
ලුණුගල සිංහල, දමිළ, මුස්ලිම්, කිතුනු යන හැමකාගේම නෙතට කඳුළක් එක්කළ දිනයක් වුයේ පසුගිය විසි වැනිදාය. එදා නිවාඩු දිනයක් වුවත් දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙන වෙනදා මෙන්ම තමන්ගේ අධාපනික කටයුතු ඇතුළු ජීවනෝපායන් සොයා බසයක නැඟ ගිය ඇතමුන්ට මරණය හිමි වෙද්දී තවත් අය සදාකාලික ආබාධිතයන් වුයේ ප්‍රදේශයටම කඳුළක් එක් කරමින්ය.
වෙනදා මෙන්ම එදා උදේත් 6.30ට ලුණුගලින් කොළඹ බලා ගමන් ගිය පෞද්ගලික මගී බස් රථයක ගමනාන්තය විනාඩි හතළිස් පහකින් නිමා වූයේ අඩි 250ක ප්‍රපාතයක පෙරළීමෙනි.
අනතුරින් බසයේ ගමන්ගත් 14 දෙනෙකුට ජීවිත අහිමි වෙද්දී ඔවුන්ගේ දරු පවුල් වල සියලු දෙනාටත් ජීවිතයේ සියලු බලාපොරොත්තු අහිමි විය. තවත් හය හත් දෙනකු අද වන විටත් ජීවිතයත් මරණයත් අතර සටනකය. සදාකාලික ආබාධිත වූවෝද විශාල පිරිසකි.
ලුණුගලින් සෑම දිනකම උදේ 6.30ට කොළඹ බලා ගමන් ආරම්භ කරන පෞද්ගලික බසය 20 දිනයේදීත් එම වෙලාවටම ගමන් ආරම් කළත් පස්සර නගරය ආසන්න වෙද්දී මගීන් 50කට අධික පිරිසකගෙන් බසය පිරී තිබිණ.
රියදුරාගේ අධික වේගය හා නොසැලකිල්ල නිසාත් පාර මැද තිබූ ගලක් ගැන අවධානය නොකළ නිසාත් ඉදිරියෙන් පැමිණි ලොරි රථ රියදුරෙකු නිසාත් මේ අවාසනාවන්ත අනතුර සිදු වන්නට ඇති බව කවුරුත් කියති. අනතුරින් ලුණුගල හා යපම්ම ප්‍රදේශයේ පදිංචි ආර්.එම් හංසිකා සදමාලි (25)සහ එම්.ඒ කාවින්ද්‍ය තත්සරණී (21).ලුණුගල උඩපංගුවේ පදිංචි අන්තෝනි සාමි නෝවා(32) හා බෙනටි මැඩෝනා (31) , ලුණුගල පදිංචි පෙරුමාල් මුරලිදරන් (46),හා පොන්නම්බලම් අගලන් (40) ,යපම්මේ පදිංචි ටී.එම් අශෝක පත්ම කුමාර (35) ,වේල්ලවෙළ පදිංචි ආදම් ජේතුම් බේබි (86) සහ ආදම් සායිබු පාතිමා උම්මා (47), දේසිබොක්ක පදිංචි වෙල්ලයන් සුබ්‍රමනියම් (73),මීදුම් පිටියේ ජදිංචි පාකියනාදන් යෝගදාස් (48),රාමන් නාගරත්නම්(68),සුබ්‍රමනියම් රාජන්ද්‍රන් (55),මුත්තයියා මුරුගේස් (71) යන අය අනතුරින් මිය ගියාය. මගේ දුව කාවින්ද්‍ය තත්සරණි අනතුරින් මිය ගියා. දුවගේ අම්මා වසර දහයකට කලින් මිය ගියා එදා ඉදලා දුවයි මමයි හිටියේ මගේ හැමදෙයක්ම බැලුවේ දුව මට කන්න බොන්න විතරක් නොවෙයි ඇඳුම් පවා සෝදලා දුන්නේ දුව මම දැන් ජීවත් වෙලා වැඩක් නෑ. බදුල්ලේ තිබෙන ඩිප්ලෝමා පන්තියට යන්න බස් එක හෝන් කරද්දී ගේට්ටුව ඇරගන්න බැරි වුණා. දුව වැටෙකින් පැනලයි බසයට ගොඩ වුණේ ඒ ගමන ආය නොයෙන ගමනක් කියලා මම දැනගෙන හිටියේ නැතැයි රත්නසිරිගේ මුවින් පිටවිය. දියණියගේ වියෝවෙන් සදාතනිකව අසරණ වු රත්නසිරි මළ මිනිය අසල බිම දිගා වෙමින් රැයක් ගත කළේ කාගේත් දෙනෙතට කඳුළක් එක් කරමිනි. ලුණුගල උඩපංගුව ගමේ කුලී නිවසක පදිංචිව සිටි අන්තෝනි සාමි නෝවා හා බෙනටි මැඩෝනා යුවළ තම කුඩා දරුවන් තිදෙනා මව ළඟ තබා බදුල්ල බලා ගියේ ප්‍රතිකාර ගැනීමටය ධාවනය වෙමින් තිබු බසයට ත්‍රිවිලරයකින් ගොස් ගොඩවී ගිය ගමනක ප්‍රතිඵලය වූයේ දරුවන් තිදෙනෙකුට පියකු හා මවක අහිමි වීමකි. දරුවන් තිදෙනා සදාකාලිකව අසරණ වී සිටිති. වේල්ලවෙළ එකම පවුලේ හත් දෙනකු බසයේ නැඟී හාලිඇල බලා යද්දී සිදු වු අනතුරින් මවක හා දියණියක මිය ගියාය. ඔවුන් දෙදෙනා ආදම් ජේතුම් බේබි සහ ආදම් සායිබු පාතිමා උම්මාය. පාතිමාගේ දරුවන් දෙදෙනකුද මේ වන විටත් බරපතළ තුවාල ලබා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.
පොන්නම්බලම් අගලන් සහ ටී.එම් අශෝක පත්ම කුමාර යන අයගේ දරුවන්ට කිසිදු පිහිටක් නැති තරමටම අසරණය. ආර්. එම් හංසිකා සදමාලිත් අනාගතයේ දහසකුත් බලාපොරොත්තු තබා ඩිප්ලෝමා පාඨමාලාවට යද්දි අනතුරට ගොදුරු විය. වෙනදා මෙන්ම වේගයෙන් ආපු බසය මගේ වෙළඳසැල ඉදිරියේදි ලොරියකට වෙට්ටුවක් දාද්දී එකපාරටම ප්‍රපාතයට පෙරළුණා. මම දුවගෙන ගියා. බසය පේන්නවත් නෑ. ප්‍රපාතය දිගටම මිනිස්සු වැටිලා හිටියා. එතනට දෙතුන්දෙනෙක් ආවා. අපි පහළට බැහල එක එක්කෙනා ගොඩට ගෙනාවා යැයි අනතුර සියසින් දැක පළමුවෙන්ම රෝගීන් ගොඩට ගත් මොහොමටි ජෙම්සික් රාසික් පැවසුවේය. ඔහු අනතුර ගැන මෙසේද කීය.
‘පෙරළුණ බසයෙන් විසිවුණ අය කැළයේ තැන් තැන්වල වැටී හිටියා. ඇතමුන් මිය ගිහින්; තවත් අය පණ අදිනවා. ප්‍රපාතයේ තිබෙන බසයෙන් මහා විලාප හඬ ආවා. මගේ සහයට තවත් දෙතුන් දෙනෙක් එකතු වුණා. නිවසේ තිබුණ ඇද ඇතිරිලි, පොරොනා සහ අතට හසුවන රෙදි කැබලි ගෙනත් මඟීන් එවායෙහි ඔතාගෙන ගොඩට ගෙනාවා. ටික මෙහොතක් යද්දී අපේ අසල්වැසියන් ගෙවල් වල තිබූ හැම රෙදි කැල්ලක්ම ගෙනත් රෝගීන් ඔතා ගොඩට ගත්තා. සමහරු ඇදිවත පවා ගලවා රොගීන්ට ඇන්දුවා. පැය භාගයක් යද්දී දහස් ගණනක් අපේ ගමේ මනිස්සු මෙතනට එක් වුණා. සියලුම දෙනා එකම දම්වැලක් ලෙස අත් අල්ලාගනිමින් රොගීන් පැය ගාණක් තිස්සේ ගොඩට ගෙනාවා. බසයේ සිරවී සිටි තුවාලකරුවන් වගේම මිය ගිය අයත් ගොඩට ගෙනාවා.
පසුව පොලිසියත් ඇවිත් ගම්වාසීන්ට සහය දුන්නා‘ සිද්ධිය සියැසින් දුටු මාර්ගයේ සිටි තුවාන්සා මේ ඛේදවාචකය ගැන පැවසුවේ මෙවැන්නකි. ‘මම උදේ පාරේ වැඩ කරන්න ආවා. වැඩට ලෑස්ති වෙද්දී බසය වේගයෙන් එනවා දැක්කා. මම හිටියේ ගල ළඟ කඩය අසල. වේගයෙන් ආපු බසයට තුන්දෙනෙක් නඟින්න අත දැම්මා. ඒත් නතර කළේ නෑ; අධික වේගයෙන්ම ඉදිරියට ආවා. ඉදිරියෙන් ට්‍රිපර් රථයක් ආවා; වේගය අඩු නොකරම ගිය බසය පාරෙන් ඉවතට පැන පෙරළුණා. අපි හයියෙන් කෑ ගැහුවා. ටික වේලාවකින් වටේ හිටපු මිනිස්සු දුවගෙන ආවා. ඒ අය ප්‍රපාතයට බැස්සා; ටික වේලාවක් යද්දී පොලිසිය සහ විශාල පිරිසක් ආවා. ඒ අය පහළට ගිහින් රෝගීන් ගොඩට ගෙනාවා‘ යැයි පැවසීය. ලුණුගල පදිංචි ඉශාක් සාරංග මෙකී ඛේදවාචකයට සජීවීව මුහුණ දුන්නෙකි. ඔහු එකී සිද්ධිය ගැන සිය මතකය අවදි කළේ මෙලෙසිනි. මම ලුණුගලින් බසයට ගොඩ වුණා. වේගයෙන් යද්දී තමයි පෙරළුණේ. පෙරළුණු බසය කරණම් ගසමින් තමයි ප්‍රපාතයට වැටුණේ. බසය පෙරළෙද්දීත් කිහිප දෙනෙකු එළියට විසි වෙනවා දැක්කා. විශාල ශබ්දයක් සමඟ ගල් රෑණක වැදිලා බසය නැවතුනා. මමත් එතනදි එළියට විසි වුණා. මට වැඩිය තුවාල නැති වුණාට ඇතිවුණ බිය නිසාම ටික වේලාවක් එතන හිටියා. වැඩි පිරිසක් බසයේ සුන් බුන් වලට යටවෙලයි හිටියේ. ටික වේලාවකින් මම අමාරුවෙන් ගස් අල්ලමින් පාරට යද්දි ළඟ පාත මිනිස්සු ඇවිත් අපිට රෝහලට ගෙන ගියා.
මම මැරෙන්නේ නැතුව බේරුණා; මොනවා වුණා ද කියලා මට හිතාගන්න බෑ. පැය තුනක පමණ කාලයක් තිස්සේ බසයේ සිරවී සිටි තුවාලකරුවන් ගොඩට ගැනීමට නොහැකි වූ නිසා බූම් යන්ත්‍රයක් ගෙනවිත් බසය පැත්තකට පෙරළා ඒ තුළත් සිරවී සිටි අයව ගොඩට ගැනිණ.mපසුව පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන්ද පැමිණ සහය දැක්වීය. රෝගීන් ගොඩට ගන්නා අතරතුර ඉහළ කඳු ප්‍රදේශයේ සිට පෙරළී ආ විශාල ගලකට යටවී රෝගීන් ගොඩට ගැනීමට සහය වූ පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළේය. අනතුරින් තුවාල ලැබූ රෝගීන් පස්සර දිසා රෝහලට ගෙන එන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් දහස් ගණනක් රෝහලට පැමිණීමත් සමඟ රෝහල් භූමිය එකම හිස් ගොඩක් බවට පත්විය. එය පාලනය කිරීමට පොලිස් නිලධාරීන් එක්විය. බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු නිලධාරීන් පස්සර රෝහලට රැගෙන එන තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ගෙන යාමට ගිලන් රථවලට පැටවූහ.
එම අවස්ථාවේදි බදුල්ල මහ රෝහලේ පැවත් "ඕ" නෙගටිවු වර්ගයේ ලේ අවශ්‍ය බව මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ඒ අසා සිටි දහස් ගණනක් මිනිස්සු රෝහලට ලේ දන් දීමට පැමිණියහ. පස්සර දිසා රෝහලට ඇතුළත් කළ රෝගීන් අතරින් 13 දෙනකු මියගොස් සිටියහ. ඒ අතර සිටි රෝගීන් 31 දෙනෙකු බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවන අතරතුර එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. බරපතළ තුවාල ලැබු පස් දෙනෙකු සහ තුවාල ලැබු 25 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටිති. ඒ අතර දරුවන් පස්දෙනෙකු, කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් හත්දෙනෙකුද බසයේ රියදුරාද වේ. අදටත් බදුල්ල මහ රෝහලේ විසි දෙනෙකු පමණ ප්‍රතිකාර ගනිමින් සිටිති. පස්සර දිසා රෝහලේ තැන්පත් කළ මිය ගිය අයගේ පී.සී.ආර් පරීක්ෂණ ලබා ගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුරු සියල්ලම බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත එදිනම සවස යොමු කරන ලදී.
මිය ගිය අය පිළිබඳව සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ වලින් කොරෝනා රෝගය වැලඳී නොමැති බව තහවුරු වීමත් සමඟ බදුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සුජීවන ද සිල්වා මහ රෝහලේ මෘත ශරීරාගාරයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා අධිකරණ වෛද්‍යවරයාට යොමු කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුචිර නදීර විසින් පවත්වා රිය අනතුරක් හේතුවෙන් ශරීරයේ බහුවිධ තුවාල සිදුවීමෙන් සිදු මරණ බවට තීන්දු කළේය. පසුදින අලුයම් කාලය වෙද්දී මිය ගිය අයගේ මෘත දේහ නිවෙස් වලටද ගෙනවිත් තිබිණ. එදිනත් පසු දිනත් අනතුරින් මිය ගිය අයගේ අවසන් කටයුතු ලුණුගල පොදු සුසාන භුමි කිහිපයකදි සිදුවිය.
අනතුරට හේතු වූ ට්‍රිපර් රථය පැදවූ රියදුරා වන බදුල්ල හිදගොඩ පදිංචි දිසානායකලාගේ චන්ද්‍රකුමාර් නැමැත්තා අනතුරෙන් පසු සැඟව සිටියදී පස්සර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන බදුල්ල අධිකරණයේදි මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. ,බදුල්ල මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි අනතුරට පත්වූ බසයේ රියදුරා හමුවට ගිය මහේස්ත්‍රාත් සුජීවන ද සිල්වා මහතා තුවාලකරු , පරීක්ෂා කිරීමේදි දකුණට සහ වම් හක්කට තුවාල සිදුව ඇති බව තහවුරු කරගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර බන්ධනාගාර නිලධාරීන් යටතට පත් කළේය.
ඌව පළාත් වැඩ බලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා,බදුල්ල නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.ජේ අපෝන්සු, බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත,පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත සෙනවිරත්නගේ උපදෙස් මත පරීක්ෂණ කටයුතු සිදුවිය.