මුහුදේ ගිලෙන ජීවිත 173 ක් සිය දෑතින් බේරූ චන්ද්‍රපාල | සිළුමිණ

මුහුදේ ගිලෙන ජීවිත 173 ක් සිය දෑතින් බේරූ චන්ද්‍රපාල

 

කින්රෝස් ක්ලබ් එකේ මේ සේවාව නිසා මුහුදේ ගිලිණු ජීවිත බේරුණු වාර අනන්තයි.

 

කරදිය වළල්ලට මැදිවූ මුතු ඇටය වන ශ්‍රී ලංකාවේ පිහිනීමට හැකියාව ඇත්තේ අතළොස්සකට වුවත්, ලෝකයේ අනිකුත් රටවල් හා සසඳන විට ඒ සුළුතරය පිහිනීමට සැබෑ හපන්නුය. ලෝකයේ බොහෝ රටවල් සමඟ තරග වදිමින් ඔලිම්පික් රන් පදක්කම් පවා දිනා ගැනීමට ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වී ඇත. පානදුරේ එස්.එම්. චන්ද්‍රපාල (66) මුහුදේ පිහිනීමේ සැබෑ දක්ෂයෙක් වන අතර ඔහු විසින් එදා මෙදාතුර බේරාගෙන ඇති ජීවිත ගණන 173 පමණ වේ. චන්ද්‍රපාල සේවය කරන්නේ වැල්ලවත්ත දුම්රියපළ සීමාවේ මුහුද පැත්තට වන්නට ඉදිකර ඇති කින්රෝස් ස්විමින් ඇන්ඩ් ලයිෆ් සේවින් ‍ක්ලබ්’ ආයතනයේ ය.

මේ ආයතනයේ ඉතිහාසය මින් දශක අටකටත් එහා ගිය එකකි. වැල්ලවත්ත පාලමට එහා බිංතඹුරු හා කඳුරු ගස් ගොන්නකි. මුහුදට සමීපව එම තුරු සෙවණේ ඉදිකළ පොල්අතු පැල බීච් වාඩිය නම් වේ. බීච් වාඩියේ හිමිකරු වූයේ මයික් සිරිමාන්නය. ඔහු ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකි. මුහුදේ පිහිනීමට දක්ෂයෙක් වන මයික් එය විනෝදාංශයක් කරගත් අයෙකි. බීච් වාඩිය සමීපයේ මුහුදේ ගිලෙන අයගේ ජීවිත බේරා ගැනීම ඔහුගේ පුරුද්දක් විය. මුහුදේ පිහිනීමට හා පිහිනීමට ගොස් අනතුරට පත්වන අයගේ ජීවිත බේරාගැනීමට, තවත් කිහිප දෙනෙක් ඔහු හා එක්වූහ. මෙහි කථානායක චන්ද්‍රපාල මීට සම්බන්ධ වූයේ 1978 වසරේදී ය. ඒ බීච් වාඩියට නොව ඒ වෙනුවට 1977 වැල්ලවත්ත දුම්රියපළ සමීපයේ පිහිටවූ මේ කින්රෝස් ක්ලබ් එකට ය. හැට හය හැවිරිදි චන්ද්‍රපාලගේ ගම පානදුරේ ය. අධ්‍යාපනය ලැබුවේ පානදුරේ ශාන්ත අන්තෝනි කතෝලික පාසලෙනි. පාසල අහවර වී නිවසට පැමිණ පානදුරේ ග‍ඟේ නෑම, ඔහුගේ සතුටයි. පාසලේ නිවාසාන්තර තරගවලින් හා යෞවන සමාජ වොලිබෝල්, පාපන්දු තරගවලින් ඔහු ජය පිට ජය ලැබීය. අ.පො.ස.සා.පෙළ දක්වා ඉගෙන ගත් ඔහු පාසල් ගමනට ආයුබෝවන් කීවද පිහිනුම් හා ජීවිතාරක්ෂක සේවය හා හාපුරා කියා ඇරඹීය. ඒ පානදුරේ සිලනියම් ක්ලබ් එකෙනි. ක්ලබ් අතර, තරගවලට හා ග්‍රාම සේවක මට්ටමේ තරගවලින් ජය ලැබීමට ද දක්ෂයෙක් විය. ඔවුන්ට පිහිනුම් පුරුදු කිරීමට කොළඹ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සාමාජික පොලිස් සැරයන් පියදාස සිල්වා සැදී පැහැදී සිටියේය. චන්ද්‍රපාලගේ දක්ෂතාවන් නෙත ගැටුණු පියදාස සිල්වා ඔහුව ‘කින්රෝස් ස්විමින් ඇන්ඩ් ලයිෆ් සේවින්’ ආයතනයට හඳුන්වා දුණි. ඒ 1970 දශකයේ අවසාන භාගයයි.

වැල්ලවත්ත මුහුදු සීමාවේ සැතපුමක් වපසරිය ඔවුන්ගේ රාජධානියක් විය. මුහුදුදේ රළු පරළු බව, මට සිලුටු බව, රැලි ඇදෙන ස්වභාවය, ජලයේ පැහැය දිගු කාලයක් නිරීක්ෂණය කිරීමෙන් දැන් ඔවුහු මුහුද ගැන හොඳින්ම හඳුනති. කින්රෝස් නිර්මාතෘ මයික් සිරිමාන්නයන් අවුරුදු 75 ක් ම මුහුදේ පිහිනීමෙන් ප්‍රීති විය. අවසාන භාගයේ ඔහු කින්රෝස් ක්ලබ් එකේ පොල් රුප්පාව අසල පුටුවක වාඩි වී තමන්ගේ පසු පරම්පරා කීපයකට පසු උපන් කොලු ගැටවු මූදේ නාන හා පීනන අයුරු බලා හිටියේ සැනසුම් සුසුම් හෙළමිනි.

මයික් සිරිමාන්නයන්ගේ පිහිනුම් හා ජීවිතාරක්ෂක සේවා සංගමයට එක්වූ චන්ද්‍රපාලට මුල් ම රුකියාව ලැබුණේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේය.

ලියුම් තේරීමට ගිය චන්ද්‍රපාල පසුව තැපැල්කරුවූ අතර කොළඹ 12 ප්‍රදේශයේ ලියුම් බෙදුවේ ය. රැකියාව අහවර වූ පසු ඔහුගේ නිවහන වූයේ කින්රෝස් ක්ලබ් එකයි. මෙයින් ගෙවීමක් නොලැබුණ ද ආහාර පාන, විටමින්, පලතුරු, පෝෂ්‍යදායි ආහාර මෙන් ම ගමන් ගාස්තුවක් ද ලැබුණි. මේ හැමදේටමත් වඩා පිහිනුම් හා ජීවිතාරක්ෂක පුහුණුව ගැන ලැබුවේ මහත් අත්දැකීම් සමූහයකි.‍

ඒ 1982 සන්ධ්‍යා වරුවකි. අතොරක් නොමැති ඈත දියඹ දෙස චන්ද්‍රපාල බලා සිටියේ මුහුද ළඟ වැල්ලේ ඉදිකළ කොට බිත්තියකට බරවී ගෙන ය. ඔහු ඇඳ සිටියේ කොට කලිසමකි. කොහොමත් ඔවුන් අඳින්නේ කොට කලිසමක් හා ටීෂර්ටයකි. එක්වරම මුහුදේ පීනමින් සිටි තරුණයෙක් දෑත් ඔසවන අයුරු හා මූදේ ගිලෙන බව නිරීක්ෂණය කළ චන්ද්‍රපාල අසුරු සැණින් මුහුදට පැන ක්ෂණයකින් ඔහු වෙත ළඟා වී දෑත්වලින් ගොඩට ඇ‍දගෙන ආවේය. තරුණයා කටින් වතුර දමයි. මූලික ප්‍රථමාධාර ලබාදී ගිලන් රථයක් ගෙන්වාගෙන හනිකට තරුණයා රෝහල් ගත කළ නිසා ඔහුට ‍ජීවත්වීමට වාසනාව ලැබුණි. ඒ ඔහු විසින් ජීවිතය බේරාගත් පළමු වැන්නා ය. එම තරුණයාගේ වයස අවුරුදු 29 කි.

ජීවිතයක් බේරා ගැනීමෙන් ඔහුට ඇතිවූයේ නිම් හිම් නැති සතුටකි. ඒ සතුට මිල කළ නොහැකි ය. දිනක් කඩපළේ කෙනෙක් daily news පත්තරේ කියවමින් සිටියේය. අන්තිම පිටුවේ තිබූ Life Guard vacancy ඔහුගේ නෙත ගැටුණේ අහම්බෙනි‍. සාරතී එන්ටප්‍රයිසස් වෙතින් ‘ඩුබායිවල ජේබල් අලි’ තරු පහේ හෝටලයේ හිමිකරුගේ දියණියගේ ජීවිතය බේරා ගැනීමේ දුර්ලභ අවස්ථාව චන්ද්‍රපාලට ලැබුණි. ඒ නිසා ම එහි වසර 17 සේවය කිරීමට ද අවස්ථාව උදා විය. මුහුදේ ගිලුණු තවත් පිරිමියෙක් හා කාන්තාවක් ද බේරා ගැනීමට එහිදී ඔහු සමත් විය. හම්බ කළ සල්ලිවලින් ඔහු ගේ දොර හදාගත්තේ ය. ඔහු ගියේ මුලින් ම රු. 12000 වැටුපට ය. නැවත එන වකවානුව වනවිට ඔහුගේ මාසික වැටුප රු. 80000 විය.

ඔහු ඩුබායිවලටත් පිහිනීමේ හා ජීවිත රැක ගැනීමේ කලාව කියා දුන්නේ ය‍. ජීවිත බේරා ගැනීමට එහි තිබුණේ රිටි පමණි. ටෝපිඩෝ ඇතුළු ජීවිතාරක්ෂක උපකරණ ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නා ගැනීමට හෝටලය තීරණය කළේ ඔහුගේ ඉල්ලීමටය.

චන්ද්‍රපාල නැවත ලංකාවට පැමිණියේ 2008 දී ය. නුගේගොඩ සංගීත පිහිනුම් තටාකයේ හා ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දරුවන්ට පිහිනුම් පුරුදු කළේය.

ඒ මොන දේ කළත් වැල්ලවත්ත කින්රෝස් ආයතනයට පැමිණීම ඔහුගේ දෛනික ජීවිතයෙන් කොටසක් විය‍. වසර ගණනාවක් තුළ ජීවිතයේ විවිධ වයස් ඛාණ්ඩයන් තුළ ඔහු ජීවිත 175 පමණ බේරා ඇත. ඒ අතරින් ළමයි 70 කි. ඉතිරි අය පිරිමින් ය. කාන්තාවන් නැති තරම් ය. චන්ද්‍රපාල බේරාගත් වයස වැඩිම පිරිමියා අවු. 45 වන අතර කුඩාම ළමයාට අවුරුදු 14 කි. එහෙත් පිහිනුම් කරුවන් රැසක් සමඟ වැල්ලවත්ත මුහුදේ පීනමින් සිටි අවු. 15 පමණ පිරිමි දරුවකුගේ ජීවිතය අවාසනාවන්ත ලෙස නිමා වූ කථා පුවත චන්ද්‍රපාලයන් මෙසේ මතකයට නැඟීය.

“එදා අන්න අතන අපි සේරම කට්ටිය මුහුදේ පීනමින් හිටියේ එක පාරටම ලොකු රැල්ලක් ආවා. මේ දරුවා අතුරුදහන් වුණා. එදා මූදේ වතුරත් බොර පාටයි. පතුල පැහැදිලිව පේන්නේ නෑ. අපි සේරම මූද පීරමින් ළමයා හෙව්වා. එක්කෙනෙකුගේ කකුලට ළමයව පෑගිලා ගොඩට ගේනකොටත් නැතිවෙලා. ඒ වගේම කෙනෙක්ව ගිලෙන්න යනවා නම් ඔහුගේ ඉරියව්වලින් අපි තේරුම් ගන්නවා‍. මූදේ සද්දෙට කෑ ගැහුවත් ඇහෙන්නෙ නෑ. ඒත් අත් දෙකට ගසනවා. සමහරු එක අතක් ඔසවනවා. යට යනවා ආයේ උඩ එනවා. තුන් පාරක් උඩ ඇවිත් යට ගියොත් ආයෙත් උඩ එන්න අමාරුයි. සමහරු ඒ සීමාවෙම ගිලෙනවා. සමහරු රැල්ලත් එක්ක යටින් දියඹට ඇදිලා යනවා. සමහරුන්ට නිවැරැදිව පීනන්න හැකි වුණත් සමහරුන්ට බැහැ. එහෙම අය මූදේ අඩිය ගහලා හිටගන්න බලනවා. මූද ගැඹුරු නම් හිටගන්න බෑනේ. ගිලෙන කෙනෙකුගේ අන්තිමට දකුණු අත පමණයි උඩට එන්නේ. ගල්කිස්ස මුහුදේ රැල්ල වැඩි නිසා ඉක්මනට ගහගෙන යනවා. වැල්ලවත්තේ රැල්ල ඒ තරම් සැර නෑ. හැබැයි ගැඹුර වැඩියි.”

දවසක් අර මූදට ගෙනත් දාලා තියන දිරන නැව් ඇන්ජිම ළඟ කෙනෙක් පීනන කොට ගිලෙනවා දැකලා අපි ගැඹුරින් පීනලා ගිහින් බේර ගත්තා. ඔහු මීමැස්මොර රෝගියෙක්. සමහර අයව කණ්ඩායමක් ලෙසත් තවත් අයව තනිවම ගිහිල්ලත් බේර ගන්නවා. ගිලෙන්න යන කෙනෙක් බේරගන්න ගිහාම අතින් ඇදගෙන එන‍වාට වඩා මේ උපකරණය පැලඳගෙන ගිහින් බේර ගැනීම තමයි හොඳම ක්‍රමය. ”

එදා මෙදා තුර ජීවිත බේරාගත් අයගෙන් තුටු පඬුරු පාත්කුඩම් ලැබුණේ නැද්දැයි මා ඇසුවෙමි.

“ජීවිතයක් බේරලා අපි සල්ලි බලාපොරොත්තු වෙන්නෙ නම් නෑ. ආත්ම තෘප්තිය, පින වටිනවා. එහෙම කවුරුත් සල්ලි දීලා නෑ‍. පින් දෙනවා. වඳිනවා. දවසක් මෙහෙට ආපු මුස්ලිම් කෙනෙක්ගේ රු. 80,000 ජංගම දුරකථනයක් වැටිලා තිබිලා අහුලලා දුන්නා. මට කේක් එකක් ගෙනත් දුන්නා. පිහිනුම් හා ලයිෆ් සේවින් ඉගෙන ගන්න මෙහෙට එන ළමයින්ගෙන් නම් අය කිරීමක් කරනවා. ඒත් නැති බැරි අයට නොමිලයේ උගන්වනවා. හුඟාක් පාසල්වල ළමයි පිහිනුම් පුරුදු වුණාට තරගවලට යවන්නේ සීමිත ගණනක් නිසා මෙහෙ පුරුදු වෙලා ක්ලබ් එකට සෙල්ලම් කරනවා. ක්ලබ් එකේ සාමාජික වුණාම ‍ඉගෙන ගන්නයි ක්‍රීඩා තරග කරන්නයි දෙකම පුළුවන්. මේ ක්ලබ් එකෙන් ලොකු සේවයක් කරනවා. පොලිස් ජීවිතාරක්ෂක අංශයේ D.I.G චූලසිරි මැදිහත්වී පොලිසියේ අයට පිහිනුම්, කිමිඳුම්, ජීවිතාරක්ෂක සේවා පුහුණු කරනවා‍. අපි උදේ 8 සිට සවස 6.00 තුරු නාන අය ගැන විමසිල්ලෙන් ඉන්නේ. මූද සැර නම් රතු කොඩිය දානවා. ඒත් ඒවා නොතකා ගිහින් සමහරු ජීවිත නැති කරගන්නවා. මෙහි කළමනාකරු ශිවන්ත ක්ලබ් එක ගැන තොරතුරු අප හා බෙදා ගත්තේ ය.

චන්ද්‍රපාලට ලැබුණු සහතික සම්මාන, කුසලාන, පදක්කම් මහා ගොඩක් මේසයක් මත විය. ඒ අතර ඩුබායිවලදී ස්නුකර් හා බිලියඩ් තරගවලින් ලැබුණු කුසලාන 22 කි. කොතරම් කුසලාන සහතික ලැබුණ ද කිසිදු මුදල් ත්‍යාගයක් මේ වනතෙක් ඔහුට ලැබී නැත. සමහර කුසලාන ද ප්‍රදානය, කිරීමෙන් මාස කීපයකට පසු ඊළඟ වසරේ දිනන අයට දෙන්න ඉල්ලා ගන්නේ ඒ ඒ ක්‍රීඩා සමාජ හා ක්ලබ් වලිනි. දිවයින පුරා තියන ක්ලබ්වල විවෘත තරගවලට ඉදිරිපත් වීමේදී අනිත් තරගකරුවන්ගෙන් ඇහෙන්නේ හින්ට් පහරවල්ය. “ආ... අදත් ආවද? තවත් පීනනවද? ඔයා ඉන්නකම් අපිට චාන්ස් එකක් නෑ” යනුවෙනි.

නේපාලය, ඉන්දියාව, පිලිපීනය වැනි රටවල් සමඟ සසඳන විට ලංකාවේ පිහිනුම් හා ජීවිතාරක්ෂක කලාව ඇත්තේ ඉදිරියෙනි. නිදහස් ආර, ළය ආර, සමනල ආර හා පසුපස ආර නමින් පිහිනුම් ක්‍රම සතරකි. එක් එක් අයගේ හැකියාවන් ඇත්තේ වෙනස් අංශවලටය.

චන්ද්‍රපාලගේ බිරිය සිරියලතා මල්වානගෙන් ඔහුට ලැබෙන්නේ නොමද සහායකි. ඔහුට කසුන් ජලංජ හා දිල්හාරා ජීවනී නම් තරුණ දරුවෝ වෙති.

ඔහුගේ ජීවිතය බැඳී ඇත්තේ ලයිෆ් සේවින් සමඟය. දවසක් මූදේ ටියුබ් මත නාමින් සිටි දෙදෙනෙක් අනතුරට පත්වන විට දෙදෙනාම එකවර රැගෙන ඒමේදී චන්ද්‍රපාලගේ කකුල ගල් පරයක වැදී තුවාල විය. ඔහුට මුහුදේ සැතපුම් 2 – 6 අතර ප්‍රමාණයක පිහිනිය හැකි ය.

ඔහුගේ ලිපිනය

10/19, ඉඹුල්හිය.

ශාන්ති මාවත, අළුබෝමුල්ල, පානදුර.

දු.අ. – 0774675656

 

සේයාරූ - විමල් කරුණාතිලක

 

Comments