ඇමැති විමල්ට හූ කිව්වේ ඇයි? | සිළුමිණ

ඇමැති විමල්ට හූ කිව්වේ ඇයි?

උද්ඝෝෂකයන් හමුවට ගිය ඇමති විමල් කරුණු පැහැදිලි කරමින්
උද්ඝෝෂකයන් හමුවට ගිය ඇමති විමල් කරුණු පැහැදිලි කරමින්

ම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් කිරින්ද වෙරළතීරයේ පිහිටා තිබෙන ඛනිජ වැලි නිධිය සම්බන්ධයෙන් කිරින්ද ප්‍රජාශාලාවේ පැවති ජනහමුවකට සහභාගි වීම සඳහා පසුගියදා (27) කර්මාන්ත ඇමැති විමල් වීරවංශ එහි ගියේය. ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා කළ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රාජ්‍ය සමාගමක් වන ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම මඟින් සිදු කර එම ජාතික සම්පතෙහි ප්‍රතිලාභ ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ජාතියට දායාද කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

එලෙස කරුණු දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවක් ඇති වී තිබෙන බැවින්, ජනතාව සමඟ සාකච්ඡා කර මේ කටයුත්ත සිදු කරන ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂයන් හා අමාත්‍ය නාමල් රාජපක්ෂයන් විශේෂ ඉල්ලීමක් කළ බවයි. එම අවස්ථාවේ එහි මහින්ද අමරවීර අමාත්‍යවරයාද සිටි බව හෙතෙම සිහිපත් කළේය. ඔබ තමුන්නාන්සේලා සහ රජය එකතු වී සෑහීමකට පත් විය හැකි විසඳුමකට එමු යැයි අමාත්‍යවරයා එහිදී යෝජනා කළේය.

දකුණු වෙරළ තීරයේ තංගල්ලේ සිට වලවේ ගඟ මුහුදට වැටෙන ස්ථානය දක්වා පැතිරී තිබෙන ඉල්මනයිට් සහ ගානට් ඛනිජ වැලි නිධියේ කැණීම් කටයුතු රජය විසින් සිදු කරන්නේ ද? නැතිනම් ඉන්දියානු සමාගමකට ලබා දෙන්නේ ද? යන්න සම්බන්ධයෙන් මෙහිදී ආන්දෝලනාත්මක කතාබහක් ඇති විය.

එහිදී නැඟීසිටි ගම්වැසියකු ප්‍රකාශ කර සිටියේ ඉන්දියානු සමාගමක් ඉදිරිපත් වී ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසික් විසින් පිහිටුවාගෙන ඇති සමිතියක් සමඟ ගිවිසුමකට එළඹ ඇති බවත්, එනිසා එම සමාගමට අවශ්‍ය පරිදි කටයුතු කරගෙන යෑමට ඉඩ සලසාදෙන ලෙසය. ඔහු තවදුරටත් අදහස් දක්වමින් ‘‘මේ ඛණිජ නිධියේ කැණීම් කටයුතු ඉන්දියානු සමාගමකට දෙන්න මේ වනවිට ඒ ඉන්දියානු සමාගම සමඟ අපි ගිවිසුම්ගත වෙලා ඉන්නවා. ඉන්දියානු සමාගම මඟින් වැඩ දින වරුවකට රුපියල් 4000ක මුදලක් අපිට ලබා දෙන්න පොරොන්දු වුණා. එයාල කියන්නේ ඕගොල්ලෝ අපිට වැලි ටික අරන් දෙන්න; අපි ඔයාලට වැටුප් දෙන්නම් කියලා. ඒ අය මීට අමතරව ගමේ පාරවල් ටික, ප්‍රජා ශාලාව, පල්ලිය, පන්සල හදලා දෙන්නම් කිව්වා.

අපි මේ වැලි ගන්න කිලෝමීටර් 03 ඈත තියෙන කැලෑ ප්‍රදේශයකට යන්න ඕන. පවුල් 1500ක් මේ ගමේ ඉන්නවා. ඒ හැමෝටම රැකියා ලැබෙනවා. අපේ රටට අහසින් වැටෙන හොඳ දෙයක් මේක. අපි සියලුදෙනාම ඉල්ලන්නේ ඒ ඉන්දියානු සම­ාගමත් එක්ක ඒ කටයුත්ත කරන්න අවසර දෙන්න කියලා. ඔබ තුමා එහෙම කළොත් ඒ පින ඇති ඔබ තුමාට ස්වර්ගයට යන්න.

රජයේ සම්පත් විජාතික කරණයට විරුද්ධව ජනතාව පෙළ ගැසී සිටින මොහොතක මෙවැනි කතාවක් කණ වැකීම ගැන අමාත්‍යවරයා තුෂ්නිම්භූත විය. අමාත්‍යවරයා කියා සිටියේ ‘‘ඊට වැඩිය හොඳයි මං කැමැත්තෙන්ම අපායට යනවා.

දැන් මට කියන්නේ ඒ සමාගම වගේ තමුන්නාන්සෙලව අන්දන්න කියලද? ඕව වචන විතරයි. මේක රජයට පවරගත්තාම ඒ ලැබෙන ලාබය යන්නේ මහ භාණ්ඩාගාරයට. ඒක එයාලට දෙන්න කියන්න ඒනිසා. මේක පිටරටකට හූරගෙන කන්න දෙන්න නෙමෙයි අපි බලයට ආවේ. මේ දෙන්නෙ අල්ලසක්. ඔයාලා ගිවිසුමක් ගහල තියෙනවද’’ අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

ඔව් ‘‘තියෙනවා.’’

‘‘ඔය කියන ගිවිසුම නිත්‍යානුකූලව වලංගුදැයි’’ ප්‍රශ්න කළ වීරවංශ අමාත්‍යවරයා ‘‘මේ රටේ මේ සම්පත රජයේ ආයතනයක් මඟින් කළොත් විතරයි ඕගොල්ලන්ට ඔය කියන සාධාරණයක් වෙන්නේ. ඔබතුමා ඔය කියන සහන ලැබෙන්නේ පිටරටට අපේ වටින ඛනිජ සම්පත් ටික ගෙනියන්න දීලද? මෙච්චර දේවල් දෙන්න ඒ අය පොරොන්දු වෙන්නේ මේ සම්පත එච්චරටම වටින නිසා. මේක පිට රට කොම්පැනි කාරයින්ට හූරන් කන්න දෙන එක නෙමෙයි අපේ යුතුකම. තමුන්නාන්සෙලා කරුණාකරල ඔය කියනදේට රැවටෙන්න එපා. ඒ අය ඉස්සරහට ඔයිට වඩා දේවල් කියයි. මම විස්වාස කරනවා; මේ පොළවේ ජීවත්වෙන මිනිස්සු පිටරට සමාගමකට කඩේයන මිනිස්සු නෙමෙයි කියලා. ඉන්දියන් සමාගම මේක හාරගෙන යයි. ඊට පස්සේ පරිසරයට වගකියන්න කෙනෙක් ඉතුරුවෙන්නේ නැහැ’’

‘‘අපි නම් හිතුවේ කැණීම් කටයුතු කිරීම නිසා පරිසරයට වන හානිය ගැනයි. යළි සුනාමියක් ආවොත් වැලිවැටිය ඉවත් කිරීම නිසා සිදුවන ගැටලූ ගැන මෙතන කථා කරාවි කියලා. පසුගිය යහපාලන ආණ්ඩුව මඟින් මෙම වැලිවැටියේ කැණීම් කටයුතු ඉන්දීය සමාගමකට දෙන්න පොරොන්දු වෙලා තිබුණේ’’ සාකච්ඡාව සඳහා සහභාගි වී සිටි අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීවේය.

‘‘අපි තමයි මහන්සිවෙලා මේවා හොයාගෙන ඉන්දියන් කොම්පැනියක් ඒක්ක කතා කරලා මේ වැඩේ පටන් ගත්තේ’’ යැයි තවත් අයෙකු පවසන විට, එහි සිටි තවත් ප්‍රදේශවාසියකු කියා සිටියේ ‘‘ඒත් බහුතරයක් මිනිස්සු කැමතියි මේක රජයෙන් කරනවට’’ කියාය.

නැවත සිය හඬ අවදි කළ අමාත්‍යවරයා ‘‘ඉතාම සුළු පිරිසක් වුවත් මේක රජයෙන් කරගෙන යනවට වඩා පිටරට සමාගමක් කරගනෙ යන එක ගැන විශ්වාස තැබීම ගැන මම කනගාටු වෙනවා. ඒ පිටරට සමාගම සෑහෙන්න මුදලක් වියදම් කරන්න ඇති; ඒ විශ්වාසය දිනාගන්න. ඒත් කිසිම විදේශීය සමාගමකට අපේ සම්පත් කොල්ල කන්න ඉඩදෙන්නේ නැහැ’’.

අනතුරුව මේ සාකච්ඡාව සඳහා පැමිණ සිටි සමිතියට සම්බන්ධ ප්‍රදේශවාසීන් කර්මාන්ත අමාත්‍යවරයාගේ අදහසට පටහැනි අදහස් දැක්වීමට පටන් ගැනීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. තත්ත්වය බරපතළ නොවූ නමුත්, සමහරෙක් අමත්‍යවරයාට හූ කියන්නට පටන් ගත්තේය. එහෙත් අමාත්‍යවරයා ඉන් සැලුණු බවක් පෙනෙන්නට නොතිබුණි.

පරිසරයද සුරකිමින් ජනතාවට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි රාජ්‍ය සමාගමක විශ්වාසය යටතේ කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතුවලට සහාය ලබාදෙන ලෙස අමාත්‍යවරයා එම පිරිසගෙන් ඉල්ලා සිටියේය. අමාත්‍යවරයාගේ අදහසට ඇතැමුන් විරෝධතාව මතුවීමත් සමඟ තීරණයකින් තොරව මෙම සාකච්ඡාව අවසන් විය.

මෙම ඛණිජ සම්පත ප්‍රදේශ වාසීන්ගේ උවමනාව මත විදේශ සමාගමකට විකිණිය හැකිදැයි අපි හම්බන්තොට දිස්ත්‍රික්කය බාර දිසාපති ඩබ්ලිව්.එච් කරුණාරත්තගෙන් විමසුවෙමු. හෙතෙම සඳහන් කර සිටියේ ‘‘කුමන හෝ ආකාරයෙන් හඳුනාගත් රටේ සම්පතක් තියෙනව නම් ඒ සම්පත පරිහරණය කිරීම සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට ඔවුන්ගේ අභිමතය පරිදි කටයුතු කළ නොහැකි බවයි. පරිසර සක්‍යතා වාර්තා සකස් කර ඒවා අධ්‍යයනය කර, ඉඩම් පරිහරණ රටාව බලා ඒ සඳහා අදාළ විෂයභාර අමාත්‍යාංශයෙන් නීතිමය අවසර ගැනීම අත්‍යාවශ්‍යයි.

පරිසර අමාත්‍යාංශය යටතේ පවතින භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ පවතින වෙරළ සංරක්ෂණ කාර්යාංශය සහ ලංකා ඛනිජ වැලි සංස්ථාව මේ යටතට ගැනෙනවා. ඒ වගේම කර්මාන්තයක් විදියට කර්මාන්ත අමාත්‍යාංශයත් මීට සම්බන්ධ වෙනවා.

විෂයයන් වර්ග කර තිබෙන ආකාරය අනුව තවත් බොහෝ අමාත්‍යාංශ මීට සම්බන්ධ වෙනවා. මේ අදාළ අමාත්‍යාංශවලින් කැබිනට් පත්‍රකාවක් නිකුත් කර ඒ සඳහා අනුමැතිය ලබා ගත් පසුව පවා කැනීම් කටයුතු සඳහා පාර්ලිමේන්තුවෙන් අවසර ගතයුතු වෙනවා. ඉන් අනතරුව තමයි මෙය රජයෙන් කරනවද පෞද්ගලික අංශයට දීල කරනවද කියන ප්‍රතිපත්තිමය තීන්දුවකට රජයක් එළඹෙන්නේ.

උදාහරණයකට තෙල් නිධි පරික්ෂා කරන්න අපට ඒ සඳහා අවශ්‍ය උපකරණ හා තාක්ෂණය නැහැ. එවැනි අවස්ථාවල ජාත්‍යන්තර ආයතනයකට එය ලබාදිය යුතු වෙනවා. ඒ ආකාරයටයි මෙවැනි කාරණා සිදු වන්නේ’’ කියාය.

 

Comments