සජිත් - තලතා ගැටුම එළි­යට | Page 2 | සිළුමිණ

සජිත් - තලතා ගැටුම එළි­යට

ප්‍රේල් මාසය ආරම්භ වීමත් සමඟම සිංහල, හින්දු අලුත් අවුරුද්ද ගැන සමාජයේ වැඩි අවධානයක් යොමුවූයේ කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ අලුත් අවුරුද්ද හිතේ හැටියට සැමරීමට ඔවුන්ට නොහැකි වූ නිසා ය.

සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් අනුව අලුත් අවුරුද්ද සැමරීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ ද එතරම් වාදයක් තිබුණේ නැත.

සමස්තයක් ලෙස සියලුම දේශපාලන පක්ෂවල මතය වූයේ ද සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් සමඟ අලුත් අවුරුද්ද සැමරීමේ අවස්ථා මෙවර ජනතාවට ලබාදිය යුතු බවයි.

පසුගිය සතියේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් දෙකේදී පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යම් යම් වගකීම් පැවරීමට තීරණය කිරීම විශේෂත්වයකි.

මහ වන විනාශයක් සිදුකරන බවට විපක්ෂයේ ගෙන යන ප්‍රචාරයන්ට එම ස්ථානවලටම ගොස් ස්ථානීය පරීක්ෂාව සිදුකර පිළිතුරු ලබාදීමේ වගකීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබුණි.

පරිසරය රැක්ක හැටි  ජනපති  දියත උයනේ සිට කියයි

සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨයෙකු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුගෙන් ම විමසා සිටියේ “කෝ තලතා පේන්නේ නැහැ නේද” කියාය.

මාස 2 කට වැඩි කාලයක් තිස්සේ රත්නපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ කිසිම රැස්වීමකට සහභාගි නොවීම ගැන කණ්ඩායම් රැස්වීමේ සිටි කිහිප දෙනෙක් ම රැස්වීම් ශාලාවෙන් පිටතට පැමිණ කතා කරන්නට වූහ.

“මොකෝ මේ තලතා පේන්න නැත්තේ” එක් හිටපු ප්‍රබල ඇමැතිවරයකු විමසුවේ තරමක කුතුහලයකිනි.

“තලතා ලොක්කත් එක්ක ටිකක් ඔරොප්පු වෙලා ඉන්නේ” නවක මන්ත්‍රීවරයකු කීවේය.

“ඒ මොකද?” යැයි විමසුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයාය‍.

“දිස්ත්‍රික් නායකයාගෙන් අහන්නේ නැතුව ආසනවලට විපක්ෂ නායකතුමා ආසන සංවිධායකවරුන් දැමීම, ඒකට තලතා කැමැති නැහැ” යනුවෙන් පැවසුවේ සබරගමුව පැත්තේ තවත් දේශපාලනඥයෙකු ය.

“ඒ මොකෝ. තලතට කියන්නේ නැතුව රත්නපුරේ කවුරු හරි පත් කරලාද?” යළිත් විමසුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයාය.

“ඔව්. ඔව්. හේෂා විතානගේ කොලොන්නේ ප්‍රධාන සංවිධායක කරපු එකට තලතා කැමැති නැතිලු. තලතාගෙන් අහන්නේ නැතුව තමයි රක්වානේ හිටපු හේෂාට කොලොන්න භාරදීලා තියෙන්නේ” යනුවෙන් එම මන්ත්‍රීවරයා පැවසුවේය.

“ඇයි කොලොන්න ආසනයේ ඡන්ද වැඩියිනේ” යනුවෙන් පැවසුවේ තවත් මන්ත්‍රීවරයෙකි. රත්නපුරට විතරක් නොවෙයි, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් දිස්ත්‍රික් නායකයාගෙන් අහන්නේ නැතුව සංවිධායකවරුන් පත් කරල කියලා ආරංචියි. හැබැයි රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා නම් කවදත් දිස්ත්‍රික් නායකයාගෙන් අහන්නේ නැතුව කිසිම ආසන සංවිධායකවරයෙක් පත්කරලා නැහැ” යනුවෙන් පැවසූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා එම ස්ථානයෙන් යන්නට ගියේය.

මිනුවන්ගොඩ  සභාපතිට ප්‍රසන්නගෙන් තල්ලුවක්

සමාජ මාධ්‍යයේ පළවෙන පරිසර හානි සහ වන විනාශයන් ගැන ආණ්ඩුවේ පාර්ශ්වයේ අවධානය යොමු වූයේ පසුගිය 26 වැනිදා බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයෙහි පැවැති පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිත හමුවේදීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණ.

බැසිල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, රොෂාන් රණසිංහ, ඩී.වී. චානක, උදේනි අතුකෝරාළ, සුමිත් උඩුකුඹුර, සාගර කාරියවසම්, මිලාන් ජයතිලක, මධුර විතානගේ, ජයන්ත කැටගොඩ, සුදත් මංජුල එම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී මුලින්ම අදහස් පළ කරන ලද්දේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරලගංවිලයි.

“පරිසර හානියයි, වන විනාශය ගැනයි චෝදනාව ආණ්ඩුවට එල්ල කරන්නේ සංවිධානාත්මක විදියටයි. ඒ වුණාට ආණ්ඩුව පාර්ශ්වයෙන් මීට පිළිතුරු ලබාදීමේ වැඩපිළිවෙළක් නැහැ. මේකෙන් වෙන්නේ ආණ්ඩුව ගැන ජනතාවගේ තියෙන විශ්වාසය නැතිවෙන එක. ජනාධිපතිතුමනි, මේ තත්ත්වය නොසලකා හරින්න එපා.” යනුවෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කතාවට ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගෙන්ද ලැබුණේ තල්ලුවකි.

“ඔව්. ජනාධිපතිතුමනි, ඒ කතාව ඇත්ත. එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය හිතා මතාම ආණ්ඩුවට එරෙහිව මේ විදියේ මතවාදයක් නිර්මාණය කරමින් ඉන්නේ.” යනුවෙන් ප්‍රසන්න රණතුංග පැවසීය.

“අද බොහෝ දෙනෙකුට මතක නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී මේ ප්‍රදේශවල පරිසරය සංරක්ෂණය කරන්න අපි කරපු දේවල්.”

අනුරාධපුරය, පොළොන්නරුව පළාත්වලින් පැළ ගෙනල්ලා තමයි අද මේ විදියට රූස්ස ගස් වවලා තියෙන්නේ” යනුවෙන් ප්‍රකාශ කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අවට පරිසරය ඕනෑකමින් නිරීක්ෂණය කළේය.

පරිසරය අල්ලාගෙන ආණ්ඩුවට විරුද්ධව ලොකු කැම්පේන් එකක් ගෙනියනවා. මේ කියන දේවල් ඇත්ත නම් කමක් නැහැ. ආණ්ඩුවට මඩ ගහන්න හිතාගෙන ජනතාවට බොරු කියන එක තමයි වැරැදි. මේ ගැන මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. මං සෑහෙන කාලයක් තිස්සේ බලාගෙන හිටියා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර අරන් තියෙන්නේ” යනුවෙන් ජනාධිපතිවරයා තම ස්ථාවරය පැහැදිලි කළේ ය.

 

ඇතැම්  සභාපතිවරුන් ගැන ජනපතිට පැමිණිලි

 

‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන ගැන ද මෙහිදී කතා බහ විය. එම වැඩසටහන සාර්ථක බවට පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ ප්‍රසාදය පළවිය.

“අපේ පළාත් පාලන ආයතන නියෝජිතයන් වැඩි දෙනෙකු ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන අගය කරනවා. ගමේ ප්‍රශ්න ජනාධිපතිතුමාට කියන්න අවස්ථාව ලැබෙන එකට අපි සතුටුයි” යනුවෙන් පැවසුවේ ප්‍රසන්න රණතුංගයි.

“ඔව්. ඒක ඇත්ත. මං ‍ඒකෙදි දැක්ක දෙයක් තමයි යම් ගැටලුවක් ඉදිරිපත් වෙනකොට ගැටලුව ගැන පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට හොඳ දැනුමක් තියෙනවද? කියන කාරණය.

පරිසර විනාශයන් සිදුවෙනවා නම් ඒ ගැන වහාම සොයා බලා කඩිනමින් අපිව දැනුම්වත් කරන්න. ඒවා වළක්වන්න අවශ්‍ය පියවර අපි ගන්නවා?” යනුවෙන් ද ජනාධිපතිවරයා පැවසීය.

ඇතැම් රාජ්‍ය ආයතනවල සභාපතිවරුනගෙන් වැඩ කරවා ගැනීම අපහසු බව සඳහන් කරමින් පළාත් පාලන ආයතන නියෝජිතයෝ ජනාධිපතිවරයාට වැඩි වශයෙන් කරුණු දක්වන්නට වූහ.

 

මීගමුව කලපුවෙන් රැස්වීම උණුසුම් වෙයි

 

ජනතාව වෙනුවෙන් තමන් විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම්වලට ඇතැම් රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට කරුණක් බව ද ඇතැම් පළාත් පාලන ආයතන නියෝජිතයන් විසින් උදාහරණ සහිතවම පෙන්වා දෙන ලදී.

“අපි ආරක්ෂා කරන්න ඕන, පුද්ගලයන් නොවෙයි, පක්ෂයේ ප්‍රතිපත්ති මාලාවයි.

බොරු ප්‍රචාරවලින් සහ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමෙන් සිද්ධ වෙන්නේ පසුගිය වසර 5 තුළ සිදුවූ දේමයි.

බොරු ප්‍රචාර නිසා ජනතාවට ආණ්ඩුව ගැන කලකිරෙනවා නම් ඒවා නිවැරැදි කරන්න ඔබට පුළුවන්” යනුවෙන් ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික් කමිටු රැස්වීම පසුගිය අඟහරුවාදා පැවැත්විණ. මෙහිදී වැඩි අවධානයක් යොමු වූයේ මීගමුව කළපුවේ කඩොලාන සම්බන්ධයෙනි.

මේ ගැන ධීවර ජනතාව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර නඩුවක් පවතී.

නඩුවට අදාළ කොටස හැර ඉතිරි ප්‍රදේශ ධීවරයන්ගේ ධීවර කටයුතු සඳහා පිරිසිදු කරදෙන ලෙස ධීවර ජනතාව ඉල්ලා සිටින්නේ සෑහෙන කාලයක සිටයි.

ධීවර ජනතාවගේ යෝජනාව සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අවධානය යොමු කළේ නිමල් ලන්සා රාජ්‍ය ඇමැතිවරයා ය.

“නඩුවට හේතුවෙලා තියෙන කොටස අතහැරලා ඉතිරි කොටස ධීවර ජනතාව වෙනුවෙන් පිරිසුදු කරලා දෙන්න” යනුවෙන් නිමල් ලන්සා යෝජනා කළේ ය.

දිසා වන නිලධාරි දේවානි ජයතිලක ඊට වහාම ප්‍රතිචාර දැක්වීය.

“වන හානි සිදුකරන කෙනෙකුට උදවු කරන්න මට බැහැ. පස් ගේන එක කරන්නේ වනයට හානි කරන කෙනෙක්” යනුවෙන් දේවානි ප්‍රකාශ කළා ය.

මේ අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දැක්වූයේ ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාය.

“ඔබතුමිය කියන ආකාරයේ වන හානියක් සිදුවෙන්නේ රජයේ ව්‍යාපෘතියකින්ද? ඊට අදාළ තත්ත්ව වාර්තා හැම දෙයක් ම අරන්නේ රජයේ ව්‍යාපෘති කරන්නේ. ඒ නිසා එහෙම වෙන්න බැහැ” යනුවෙන් දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

 

ධීවරයන් වෙනුවෙන් ලන්සා පෙරට

 

“ධීවර ජනතාවගේ අවශ්‍යතාවයි ඉටු වෙන්න ඕන. ඒ නිසා නඩු සම්බන්ධ කොටස අත්හැරලා ධීවර ජනතාවගේ ආදායම් උපයා ගැනීමේ අවස්ථාව හදාදෙන එක අපේ යුතුකමක්. අපිත් කැමැති නැහැ පරිසරය විනාශ වෙනවා දකින්න. පරිසරය ආරක්ෂා කරගන්න අතරේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදෙන්න ඕන.” නිමල් ලන්සා අමාත්‍යවරයා ද පෙරළා ප්‍රකාශ කළේ ය.

මෙම සාකච්ඡාව ඉතා උණුසුම් ආකාරයෙන් දිගින් දිගටම ඇදුණ ද ඊට විසඳුමක් ලැබුණේ නැත.

මේ අතර මිලාන් ජයතිලක, නිමල් ලන්සා, සිසිර ජයකොඩි පසුගිය සතියේ දිනයක සංචාරක අමාත්‍යාංශයේදී මුණගැසුණහ.

බොහෝ කාලයකට පසුව මංගල සමරවීර හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා කරළියට පැමිණීම සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා විය.

“මංගල මහත්තයත් කාලයක් නිශ්ශබ්දව ඉඳලා එළියට බැහැලා තියෙනවා. යනුවෙන් නිමල් ලන්සා රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ මුවගට සිනහවක් ද නංවමිනි.

ආණ්ඩුව වට්ටන්න ප්ලෑනක් ගහන්නේ‍. හීන් නූලේ මිනිහානේ. යනුවෙන් සිසිර ජයකොඩි රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

“මංගල සමරවීර කියන දේවල් කතා කරලා තේරුමක් නැහැ. එයා දැන් අවලංගු කාසියක්. මිනිස්සු ඉස්සරහට යන්න ශක්තියක් නැති නිසානේ ඡන්දයකටත් ඉදිරිපත් වුණේ නැත්තේ” යනුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ ය.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයේදීත් පුස්තකාලයේදීත් යම් කාරණයක් ගැන ඉතා රහසිගතව සාකච්ඡාවක් පවත්වා තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂයේ මන්ත්‍රී ආලින්දයේදී මෙම පිරිස මේ ගැන අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කර ඇත.

 

සජබ පසුපෙළෙන් අවනඩුවක්

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු පමණ මෙම අවස්ථාවට සහභාගි වී ඇති බව ද වාර්තා වේ.

“බලන්න විපක්ෂ නායකතුමා අපිට කිසි දෙයක් කතා කරන්න ඉතුරු ‍කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ හැමදාම ප්‍රකාශ නිකුත් කරනවා.

පාස්කු ඉරිදා ගැනත් ප්‍රශ්න අහනවා. සීනි ගැනත් අහනවා, පොල් තෙල් ගැනත් අහනවා, පරිසරය ගැනත් අහනවා. ටයිල් ගෙන්නන එකත් අහනවා. එතකොට අපි වගේ මන්ත්‍රීවරුන් කතා කරන්නේ මොනවා ගැනද? අපිට විෂයයන් වෙන් කළාට වැඩක් නැහැ. විපක්ෂ නායකතුමා තමයි හැම දෙයක් ම බදාගෙන කතා කරන්නේ.” යනුවෙන් ඔවුන්ගේ අවනඩුව ගැන කතා බස් කර තිබිණි.

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයාට පසුගිය සතිය දැඩි ලෙස කාර්ය බහුල එකක් විය. පක්ෂය යළි ගොඩනැංවීම වෙනුවෙන් සහ එහි යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් පැවැති සාකච්ඡා රැසකටම රනිල් වික්‍රමසිංහට සහභාගිවීමට සිදුවීම ඊට හේතුවයි.

 

රනිල් හමුවීමට  ‘දුරකතනයේ’  පිරිසක් ඇවිත්

 

පසුගිය සඳුදා හිමිදිරි පාන්දරින් ම රනිල් වික්‍රමසිංහට දුරකථන ඇමැතුමක් ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන විසිනි.

“සර් අර කට්ටිය අද හම්බවෙන්න ඕන කියනවා. අද ඒක ලැහැස්ති කරන්න කියලා මං බැලුවේ.” වජිර කියන විට එම හමුව සවස් කාලයේ යොදාගන්නා ලෙසට රනිල් වික්‍රමසිංහ විසින් වජිර අබේවර්ධනට උපදෙස් ලබාදෙන ලදී.

නායකයාගේ උපදෙස් අනුව වජිර එය සංවිධාන කළේය.

කලින් යොදාගත් පරිදි වජිර සඳහන් කළ ස්ථානයට රනිල් යනවිට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ම එම ස්ථානයට පැමිණ සිටියහ.

පසුව තවත් පිරිසක් එම සාකච්ඡාවට එක්වූහ.

සමගි ජනබලවේගයේ තරුණ නායකයෙකු රනිල් සමඟ සාකච්ඡා කොට මෙම හමුව සූදානම් කර තිබූ අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා තිබුණේ වජිර අබේවර්ධන විසිනි‍.

ආණ්ඩුවේ ක්‍රියා කලාපය සහ වර්තමානයේ සමාජයේ පවතින තත්ත්වය පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

“මහ මැතිවරණයට කලින් මං මේ කතාව කිව්වා. වටු කුරුල්ලන්ගේ කතාවක් මතක් කළා. ඒත් අපේ අය එය විශ්වාස කළේ නැහැ. එකතුවෙලා ගියොත් දැළ උස්සන්න පුළුවන්. බෙදී වෙන් වුණොත් වැද්දාගේ ග්‍රහණයට හසුවෙනවා කියලා මං කිව්වා. දැන් අපි වැද්දගේ දැළට අහුවෙලා ඉවරයි. ඒ නිසා එකතු වෙන්න ඕන කියන තැන මමත් ඉන්නවා. දෙපැත්තෙන්ම තරුණ නායකයෝ ඉස්සරහට දැම්මොත් දැළ ඔසවන එක මහ දෙයක් නොවෙයි” යනුවෙන් රනිල් වික්‍රමසිංහ සමගි ජනබලවේගයේ තරුණ නායකයෙකු සමඟ පැවසීය.

ආණ්ඩුවට එරෙහි බලවේගයක් නිර්මාණය කරගැනීම රනිල් වික්‍රමසිංහ නොමැතිව කළ නොහැකි බව පැවසූ ඔහු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් මෙය සාර්ථක කරගැනීමට උපරිම ශක්තිය යොදන බව ද පැවසීය.

 

සජිත්ට  සුගත්ගෙන්  අභියෝගයක්

 

තවත් දේශපාලන කරුණු ගණනාවක් පැය ගණනක් කතාබහ කිරීමෙන් අනතුරුව එම මන්ත්‍රීවරු එම ස්ථානයෙන් පිටව ගියහ.

‘පරිසරය සුරකිමු’ යන තේමාව යටතේ සමගි ජනබල වේගය කොළඹ පුරහලේ සිට විහාරමහා දේවි උද්‍යානය දක්වා සංවිධාන කරන ලද පාගමනට මිනී පෙට්ටියක් එක් කරගත්තේ ජාතික රෝහල ආසන්නයේ පිහිටි මල් ශාලාවකිනි.‍

මල් ශාලාවකින් මිනී පෙට්ටිය මිලදී ගත් සමගි ජනබලවේගයේ පිරිසක් මිනී පෙට්ටියේ එක් පැත්තක ‘පරිසරය’ හා අනෙක් පැත්තේ ‘සිංහරාජය’ යනුවෙන් සඳහන් කරනු ලැබීය.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පසුගියදා කාක දූපතේදී පැවැති විපක්ෂ නායක ජංගම සේවයට සහභාගි විය‍.

“ගිය අවුරුද්ද කොරෝනා එක්ක සැමරුවා. මේ පාර අවුරුද්ද විෂ පොල් තෙල් එක්ක සමරනවා. දැන් වස පොල් තෙල් හොර පාරෙන් එළියට ගියාද ? මේවා එළියට යවන්න කොච්චර අල්ලස් මුදලක් ගත්තා ද කියලා සොයා බලන්න ඕන.” යනුවෙන් සජිත් කාකදූපතේදී පැවැති ජංගම සේවයට එක්වෙමින් පැවසුවේය.

“ඔය අල්ලපු පොල් තෙල්වලට මොකද වෙලා තියෙන්නේ කියලා සර් දන්නවාද” යනුවෙන් මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා විමසා සිටියේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගෙන්.”

“ඔව්. ඔව්... පොලිසිය අල්ලපු පොල්තෙල් ටික ආයෙමත් රේගුවටම දීලනේ” සජිත් කී‍වේය.

 

නාමල්  මාසේ අන්තිම  සෙනසුරාදා  කරන්න හදන දේ

 

ක්‍රී‍ඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ තවත් අලුත් වැඩකට අතගසා තිබේ. ඒ ස්වේච්ඡාවෙන් වැඩ කරන පිරිස්වලට යම් වටිනාකමක් ලබාදීම සඳහාය.

සෑම මසකම අවසන් සෙනසුරාදා Volunteer day යනුවෙන් නම් කර සමාජයට ස්වේච්ඡාවෙන් වැඩ කරන සමාජ සේවකයන්ට වටිනාකමක් ලබාදී ඔවුන් අගය කිරීමේ කාර්යයන් සිදු කිරීම නාමල් රාජපක්ෂගේ අභිප්‍රාය වී තිබේ.

ආණ්ඩුවට සමගි ජනබලවේගය එල්ල කරනු ලබන චෝදනාවලට දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය පිළිතුරු දීමට පටන්ගෙන තිබේ.

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය යනු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවතට ගිය පිරිසකි. ඔවුන් තවත් දේශපාලන පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වන අතර එහි නායකයා ලෙස කටයුතු කරන්නේ සුගත් හේවාපතිරණයි.

සුගත් හේවාපතිරණ ප්‍රකාශ කරන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක හමුවී අභියෝගයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

සජිත් හමුවී මෙම අභියෝගය ඉදිරිපත් කරන බව සුගත් ප්‍රකාශ කරයි.

 

Comments