
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ පසුගිය සතියේ පොලිස් පරීක්ෂකවරයකුට අපූරු දැනුම් දීමක් කළේය. ඒ, සංක්‍රාන්ති ලිංගිකයන් සමාජයේ වැරදිකරුවන් කොටසක් ලෙස හැඳින්වීමක් නොකරන ලෙස ය. මහේස්ත්‍රාත්වරයා එලෙස දැනුම් දුන්නේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොල්ලුපිටියේ නිවාස සංකීර්ණයක් තුළ කාමරයක නිදා සිටියේ යැයි කියන සිද්ධියකට අදාළව සංක්‍රාන්ති ලිංගිකයන් කීපදෙනෙකුට එරෙහිව පැවරූ නඩුවක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු සංක්‍රාන්ති ලිංගිකයන් පිරිමි වෙස් ගත් කාන්තාවන් ලෙස හැඳින්වූ අවස්ථාවේදීය. සෑම කෙනකුටම ගරුත්වයක් තිබිය යුතු බව පැවසූ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ, ගැහැනු වෙස්ගත් පිරිමින් හෝ පිරිමි වෙස්ගත් ගැහැනුන් කියා කොටසක් නැති බව ද සඳහන් කළේ ය.
“1966 දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුතියකට අත්සන් කර තිබෙනවා ජාතිය, ආගම, කුලය හා ලිංගභේදය අනුව වෙනසක් නොකරන බවට. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ 12 වැනි වගන්තියේ නීතිය ඉදිරියේ හැමදෙනා එක සමානයි, නීතියේ ආරක්ෂාව හා නීතියේ රැකවරණය හැමෝටම එක සමානව සැලසිය යුතුයි, වර්ගීකරණය කරන්න බැහැ කියලා සඳහන් වී තිබෙනවා. මේ අනුව සංක්‍රාන්ති ලිංගිකයන් කියලා කිසිම වෙනසක් කරන්න බැහැ. ඒ අයටත් ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට සලකන ආකාරයට සැලකිය යුතු වෙනවා. 2014 දී මානව හිමිකම් කොමිසම මඟින් මේ අයට ලියුමක් නිකුත් කළා. ඒ ලියුම පොලිසියට පෙන්නපුවාම පොලිසියෙන් ඒ අයව අත්අඩංගුවට ගන්නේ නැහැ. හිටපු පොලිස්පති එන්. ඉලංගකෝන් චක්‍රලේඛයක් මඟින් සංක්‍රාන්ති ලිංගිකයන් රැකගන්න කටයුතු කළා. ඒත් පොලිස් නිලධාරීන්ට තියෙන ප්‍රශ්නය තමයි මේ අය ලොකු වංචාවක් කරලා වෙස් වළාගෙන ඉන්නවාද, ලිංගික ශ්‍රමය විකුණනවාද වගේ දේවල්. ඉදිරියේදී අලුතින් ව්‍යවස්ථාවක් හදනවා නම් ස්ත්‍රී පුරුෂයන් එක්කම සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයන් ගැන ඇතුළත් කරනවා නම් හොඳයි. අපේ රටේ ව්‍යවස්ථාවේ හැමදෙනාටම එක සමානව සැලකිය යුතු බව සඳහන් වුණත් සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයන් යන වචනය ඇතුළත් කර නැහැ. ලෝකයේ බොහෝ රටවල්වල මේ අයවත් ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙනවා” යනුවෙන් සඳහන් කළේ නීතිඥ හා කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති, මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවාය.
සංක්‍රාන්ති ලිංගිකයන් හෙවත් සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයන් යනු කවුරුන්දැයි ප්‍රථමයෙන් හඳුනා ගැනීම වටී. පිරිමි කායික ශරීරයකට ගැහැනු මානසික ගතිගුණ හිමිවීම හෝ ගැහැනු කායික ශරීරයකට පිරිමි මානසික ගතිගුණ හිමිවීම සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයන්ගේ ලක්ෂණයයි. ඔවුන් ශාරීරික වශයෙන් කිසිදු විපර්යාසයකට භාජනය වී නැති අතර මෙය සිදුවන්නේ චර්යාත්මක රටාවේ වෙනස්වීම් හේතුවෙනි.
“මම මෙය සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්. වැඩි වශයෙන් දකුණු අතින් අකුරු ලියන අය හිටියාට වම් අතින් අකුරු ලියන අයත් මේ සමාජයේ ඉන්නවානේ. ඒ වගේ තමයි මේ පිරිසත්. වැඩි වශයෙන් ස්ත්‍රීන් සහ පුරුෂයන් යනුවෙන් වර්ගීකරණය කරලා තිබුණාට සංක්‍රාන්ති ලිංගිකයනුත් ඉන්නවා. සාමාන්‍යයෙන් උපත් 11,000 කට 1 ක් සංක්‍රාන්ති ලිංගිකයකු විය හැකියි. මෙය ජීව විද්‍යාත්මක හෝ ජානමය හේතුවක් නිසා ඇති වෙන්නේ නැහැ. සමාජයේ හැසිරීම, කතාබහ වැනි මානසික ගතිගුණවලින් තමයි වෙනස ඇතිවෙන්නේ. අපි හිතමු කායිකව ගැහැනු කෙනෙක් හිටියාට එයාගේ ශරීරය ඇතුළේ මානසිකව ඉන්නේ පිරිමි කෙනෙක්. ඒ නිසා එයා පිරිමි වගේ කොණ්ඩය කොටට කපනවා, පිරිමින්ගේ ඇඳුම් අඳිනවා. පිරිමින් වගේ බර වැඩ කරනවා. සමහරවිට කායිකව පිරිමි කෙනකු හිටියාට ඒකෙනා ඇතුළේ මානසිකව ජීවත්වෙන්නේ ගැහැනු කෙනෙක්. මේ වෙනස්කම නිසා ඒ අය මානසිකව දුක් විඳිනවා. අසහනයට පත් වෙනවා. ඒ නිසාම ඒ අය මානසික විශාදය වැනි රෝගවලට ගොදුරු වෙනවා. සමහරු සිය දිවි හානි කර ගන්නවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැන් අවුරුදු 15 ක පමණ සිට ඒ අය වෙනුවෙන් වෙනම සායනික ප්‍රතිකාර මනෝ උපදේශන සේවා පැවැත්වෙනවා. මීට අවුරුදු 4 කට පෙර එයට නෛතික මුහුණුවරක් දුන්නා. ඒ අයට කැමැති ආකාරයට ජීවත්වීමට නිදහස තිබිය යුතුයි. ඒ අය කැමැති නම් අපි අවශ්‍ය ප්‍රතිකාර දෙනවා.” යනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ විස්තර කළේය.
ඔහු පෙන්වා දෙන්නේ සංක්‍රාන්ති ලිංගිකයන් මෙන් ම සම ලිංගික (සමරිසි) සම්බන්ධතා පවත්වන අය ද ද්විලිංගික (උභය රිසි) සම්බන්ධතා පවත්වන අය ද පුරාණයේ පටන් ජීවත්වූ බවය. රෝම ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළ ද මෙවැනි පුද්ගලයන් ගැන විස්තර කර ඇත. ලංකා ඉතිහාසය පිරික්සා බැලීමේදී නිශ්ශංකමල්ල රජු, නරේන්ද්‍රසිංහ රජු, දස්කොන් වැනි චරිත සමලිංගික චරිතවලට නිදසුන් කීපයකි. අතීතයේදී බිසෝවරුන් හා කුමාරිකාවන්ගේ ආරක්ෂාවට පිරිමි සිරුර තුළ ගැහැනු මානසික ගතිගුණ හිමි වූ අයව යොදවා තිබේ. මෙවැනි අය එදා සමාජයේ සමච්චලයට, හිංසනයට ලක්වූයේ නැත. එහෙත් බටහිර සංස්කෘතියත් සමඟ ස්ත්‍රී හා පුරුෂ වශයෙන් ලියාපදිංචි කෙරුණු අතර ඊට සමගාමීව සංක්‍රාන්ති ලිංගිකයන්ගේ ලිංගික අනන්‍යතාව හේතුවෙන් හාස්‍යයට ලක් විය.
“යුදෙව් ක්‍රිස්තියානි දහම ව්‍යාප්ත වීමත් සමඟ ඒ ආගමෙන් සමලිංගික සම්බන්ධතා තහනම් වුණා. ඊට පස්සේ සමාජය ඒ අය දිහෑ වපර ඇහින් බලන්න පටන් ගත්තා. ඒත් පුද්ගලයන්ගේ ලිංගික වර්ධනයේදී ඒ අය ලිංගිකව ආකර්ෂණය වන ආකාරය වෙනස් වෙනවා. ලිංගික විවිධත්වය කියන දේ ලොකු පරාසයක් තුළ තිබෙන දෙයක්. සමහර පිරිමින් ලිංගිකව ආකර්ෂණය වෙන්නේ පිරිමින්ට. සමහර කාන්තාවන් ලිංගිකව ආකර්ෂණය වෙන්නේ කාන්තාවන්ට. ඒ නිසයි ඒ අයට සමරිසි කියන්නේ. LGBTIQ (Lesbian, Gay, Bisexual, Transgender, Intersex, Questioning) ප්‍රජාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙනුත් පිළිගෙන තිබෙන්නේ මේ ප්‍රජාව සමාජයේ අසාධාරණයට ලක්වන, සමච්චලයට ලක්වන පිරිසක් වන නිසා.” යනුවෙන් පැවසුවේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ ය.
ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේ එක් දිනයක් LGBTIQ ප්‍රජාව ගැන සාකච්ඡා කිරීමට වෙන්කර තිබෙන්නේ එම නිසා ය. 2014 ඔක්තෝබර් 7 හා 8 දෙදින ජිනීවා මහ කොමසාරිස් කාර්යාලයේදී ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් බිම්බා තිලකරත්න පැවසුවේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ 12.1 වගන්තියෙන් ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ අනන්‍යතාව සඳහා සමානාත්මතාව සහතික කරන බව සහ 12.2 වගන්තිය යටතේ ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ අනන්‍යතාව පදනම් කරගෙන වෙනස්කොට සැලකීමකින් නීතිය ක්‍රියාත්මක කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් ය. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 හා 366 (අ) වගන්ති කිසියම් කණ්ඩායමක් ඉලක්ක නොකරන අතර මහජන සදාචාරය ආරක්ෂා කිරීම සඳහා එය පවතින බවත් ඈ සඳහන් කළාය.
එහෙත් 12.2 වගන්තිය යොමු වී ඇත්තේ ලිංගිකත්වයට මිස ලිංගික දිශානතියට හෝ ස්ත්‍රී පුරුෂභාවය සම්බන්ධයෙන් නොවන අතර ලිංගිකත්වය යන වචනයට ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂභාවය ඇතුළත් බව අධිකරණය අදහස් කරන්නේ ද යන්න පැහැදිලි නැතැයි මානව හිමිකම් නීතිවේදීන් විසින් පෙන්වා දී ඇත. 2017 නොවැම්බර් 23 වැනි දින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ විසින් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ අවශ්‍ය වෙනස්කම් සිදුකර සමලිංගිකත්වය අපරාධයක් ලෙස සැලකීම අවසන් කරන බවට ප්‍රතිඥා දී තිබේ.
නමුදු හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සහ ඊක්වල් ග්‍රවුන්ඩ් Equal Ground) යන සංවිධාන මෑතකදී ඒකාබද්ධ වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශකර ඇත්තේ ලංකාවේ පසුගිය වසර කිහිපය තුළ (2017 න් පසු) සමලිංගික හැසිරීම් පිළිබඳ සාක්ෂි ලබා ගැනීම සඳහා පුද්ගලයන් ගණනාවක් බලහත්කාරයෙන් ශාරීරික පරීක්ෂාවන්ට ලක්කර ඇති බව ය. වෛද්‍ය ආචාර ධර්ම මෙන් ම මූලික අයිතිවාසිකම් ද උල්ලංඝනය කරන මෙම පරීක්ෂණ ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යාංශය විසින් වහාම තහනම් කළ යුතු බවත් පිරිමි සමලිංගික හැසිරීම් සම්බන්ධයෙන් පසුගිය මාස 12 ඇතුළත අවම වශයෙන් 6 දෙනකුට එරෙහිව පොලිසිය නඩු පවරා ඇති බවත් මෙම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දෙයි. ලිංගික හිංසනයන්ට ලක් කරමින් සිදුකරන මෙවැනි කෲර බලපෑම් වහාම නතර කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සිය නීති සංශෝධනය කළ යුතු බව මෙම සංවිධාන අවධාරණය කරයි.
මේ වනවිට සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයන්ගේ ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කර ගැනීම සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කළ අංක 06/ 2016 චක්‍රලේඛය අනුව ඔවුන්ට උප්පැන්න සහතික වෙනස්කර ගැනීමට හැකිවී තිබේ.
සමරිසි අයිතිවාසිකම් උදෙසා ලංකාවේ පළමු වරට සංවිධානගත වූයේ 1996 දී ෂර්මන් ඩී. රෝස්ගේ මූලිකත්වයෙනි. එය ‘ගමන් මගේ සහකරුවෝ’ ලෙස නම් කරනු ලැබිණි. 1998 දී ‘ගමන’ යනුවෙන් සඟරාවක් ආරම්භ කළේ ගමන් මගේ සහකරුවෝ සංවිධානයෙනි. ඉන්පසුව ‘සංවේදිනි’ සඟරාව පළ කෙරුණේ සමරිසි කාන්තාවන් වෙනුවෙනි. එහෙත් 1999 දී ආරම්භ වූ කාන්තා සහයෝගිතා කණ්ඩායමත් 1996 දී ඇරඹුණු ගමන් මගේ සහකරුවෝ සංවිධානයත් පිළිවෙළින් 2014 දී සහ 2011 දී වැසී ගියේය. එහෙත් මීට වසර තුනකට පෙර ශ්‍රී ලංකා ජාතික සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයන්ගේ ජාලය ආරම්භ වූයේ සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයන්ගේ හිමිකම් වෙනුවෙනි.
“සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයන්ට ප්‍රශ්න තිබෙනවා. රැකියාවලට බඳවා ගැනීමේ ගැටලු තිබෙනවා. උසස් අධ්‍යාපනය ලැබීමේදී අවස්ථා නොලැබීම් තිබෙනවා. සමාජයේ පිළිගැනීමක් නැහැ. රෑ පාරේ හිටගෙන හිටියොත් ලිංගික ශ්‍රමිකයෙක් කියලා අල්ලාගෙන යනවා. නීතිය ක්‍රියාත්මක කරන්නේ පුද්ගලික අනන්‍යතාව මත. ඒ වගේ පසුබිමක කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ කළ ප්‍රකාශයට මම ගෞරව කරනවා. නීතිය ක්‍රියාත්මක වන තැනක මේ විදිහේ ප්‍රකාශයක් කිරීම ගැන මම අවංකව සතුටු වෙනවා. පුද්ගලයාගේ අනන්‍යතාවය නොවෙයි වැදගත් වන්නේ. පුද්ගලයා වරදක් කළා ද නැති ද කියන කාරණාව විතරයි. බාහිර රූපය මත තීන්දු ගැනීම වැරදියි.” යනුවෙන් සඳහන් කළේ ශ්‍රී ලංකා ජාතික සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයන්ගේ ජාලයේ විධායක අධ්‍යක්ෂිකා භූමි හරේන්ද්‍රන් ය.
දණ්ඩ නීති සංග්‍රහය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයන්ට නෛතිකව ආරක්ෂාව සහ රැකවරණය සැලසිය යුතු බව සැබෑවකි. එහෙත් සමාජයේ ආකල්ප වෙනස් නොවන තාක්, ඔවුන්ගේ නිදහස සහ අයිතිවාසිකම් ද ඔවුන්ට හිමිවන සමාජ පිළිගැනීම ද දිනා ගැනීම ලෙහෙසි පහසු නැත.