යාල ප්‍රථම භාරකරු බ්‍රේක්ගේ අව­සාන පුරුක වූ ලෝරා නික්ම යයි | Page 3 | සිළුමිණ

යාල ප්‍රථම භාරකරු බ්‍රේක්ගේ අව­සාන පුරුක වූ ලෝරා නික්ම යයි

ලෝරා මේරි
ලෝරා මේරි

ලෝරා මේරි එංගල් බ්‍රෙක් මෙණවිය පසුගිය 12 වැනිදා මෙලොවින් සදහටම සමු ගත්තාය. තිස්සමහාරාමය මහ­‍ෙසන්පුර ටිකිරිවැවගොඩාන ප්‍රදේශයේ කුඩා පැල්පතක හුදකලාව ජීවත් වූ ඇය ‍මිය යන විට 72 වැනි වියේ පසු වූවාය. ඈත ගමක අසරණව දිවි ගෙවූ ලෝරා මේරි එංගල් බ්‍රෙක්ගේ මරණය, සුවිශේෂි වන්නේ මන්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. ඇය සුවිශේෂි චරිතයක් වන්නේ එංගල් බ්‍රෙක් පරපුරේ අවසාන පුරුක ඇය වන නිසාය. ඇගේ මරණයත් සමඟ එංගල් බ්‍රෙක් පරම්පරාව ද මෙරට මිහිදන් වන නිසාය.

ප්‍රථමයෙන්ම එංගල් බ්‍රෙක් යනු කවුරුන්දැයි හඳුනාගැනීම වටී. බොහෝදෙනකු එංගල් බ්‍රෙක් නාමය නොදැන සිටියත් යාල වනෝද්‍යානයට පෙම් බැඳි අය අතර නම් එංගල් බ්‍රෙක් ජනප්‍රිය චරිතයකි.

හෙන්රි වෑන් එංගල් බ්‍රෙක්ගේ නිජභූමිය ලංකාව නම් නොවේ. ඔහු ලංකාවට පැමිණෙන්නේ සිරකරුවකු ලෙසිනි. ඔහු දකුණු අප්‍රිකාවේ බ්‍රෝහියර් ජාතියට අයත් එරට උපන් අයෙකි. 18 වැනි සියවසේ බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් බවට පත්වූ දකුණු අප්‍රිකාව, සුදු ජාතිකයන්ගෙන් බේරා ගැනීමේ අරමුණින් බ්‍රෝහියර්වරුන් කැරලි ගැසුවේ රණකාමී ජාතියක් ලෙස ප්‍රකට වී තිබුණු බ්‍රෝහියර්වරුන්ගේ ඉතිහාසයට සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරීමේ අරමුණෙන් විය යුතුය.

කෙසේ වුවද බ්‍රෝහියර් යුද්ධයෙන් ජය ගත්තේ බ්‍රිතාන්‍යයන්ය. කැරලි ගැසූ බ්‍රෝහියර්වරුන් විශාල පිරිසක් දකුණු අප්‍රිකාව තුළම සිරගත කෙරිණි. සටනට නායකත්වය දුන් අය ඉන්දියාවට සහ ලංකාවට පිටුවහල් කෙරිණි.

ලංකාවට රැගෙන ආ බ්‍රෝහියර් සිරකරුවන් දියතලාවේ රඳවා තැබුණු අතර මාර්ග අලුත්වැඩියා කටයුතු, දියතලාවේ හමුදා කඳවුර ඉදිකිරීමේ කටයුතුවලට ඔවුන්ව යොදවා ගනු ලැබීය. මේ අතරේදී බ්‍රෝහියර්වරු පිරිසක් මැලේරියාව වැනි වසංගතවලට ගොදුරු වී මිය ගියහ. තවත් සිරකරුවන් පිරිසක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට පක්ෂපාතීව, යටත්ව ජීවත් වන බවට දිවුරා පොරොන්දු කර ගැනීමෙන් අනතුරුව නැවතත් දකුණු අප්‍රිකාවට පිටත් කර යැවීය.

එහෙත් ‍හෙන්රි වෑන් එංගල් බ්‍රෙක් සුදු ජාතිකයන්ට යටත් නොවීම හේතුවෙන් තවදුරටත් ලංකාවේ ජීවත් වීමට සිදු විය. හම්බන්තොට ලුණු ලේවායේ ඔහුව සේවයේ යෙදවීමට බ්‍රිතාන්‍ය ජාතික පාලකයන් තීරණය කළේ සිරකරුවකු වූ ඔහුට දිය හැකි දැඩි දඬුවමක් වශයෙනි. බ්‍රිතාන්‍ය පාලකයන්ට එරෙහිව බැණ වදිමින් නිරුවතින් පාරේ ඇවිදින හෙන්රි වෑන් එංගල් බ්‍රෙක්ට ප්‍රදේශයේ ජනතාවගේ කිසිදු කැමැත්තක් තිබුණේ නැත. සිංහලයන්ගෙන් පමණක් නොව මැලේ, මුස්ලිම් ජාතිකයන්ගෙන් පවා ඔහුට විරුද්ධව පැමිණිලි ගලා එන්නට විය. එපමණක් නොව, හම්බන්තොට ජනතාව එංගල් බ්‍රෙක් සමඟ දිගින් දිගටම ගැටුම් ඇති කර ගත්හ.

හම්බන්තොට ඒජන්තවරයා හෙන්රි වෑන් එංගල් බ්‍රෙක්ගේ ගැටලුවට දිය යුතු විසඳුම ලබා දෙන ලෙස භාර කළේ උප ඒජන්තවරයාටය. එංගල් බ්‍රෙක් කැලෑවට පිටමං කළ යුතු බවට උප ඒජන්තවරයා තීරණය කළේය. මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීමට පැවරුණේ මුදලිඳු එච්.ඊ. අමරසේකරටය. ඒ අනුව 1907 වසරේදී එංගල් බ්‍රෙක් යාල වනයේ ප්‍රථම භාරකරු ලෙස පිටත් විය. එංගල්ට හම්බන්තොට වැසියන් කොතරම් වෛර කළේ ද කිවහොත් ඔහුට පිටත්වී යෑමට පෙර දිනයේ මහ අල්ලි ගම්බාර විසින් තෑගි කළ කරත්තයේ ගොන්බානේ බෙලි කපා නිවසෙහි දොර දෙපස ලේ පෙරෙන ඔළු දෙක තිබූ බවට ජනප්‍රවාදයේ පවතී. ඔහු සතුව තිබූ එකම වස්තුව අහිමි වීම හේතුවෙන් ඔහු දැඩි කම්පනයකින් යාල බලා පිටත් වී තිබේ.

‍ෙම් අතරවාරයේදී හෙන්රි වෑන් එංගල් බ්‍රෙක්ට පෙම් බැඳි එක් සිංහල තරුණියක් සිටියාය. තොසානා නම් වූ ඈ, පසුකලෙක එංගල් බ්‍රෙක්ගේ බිරිඳ ලෙස ජීවත් වී තිබේ. ඇය පිරිමි දරුවකු බිහි කළ අතර එංගල් බ්‍රෙක්ගේ එකම දරුවා වූයේ මෙම පුත්‍රයාය. පුතු හැරී එංගල් බ්‍රෙක් නම් විය.

මිනිසුන්ට වඩා වනයට පෙම් කළ හෙන්රි වෑන් එංගල් බ්‍රෙක්, යාල වනය විනාශ කිරීමට පැමිණෙන අයට කෲර දඬුවම් දීමට පසුබට වූයේ නැත. යාල වනයට හොර රහසේ ඇතුළුවන මැලේ ජාතිකයන් ලුහුබැඳ ගොස් අල්ලා ගස්බැඳ කටුඅතුවලින් තැලීමටත් අමුමස්වලට වැලි මිශ්‍රකර කැවීමටත් ඔහු දෙවරක් සිතුවේ නැත. සුද්දන් සමඟ අශීලාචාර ලෙස හැසිරුණු සුදු ජාතික කාන්තාවන්ට පවා ඔහු දැඩි දඬුවම් දී ඇත. ඒ, එම කාන්තාවන් ගස් බැඳ දිමි ගොටු දැමීමෙනි. වන සතුන් දඩයම් කිරීම විනෝදාංශයක් කර ගත් සුදු පාලකයන්ට එරෙහිව ඔහු තනිවම සටන් වැදුණේ වනසතුන්ට නිදහසේ ජීවත් විය යුතු වනබිමක් සකස් කිරීම තනිවම සිය කර මතට පටවා ගනිමිනි. සුදු පාලකයන් එංගල් බ්‍රෙක් සමඟ දැඩි තරහින් පසුවූයේ එමනිසාය. එංගල් බ්‍රෙක්ට විරුද්ධව අභූත චෝදනා නගමින් නඩු පටලවා ඔහුව සිරගත කළ අතර ඔහුට නොයෙක් වදහිංසාවලට ලක්වීමට ද සිදු විය. අවසානයේ යාල වනයේ භාරකරු ලෙස කළ රැකියාව පවා ඔහුට අහිමි විය. සුදු පාලකයන්ගේ බොරු චෝදනාවලින් ඔහු නිදහස් වුවද එම නිදහස භුක්ති විඳීමට ඔහු ජීවතුන් අතර සිටියේ නැත. ඒ, 1925 මාර්තු 25 වැනි දින තිස්සමහාරාම අකුරගොඩ දී ඔහු මිය ගිය බැවිනි. ඔහුගේ භූමදාන කටයුතු හම්බන්තොට පිහිටි විදේශිකයන්ගේ සොහොන්බිමේදී සිදු කළේ කවදත් ඔහුට ළෙන්ගතුව සිටි එංගල් බ්‍රෙක්ගේ එකම සිංහල මිතුරා වූ මහ අල්ලි ගම්බාර විසිනි.

පසුකලෙක එංගල් බ්‍රෙක්ගේ එකම පුතු වූ හැරී එංගල් බ්‍රෙක්ට වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරි තනතුර හිමි වූයේ එංගල් බ්‍රෙක්ට සිදු වූ අසාධාරණයට හිලව්වක් වශයෙන් විය හැකිය. ඔහු ඇසිලින් නෝනා නමැති ගමේ විසූ තරුණියක් සමඟ විවාහ විය. 1949 ජූලි මස 10 වැනි දින මෙම දෙපළට දියණියක් ලැබිණි. ඈ ලෝරා මේරි එංගල් බ්‍රෙක් නම් වූවාය. හම්බන්තොට පල්ලියේදී බිලිඳිය භෞතිස්ම කෙරිණි.

එහෙත් ලෝරා මේරි එංගල් බ්‍රෙක්ගේ මව ඈ කුඩා වියේදීම මිය ගියාය. ඇය පියා සමඟ මෙලොව තනි වූවාය. ඔවුන්ට ඥාතීන් හෝ සහෝදර සහෝදරියන් කිසිවකු සිටියේ නැත. හැරී එංගල් බ්‍රෙක්ට රැකියා ස්ථාන මාරුවීම් ලැබෙන විට ලෝරා මේරි දැරියට ද පියා සමඟ තැනින් තැනට යෑමට සිදු වූයේ එබැවිනි. එමනිසා ඇයට පාසල් අධ්‍යාපනයක් ලැබුණේ නැත. ලෝරා ‍ෙම්රි දියණිය උස් මහත් වී තරුණියක වන විට පියා රැකියාවට සමු දී දියණියගේ රැකවරණය සහ ආරක්ෂාව වෙනුවෙන් කැප විය. ඔවුන් දෙදෙනාගේ ජීවිත සරි කර ගනු ලැබුවේ තිස්සමහාරාමය ප්‍රදේශයේ ගොවි දරුවන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වා ලබා ගත් සොච්චම් මුදලිනි. හැරී එංගල් බ්‍රෙක් අන් දරුවන්ට ඉංග්‍රීසි කියා දුන්නද ඔහුගේ දියණියට ඉංග්‍රීසි කියා දී තිබුණේ නැත. එමනිසාම ඈ දන්නා එකම භාෂාව සිංහල පමණි. 1987 ජනවාරි 26 වැනි දින හැරී එංගල් බ්‍රෙක් උණ සහ බඩයෑමේ රෝගවලට ගොදුරු වී මරණයට පත් වීමත් සමඟ ලෝරා මේරි එංගල් බ්‍රෙක් කාත් කවුරුත් නොමැතිව අසරණ වූවාය.

විවාහ දිවියකට ඇතුළත් නොවූ ලෝරා මේරි එංගල් බ්‍රෙක් එංගල් බ්‍රෙක් පරම්පරාවේ අවසාන පුරුක විය. පියා ජීවත්ව සිටියදී ප්‍රදේශයේ ඉඩම් හිමියකු විසින් දුන් ඉඩමක අටවා ගත් පැලක ජීවත් වූ ලෝරාට ජීවත් වන තුරු වැටී සිටින්නට කුඩා නිවසක් තනා දුන්න් ඉඩම් හිමියකු විසිනි. ඇගේ ජීවනෝපාය වූයේ තිස්සමහාරාම වැව් කණ්ඩියේ රටකජු විකිණීමයි. යාල ජාතික වනෝද්‍යානයට යනෙන අය ඇගෙන් රටකජු මිලදී ගෙන ඇතිවාට සැක නැත. එහෙත් ඔවුන් රටකජු මිල දී ගන්නේ යාල වනයේ ප්‍රථම භාරකරුගේ මිනිබිරියගෙන් යැයි කිසිවකු සිතන්නේ නැත.

කතෝලික ආගමේ භක්තිවන්ත කාන්තාවක වූ ලෝරා මේරි හම්බන්තොට පිහිටි රෝමානු කතෝලික පල්ලියට නොවරදාවම ගියාය. එහෙත් පසුකලෙක ඇගේ එම ගමනට නැවතීමේ තිත තැබිමට සිදු වූයේ ඇගේ ඇසේ සුද මතුවී දෑස් නොපෙනුණු බැවිනි. සමෘද්ධි සහනාධාරය පමණක් හිමි වූ ඈ දිනෙන් දින දුර්වල වූයේ ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය සහ වෛද්‍ය ප්‍රතිකාර නොලැබිමෙනි. අසල්වාසින්ගේ ආධාර උපකාරවලින් ජීවත් වීමට සිදු වූ ලෝරා මේරි මෙනවිය, යාල වනෝද්‍යානයේ ප්‍රථම භාරකරු වූ සිය මුත්තණුවන් වෙනුවෙන් හෝ සිය පියා වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඇයට කිසිදු පිළිසරණක් නොලැබීම ගැන මැසිවිලි නැඟුවාය. අද වන විට යාල වනෝද්‍යානයේ සිටින්නේ 37වැනි භාරකරුවන මනෝජ් විද්‍යාරත්නය.

ගමේ කාගේත් ආදරයට පාත්‍ර වී සිටි ලෝරා මේරි එංගල් බ්‍රෙක් මෙනවිය කවුරුත් හැඳින්වූයේ “සුදු ආච්චි” යනුවෙනි. පසුගිය 12 වැනිදා සදහටම දෙනෙත් පියා ගත් සුදු ආච්චිගේ අවසන් කටයුතු හිටපු ග්‍රාම නිලධාරි ගාමිණී සිංගප්පුලි, වත්මන් ග්‍රාම නිලධාරී ශාන් නිම්රොද්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් සඳරුවන් යන අයගේ මූලිකත්වයෙන් සහ මහසෙන්පුර සමෘද්ධි සංගමයේ අනුග්‍රහයෙන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

 

Comments