‘වන සම්පත රැක ගන්න අඳුරේ අත නොගෑ යුතුයි’ | Page 2 | සිළුමිණ

‘වන සම්පත රැක ගන්න අඳුරේ අත නොගෑ යුතුයි’

මෙරට වන හානිය පිළිබඳව මේ වනවිට සියලු දෙනාගේම අවධානය යොමු වී ඇත. එහෙත් මෙකී කාරණාවේ පසුබිම තුළ පවතින්නේ පටලැවීමකි. කාලාන්තරයක් සිරවී වසා දැමූ යමක් එකවර විවෘත කළාක් මෙන් වන විනාශය නැවත මතුවීම සිදුවේ. වන ආවරණය අඩුවීම ලෙස දකින්නේ සංවර්ධනය නම්, වන ආවරණය සමඟාමීව යන සංවර්ධනය වැඩපිළිවෙළක් සැකසිය යුතුය. එහිදී වන ආවරණයට හානි නොකර සංවර්ධනය කරා ගමන් කරන්නේ කෙසේද යන කාරණාව වටහා ගත යුතුය.

 

විනාශකාරී ක්‍රියාවල යෙදෙන්නෝ අද මෙන්ම එදත් වූහ. වනය යම් කිසි සීමාවක් වන අතර කිසිදු කටයුත්තක් සඳහා අපට එයින් ඔබ්බට යා නොහැකිය. එනම්, වනය ආශ්‍රිත සංවර්ධන ක්‍රියා නැවැත්වීම හෝ අවම කිරීම කළ යුතුය. එසේ අවම කළහොත් හානිය අවම වෙයි. වන විනාශය නැවැත්වුවොත් හානිය සම්පුර්ණයෙන්ම නතර වෙයි. මේ සඳහා යම් ක්‍රමවේද සැකසිය යුතුය. මේ වන විට පැවැතිය යුතු අවම වන සීමාව සියයට තිහක් බව සඳහන් වෙයි. එහි ප්‍රමාණාත්මකව කිසිදු තැනක සීමා මායිම් දක්වා නැතිවීම ගැටලුවකි. වන ආවරණය සියයට 30ක් විය යුතු බව මේ වනවිට කතිකාවක් ගොඩනැඟී ඇත. කෙසේ වෙතත් සීමාමායිම් ගැටලු වෙයි. 2018දී ගස් ආවරණය හෙක්ටයාර 3,446,232 ක මුළු ගස් ආවරණයක් එනම්, ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 6,628,110න් සියයට 52ක ප්‍රාථමික ජෛව ආවරණය සහ ඉහළ ජෛව විවිධත්වයක් පැවතුණි. එහෙත් හෙක්ටයාර 586,518 ක් වූ වනාන්තරය 2018 වන විට සියයට 17ක් දක්වා අඩු වී ඇතැයි මොන්ගාබේ නමින් සත්‍යාපිත වනාන්තර දත්ත පිළිබඳ ජාත්‍යන්තර වෙබ් අඩවියක වාර්තා කරයි. ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන්ට අනුව අද වන විට මෙරට වනාන්තර ආවරණය සියයට 29ක් බව සඳහන් වේ. 2030 වන විට එය සියයට 32 දක්වා ඉහළ නැංවීම අරමුණු කරයි.

 

පැහැදිලි නිර්ණායක

 

1996 වර්ෂයේ ශ්‍රී ලංකාවේ අවසාන නිල වනාන්තර ආවරණ තක්සේරුවේදී ලබා ගන්නා ලද සංඛ්‍යාලේඛන අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය පථය යටතේ වනාන්තර ඉඩම් හෙක්ටයාර 700,000 ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ ආවේණික විශේෂයන්ගෙන් බහුතරයක් ජීවත් වන්නේ පහත් බිම් වැසි වනාන්තරවල වන නමුත් එය සියයට 9ක් පමණි. ආරක්ෂිත ප්‍රදේශවල වනාන්තර දැඩි පරිහානියට ලක්ව ඇත. එබැවින් මිනිසුන් හානි කරන්නේ රක්ෂණය විය යුතු වනයද ඉන් පිටතද යන්න පැහැදිලි කරන නිර්ණායකයන් ඉදිරිපත් කළ යුතුය. සියයට තිහ දැනට යෝජිත ප්‍රමාණය නම් ඒ සීමාවෙන් ඇතුළත කිසිදු කෙනකු වනයට හානි නොකළ යුතුය. එය නීතියක් බවට පත්විය යුතුය. සියයට තිහ යන සීමාව කඳුකර ප්‍රදේශද තෙත් කලාපයේද වියළි කලාපයේද නැති නම් මුළු රටේමද යන කරණා ගැන සැලකිලිමත් විය යුතුය. විදෙස් ජාතික ක්‍රිස්ටෝපර් ලෙඩ් ප්‍රථම වරට ලංකාවේ වන ආවරණය සහ වනාන්තරයන් සම්පූර්ණයෙන් සිතියම් ගත කරන ලදි. ඒ සිතියම මූලික සිතියම ලෙස අපිට ගත හැකිය. මේ මුලික සිතියමේ සඳහන් යෝජනා ගතහොත් මුළු ලංකාවෙන් සියයට විසි හතක් පමණ මුළු රටේම වන ආවරණයක් පවතින අතර එයින් සියයට හැටක් පමණම උතුරේද දකුණේ සියයට හතළිහක් පමණද වේ. එයින් වඩා වැදගත් වන උඩරට වන ආවරණය ප්‍රතිශතයක් ලෙස ගතහොත් ඉතා සීමිත ප්‍රමාණයකි. ජනතාව ඒ පිළිබදව දැනුම්වත් වියයුතුය. වනාන්තරයක වටිනාකම තක්සේරු කරන්නේ කුමන නිර්ණායක මත සිටද යන්න පිළිබඳව දැනුම්වත් වීම වඩා වැදගත් වෙයි. ඊළඟට වටිනාකම පිළිබඳව තක්සේරුවක් දීම කළ යුතුය. ඒ තක්සේරුව පිළිබඳ නිර්ණායකයන් ඉස්මතු කරමින් එක ආයතනයක් එහි භාරකාරීත්වය දැරීමට වගබලාගත යුතුය.

මේ කාරණාවේදී වන ජීවී දෙපාර්තමේන්තු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක තැනකට පැමිණිය යුතුය. එසේ විය යුතු වන්නේ මේ හරහා කළමනාකරණය වන්නේ එකම කාරණාවන් වන හෙයිනි. එසේ වුවද 2009 ට පසුව වනජීවී දෙපාර්තමේන්තුවට වන රක්ෂණ දෙපාර්තමේන්තුවත් සමඟ ගනුදෙනුවක් නොතිබිණි.

දැනට ලංකාවේ ඇති ස්වාභාවික වනාන්තර ප්‍රධාන ආයතන තුනක යටතේ පාලනය වෙයි. එනම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟිනි.

රක්ෂිත වනාන්තර සහ යෝජිත රක්ෂිත වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වෙයි. දැඩි ස්වාභාවික රක්ෂිත වන උද්‍යාන අභය භූමි සහ ස්වභාවික රක්ෂිත වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ වෙයි. මේ වර්ගයන්ට අයත් නොවන ස්වභාවික වනාන්තර රජයේ අවශේෂ කැලෑ නම් වෙයි. කෙසේ වෙතත් සියලුම අවශේෂ කැලෑ ජාතික වන ප්‍රතිපත්තියට අනුකූලව මුලික සංරක්ෂණ කටයුතු සඳහාද දෙවනුව බහුවිධ කළමනාකරණ කටයුතු සඳහාත් යොදාගත යුතුයි.

 

මෝසම් වර්ෂාව

 

කඳුකරයේ ඇති වනාන්තරවල අපේ ජලධාරාවේ ප්‍රධාන මූලය පවතින අතර එවැනි ස්ථානයන්ගේ වනයට වන හානිය විශේෂයෙන් අපේ ගංගාවලට බලපානු ලබයි. මහවැලිය වැනි ගංගා බොහොමයකට එහි බලපෑම ඇතිවිය හැකියි. වනයට හානි කිරීම මඟින් වර්ෂාව නොලැබෙන බව ඇතැමුන් පැවැසුවත් වර්ෂාව උත්පාදනය වෙන්නේ මෝසම් දෙකකිනි. එහෙත් ඒ ලැබෙන වර්ෂාව රඳා පවත්වා ගැනීමට අපට ගස් අවශ්‍ය වෙයි. නිරිත දිග මෝසම් සුළඟින් එන ජලය රටේ භු ලක්ෂණ අනුව පහතට වැටේ. නමුත් පතිත වූ සැණින් එක්වර මුහුදට යයිද පොළොවට කාන්දු වී ගංගා ඇළදොළවලට යයිද යන්න තීරණය වන්නේ වනාන්තර අනුවයි. වනය නැති නම් ජලය ඉක්මනින් සිඳී යන බව ඉතා සරල කාරණාවකි. එය වනාන්තරයේ ගුණාත්මකභාවය අනුව සිදුවේ.

ගස් තිබේ නම් වැටෙන ජලය පොළොවට නිසියාකාරව කාන්දු වීමක් සිදුවෙයි. ලෝකයේ පර්යේෂණ අනුව වන ආවරණ අඩු කළහොත් ඉක්මනින් ජලය සිඳී යෑම සිදුවෙයි. එබැවින් වියළි කාලයේදී ජලය පවත්වා ගැනීමට වනය අත්‍යවශ්‍ය වෙයි.

මේ ක්‍රියාවලිය 1992 වසරේදී ජෛව විවිධත්වය ලෙසින් හඳුන්වා දී ඇත. අපි දැන් ජෛව විවිධත්වය නම් සංසිද්ධියට අගයක් දී ඇත. පහත රට වනයට වඩා කඳුකර ප්‍රදේශවලට වැඩි වටිනාකමක් පවතින බව මේ අනුව පැහැදිලි වේ.කඳුකර ප්‍රදේශයේ වනාන්තරවලට වඩා පහත රට අභාවයට ගිය සංස්කෘතියක පසුතලයකින් නැවත ඇතිවූ ස්වභාවික වනාන්තරය අගයක් නැති බව මෙයින් අදහස් නොවෙයි. දැවමය අවශ්‍යතා අනුව එය වැදගත්වෙයි. ද්විතීය වානන්තර මේ වටිනාකම් මෑත කාලීනව මතුවූ අතර ඉන් පෙර වාසනාවකට කඳුකර වනාන්තරය දැවමය අතින් කිසිදු වටිනාකමක් නොවිණි . එයට ප්‍රධාන හේතුව කඳුකරයේ ගස් බහුතරයක් කෙළින් ශාක නොවීමයි. වියළි කලාපයේ ද්විතීය වනාන්තරවල හොඳ කඳන් සහිත ගස් පවතී. කෙසේ වෙතත් දළ වශයෙන් රටක අනෙක් කාලගුණික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා සියයට තිහක්වත් කැලෑවක් තිබිය යුතුය. මිනිසා විසින් සිදුකරන වන හානි සහ අනෙක් සාධක යන තත්ත්වයන් අනුව කාලයක් ගතවීමේදී වන විනාශයක් වුවත් කිසිදු හානියක් නොවන බව ඇතැමුන් තර්ක කරයි.

පරිසරවේදීන් ලෙස අපි දකින්නේ අනෙක් අය දකින ආකාරයට නොවෙයි. වනය නොමැතිව මිනිසුන්ට ජිවත් විය හැකිබවටද නගරයේ මිනිසුන්ට විදුලි බලය ලබා ගැනීමට ජලය අවැසි බව පැවසුවත් අද ඒ සඳහාද විකල්ප ඇති බව තාර්කික කරුණකි. එසේ නම් සමස්තයක් ලෙස අප මේ දෙස බැලිය යුත්තේ පෞද්ගලික කරුණක් ලෙස නම් නොවේ.

 

කෘෂිකර්මාන්ත ආර්ථිකය

 

මුළු රටේම පැවැත්ම පවතින්නේ ජලය මතයි. ඒ අනුව මානව පැවැත්මට වනාන්තර, කාලගුණය හා ජලය ඉතා වැදගත් වෙයි . මිනිසාගේ වුවමනාකම් සපුරා ගැනීමට ජලය අත්‍යවශ්‍ය වෙයි. මහවැලිය සංවර්ධනය කරන අවස්ථාවේදී දැව අවශ්‍යතාවට කොටසක් අවශ්‍ය බවට යෝජනා ඉදිරිපත් වුවත් ඒ අවස්ථාවේ එයට නිෂ්චිත පිළිතුරක් නොලැබුණි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ මැතිනිය ගොඩ නැඟූ වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන ආවේ නම් අද අපේ රට පවතින්නේ මේ තත්ත්වයේ නොවෙයි. වෙනස් අාකෘතියකින් රට ගොඩනඟා අපිට සිංගප්පුරුවක් වීමට හැකියාව තිබුණි. මේ දේ කරන්නට පුළුවන් කුමන ආකාරයටද යන්න අපිට ආවේණික ක්‍රමවේදයක් ගොඩනගා ගත යුතුය.

මිනිසකුට ජිවත් වීමට අවශ්‍ය මුලික මුදල ලබා ගැනීමට අවශ්‍ය දේ තිබිය යුතුය, නැතිනම් භූමියෙන් ලබාගත යුතුයි. එසේ නම් කෘෂිකර්මාන්තය මත ආර්ථිකය ගොඩනැඟිය යුතුය. එසේනම් අහසින් වැටෙන ජලය රැකගෙන අපිට කෘෂිකර්මාන්තය සඳහා යා හැකියි. ඒ සඳහා අපිට ජලය සහ භූමිය අවශ්‍යයි. ජලය ලැබීමට නම් වනය අවශ්‍යයි. මේවා එකිනෙකට බද්ධ වී පවතින කරුණු වේ.

වැඩි වන ජනගහනයට අදාළව එයට අවශ්‍ය සැලැසුම් මේ රටින්ම ගොඩනඟා ගතහැකිය. අනාදිමත් කාලයක සිට සකස් කරන සැලසුම් වෙයි. ඇයි ඒවා ක්‍රියාවට නොනඟන්නේ ඇයිද යන ගැටලුව මතුවෙයි.

මිනිසා පරිණාමය වූ දවසේ සිට අද දක්වා ආපු ගමනේ මෙතෙක් පැවැතියේ පරිසරයට යම් හානියක් කරගෙනයි එයයි සත්‍යය එයයි. නමුත් ඒ හානිය නිසා මිනිසාගේ පැවැත්මට හානි නොවුණි. එදා පරිණාමය වූ මිනිහා නොවේ අද වර්තමානයේ සිටින්නේ. වෙනස් කරගත් ලෝකයට ගැළපෙන ආකාරයට අනුව අද අපි ජිවත් වන්නෙමු. හෙට මීටත් වඩා වෙනස් විය හැකියි.

 

මිනිසාගේ පැවැත්ම

 

වනය අපි රැකගත යුතු අනිවාර්යය අංගයකි. මිනිසාගේ පැවැත්මට අනිවාර්යෙන් අවැසි නිසා එයට නිසි තක්සේරුවක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඉන්දියාවේ වන ආවරණය අර්ථ කථනය කරන්නේ උසාවි තීන්දුවක් මතයි. ඉන්දියාවේ වන ආවරණය මිටර පහක් උස සියයට දහයක ආවරණයක් ඇති ගොනුවක් ලෙස සඳහන් වෙයි.

වනාන්තරයක් ලෙස ගැනීමේදී ගස, ආවරණය, ගොනුව ප්‍රධාන වෙයි. මෑතකාලීනව එනම් , 2010 දී මෙය නැවත යාවත්කාලීන විය. මුලින්ම අපි මේ වනය යන්න අර්ථනය කරගෙන එහි වටිනාකම අනුව භූමියේ කොහෙද මේ ප්‍රමාණයන් තිබිය යුතු වන්නේ යන්න සඳහන් කළ යුතුයි. එය ප්‍රතිශතයක් ලෙස හැඳින්වීම අවශ්‍යයි.

එමෙන්ම ඒ වනාන්තර පවතින ස්ථාන රටේ පොදු දේශගුණයකට අදාළ වෙන ආකාරයට වැදගත් වෙනවාද නැද්ද යන කරුණට නිර්ණායකයක් ඉදිරිපත් කළ යුතුය. තවද මේ සඳහා නිර්ණායකයන් ලෙස ජලපෝෂක ප්‍රදේශ ,ජෛව විවිධත්ව ප්‍රභේද ආදී සියල්ලම ඇතුළත් වි යුතුය. මුතුරාජවෙල වැනි තැන් ගත්විට ඒවා අතීතයේ වගා කරන ලද වගුරු බිම්වෙයි. ලවන ගතිය නිසා එම වගුරු බිම් වදවී ඇත. වාසිය වැඩි තැන්වල සංවර්ධනය පහසු දෙයක් වෙයි. ඉතුරු ටිකට අත සෝදා ගැනීම් සිදුවෙයි.

මේ ගස් කැපීමත් එවැන්නකි. ඇතැම්හු වනයේ වටිනාකම කුමක්ද? එය කුමක් සඳහාද යන්න පවා නොදනී. ඒ නිසා වනයට හානි සිදු කරයි. අප තවමත් අඳුරේ අතගාන ජාතියකි. එසේ අඳුරේ අත ගාමින් මෙවැනි ජාතික ප්‍රශ්නයකට විසඳුම් සෙවිය නොහැකිය.

Comments