හදා වැඩූ පියාගේ දෑතේම අව­සන් හුස්ම පොද තැබූ සෙව්වන්දි | සිළුමිණ

හදා වැඩූ පියාගේ දෑතේම අව­සන් හුස්ම පොද තැබූ සෙව්වන්දි

‘‘ අම්මේ...මට ලබන පහළොස් වැනිදා ට යෙදෙන මගේ තිස්වැනි උපන්දිනයෙ ඔයාලට සතුටක් දෙන්න බැරි වෙයි. මම එදාට වැඩට යනවා. ඒ නිසා අද ම අපි මගේ උපන්දින කේක් ගෙඩිය කපමු "යි කියා සෙව්වන්දි දුව කිව්වා. අපි දැනන් හිටියෙ නෑ දුව මේ උපන් දින සතුට අපට දුන්නේ ආයෙමත් කවදාවත් නොඑන ගමනක් යන්න සූදානම් වෙලා කියලා "

පසුගිය දා පැල්මඩුල්ලේ දී සිදු වූ රිය අනතුරෙන් මිය ගිය සෙව්වන්දි උත්පලා අතුකෝරල ගේ මව නන්දා එදිරිසිංහ කඳුළු පුරවාගත් දෑසින් යුතුව අප සමඟ පැවසුවාය.

පසුගිය මාර්තු දහතුන් වැනිදා සවස පැල්මඩුල්ල රිල්හේන ඉන්ධන පිරවුම්හල අසලදී ත්‍රී⁣රෝද රථයක් සහ පුද්ගලික බස්රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මිය ගියේ පැල්මඩුල්ල දිප්පිටිගල සමනල මාවතේ පදිංචි සෙව්වන්දි උත්පලා අතුකෝරල නැමැති දෙදරු මවකි.

වමේ සිට, සෙව්වන්දිගේ දියණිය ලිනුකි තෙහංසා, සැමියා තිළිණ දිසානායක සහ පුත් ලිසික තෙවංක

නිවුන් දරුවන් දෙදෙනකු ගේ මවක වන ඇය සේවය කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ය. පසුගිය දොළොස් වැනිදා සිය මව හා පියා එක්ව ආරම්භ කරන කුඩා එළවළු වෙළෙඳ සැල විවෘත කිරීමට උදවුවීම සඳහා මහ ගෙදර ට පැමිණ ඇත.

තමන්ගේ ම පියා පැද වූ ත්‍රී⁣රෝද රථයයෙන් සෙව්වන්දි ඇතුළු පවුලේ අය ආපසු දිප්පිටිගල නිවස බලා යමින් සිටිය ද ආපසු නොඑන්නටම ගිය බව සැලවී ප්‍රදේශයම මහත් කම්පාවට පත්විය.

සෙව්වන්දි සිය මවට පියාට යහපත් දියණියක් වාගේම සැමියාට දිරිය බිරිඳක් වූවාය. අසල්වැසියන්ගේ දුක සැප අතර ළෙන්ගතු වූ සෙනෙහෙබර සොයුරියක් විය.

සිය සේවා ස්ථානයේ කා අතරත් ප්‍රියමනාප මිතුරියක් විය. හදිසියේ සිදු වූ සෙව්වන්දි ගේ වියෝව දරා ගත නොහැකිව දහස් ගණනක් ඇයගේ නිසල දේහය අසල කඳුළු සැලූහ.

සිය දියණියගේ වියොවෙන් කම්පාවට පත් සෙව්වන්දිගේ මව නන්දා එදිරිසිංහ කඳුළින් පිරි දෙනෙතින් යුතුව මෙසේ කීවේය

" මගේ රත්තරන් දුව අපේ පවුලට ආභරණයක් වුණා. එයා පැල්මඩුල්ල මහින්ද විද්‍යාලය, ගන්කන්ද මැදි මහා විදුහල සහ රත්නපුර සුමන බාලිකා විද්‍යාලවලින් ඉගැනුම ලැබුවා. පොඩි කාලේ ඉඳලා ඉංග්‍රීසි වලට ගොඩක් දක්ෂයි. කථික තරඟවලින් ඇය ජයගත්තා.

අන්තර්ජාල රූපවාහිනී නාළිකාවක නිවේදන කටයුතු වලටත් සම්බන්ධ වුණා. එයා දෙදහස් දහතුනේ අවුරුද්දේ විවාහ ගිවිස ගත්තෙ දසනායක පුතා එක්ක.

ඊට පස්සෙ පුතා දකුණු කොරියාවේ රැකියාවක ට ගියා. ඒ අතර දුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියාවක් ලැබුණා.කොළඹ නැවතිලා රස්සාවට ගියේ. පුතා අවුරුදු දෙකකට පස්සෙ ලංකාවට ඇවිත් 2015 ලොකුවට මගුලක් අරගත්තා. එයාට දැනට අවුරුදු හතරක් වන නිවුන් දරුවන් දෙදෙනෙක් සිටිනවා.

මගේ දුව ජීවිතයේ පුදුම කැපකිරීමක් කරපු කෙනෙක්. රස්සාවට යන්න දවසගානේ උදේ තුනට ඇහැරලා කෑම උයලා හතරට තමයි බස් එකට නගින්නෙ. වැඩ ඇරිලා ගෙදර එන්නෙ රෑ අට පහුවෙලා.

මේ විදිහට මහන්සි වෙලා මගේ අසනීප තත්ත්වයට බෙහෙත් කරන එක නතර කළේම නෑ. තෙල් ගාලා කකුල් දෙක අතගාලා සාත්තු කළේ දුවයි. එයාලටම කියල හදාගත්ත ලස්සන නිවසේ ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. එයා හිටියෙ කුලී ගෙදරක. දරුවන් දෙන්නා හිටියෙ පුතාලගෙ මහ ගෙදර. මම ගිහින් පසුගිය සිකුරාදා අපේ ගෙදර එක්ක ආවෙ ⁣දුවට වැඩ ඇරිලා ගෙදර එන්න කියලා.

එයා එදා එද්දී රෑ අටයි. හරිම සතුටින් එදා රෑ ගත කළා. රාත්‍රී එකොළහට විතර වෙනකන් හිනාවෙවී කතා කිය කියා හිටියා. පහුවදා අපි කඩේ දැම්මා. ඒකට දුව ගොඩක් මහන්සි වුණා. එයා කිව්වා " අම්මෙ මට මේ සැරේ උපන්දිනයට ඔයාල බලන්න එන්න වෙන එකක් නෑ; ඒ නිසා අද ම උපන්දින කේක් එක කපන්න ඕන කියලා. අපි කවුරුත් විරුද්ධ වුණේ නෑ.

වෙන කවදාවත් නැකි විදිහට උපන්දින සතුට නිවස පුරා ඉතිරුණා. ඊට පස්සෙ හවස පහට විතර දුවගෙ තාත්තගේ ත්‍රී⁣රෝද රථයෙන් ලෙල්ලෝපිටිය බලා පිටත් වුණා. හයට විතර මට ආරංචි වුණා මගේ දුව ගිය වීල් එකේ අනතුරක් වෙලා කියලා.

අවසන් කටයුතු සඳහා සෙව්වන්දිගේ දේහය රැගෙන යන ඥාති හිත මිත්‍රාදීන්

මාව පැල්මඩුල්ල ඉස්පිරිතාලෙ ට එක්ක යනකොට දුව ව සුදු රෙද්දකින් වහලා තිබුණා. අනේ දෙයියනේ මට එච්චරයි මතක මහත්තයෝ "ඊට පස්සෙ මොනව වුණා ද කියලා දන්නෙ නෑ.

‘මගේ දෑතින් ම පැදවූ ත්‍රී⁣රෝද රථය ඉදිරියෙන් ආ බස් රථයෙන් බේරාගන්න මට බැරි වුණා. තිරිංග පද්ධතිය ක්‍රියාත්මක වුණේ නැහැ. අනේ මගේ රත්තරන් දුවේ මට සමා වෙයන්‘

සෙව්වන්දි ගේ පියා අතුකෝරල ගුණසේකර කඳුළු සලමින් පපුවට ගහගනී. පැල්මඩුල්ල ෆුඩ් සිටි එක ළඟ නතර කරල බඩු අරගන්න වෙලාවෙ දුව මට ත්‍රී⁣විල් එකේ දකුණු පැත්තේ අයිනට යන්න ඕන කියලා එතනට ගියා. පැල්මඩුල්ල ට එනකම් එතන ආවෙ පුතාගෙ තාත්තා. රිල්හේන සෙඩ් එක පෙනි පෙනී මම ඉදිරියෙන් ගිය ලොරිය පහුකරන්න ඉස්සරහට ගන්න හදද්දී ඉදිරියෙන් ඉතා වේගයෙන් බස් එකක් එනවා දැක්කා. බ්‍රේක් කළාට වැදුනෙ නෑ. මට කර ගන්න දෙයක් නැති නිසා අනිත් පැත්තට හැරෙව්වා. එතකොට ම දුව හිටිය පැත්ත බස් එකේ වැදුණා. දුවට සිහි නැතිවෙලා හිටියෙ.

ලේ පෙරා ගෙන හිටපු දුව මගේම අත්දෙකෙන් උස්සලා ත්‍රී⁣විල් එකෙන් තියාගෙන එද්දි එයාගේ පණ ගියෙ මගේ උකුලෙදී. මගේ ලේ වලින් හැදුණු තමන්ගේම දුවක් තමන්ගේ අතේම අවසන් හුස්ම හෙළනවා දකින්න වුණේ මම මොන වරදක් කළාටද දෙවියනේ. තාත්තා කෙනෙක් කොහොමද හිත හදාගන්නේ‘

‘සෙව්වන්දි මට කියන්නෙ අයියා කියලා. අපි ගොඩාක් ආදරෙන් එකට ජීවත් වුණා. පසුගිය සතියෙ පවුලේ කට්ටිය එක්ක කතරගම ගිහින් ආවෙ. විසි හත, විසි අට දෙකේ අනුරාධපුර යන්න හෝටල් කාමරත් වෙන්කළා.

සෙව්වන්දි ට පුංචි හිසේ කැක්කුමක් හැදිලා බෙහෙත් අරගෙනයි එදා ගෙදර යන්න ගියෙ. ලිනුකි තෙහංසා දිසානායක, ලිසික තෙවංක දිසානායක පුතයි මමයි මේ ලෝකෙ තනිවුණා. හිතා ගන්න බෑ මොකක් ද මේ වුණේ කියලා. එහෙම ඉද්දී තමයි අපි ගෙදර ඇවිත් ගියෙ. දැන මගේ දුවයි පුතයි එක්ක මම මේ ලෝකෙ තනි වුණා. ඒක මට කොහොම දරා ගන්නද කියල හිතාගන්නවත් බෑ‘

සෙව්වන්දි ගේ සැමියා තිළිණ දිසානායක පවසයි. අවසානයේ දරුවන් දෙදෙනාටත්, සිය සැමියාටත්, දහස් සංඛ්‍යාත නෑ හිතවතුන්ටත් සමුදී ඇය තම ජන්ම දිනය යෙදී තිබුණු පසුගිය පහළොස් වැනිදා හැන්දෑවේ සදහට ම සමුගෙන ගියාය.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී. එල්. ජී. ඩබ්ලිව්. ගුණදාස පොලිස් සැරයන් 38077 කරවිට 42794 ධර්මසේන යන පරීක්ෂණ පැවැත්වුහ. ත්‍රී⁣රෝද රථය පැදවූ සෙව්වන්දි ගේ පියා සහ බස් රථය පැදවූ රියදුරු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ඇප මත මුදා හළ බව පොලීසිය කියයි.

Comments