ජිනීවා යෝජනා සම්මත කර ගනිද්දී ආසියාව-අප්‍රිකාව අප සමඟ | සිළුමිණ

ජිනීවා යෝජනා සම්මත කර ගනිද්දී ආසියාව-අප්‍රිකාව අප සමඟ

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධව තවත් යෝජනාවක් සම්මත කර ගත්තේය. එය යෝජනාවක් ලෙස මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කණ්ඩායමක් විසිනි. එලෙස ඉදිරිපත් කෙරුණු යෝජනා සම්බන්ධව ශ්‍රී ලංකා රජය තම එකඟතාව පළ නොකළ බැවින් ඒ යෝජනා සම්බන්ධව ඡන්ද විමසීමක් කිරීමටද සිදුවිය. පසුගියදා සිදුවූ එම ඡන්ද විමසීමෙන් යෝජනා සම්බන්ධව එකඟතාව පළ කරමින් වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිවූ අතර තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට පක්ෂවද ඡන්දය භාවිත කළහ. තවත් රටවල් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියහ.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය සමන්විත වන්නේ රටවල් 47කිනි. එම සාමාජිකයන් 47 අප්‍රිකානු රටවල් 13කින්ද, ආසියා පැසිෆික් රටවල් 13කින්ද, නැගෙනහිර යුරෝපා රටවල් 6කින්ද, ලතින් ඇමරිකානු සහ කැරිබියන් රටවල් 8කින්ද, බටහිර යුරෝපා සහ තවත් රටවල් 7කින්ද සමන්විත වේ. මේ එහි ව්‍යුහයයි. මේ රටවල නිත්‍ය සාමාජිකයන් මෙන්ම වරින්වර හුවමාරුවන නියෝජනයන්ද වේ. කෙසේ වුවද ශ්‍රී ලංකාවද අතීතයේ සිටම එහි සාමාජිකත්වය උසුලයි. ලෝකයේ රටවල සිදුවන මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධව සොයා බලා ඒ පිළිබඳ සාධාරණයත්වය ඉෂ්ට කිරීමට කටයුතු කිරීම මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන කාර්යභාරය වේ. එහෙත් එසේ වූ පමණින් මානව හිමිකම් කවුන්සිලය සර්ව සාධාරණ විනිශ්චය ආසනයක් ලෙසින්ද හඳුනාගත හැකිද යන ප්‍රශ්නයට ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව මුහුණ දී තිබේ.

එහි ක්‍රියාකාරීත්වය බටහිර රටවලට වාසිදායක අන්දමින් ක්‍රියාත්මක වන අන්දම ලෝකය අත්දුටුවේ වරක් දෙවරක් නොවේය. ඇතැම්විට රුසියාවේ සහ චීනයේ නිෂේධ බලය නොවන්නට බොහෝ අන්තනෝමතික තීරණ මේ මානව හිමිකම් කවුන්සිලය වෙතින් එළිදකින්නට ඉඩ තිබිණි.

මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා මාලාවේ එක් ප්‍රධාන යෝජනාවක් වූයේ උතුරේ ඉඩම් හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමය. ඒ සම්බන්ධ චෝදනා එල්ල කිරීමේදී අප රටේ උතුරුකරයේ ජනතා නියෝජිතයන් රැසකගේ සහයෝගයද හිමිවන අන්දම දැක ගත හැකි විය.

මේ යෝජනා ඉදිරිපත් කිරීමේදී සහය දැක්වූ බ්‍රිතාන්‍ය ඒ සඳහා විශේෂ අන්තර්ජාල සමුළු වාරයක් පසුගිය මාර්තු 20වැනිදා පැවැත්වීය. එම සමුළු වාරය ඇමතීමට ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ජනතා නියෝජිතයන් කිහිප දෙනෙක්ම දායක වූ අතර ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හිටපු මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියයි. ඒ සඳහා තවත් ජනප්‍රිය චරිතයක් වූ හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලයොර්ගේ බිරිය වන චෙරී බ්ලෙයාර්ද එක් වූවාය. චෙරී බ්ලෙයාර් මේ වන විට අන්තර්ජාතික මානව හිමිකම් නීතිඥවරියක් ලෙස කටයුතු කරන්නීය. ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍ය අගමැති ලෙස කටයුතු කරන අවධියේ ජෝර්ජ් බුෂ් සමඟ එක්ව හමුදා මෙහෙයවා ඉරාකය බිමට සමතලා කර දැමූ අන්දමත් ඒ හේතුවෙන් ඉරාක වැසියන්ගේ මානව හිමිකම් කඩවූ අන්දමත් චෙරී බ්ලෙයාර්ට අමතක වී ඇති අන්දම පුදුම සහගතය. බොහෝවිට මේ සියල්ලේ ඉලක්කය බ්‍රිතාන්‍යයේ පදිංචි දෙමළ ජනතාවගේ ඡන්ද විය හැකිය. කෙසේ වුවද අවසානයේ ඡන්ද විමසීම නිමා වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට වැඩි ඡන්ද ලැබීමත් සමඟිනි. එහිදී ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ට්‍රියාව,බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆිජී, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාෂල් දූපත්, මෙක්සිකෝව, පෝලන්තය, දකුණු කොරියාව, යුක්රේනය, උරුගුවේ ඇතුළු රටවල් 22ක් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්හ. ශ්‍රී ලංකාවට පක්ෂව එනම් යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දුන් රටවල් 11අතර රුසියාව, චීනය සහ පකිස්තානය මෙන්ම බංග්ලාදේශය, බොලිවියාව, කියුබාව, එරිත්‍රියාව, පිලිපීනය, සෝමාලියාව, උස්බෙකිස්තානය සහ වෙනිසියුලාවද විය.

මේ රටවල් කණ්ඩායම් දෙක දෙස බැලූ විට අන්තර්ජාතික දේශපාලනය දන්නා අයට පැහැදිලිවම පෙනී යන්නේ මේ ඇත්තේ ලෝකයේ ප්‍රධාන බල කඳවුරු දෙකේ නියෝජනයක් බවයි. දක්ෂිණාංශික බල කඳවුර ශ්‍රී ලංකාවට විරුද්ධ යෝජනා සම්මතයට එක්වන අතර ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට එක්ව සිටින්නේ වාමාංශික බල කඳවුර ලෙස හඳුනාගත හැකිය. වර්තමානය වන විට වාමාංශික සහ දක්ෂිණාංශික සීමා මායිම් එහා මෙහා වී පැවතියද තවමත් මේ කඳවුරේ රටවල් දක්ෂිණාංශයට දණ නැමීම ප්‍රතික්ෂේප කරන රටවල් ලෙස හඳුනා ගත හැකිය.

සැබවින්ම ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේදී තර්ක කර සිටියේ තමන්ට එල්ල වී ඇති චෝදනා සාධාරණ නොවන බවයි. එහිදී මේ යෝජනා සම්මතවීම වැළැක්වීමට මෙන්ම යෝජනා සංශෝධනය කිරීමටද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතළු පිරිස ගත් උත්සාහයන් අගය කළ යුතුය. කෙසේ වුවද මේ යෝජනා සම්මත වුවද විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ යෝජනා සම්බන්ධව ඡන්දය ලබා දීම ප්‍රතික්ෂේප කළ රටවල් සංඛ්‍යාවට අනුව සැබවින්ම යෝජනාවලට එකඟතාව නොදැක්වූ රටවල් සංඛ්‍යාවෙන් වැඩි බවයි.

මේ යෝජනාවලට තම මතය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි සිටි රටවල් සංඛ්‍යාව 14කි. එම රටවල් අතර බර්කිනා ෆසෝ, කැමරූන්, ගැබොන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලිබියාව, නැමීබියාව, නේපාලය, සෙනගාල්, සූඩාන් සහ ටොගෝ යන රටවල් විය. මේ රටවල් දෙස බැලූ විට පෙනී යන විශේෂ කරුණක් වේ. එනම් මේ රටවල් ආසියා මහාද්වීපයට සහ අප්‍රිකා මහාද්වීපයට අයත් බවයි.

ආසියාව මෙන්ම අප්‍රිකාවද යුරෝපය ඇතුළු ධනවත් රටවල කුඩම්මාගේ සැලකිලිවලට නිබඳව මුහුණ දෙන රටවල් සහිත කලාපයන් දෙකකි. මේ රටවල ජනතාවට අධික පොලී සහිත ණය හෝ කොන්දේසී මිස මේ නීති දමන ධනවත් රටවලින් ලැබුණු මානූෂිය ආධාර කිසිවක් නැත. යටත්විජිතකරණය යටතේ ඔය රටවල් සියල්ලම ධනවත් වූයේද ආසියාව සහ අප්‍රිකාව සූරාගෙන කෑමෙනි. අදටත් ඔවුන් වක්‍රාකාරව සිදුකරමින් සිටින්නේද එයමය. එබැවින් ආසියාවේ මෙන්ම අප්‍රිකාවේ රටවල් මෙවැනි මත විමසුමකදී නිශ්ක්‍රිය වීම පුදුමයට කරුණක් නොවේය. එහෙත් අප උනන්දු විය යුතු වන්නේ මේ රටවල් අපේ පාර්ශ්වයට දිනා ගැනීම කෙරෙහිය. කෙසේ වුවද ඔවුන් අපට විරුද්ධ නොවීමම සතුටට කරුණකි. දකුණු ආසියා කලාපය සැලකුව විට පකිස්ථානය සහ බංග්ලාදේශය අපට පක්ෂ වන විට ඉන්දියාව සහ නේපාලය නිශ්ක්‍රිය වන්නේය. එය සතුටට කරුණකි.

එහෙත් ඉන්දියාව කෙසේ වෙතත් නේපාලය හෝ අපගේ පාර්ශ්වයට දිනා ගැනීමට කටයුතු කළ හැකි නම් එය ජයග්‍රහණයක් වන්නේය. අප්‍රිකා මහාද්වීපය සමඟ ශ්‍රී ලංකාව වඩාත් සුහද සබඳතා පවත්වා ගත යුතු වන්නේය.

ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක සිය විදේශ ප්‍රතිපත්තිය ලෙස ඉතා විධිමත් නොබැඳි පිළිවෙතක ගමන් ගන්නේය. එය මුළු ලෝකයටම එක සමාන වඩා ස්ථාවර පිළිවෙතක් බව අවස්ථා ගණනාවකදී ඔප්පු කර ඇත්තේය. අනාගත ලෝකයේ ගාමක බලවේගය වනු ඇත්තේ ආසියාව වුවද යුරෝපයේ මෙන්ම ඇමරිකා කලාපයේද ශ්‍රී ලංකාව හොඳ හිත පැතිරවිය යුතු වන්නේ නොබැඳි පිළිවෙත දිගින් දිගටම ක්‍රියාත්මක කරමිනි. කැත්තට පොල්ල සංකල්පය ජාත්‍යන්තර සබඳතාවලදී කිසිසේත් සාධනීය වන්නේ නැත.

අනික් අතට රටක ස්වාධිපත්‍යයට ඇඟිලි ගැසීම්වලින් වැළකීමට ලෝකයේ බලවත් යැයි සැලකෙන රටවල් කටයුතු කළ යුතුය. රටක් තම අභ්‍යන්තර ගැටලුවලින් මිදෙන්නේ නම් එහි වාසිය එම රටේ ජනතාවටමය. රුසියාව සහ චීනය යන අනාදිමත් කාලයක සිට අප සමඟ සිටින මිතුරන් මේ අත්දැකීම්වලට අප්‍රමාණව මුහුණ දුන් රටවල්ය. එහෙත් ඔවුන් මේ අභියෝග හමුවේ නොසැලී සිටින්නේ තම මිතුරන්වද ආරක්ෂා කර ගනිමිනි. කියුබාවද කිසිදා ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු නොකරන, අප මෙන්ම බටහිර ධනවතුන්ගේ අතපෙවීම්වලට විරුද්ධ මතකය පවතින රටකි. කියුබාව මෙහිදී අපට ලබා දුන් සහයද ඉතා අගය කළ යුතුය. අප මෙවැනි අවස්ථාවනට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද යන්න එම රටවල අත්දැකීම් ඔස්සේ සලකා බැලිය යුතුය. එමෙන්ම රටේ ස්වෛරීභාවයට හානි කරන ඕනෑම අවස්ථාවකදී ශක්තිමත්ව එයට විරුද්ධ විය යුතුය.

විදේශ අමාත්‍යංශය මෙහිලා සිදු කරන කාර්ය භාරය අති විශාලය. එහෙත් එය තවදුරටත් සාධනීය විය යුතුය. මිතුරන් වර්ධනය කර ගැනීම පහසු නැත. එහෙත් සතුරන් ඇති කර ගැනීම පහසුය. මිතුරන් ඇති කර ගැනීම යනු කියන පදයට නැටීමද නොවන බව සිහියේ තබා ගත යුතුය. අද ලෝකයේ රටවල ආනගතය තීරණය වන්නේ රට අභ්‍යන්තරයේ නොවේය. එය තීරණය වන්නේ රටින් බාහිරව සිදුවන බලවතුන්ගේ ක්‍රියාකාරකම් සහ තීන්දු තීරණ හමුවේය. එවැනි අවස්ථාවක අපට අනන්‍ය වැඩපිළිවෙළක පැවතීම ඉතා දුෂ්කරය. එහෙත් දුෂ්කරය යනුවෙන් අදහස් වන්නේ ජයග්‍රහණය කිරීමට නොහැකි බව නොවේය.

මේ සම්මත කර ගත් යෝජනා හමුවේ ඉදිරියේදී ශ්‍රී ලංකාව මත අන්තර්ජාතික බලපෑම් වැඩි වීමට ඇතැම් විට ඉඩකඩ පවතින්නේය. එවැනි අවස්ථාවලදී ඉතා සුක්ෂ්මව කටයුතු කිරීමට අපේ රටේ බලධාරීන් දැනුම්වත් විය යුතුමය. එසේ නොකළහොත් ශ්‍රී ලංකාව අන්තර්ජාතික කෙළිබිමක් බවට පත්වනු ඇති අතර එහි අවාසියද අපේම දූ පුතුන්ට අත්විඳිමට සිදුවනු ඇත.

Comments