
අසල්වැසියන් සමඟ සමගිය, සාමූහිකත්වය සහ සහෝදරත්වය යනු නිෙවසකට, ගමකට පමණක් නොව රටකටද පොදු කරුණකි. අසල්වැසියන්ගේ සහයෝගීත්වය නොමැතිව පවුලකට පමණක් නොව රටකටද අපහසු කරුණකි. බංග්ලාදේශය යනු අපේ අසල්වැසියාය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඇත්තේ බංග්ලාදේශය තරම්ම ඉපැරණි මිතුදමකි. බංග්ලාදේශය බිහිවී තවමත් වැඩි ඈතක් නොමැති අතර එදා සිට අද දක්වා බංග්ලාදේශය යනු ශ්‍රී ලංකාවට නිරතුරු සහාය දක්වන ශ්‍රී ලංකාව සතු ඉතා හොඳ මිතුරෙකි.
බංග්ලාදේශයට නිදහස ලැබීමේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාට ආරාධනා ලැබෙන්නේද, එතුමා එම ආරාධනාවට අනුව තවමත් සාමාන්‍ය වී නොමැති කොවිඩ් වාතාවරණය හමුවේ වුවද බංග්ලාදේශයේ සංචාරයට එක් වන්නේද එකී නොබිඳුණු මිතුදම හේතුවෙනි.
බංග්ලාදේශය අතීතයේ ඉන්දියාවේම කොටසකි. එය වෙනම රටක් බවට පත් වන්නේ 1971 වසරේ මාර්තු 26වැනිදාය. එයට පෙර 1947දී බංග්ලාදේශ භූමිය ඉන්දියාවෙන් වෙන් කරන්නේ නැගෙනහිර පකිස්තානය වශයෙනි.
ඉන්දියාවට නිදහස ලබා දුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නොවනතින ලේ ගංගාවක් නිර්මාණය කරන්නේ ඉන්දියාව දෙකඩ කරමින් පකිස්තානය බිහි කරමිනි. අධිරාජ්‍යවාදීන් බිහිකළ පකිස්තානය අමුතුම රටක් විය. එය කොටස් දෙකකින් සමන්විත වූ අතර එම කොටස් දෙක පිහිටා තිබුණේ එකිනෙකට ප්‍රතිවිරුද්ධව කිලෝමීටර් ගණනාවක් දුරකිනි. එය නැගෙනහිර පකිස්තානය සහ බටහිර පකිස්තානය නම් විය.
මේ කොටස් දෙකකින් යුක්ත වූ පකිස්තානය පාලනය කිරීම එකල බටහිර පකිස්තානයේ සිට පකිස්තානය පාලනය කළ පාලකයන්ට ඉතා අසීරු විය.
එකල අද මෙන් දියුණු තාක්ෂණය නොපැවති අතර බටහිර පකිස්තානයේ සිට ගන්නා තීන්දු තීරණය නැඟෙනහිර පකිස්තානයට දැනුම් දීමටද සැලකිය යුතු වේලාවක් ගත විය.
බටහිර පකිස්තානයේ ජනතාවට වඩා නැගෙනහිර පකිස්තානයේ ජනතාව භාෂාව, සංස්කෘතිය යනාදී විවිධ අංශයන්ගෙන් වෙනස්කම් සහිත වූ අතර ඒ වෙනස්කම් සමබර කර ගනිමින් පාලනයක් ගෙන යෑමට භූමියේ වූ දුරස්ත බව විශාල බාධාවක් විය.
ඒ අනුව නැගෙනහිර පකිස්තානය ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමේ මූලික අවශ්‍යතාව පෙන්නුම් කරන්නට වූයේ එහි ආරම්භක අවධියේ සිටම බව පැවසිය හැකිය.
නොබෝ කලකින්ම නැගෙනහිර පකිස්තානය වෙනම ස්වධීන රාජ්‍යයක් ලෙස වෙන්විය යුතු බව ප්‍රකාශ කරන්නට වූ අතර එහි අවසානය සටහන් වන්නෙ 1971 වසරේදීය.
එහෙත් එම ස්වාධීනත්වය සටහන් වීමට පෙර බටහිර සහ නැඟෙනහිර පකිස්තානය අතර රුධිර ගංගා ගලා ගිය අතර වාර්තා වන්නේ එම නිදහස් සටනේදී මිනිසුන් මිලියනයක් පමණ මිය ගිය බවය. කෙසේ වුවද නැඟෙනහිර පකිස්තානයට නිදහස දීමට පකිස්තාන බලධාරින්ට සිදුවන අතර ඒ සමඟින් බංග්ලාදේශය බිහිවන්නේය.
මේ බංග්ලාදේශ භූමිය බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු සීමාවෙන් අවසන් වන අතර රටේ සෙසු ප්‍රදේශ වටා පැතිර තිබෙන්නේ ඉන්දියාවට අයත් භූමියයි.
එය එසේ වුවද නිදහස ලැබූ තැන් සිට බංග්ලාදේශය අත් කරගෙන ඇති ප්‍රගතිය ඉතා විශාලය. කලින් කලට තට්ටුමාරු දේශපාලනය රටේ බලයට තරග වැදුනද, නිරන්තරයෙන් ඇතිවන සුළි කුණාටු හේතුවෙන් ගංගා සහ බ්‍රහ්මපුත්‍ර නම් වන අති විශාල ගංගාවන් පිටාර ගැලීමෙන් අති විශාල ජීවිත සහ දේපළ හානි සිදුවුවද බංග්ලාදේශය දිනෙන් දිනම පා නගමින් සිටින්නේ දියුණුව වෙතය.
එහිදී බංග්ලාදේශය නිරතුරුව අසල්වාසීන් සමඟ හිතවත්ව කටයුතු කළ අතර විශේෂයෙන් ශ්‍රී ලංකාව එරට ඉතාම හොඳ මිතුරකු විය.
මෙවර නිදහස දිනා ගැනීමේ පනස්වන සංවත්සරය සඳහා ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා ලබන්නේ ද එකී මිත්‍රත්වය හේතුවෙන්මය.
එමෙන්ම මේ අවස්ථාවට සමගාමීව බංග්ලාදේශය විසින් එරට ජාතියේ පියා ලෙස විරුදාවලි ලබා සිටින බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මැතිතුමාගේ ජන්ම ශත සංවත්සරය සැමරීමද සිදු කළ අතර මේ සැමරුම් දෙකම එක්වර යෙදීමෙන් සහ ඒ සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කිරීමෙන් ඔවුන් මේ අවස්ථාවට ලබා දුන් වැදගත්කමක්, ඒ සඳහා ආරාධනා කිරීමෙන් ශ්‍රී ලංකාවට ලබා දුන් වටිනාකමත් වටහා ගත හැකිය. එමෙන්ම 2020 අගෝස්තු මස මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ පසු නිරත වූ ප්‍රථම විදේශ සංචාරයද මෙය වන බැවින් එම සංචාරයට ශ්‍රී ලංකාවෙන් ලැබුණු වැදගත්මක කෙතරම්ද යන්න වටහාගත හැකිය.
බංග්ලාදේශයට සැපත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගනු ලැබූ අතර පසුගිය 19වැනිදා ඩකා හි ජාතික පෙළපාළි පිටියේදී පැවති විශේෂ වැඩසටහනේදී ‘විශේෂ ආරාධිතයා’ ලෙස මහින්ද රාජපක්ෂ මහතාව එරට අගමැතිනිය ශෙයික් හසීනා විසින් නිවේදනය කර පිළිගනු ලැබූ අතර එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ දේශනයක්ද සිදු කරනු ලැබීය.
එම දේශනය සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පදනම් කර ගනු ලැබ තිබුණේ බංග්ලාදේශයේ නිර්මාතෘ ශෙයික් මුජිබර් රහ්මාන්ගෙ දූරදර්ශී දේශපාලන වැඩපිළිවෙළයි.
එම සාර්ගර්භ දේශනය අවසානයේ බංග්ලාදේශ අගමැතිනිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට විශේෂ ස්තූතියක් පුදකර සිටියේ මෙවැනි වසංගතය තත්ත්වයක් තුළ වුවද තම රටට පැමිණීමට කාරුණීක වීම සම්බන්ධයෙනි.
පසුව දෙරටේ අගමැතිවරුන් දෙදෙනා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වූ අතර, එහිදී ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩ අන්තවාදය හේතුවෙන් බහුවාදී සමාජවලට පැනනගින තර්ජන හඳුනාගෙන දෙරටේ පමණක් නොව කලාපයේම එවැනි තර්ජන පිටුදැකීමට සහයෝගය දීම කෙරෙහි දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගෙ අවධානය යොමු විය.
මේ සංකීර්ණ පොදු අභියෝගයන්ට මුහුණ දීම පිණිස ද්වීපාර්ශ්වික සහයෝගීතාවට පහසුකම් සැලසීම සඳහා ඒකාබද්ධ ආයතනික යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කිරීමටද ඔවුහු එකඟ වූහ.
මීට අමතරව ද්වී පාර්ශ්වික ගිවිසුම් හයකටද අත්සන් තැබීම සිදුවිය.
තරුණ සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය සහ බංග්ලාදේශ කෘෂිකාර්මික පර්යේෂණ සභාව අතර අවබෝධතා ගිවිසුම, දෙරට අතර වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අවබෝධතා ගිවිසුම, බංග්ලාදේශ හෙදියන් ශ්‍රී ලංකාවේදී පුහුණ කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම, ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සහයෝගීතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය සහ බංග්ලාදේශ ජාත්‍යන්තර සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම සහ 2021 – 2025 දක්වා දෙරට අතර සංස්කෘතික හුවමාරු පිළිබඳ අවබෝධතා ගිවිසුම එම ගිවිසුම් වේ.
මීට අමතරව කලාපයේ සංචාරක කටයුතු ප්‍රවර්ධනයට කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු වූ අතර, වෙරළබඩ සංචාරක නෞකා පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම සම්බන්ධවද අවධානය යොමු විය.
තිරසාර සංවර්ධනය පිළිබඳ 2030 න්‍යාය පත්‍රය ඵලදායී ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන්ද දෙරටේම එකඟතාව හිමි විය. එමෙන්ම දෙරටේ නායකයින්ගේ වඩා වැඩි අවධානය සමෘද්ධිමත්, සාමකාමී, ස්ථාවර දකුණු ආසියානු කලාපයක් බිහි කිරීම සම්බන්ධව වන යෝජනා කෙරෙහි යොමු විය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීම පිළිබඳ පනස් වැනි සංවත්සරය ලබන වසරට යෙදී ඇති බැවින් ඒ අදාළ සැමරුම් සිදුකීරීම කෙරෙහිද දෙරටේම අවධානය යොමු වී ඇති බවද ප්‍රකාශ විය.