සීනි බද්ද ගැන සිළුමිණෙන් ප්‍රශ්න පහක් | Page 3 | සිළුමිණ

සීනි බද්ද ගැන සිළුමිණෙන් ප්‍රශ්න පහක්

මේ වන විට බොහෝ දෙනාගේ සමාජ කතිකාව බවට පත්ව ඇත්තේ සීනි බද්ද පිළිබඳවයි. පර්ලිමේන්තුවේ මුදල්කාරක සභාව කැඳවූ අවස්ථාවේ මහත් ආන්දෝලනයක් සීනිබද්ද සම්බන්ධයෙන් ඇති වී තිබිණි. ඇතිවී තිබිණි. ආණ්ඩුව විසින් බදු සංශෝධන කිරීමෙන් අනතුරුව සීනි ආනයනකරුවන් විසින් සීනි ආනයනයේදි අයුතු ලාභ ලබා ඇති බවට විපක්ෂයෙන් චෝදනා නඟන්නට විය මෙයින් රුපියල් බිලියන 15.9ක් බදු ආදායමක් රජයට අහිමි වී ඇති බව ඒ අයගේ චෝදනාවයි.

 

නව රජයේ ප්‍රතිපත්ති අනුව බදු අඩුකිරීම සාමාන්‍ය සංසිද්ධියකි. මුදල් අමාත්‍යාංශය විසින් 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව 2020 /10/14 වන දිනෙන් ආරම්භ වන මාස 3ක් දක්වා කාලසීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ ගැසට් පත්‍රයක් මඟින් සීනි ඇතුළු භාණ්ඩ 28ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරිම අනුව සීනි කිලෝවකට ශත 25ක් දක්වා අඩු කෙරිණි. අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන විට මෙරටට ආනයනය කරනු ලබන සීනි කිලෝවක් සඳහා රුපියල් 50 ක වෙළඳ භාණ්ඩ බද්දක් අය කරන ලදී. එසේම එම අදාළ දිනට මෙරට සීනි මිල ආසන්න වශයෙන් රුපියල් 135 ලෙස සටහන් විය. එසේ නම් සීනි නැමති වෙළඳ භාණ්ඩය මත පනවා තිබූ බද්ද රුපියල් 49.75 කින් අඩුවූයේ නම් 135 ට වඩා රුපියල් 49.75 ක මුදලක් අඩුවෙන් පාරිභෝගිකයාට සීනි මිලදී ගැනීමට ඉඩ තිබිය යුතු බවත් එසේ නොවීමෙන් මහපරිමාණ වංචාවක් සිදු කර ඇති බවට චෝදනා එල්ල විය.

මෙය විග්‍රහාත්මකව ගත්විට 2020 මැයි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ 26 ක් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩිකරන ලදී. දේශීය නිෂ්පාදකයා සවිමත් කිරීම එහි අරමුණයි. ඒ අනුව දේශීය නිෂ්පාදකයාට විශේෂිත ස්ථානයක් ලැබුණු අතර, දේශීය නිෂ්පාදනයද වැඩි විය. සීනි මෙරට වරාය දක්වා ගෙන ඒමට කොපමණ මුදලක් වැයවීද යන්න විමසා බැලිය යුතුය. එසේම කොවිඩ් 19 වසංගතය අනුව සීනි හැකි තරම් ගබඩාකර ගැනීමේ අවශ්‍යතාවක් පැන නැඟිණි. ලොකයේ විවිධ රටවලින් සීනි මිලදී ගැනීමට ඇණවුම් ලැබීම නිසා සීනි මිලද වේගයෙන් එවකට ඉහළ යාමට පටන් ගෙන තිබුණි.

ඒ අනුව සීනි ආනයනකරුවන්ට උපරිම සහන ලබාදිය යුතු තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. විපක්ෂය නගන පදනම් විරහිත සහ දේශපාලන අර්ථයෙන් පමණක් ඉදිරිපත් කරන සටන් පාඨ ප්‍රලාප චෝදනා බව ඉතා පැහැදිලිය. රජය විසින් අගය එකතු කරනු ලබන බද්ද :15% සිට බද්ද 8% දක්වා අඩු කිරීම මඟින් රජයේ බදු ආදයම බිලියන 250කට ආසන්නව පහළ දැමීම නිසා ජනතාවට ලබා දුන් සහනයද යම් දිනෙක වංචාවක් ලෙස අර්ථ දැක්වීම සිදුවිය හැකි බවත් මෙවැනි චෝදනා ආර්ථික විද්‍යාව පිළිබඳ අල්ප අවබෝධයක් හෝ ඇති පිරිසක් විසින් නොපවසනු ඇති බව ඇතැමුන්ගේ අදහස විය.

 

 

 

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

1.ඕනෑම බදු අඩු කිරීමකදී ඒ අඩු කරන ප්‍රමාණය අනුව රජයේ බදු ආදායම අඩු වෙනවා. පසුගිය රජය සමයේ උසුලා ගත නොහැකි තරම් බදු දඩයමක් සිදුවුණා. ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරයා වූ වහාම සියයට පහළොවක්ව තිබූ වැට් බද්ද සියයට අටට අඩු කළා. එයින් කෝටි ගණනක් රජයට ලැබෙන ආදායමෙන් අඩුවී තිබෙනවා. එමෙන්ම රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් උපයන විට ගෙවීමේ බද්දක් ඉවත් කළා. ඒ බද්දෙන් ලැබුණ ආදායම් සතයක්වත් රජයට දැන් ලැබෙන්නේ නැහැ. සියයට දෙකක්ව තිබූ ජාතිය ගොඩනැඟීමේ බද්දත් ඉවත් කළා. ඕනෑම බද්දක් අඩු කළාම ඒ ආදායම රජයට ලැබෙන්නේ නැහැ. සීනි බද්ද සම්බන්ධයෙන් කිසිම වංචාවක් සිදුවී නැහැ. සීනි විතරක් අල්ල ගත්තට ලූනු, ටින් මාළු සහ පරිප්පු යන භාණ්ඩ හතරේම බදු අඩු කළා. බදු අඩු කර මහජනයාට එවැනි සහන සැලැසුවාම රජයට අලාභයක් එනවා.

2. ජනතාවට එහි ලාභය ලැබුණා. එසේ නැත්තම් මේ වනවිට සීනි කිලෝවක් රුපියල් 145ට විකුණන්න සිදු වෙනවා. සතොස සීනි රුපියල් 99ට විකුණනවා. පෙබරවාරියේ අපි සතොසින් රුපියල් අසූපහකට සීනි කිලෝවක් විකුණුවා. එයින් පාරිභෝගිකයාට වාසියක් ලැබුණේ නෑ කියන්න බැහැ.

3. හඬ නඟන්න තරම් වරදක් මෙතැන වෙලා නැහැනේ. වංචාව කරන ලද පාර්ශ්වයන් උසාවිය විසින් තීන්දු කරලා ඉතාම ඉක්මන් අත්අඩංගුවට අරගෙන ඉතාම ඉක්මනින් දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන එකයි කළ යුතු වන්නේ. ඒ සඳහා අපේ ආණ්ඩුව යටතේ කවුරුත් අධිකරණවලට බලපෑම් කරන්නේ නැහැ.

4.ඕනෑම ආණ්ඩුවක් සමයේදී අල, ලූනු, සීනි, මිරිස්, පරිප්පු, සීනි ගෙන්වන්නේ එකම පිරිසක්. ආණ්ඩුව වෙනස් වුණාට ගෙන්වන ව්‍යාපාරිකයන් වෙනස් වන්නේ නැහැ. ජාවාරම්කරුවන් නම් කොයි ආණ්ඩු කාලයෙත් ඒ අය ජාවාරම්කරුවන්. ගිය ආණ්ඩුව කාලයේ ලෝකයේ සුප්‍රසිද්ධ හොඳම මුදල් ඇමැතිවරයා එකවරම සතවිසිපහට සීනි බද්ද අඩු කරලා ආනයනකරුවන්ට ඇති තරම් රැස්කරන්න දුන්නා. නැවත රුපියල් හතළිහට වැඩි කළා. එවැනි අවස්ථාවලදි නම් වංචාවක් සිදු වෙනවා. ඒ ගැසට් නිකුත් කිරීමේ ක්‍රියා පිළිවෙතට විරුද්ධව මම සුප්‍රිම් උසාවියේ නඩුවක් පනවා තිබෙනවා.

5.වගකිවයුතු හිටපු කැබිනට් ඇමැතිවරයකු වන රාජිත සේනාරත්න කිඹුලන්ට කන්න මිනී දාපු හැටි කිව්වා. එහි දෙවැනි ජවනිකාව තමයි මේ. බැඳුම්කර වංචාවට වඩා විශාල වංචාවක් මෙහිදී සිදුවී තිබෙනවා යැයි කියනවා. බැඳුම්කර වංචාව කියලා කියන්නේ මොකක්ද? ඒ ගැන කරුණු සෙවූ ආර්ථික විශේෂඥයන් සඳහන් කරන්නේ ඒ වංචාවේ ආවස්ථික අලාභය බිලියන 2000ක් පමණ වන බවයි.

 

ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති

1.පාඩුවක් සිදුවී තිබෙන බව මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවෙන් පිළිගෙන තිබෙනවා. මුදල් රජය රුපියල් 50ට තිබුණු බද්ද සත 25 දක්වා අඩු කළේ එහි වාසිය ජනතාවට ලබා දෙන්න, එහෙමත් නැතිනම් රජය බද්දෙන් එම වාසිය ලබාගන්න. එය ජනතාවට ලැබිලත් නැතිනම් එහි ප්‍රතිලාභය කාටද ගියේ. කාටහරි ගිහින් තියෙන්න ඕනනේ. රජය පවසන ආකාරයට ඔවුන් එම වාසිය අතහැර ගත්තා කියලා කියන්නේ එසේ නම් මේ වාසිය කාටද ගියේ? රජයට ගියා කියලා කියන්න බැහැ, අද වෙනකම් අපි රුපියල් අසුපහට සීනි කාලා නැහැනේ කවුරුත්. ඒ නිසා ජනතාවට ලැබිලත් නැහැ; රජයට ගිහිල්ලත් නැහැ. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව පිළිගන්නවා කෝටි 1595 ක් මේ කාලය තුළ පාඩුවී තිබෙන බව. එය පාඩුවක්ද ? අවාසියක්ද? අත්හැර ගැනීමක්ද? මොකක් වුණත් රජයට ලැබිය යුතු වාසිය රජයට ලැබිලත් නැහැ. ජනතාවට ලැබෙන්නට තිබූ සහනය ඔවුන්ටත් නැතිවී තිබෙනවා. මම දැක්කා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා කියලා තියෙනවා සීනි මේ මිලට නොතිබුණා නම් රුපියල් 175 දක්වා ඉහළ යනවා කියලා. එහෙම වෙන්න විදිහක් නැහැ. 175 ක මිලකට යනවා නම් කිලෝවකට 100% ක් බදු ගහලා තියෙන්න ඕනේ. එහෙම නම් ලෝක වෙළෙඳපොළෙන් සීනි අපි ලංකාවට ගෙනල්ලා තියෙන්න ඕනේ රුපියල් සීයටවත්. නමුත් එහෙම ගෙනාවේ නැහැ. කිසිම කෙනෙක් සීනි කිලෝ එක රුපියල් සීයකට ගෙනත් නැහැ.

2.ඔය කියන වාසිය අනිවාර්යෙන්ම ලැබුණේ සීනි ගෙන්වන අතරමැදියන්ටයි. ඔය කියන කාලය තුළ සීනි මෙට්‍රික් ටොන් 320000 ක් ලංකාවට ආනයනය කර තිබෙනවා. එයින් 125 000 ක්ම ආනයනය කර තිබෙන්නේ එක්තරා පෞද්ගලික ආයතනයක් . වැඩිපුරම සීනි ආනයනය කරන කෙනාට තමා වැඩිපුරම වාසිය ලැබෙන්නේ. ලංකාවේ ජනතාව සීනි නැහැ කියලා උද්ඝෝෂණය කළේ නැහැනේ, ඒ වගේම රටේ සීනි හිඟයක් තියෙනවා කියලා ප්‍රශ්නයක් ආවෙත් නැහැ. මේ ව්‍යාපාරිකයන් මෙට්‍රික් ටොන් 10 000 ක් පමණ සීනි ගෙනත් තියාගෙන ඉඳලා තියෙනවා, ඒවා නිදහස් කරගත්තේ සත 25 බද්දෙට.

 

3.එය ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. ඒ ගැන අපෙන් අහලා වැඩක් නැහැ. මේ බද්ද අඩු කරන වෙලාවේ එය කළේ ජනතාවට සහනය ලබා දීමේ අරමුණින් නම්, ජනතාවට ඒ සහනය ලැබුණේ නැති බව දැන් ඇස්පනා පිටම අපිට පෙනෙන්න තිබෙනවානේ. සතොසට කරන්න තිබුණේ සීනි ආනයනය කරලා ජනතාවට ලබා දෙන්නයි. එහෙම කරන්න බැරි ඒකාධිකාරයක් තිබුණා නම්, ඒ අධිකාරිය කඩන්න තමයි සතොස කියන ආයතනය තිබෙන්නේ. සතොසත් සීනි අරන් තියෙන්නේ ඒ මුදලාලිලාගෙන් රුපියල් 120ට. එහෙම වැඩි මිලට අරන් ඒවා සතොසට විකුණන්නේ වුණේ රුපියල් 85 ට; ඒ පාඩුවත් රජයට තිබෙනවා. ව්‍යාපාරිකයන්ගෙන් වැඩි මිලට අරගෙන උපරිම මිල යටතේ අඩු ගාණකට පාරිභෝගිකයන්ට විකිණීමට සිදු වුණා සතොසට. මෙයින් පසුවයි උපරිම මිල කියන ඒක අයින් කරන්න සිදු වුණේ.

 

4.දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ කෝටි එක්දහස් පන්සිය අනුපහක් කියලා කියන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරුන් මිසක් මම නෙමෙයි. සතොසින් වැඩි මිලට අරන් අඩු ගාණට විකුණපු පාඩුව හැර ගනුදෙනු කාල සීමාවේ වෙච්ච පාඩුව ලෙස ගණන් හදලා තියෙන්නේ ඉහත මුදලයි. මෙහි වාසිය ගිහින් තියෙන්නේ සීනි ගෙන්වන ලද ව්‍යාපාරිකයන්ටයි.

 

5.මේවා සත්‍යයක් කියලා දැනගෙන තමා අනුර දිසානායක සහෝදරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. ඔහු මෙය පාර්ලිමේන්තුවේදී මතු නොකළා නම් මේ ගැන මේ විදිහේ සංවාදයක් හෝ පරීක්ෂණ පැවැත් වෙන්නෙත් නැහැ. මේ තත්ත්වයට හෝ පරීක්ෂණ කරගන්න ලැබුණේ ඔහු එය පාර්ලිමේන්තුවේදී මතු කළ නිසයි. මට තියන ගැටලුව තමයි මෙහෙම හෙළිකරන්න ඕනෙමද බදු වංචාවක් සොයා ගන්න? ඒ සඳහා රජයට යාන්ත්‍රණයක් හෝ කිසිම වැඩපිළිවෙළක් නැතිද? මේ වගේ මතු නොවන, හෙළිදරව් නොවන ඕන තරම් බදු වංචා මේ රටේ සිදුවෙනවා ඇති. ඇතැම් රජයට හිතෛෂී පිරිස් නිසා ඒවා හෙළිදරව් වෙන්නේ නෑ. දේශපාලනික හිතවත්කම් මත තමා බොහෝ තොරතුරු දෙන්නේ. මෙහි තිබෙන ගැටලුව, මොවුන් මෙතෙක් ගෙන්වපු නැති තරම් සීනි තොග, වෙන රටවල්වලට යෑමට තිබුණු නැව් පවා හදිස්සියේ ගෙන්වීමට, මොවුන් කොහොමද දැන ගත්තේ මෙහෙම බදු සහනයක් අඩු ගණනට ලැබෙනවා කියලා? නැවක් එක රැයකින් හරවා එවන්න බෑනේ. මේ තරම් සීනි නැව් ලංකාවට ගෙන්වීමට ඔවුන්ට තොරතුරු ගියේ කොහොමද? සීනි හිඟයක් ලංකාවේ තිබුණෙත් නෑ, සීනි අඩු මිලට දෙන්න කියලා ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. ආණ්ඩුව කලින් සීනිවලට බදු ගැහුවේ දේශීය සීනි කර්මාන්තය නඟා සිටුවා ඩොලර් පිටරට යන එක වැළැක්වීමට නම් මේ බද්ද අඩු කළේ ඇයි? එහෙම කරන්න හේතුව මොකද්ද?

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා

 

1.කෙලින්ම පිළිතුරු දුන්නොත් මුදල් අමාත්‍යාංශය කියන විදිහට රුපියල් බිලියන පහළොවයි දශම නවයක් රුපියල් කෝට් එක්දහස් පන්සියයක් රජයේ භාණ්ඩාරයට අහිමි වී තිබෙනවා.

2.එම බදු මුදල අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබුණාද කියන ප්‍රශ්නයේදී අපි ටිකක් ආපස්සට යා යුතුයි. ආණ්ඩුව කිව්වා ආණ්ඩුවේ ප්‍රතිපත්ති වන්නේ දේශීය කර්මාන්තකරුවා, දේශීය ගොවියා සහ දේශීය නිෂ්පාදකයා ශක්තිමත් කිරීම බව. එසේ කියා ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා, 2020 ජුලි මාසේ සීනි බද්ද රුපියල් පනහ දක්වා අඩු කිරීමට. එහිදී ආණ්ඩුව කිව්වා දේශීය සීනි නිෂ්පාදකයා දිරිගන්වන්න එය කළ බව. ඒ ප්‍රතිපත්තිය පොහොය දෙකක් ගතවෙද්දි ආණ්ඩුව විසින්ම වෙනස් කළා. ටික දවසක් ගියාම සිනි මිල රුපියල් අසු පහයි කියලා නිවේදනයක් නිකුත් කළා. ප්‍රතිපත්තිය කුණු කූඩයට දමමින් ආනයනකරුවන්ට රුපියල් පනහක් දෙන්න රජය තීරණය කරනවා . මුදල් අමාත්‍යාංශය කියන්නේ පනහම ඉවත් කරන්න බැහැ කියනවා. බද්ද සම්පුර්ණයෙන් ඉවත් නොකර රුපියල් 49.75 ඉවත් කරනවා. ඉන් අනතුරුව මෙහි පාරිභෝගිකයාට මේ වාසිය යන්න නම් ආනයන මිල අඩුවෙන්න ඕනෑ. ඉන් පසු උපරිම මිල ගැන ගැසට් නිවේදයක් නිකුත් කළ යුතුයි. රුපියල් 85 මිල නියම කළා. පාරිභෝගිකයාට වාසි ලබාගැනීමට කළ යුතු සියල්ල රජය කළා. රජයට දොස් කියන්න බැහැ සත විසිපහට මූලික වශයෙන් අරගෙන රුපියල් අසුවට වඩා අඩු මුදලට ගෙනල්ලා 120 විකුණුවා. ඒ නිසා වාසිය ගියේ යම්කිසි ව්‍යාපාරිකයන් කිහිප දෙනකුටයි.

 

3.මම හිතන්නේ නැහැ නිහඬව සිටියා කියලා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මුදල් කාරක සාවට ඇවිත් ඒ සිදුවූ පාඩුව ඉදිරිපත් කළා. නමුත් මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය වචනයක් කතා කළේ නැහැ. පාරිභෝගික අධිකාරියෙන් ප්‍රශ්න කළාම ඔවුන් කියන්නේ සියල්ල සොයා බලා සීනි අසුපහට විකුණන්න පුළුවන් බව තහවුරු කරගත් පසු රුපියල් අසූ පහට සීනි දිය හැකි නිසා එය නියම කළා කියා. නමුත් සතොසට සීනි ලැබුණේ රුපියල් 120 වැනි මුදලකට. නමුත් විකුණුවේ රුපියල් 85 කට. එයිනුත් සතොසට පාඩුවක් සිදුවී තිබෙනවා.

4.එය අපි දන්නේ නැහැ. මෙරට සීනි ගෙන්වන අය හත් දෙනෙක් පමණ ඉන්නවා. එක් ආයතනයක් මඟින් සියයට 40ක් ගෙන්වීම කරනවා. අනෙක් සමාගම්වලට රුපියල් පනහේ බද්දටත් එම සමාගමට ආනයනය කර ගුදම් ගත කර තිබෙනවා. සියයට හතළිහක් ගෙන්වන සමාගම පමණක් සත විසිපහේ බද්දට ගෙන්වා ගුදම් ගත කර තිබෙනවා. අපි අනක් සමාගම් කියනවා රුපියල් 120 බැගින් නිකුත් කරන්නට සිදුවීම නිසා ඒ අයට පාඩුවක් සිදුවුණා කියා. ඒ නිසා මේ පිළිබඳව විගණකාධිපතිවරයා විසින් වෝහාරික විගණනයක් කර එම වාර්තාව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ යුතුයි. ඒ අවස්ථාවේදී අපිට දැනගන්න පුළුවන් කොතරම් පාඩුවක් වී තිබෙනවාද කියා.

5.අපි මොනවාටද බොරු ප්‍රචාර කරන්නේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයා මුදල් කාරක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාව අනුවයි අපි කියන්නේ. රුපියල් බිලියන 15. 9ක් රජයට පාඩු වී තිබෙනවා කියා එම වාර්තාවේ සඳහන් වෙනවා. මේ මුදල්වලට මොනවද වුණේ? පාරිභෝගිකයන්ට ඒ ලාභය ලැබුණද? නැත්නම් වෙන කාටද ලැබුණේ යන කාරණා සම්බන්ධයෙන් විගණනයක් කර එය පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ යුතුයි.

 

 

 

 

Comments