
මහරගම අපේක්ෂා රෝහල මෙරට පිළිකා රෝගීන් වෙනුවෙන්ම ප්‍රතිකාර කරන එකම රෝහලයි. පිළිකාවෙන් පීඩා විඳින කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සුවහසක් රෝගීන් වෙනුවෙන් එහි වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය ඉටු කරන්නෙ අනූපමේය සේවාවකි.
පිළිකාවෙන් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් විසිහතර පැයේම කැප වෙමින් විශේෂයෙන්ම අධික ලෙස ශරීරයට අහිතකර විකිරණශීලි රසායනික කිරණ මුදාහරින උපකරණ සහ ඖෂධ සමඟ කටයුතු කරන එහි කාර්ය මණ්ඩලයට බොහෝ දෙනා හිස නමා ආචාර කරති.
එවැනි අපමණ කැපකිරීම් කරන කාර්ය මණ්ඩලයක් සිටින මහරගම, අපේක්ෂා රෝහලෙන් පසුගියදා වාර්තා වූයේ වෙනස්ම කතාන්දරයකි. ඒ, අපේක්ෂා රෝහලෙහි හෙදියන් දෙදෙනකු පැයක පමණ කාලයක් එහි ගැබ්ගෙල පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන විකිරණශීලි කාමරයක් තුළ සිරවී සිටි බවයි. එවැනි විකිරණශීලි කාමරයක් තුළ එතරම් කාල පරාසයක් සිරකර සිටීම ශරීරයට ඉතාම අහිතකර තත්ත්වයක් බවත් විශේෂයෙන්ම පිළිකා අවදානම, ජාන විකෘති වීම් හෝ වෙනත් භයානක රෝගී තත්ත්වයන් පවා ඇතිවිය හැකි බව මහරගම රෝහලේ බොහෝ හෙද හෙදියන්ගේ මතයයි. එසේම එවැනි විකිරණශීලි කාමරයක් තුළ වැඩි වේලාවක් රැඳි සිටිමෙන් ඇතිවන රෝගී තත්ත්වයන් කෙටි කාලයකදී මෙන්ම ඇතැම් විටෙකදී වසර දෙක තුනකදී පමණක් නොව දිගු කලක් ඉක්ම ගොස් පෙන්නුම් කරන රෝගී තත්ත්වයන්ද විය හැකි බව ඒ පිළිබඳ විශේෂඥයන්ගේද අදහසයි.
කෙසේ හෝ පසුගිය 17 වැනිදා සවස පැයක පමණ කාලයක් එනම් සවස තුනේ සිට හතර දක්වා වැනි කාල පරාසයක් එම හෙදියන් දෙදෙනා එහි සිරවී සිටි බවට මහරගම පොලිසියටද පැමිණිල්ලක් කර තිබිණි. මහරගම, කටුවාවල පටුමඟෙහි පදිංචි තරුණ හෙදියක් විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
එම පැමිණිල්ලෙහි සඳහන් වී තිබුණේ පැමිණිල්ල සිදුකරන තමා සමඟ රත්නපුර පාර, ඌරපොළ, ඉංගිරිය ලිපිනයේ පදිංචි තවත් සහෝදර හෙදියක් මාර්තු 17 වැනිදා සවස තුනට පමණ විකිරණශීලි කාමරයේ රැඳෙමින් රෝගීන්ට පසුදාට අවැසි ප්‍රතිකාර සූදානම් කරමින් රාජකාරියෙහි නිරතව සිටි බවයි. එම අවස්ථාවේ දර්ශන සහ මධුක නමැති විකිරණ ප්‍රතිකාර ශිල්පීන් දෙදෙනා විසින් විකිරණ කාමරයේ දොර වසා අගුළු දමා විදුලියද විසන්ධිකොට එම ශිල්පීන් දෙදෙනා වෙනත් රාජකාරියක් සඳහා ගොස් ඇති බවයි.
කිසිවක් කරකියාගත නොහැකිව ඝන අන්ධකාරයේ එම කාමරයේ රැඳි සිටි හෙදියන් දෙදෙනාගේ ජංගම දුරකථනද ක්‍රියා විරහිත විණි. ඒ, එම කාමරයේ දොරගුළු වසා දමා තිබූ හෙයින් පිටත සමඟ කිසිම සබඳතාවක් නොවූ නිසාවෙන් දුරකථනවලට 'සිග්නල්' පහසුකම් නොමැති හෙයිනි.
පැයක පමණ කාලයක් ඒ තුළ සිරවී දොරගුළු විවර කරගැනීමට නොහැකිව බය බිරාන්තව අසරණව සිටි එම හෙදියන්ගේ 'වාසනාවට' වෙනත් හෙද නිලධාරිනියක් කිසියම් කාර්යකට එම කාමරය අසලට පැමිණ තිබුණාය. ඒ මොහොතේ කාමරයේ සිරවී සිටි දෙදෙනා උදවු ඉල්ලා කෑකෝ ගැසීම ඇසීමෙන් එලෙස පැමිණි හෙද නිලධාරිනිය විසින් ක්ෂණිකව දොරගුළු විවෘත කිරීම නිසාවෙන් පිටතට පැමිණි බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්කර තිබුණාය.
මහරගම පොලිසියට ලැබුණු එම පැමිණිල්ල පිළිබඳව මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්තගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ නිලධාරිහු විමර්ශනයක් ආරම්භ කළහ. පොලිසිය සිදුකළ විමර්ශනයෙන් අනතුරුව පසුගිය 21 වැනිදා රාත්‍රියේ එලෙස හෙදියන් දෙදෙනෙකු ශරීරයට අහිතකර අධික විසකින් යුත් විකිරණශීලී කාමරයක් තුළ පැයක පමණ කාලයක් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනිණි. ඒ, ඊට ප්‍රධාන සැකකරුවා වූ රත්මලාන, ශ්‍රී ධර්මාරාම පාරේ පදිංචි කන්දගේ මධුක සඳරුවන් පෙරේරා නමැත්තා සහ ඊට අනුබල දීමේ චෝදනාව මත නුගේගොඩ, පාගොඩ පාර ලිපිනයේ වෙසෙන සේනානායක මුදියන්සේලාගේ කරුණා සාගර දර්ශන බණ්ඩා නමැත්තා පොලිස් අත්අඩංගුවට පත්විණි.
පොලිස් අත්අඩංගුවට පත් දෙදෙනා මහරගම පොලිස් නිලධාරින්ට කියා තිබුණේ විහිළුවකට එවැනි දෙයක් කළ බවයි. එහෙත් එය ජීවිතයත් මරණයත් අතර කළ අමනෝඥ විහිළුවක් ලෙස මහරගම අපේක්ෂා රෝහලේ කාර්ය මණ්ඩලයේ අදහසය. විශේෂයෙන්ම එම කාමරය තුළ යම් පුද්ගලයකු වැඩි වේලාවක් රැඳී සිටීම කෙතරම් අවදානම්ද යන්න එම විකිරණ ශිල්පීන් දෙදෙනාද හොඳාකාරවම දැන නොසිටියා විය නොහැකිය.
පොලිස් අත්අඩංගුවට පත් දෙදෙනා කුමක් කීවද ශරීරයට අධික විස සහිත ද්‍රව්‍ය තැන්පත් කාමරයක් තුළ අයුතු ආකාරයෙන් එලෙස හෙද නිලධාරිනියන් දෙපළක් සිරකර තැබීමේ චෝදනාව මත එම සැකකරුවන් දෙපළ මාර්තු 22 වැනිදා නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කෙරිණි. එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් චෝදනාවට ලක්වූ එම විකිරණ ශිල්පීන් දෙදෙනා හට එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණේ නැවත මෙවන් සිදුවීම් නොවීමට වගබලා ගන්නා ලෙසට දැඩි සේ අවවාද කිරීමෙන් පසුවයි.
එලෙස මුදා හැරියද ලබන ජුනි මස 2 වැනිදා නැවතත් නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ දෙදෙනාටම පෙනී සිටින නියෝග කළ මහේස්ත්‍රාත්වරයා තවදුරටත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශනය කරන ලෙසට මහරගම පොලිසියටද නියම කෙරිණි.
කෙසේ හෝ මෙකී සිදුවීම එතරම් 'ගණන්' නොගෙන සිටීමට මහරගම, අපේක්ෂා රෝහලේ පරිපාලනයද පියවරගෙන තිබුණේ එම චෝදනාවට ලක්වූ විකිරණ ශිල්පීන් දෙදෙනාට එරෙහිව කිසිදු විනය පියවරක් හෝ නොගනිමිනි. අපද මේ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරයාගෙන්ද විමසීමක් කළත් එහි අධ්‍යක්ෂවරයා එය එතරම් තැකීමක් නොකොට නිහඬ වූයේ දුරකථනයද විසන්ධි කරමිනි. එසේම මෙකී අමනෝඥ සිදුවීමට කිසියම් ආකාරයක එම අකරතැබ්බයට මුහුණදුන් එක් හෙදියක් සහ එලෙස සිරකොට පලා ගිය විකිරණ ශිල්පියෙකු අතර වූ පෞද්ගලික කෝන්තරයක්ද තිබෙන බවටද යම් හෝඩුවාවක් අපේක්ෂා රෝහල් ආරංචි මාර්ගවලින්ද සැල විණි.
හෙදියන් දෙපළක විශේෂයෙන් ශරීරයට අධික විසෙන් යුත් උපකරණ සහිත කාමරයක සිරකර තැබීම එක්තරා ආකාරයකින් බරපතළ ගණයේ කාන්තා හිංසනයක් ලෙසද සැලැකේ. එම හෙදියන් දෙපළගේ ජීවිතවලට මෙකී සිදුවීම හරහා යම් අවදානමක් ඇතිවුවහොත් ඊට වගකිවයුත්තන් දෙන පිළිතුර කුමක් ද? එම නිසා මෙවැනි අවදානම් ස්ථානවල රාජකාරි කරන සේවකයන් පිළිබඳව මීට වඩා නිසි බලධාරින් මෙන්ම පරිපාලකයන්ගේ වගකිවයුතු අවධානය යොමුවිය යුතුමය. එසේ නොමැති වුවහොත් ඉදිරියේදී මෙවැනි විහිළු තුළින් නිරපරාදේ වන්දි ගෙවන්නෙ මිනිස් ජීවිතයි.
මේ අතර ගෙවී ගිය සතියේ තවත් හෙදියක පිළිබඳවම මහරගමින්ම නොඇසිය යුතු අවාසනාවන්ත සිදුවීමක් වාර්තා විණි. ඒ මහරගම දන්ත රෝහලේ වෛද්‍යවරියක විසින් එම රෝහලේම සේවය කරන හෙදියකගේ කනට පහර දීමේ සිදුවීමකි. එම පහර දීමෙන් තුවාල ලත් හෙද නිලධාරිනිය කොළඹ ජාතික රෝහලේ 73 වාට්ටුටද ඇතුළත්කර තිබුණේ එම පහර දීමෙන් වූ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙනි.
සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවර්ධන හෙද නිලධාරිනියක වන ඇයට පහර දීම මෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ හෙදියන් දෙපළට සිදුවූ අකරතැබ්බය ඇතුළු පසුගිය කාලයේ හෙද සේවාවේ නියැළි සිටින්නන්ට වන තාඩන පීඩන පිළිබඳව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් විමසීමක් කළහ.
“ඔය පහර දීමේ සිදුවීමට එරෙහිව අපි එම රෝහල ඉදිරිපිටම පසුගියදා දින දෙකක්ම විරෝධතාවක් දැක්වූවා. ඇත්තටම හෙද හෙදියන් කරන්නෙ උතුම් කාර්යභාරයක්. විශේෂයෙන්ම ඔවුන්ගේ කැපවීම මොනතරම්ද... ඇතැම් අවස්ථාවල හෙද හෙදියන් දිවා රෑ නොමැතිව රාජකාරියට කැපවෙලා ඉන්නෙ. මෑත කාලයේ සිට රෝහල් කීපයකම එවැනි හෙද හෙදියන් රැසකටම හරිම අප්‍රසන්න සිදුවීම්වලට මුහුණ දීමට සිදු වුණා. අපි මේ පිළිබඳව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බලධාරින් දැනුවත් කළා. ඒත් ඒ කිසිම නිලධාරියෙක්ගෙන් සාර්ථක ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නැහැ. අපිට මේ නිලධාරින්ගෙන් හෙදියන්ගේ ගැහැටවලට පිළිතුරු ගන්න වෙලා තියෙන්නෙ තර්ජනය කරලා. මං මේ පිළිබඳව ලිඛිතවම ඇමැතිතුමියව දැනුම්වත් කළා. ඉතින් මේ පිළිබඳව ඉදිරියේදී සාර්ථක පිළිතුරු නොලැබුණොත් දීප ව්‍යාප්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරනවා.“