රාමා - සීතා කතාවේ අලුත්ම දිග හැරුම | සිළුමිණ

රාමා - සීතා කතාවේ අලුත්ම දිග හැරුම

ඔහු ජපානයට යන්නේ තම ජීවිතය සොයන්නටය. ජිවිතය ගොඩනගන්නටය. එහිදී සැබවින්ම ඔහුට ජීවිතය හමුවූයේය. ඒ නිකන්ම්ම නොවේ. අභියෝග රාශියක්ද සමඟිනි. ජීවිතය සමඟ ඔහුට ආදරයද ජපානයේදී හිමි වන්නේය. ජීවිතය යනු අන් කිසිවක් නොව ආදරයම බව ඔහු වටහා ගන්නේය. ඒ ආදරය වෙනුවෙන් සටන් වදින්නට ඔහු පෙලඹෙන්නේ ජීවිතය යනු ආදරයම මිස අන් කිසිවක් නොවන බව වටහා ගත් නිසාවෙනි.

කසුන් රත්නායක සහ ජපාන ජාතික නෝරා ඔටාලා අතර පෙම් පුවත නොදන්නා කිසිවකු නැති තරම්ය. ඒ ප්‍රේමය වෙනුවෙන් ඔහුට තම පෙම්වතිය රැගෙන තම රට බලා රහසිගතව පැමිණෙන්නට සිත තිබූ නිසාය. ඇය වෙනුවෙන් සිරබත් කන්නට හිතේ හයිය තිබූ නිසාය. ඇයටද ඔහුට බැඳි පෙම වෙනුවෙන් පරිවාසයේ කඳුළු බොන්නට සිදුවූ නිසාය. ඒ කිනම් තත්ත්වයක් යටතේ වුවද සිතින් නොවෙනස්ව ඉන්නට තරම් පෙම් කළ නිසාය.

මේ සියල්ල මෙසේ වූයේ නෝරා ඔටාලා බාල වයස්කාරියක් වූ බැවිනි. ඇය කසුන්ටත්, කසුන් ඇයටත් කොතරම් පෙම් කළද, විවාහයට නිසි වයස සම්පූර්ණ නොවූ බැවින්, ඇයගේ මවගේ පැමිණිල්ල මත ඇයට සිදුවූයේ දරුවකුත් කුස දරා කසුන්ගෙන් වෙන්ව පරිවාසයට යන්නටය. කසුන්ට සිදුවූයේ බාල වයස්කාරියක අපයෝජන චෝදනා මත සිරබත් කන්නටය.

එහෙත් පසුගියදා මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මේ නව මස් ගැබිනි දැරිය පිළබඳ කාරුණිකව සිතමින් ඇය කසුන්ගේ ලොකු අම්මාගේ බාරයට පත් කිරීමට අවසර දුන්නාය. මේ සුන්දර කතන්දරය ඇරඹෙන්නේ 2016 වසරේ කසුන් රත්නායක නැමති මීගමුව කොච්චිකඩේ, දළුවකොටුවේ පදිංචි තරුණයා එම වසරේ ජූලි මාසයේදී ජපානයට පැමිණීමත් සමඟිනි. ඔහු ජපානයට යන්නේ රැකියා අවස්ථාවක් සොයමිනි. එහිදී මෑන් පවර් සේවකයකු ලෙස නෝරා ඔටාලාගේ මවගේ හිමිකාරිත්වයෙන් යුතු සමාගමක ඔහුට රැකියා අවස්ථාවක් ලැබෙන්නේය. ඒ කම්කරුවකු වශයෙනි. ජීවිතය දිනන්නට දැඩි අධිෂ්ඨානයෙන් සිටි කසුන් මහන්සි වී සේවය කරන්නේ ඉදිරි බලාපොරොත්තු රැසක්ද සහිතවය. ජපාන හාම්පුතුන්ගේ මානසිකත්වය ගැන අවබෝධයක් ඔහුට විය.

සිතූ පරිද්දෙන්ම තම සේව්‍යයාගේ හොඳ හිත දිනා ගැනීමට කසුන්ට හැකියාව ලැබෙන්නේය. කාර්යශූර මේ තරුණයා තම නිවසටම කැඳවාගෙන යෑමට ඔහුගේ ස්වාමිදුව වූ පනස් පස් වියැති ඩියෝලි ඔටාපි කටයුතු කළාය. කසුන්ට තම ජීවිතය හමු වන්නේ එම නිවසේදීය. සුන්දර නෝරා එම නිවසේ වූවාය. ඇය ඒ වන විට දා හතර හැවිරිදිය. පියා මියගොස්ය. ඇය තම නිවසට පැමිණි මේ සුන්දර තරුණයා සාදරයෙන් පිළිත්තාය.

කාලය ගත වන්නේ ඔවුන් පෙම්වතුන් කරමිනි. මෙයට නෝරාගේ මව විරෝධය පළ කරන්නේ ඇයගේ නව විවාහයේ සැමියාද කසුන් - නෝරා පෙම්පුවතට විරෝධය පළ කරන බැවිනි. ජපාන සංස්කෘතිය තුළ බොහෝ තරුණ තරුණියන් සතු වන්නේ විවෘත හැසිරීම්ය.

ඔවුන් තම කැමැත්ත පරිදි ජීවිතය ගත කරන්නේ මවු පියන් ඔවුන් පිළිබඳව දැඩි සංස්කෘතික නීති රීති ක්‍රියාත්මක නොකරන බැවිනි. ළාබාල වියේදී ජපාන තරුණ පිරිස් නිදහස් ලිංගික හැසිරීම් පවත්වති. ඒවා මත හෘදයාංගමව බැඳෙන අයද නැතැයි පැවසිය නොහැකි නමුත් බොහෝ දෙනා විවහයෙන් නොබැඳෙමින් නිදහස් ජිවිත ගත කරති. ඒ ජපානයයි. එහෙත් නෝරාට කසුන්ගෙ ආදරය පමණක් නොව ආරක්ෂාවද ඇවැසි වන්නේ මවගේ නව සැමියාගෙන් ඇයට පීඩා පැමිණෙන්නට වූ බැවිනි.

මවගේ නව සැමියා වූයේ කසුන්ම එම නිවසට හඳුන්වා දුන් ශ්‍රී ලාංකික තරුණයෙකි. වරක් නෝරා විඩියෝවක් නිකුත් කරමින් පවසා සිටියේ එම තරුණයාගෙන් තමන්ට අතවර සිදුවූ බවයි. අවසානයේ කසුන්ට සිදුවූයේ නෝරාගේ මවට රහසින් නෝරාගෙ ආරක්ෂාව වෙනුවෙන් ඇය ආරක්ෂිත තැනකට රැගෙන යෑමටය. ඒ ආරක්ෂිත ස්ථානය අන් කිසිවක් නොව තම මාතෘ භූමියයි. කසුන් බාල වයස්කාර නෝරා ද රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එසේය.

ප්‍රේමය කොතරම් වුවද නීතිය අවනත විය යුතුය. තම මියගිය පියාගේ අති විශාල දේපළක් නෝරා සන්තක වූයෙන් වාතාවරණය තවත් බැරෑරුම් විය.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව දාසයහැවිරිදි නෝරාට දෙමාපිය කැමැත්ත තිබුණද විවාපත් විය නොහැකිය. ජපානයේ සිටි මවගේ පැමිණිල්ල අනුව නෝරා පරිවාස ගත වූයේත්, කසුන් සිරගත වූයේත් ඒ අනුවය. ඒ පසුගිය දෙසැම්බර් මාසයේය. ඒ වන විටද නෝරා ගැබිනියකි.

නීතියට අනුව එසේ සිදුවුවද මේ යුවළ දෙස මානුෂිකව බැලූ බොහෝ දෙනාගෙ ප්‍රාර්ථනාව වූයේ ඔවුන්ගේ සිත් දුකට පත් නොකරන විසඳුමක් ඔවුන් වෙත ලැබේවා යන්නය. නීතිය අනුව නිසි වයස සපුරා නොතිබුණද ඇය ඒ වන විටත් ඔහුගේ දරුවා කුස දරා සිටියාය.

ඔහුගේ එකම ප්‍රාර්ථනාව වූයේ ඇය තම සන්තකයේ තබා ගැනීමය. එසේ නම් නීතිය විසින් ඔවුන් දෙපසට කරනු දැකීම කාගේ නම් හිත සුව පිණිස වීද?

මීගමුව මහේස්ත්‍රාත් ටී.එන්.එල් මහවත්ත මේ සියලු කරුණු සලකා බලමින් සැමගේ සිත් සතුටු කරවන තීන්දුවක් පසුගියදා ලබා දුන්නාය. ඒ නෝරා කසුන්ගේ මවගේ වැඩිමහල් සොහොයුරිය වෙත පවරමිනි. ඒ රුපියල් ලක්ෂ පහළොවක බැඳුම්කරයක් යටතේය. මේ ගැබිනි තරුණිය පරිවාස බාරයේ සිටියද ඇයට අවශ්‍ය පහසුකම් කිසිවකුගෙන් එහිදී නොලැබෙන බව උසාවිය හමුවේ ප්‍රකාශ විය. එමෙන්ම නෝරාගේ මව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වත්සලා උළුවඩුගේ උසාවිය හමුවේ ප්‍රකාශ කර සිටියේ නෝරාගෙ මව තම දියණිය පැහැරගෙන ඒම පිළිබඳව මුලදී පැමිණිලි කළද දැන් ඇයගේ සිතිවිලිද වෙනස් වී ඇති බවයි. ඒ අනුව මේ වන විට නෝරාගේ මවගේ ආශිර්වාදයද කසුන් - නෝරා යුවළට ලැබී ඇති අතර දරු ප්‍රසූතියෙන් පසු තම දියණිය ජපාන තානාපති කාර්යාලයේදී කසුන්ට විවාහ කර දීමට නෝරාගෙ මව තීරණය කර ඇති බවද උසාවිය හමුවේ ප්‍රකාශ විය.

එම පුවත ඇසීමෙන් ප්‍රිතියට පත් වූයේ කසුන් සහ නෝරා පමණක් නොවන බව මෙහිලා සටහන් කළ යුතුමය. ප්‍රේමය අගයන, සියලු දෙනා එම පුවත ඇසීමෙන් ප්‍රීතයට පත් වූහ. ප්‍රේමය නම් එක් කිරීමට මිස වෙන් කිරීමට නොවේමය. ඒ අනුව නෝරා කසුන්ගේ ලොකු අම්මාගේ ආරක්ෂාව යටතට පත් කෙරෙණු ඇත. ඉදිරියේදී දරු ප්‍රසූතියෙන් පසු දෙමාපියන් වන කසුන් - නෝරා නීතියෙන් අඹුසැමියන් බවටද පත් වනු ඇත.

ඉතා කාර්ය බහුල අවස්ථාවක අප සමඟ අදහස් දැක්වූ කසුන් සරලව පවසා සිටියේ ‘සටන දිනුවා’ යනුවෙනි. අපි එතැනින් එහා කිසිවක් ඔහුගෙන් විමසමින් ඔහු පීඩාවට පත් කිරීමට අදහස් නොකළෙමු.

එහෙත් නොඅඩුව ඔවුන් සමඟ ප්‍රීති වන්නෙමු. අප පමණක් නොව මුළු ලංකාවම ඔවුන් සමඟ ප්‍රීති වනු ඇත්තේ ප්‍රේමය යනු වෙන් කිරීමට නොව එක් කිරීම වෙනුවෙන්ම වන බැවිනි.

Comments