්‍රවර්ධනයට ඉතා දැඩි වෙහෙසක් ගනිමින් කටයුතු කරයි.
ඔහු පවසන පරිදි කෝවිඩ් මැද වුව ද රට විවෘත කර ගුවන් තොටුපළ විවෘත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දෙසැම්බර් මැද සිට මෙරටට මේ දක්වා අපේ රටට සංචාරකයන් 3280 ක් පැමිණ තිබේ. ඒ හා සමානව නව ගුවන් සමාගම් 5 ක් මෙරටට ඍජු ගුවන් ගමන් දැන් ආරම්භ කර ඇතැයි ද ඇමැතිවරයා පවසයි.
ඊට අමතරව තව නව ගුවන් සමාගම් 6 ක් අපේ රටට ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම්ව සිටින බව ද ඔහු කියයි.
ලෝකයේ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා වූ අතර කමිටුවක් ද සංචාරක ඇමැතිවරයා විසින් පත්කර ඇත. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඇතුළත් එම කමිටුවේ ප්‍රධාන කාර්ය භාරය වන්නේ ශ්‍රී ලංකාව ලෝකයේ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමයි. එමෙන් ම ශ්‍රී ලංකාව සංචාරකයන්ට ආරක්ෂිතම රටක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු සලසන ලෙස ද ඇමැතිවරයා එම කමිටුවට උපදෙස් දී ඇත. සංචාරක අමාත්‍යවරයාගේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුවට සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනියත්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩබලන කළමනාකරණ අධ්‍යක්ෂතුමියත් ඇතුළත් වෙති.
මේ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ කඩා වැටීමට ලක්ව තිබෙන සංචාරක ක්ෂේත්‍රය යළි නගාසිටුවීමේ අරමුණ ඇතිව විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පස් අවුරුදු විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන රටවල් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා දැනටමත් උපාය මාර්ගික සංවර්ධන සැලැස්මක් ද සකස් කර තිබෙන බවත්, ඊට ඇමති මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පැවසීය.
නව සංචාරක නිපැයුම් සංවර්ධනය බෞද්ධ මංපෙත් ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය, සුවතාව හා ආයුර්වේද මත පදනම් වූ සංචාරක ව්‍යාපාරය, චිත්‍ර රූගත කිරීම්, ත්‍රාසජනක ක්‍රීඩා, ජාත්‍යන්තර ක්‍රීඩා තරග හරහා සංචාරක ප්‍රවර්ධනය පාරිසරික සංචාරක ව්‍යාපාරය වැනි විවිධ ක්ෂේත්‍රයන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රවර්ධන කටයුතු ද ලෝකය පුරා සිදු කිරීමටත් ඒ සඳහා විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩල සහය ලබා ගැනීමටත් තීරණය කර ඇත.