ගල්කිස්සේ මුහුදු වෙරළට දැන් ගිහින් බලන්න | සිළුමිණ

ගල්කිස්සේ මුහුදු වෙරළට දැන් ගිහින් බලන්න

ගල්කිස්ස වෙරළ හෝටලය සමඟ එදා සහ අද

අපේ රටට සල්ලි ලැබෙන සංචාරක ව්‍යාපාරයට ප්‍රධාන රුකුලක් වූයේ රට වටා ඇති මුහුදු වෙරළවල පවතින ‍ස්වභාව සෞන්දර්යයි. වරක් ප්‍රවීණ විද්‍යා ප්‍රබන්ධ ලේඛක ආචාර්ය ආතර් සී. ක්ලාක් පැවසුවේ අපේ රටේ තරම් පළල වෙරළ තීර ලොව කොහේවත් නොමැති බවයි. අපේ රටේ ඇති වෙරළ තීර අතරින් එතෙර මෙතෙර සංචාරක සිත් දිනාගත් සුවිශේෂී වෙරළ තීරයක් ලෙස ගල්කිස්ස වෙරළ තීරය හැඳින්වීමට පුළුවන. ගල්කිස්ස මහ හෝටලය නිසාම එම වෙරළේ සුවිශේෂත්වය වැඩිවී තිබේ. එමෙන්ම පසුගිය වසරේ අප්‍රේල් මැයි කාලවලදි මේ ගල්කිස්ස වෙරළ තීරය සුවිශේෂී කතාබහකට ද ලක්විය. ඒ අන් කරුණක් නිසා නොව එහි වෙරළ තීරය වැලිවලින් ගොඩ කිරීම් පිළිබඳවයි.

ගල්කිස්ස වෙරළ තීරය අසල දුම්රිය මාර්ගයකි. එමෙන්ම වෙරළේ සුන්දරත්වය විඳින්න එතෙර මෙතෙර සංචාරකයන් පැමිණෙන්නේ ගල්කිස්ස මහ හෝටලය ඇතුළු හෝටල් හා ආපනශාලා රැසක් වෙරළ අසල තිබෙන බැවිනි. එමෙන්ම සති අග දිනවලදි අපේ රටේ සංචාරකයෝ ද මේ වෙරළට විනෝදාස්වාදය හා සුන්දරත්වය විඳීමට පැමිණෙති. ඔවුන් සඳහා සුන්දර ආරක්ෂාකාරී වෙරළක් සුරැකීම රජයේ යුතුකම වේ. මේ අරමුණ ඇතිව 2020 අප්‍රේල් මාසයේ ගල්කිස්ස වෙරළ ප්‍රති පෝෂණය කිරීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු‍ව ආරම්භ කළේය.

එසේ වුවත් ඊට පසු පැවැති කුණාටු හා මෝසම් නිසා එහි පිරවූ වැලි ප්‍රමාණය තරමක් අඩුවිය. ඒ පිළිබඳව සමගි ජන බලවේගයේ දේශපාලනඥයන් හා සමහර සමාජ මාධ්‍ය ජාල මේ ගල්කිස්ස වෙරළ තීරය පිළිබඳව විද්‍යානුකූල නොවන දේශපාලනික මත ප්‍රකාශ කළේ මේ වෙරළ තීරය වැලිවලින් පිරවීම මුදල් විනාශයක් පමණක් බවට රජයට බොරු ‍චෝදනා කරමිනි. නමුත් දැන් මේ ගල්කිස්ස මුහුදු වෙරළට යන ඕනෑම කෙනෙකුට ඒ පාඨලි චම්පික හා ආචාර්ය හර්ෂ ද සිල්වා කළ බොරු දේශපාලන චෝදනාව අතේ පත්තුවන බොරුවක් බව පැහැදිලව ඇස්පනා පිට ඔප්පු වේ.

මේ වෙරළ තීරය වැලිවලින් පිරවීම තනිකරම කර ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදත් යාලේගම පවසන්නේ මේ මුළු වැලි පිරවීම් ව්‍යාපෘතියට වියදම් වූ මුදල රුපියල් මිලියන 110ක් පමණක් බවයි. “අපි මේ වැඩේ දවස් 6කින් අවසන් කළා. අපි ව්‍යාපෘතිය අවසන් කරන විටදීම බුරවි සුළං කුණාටුව හා නිරිතදිග මෝසම දරුණු ලෙස ආවා. පුරවපු වැලි ටිකක් ගියා. නමුත් ඒ වැලි ගල්කිස්ස අසල මුහුදු පතුලේ තිබී 2020 ජූලි මස වෙරළටම ආවා. දැන් මේ ව්‍යාපෘතිය සාර්ථක වී මීටර් 2500ක් දිග මීටර් 50ක් පළල වෙරළ තීරයක් අපට ලැබී තිබෙනවා.” යැයි ඔහු කියයි.

මේ පිළිබඳව අදහස් පළ කරන වෙරළ සංරක්ෂණ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.එස්. රණවක මහතා පැවසුවේ මෙම ගල්කිස්ස වෙරළ ප්‍රදේශය වරින් වර වසර ගණනාවක් තිස්සේ ඛාදනයට ලක්වූ බවයි.

ඒ අනුව අපි මේ ස්ථානය සුරැකීමට දිගුකාලීන හා කෙටිකාලීන විසඳුම් ක්‍රියාවට නැංවූවා. කෙටිකාලීන විසඳුම් ලෙස දුම්රිය මාර්ගය අසලට ගල් දැමුවා. දිගුකාලීන විසඳුම් ලෙස අපි තීරණය කළේ මේ වෙරළ තීරයට වෙරළ ප්‍රතිපෝණෂණය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටය. දැනට ලොව තිබෙන වැලි පිරවීමේ දියුණුම තාක්ෂණ ක්‍රමය වන්නේත් දැනට වෙරළබඩ ඉංජිනේරුවන් ලෙස ලබාදිය හැකි හොඳම විසඳුම් ක්‍රමය මෙන්ම වෙරළ ඛාදනයට දැනට ලබාදෙන හොඳම විද්‍යාත්මක විසඳුමක් වන්නේත් මේ වෙරළ ප්‍රතිපෝෂණ ක්‍රමයයි. වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා ගල් යොදා විසඳුම් සෙවීම අපහසු කාර්යයක්. ගල් යොදලා වෙරළ සුරකින විට සංචාරක ව්‍යාපාරයට, ධීවර කර්මාන්තයට, මෙම වෙරළට විනෝදාස්වාදය සඳහා භාවිත කරන අයට විශේෂ බාධාවක් වෙනවා.

ඒ අයගේත් ඉල්ලීම් අනුව ඒ අයට පහසුවක් වන පරිදි හා ඒ අයට වඩා පහසුවෙන් මේ වෙරළ පාවිච්චි කිරීමට හැකිවන පරිදි සහ වෙරළ ඛාදනයට ලබාදිය හැකි හොඳම විසඳුම ලෙස තමයි මේ වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය පටන් ගත්තේ.” රණවක මහතා පවසයි.

මුලින්ම මෙම ස්ථානය පිළිබඳ ගැඹුර පිළිබඳ අධ්‍යයනය කළා. ඒ අනුව මීට වසරකට පමණ පෙර වැලි මීටර් කියුබ් 150,000 පමණ රත්මලානට නුදුරු මුහුදෙන් අරන් ආවා.

මීටර් 100ක් මුහුද දෙසටත් ගල්කිස්ස හෝටලය අසල සිට දෙහිවල දෙසට මීටර් 250ක් පළල ප්‍රදේශයක් සඳහා වැලි යෙදෙවුවා. බටහිර වෙරළේ වැලි ගමන් කරන්නේ දකුණ සිට උතුරට. ඒ අනුව මෙම කෘත්‍රිම ලෙස යොදන වැලි ප්‍රමාණය ස්වභාව ධර්මය අනුව යොමු කරලා අතිපෝෂණ කටයුතු නිමාවට පත්කළා.

දැන් මේ වෙරළ තීරය සම්පූර්ණයෙන් වැලිවලින් පෝෂණය වෙලා තිබෙනවා. ඒ අනුව ගල්කිස්ස මහ හෝටලයේ සිට කිලෝමීටර 2.5ක් විතර ප්‍රමාණයක් වෙරළ පුරා වැලි තිබෙනවා ඔබට දකින්න පුළුවන්. වෙරළ දැන් යළි ප්‍රතිනිර්මාණය වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් මීටර් 30 - 35 - 45 දක්වා පළලට මේ වෙරළ විකාශනය වෙලා තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය අපිට දැන් දකින්න පුළුවන්. ඉදිරියේදි එන මෝසම්වලට ඔරොත්තු දෙන අයුරින් තමයි මේ වැලි යොදලා තිබෙන්නේ.

මේ කටයුත්ත කරන්නේ කොටස් 3කට. ඒක කරන්නේ මෙහි සමතුලිතතාව රැක ගැනීම පිණිසයි. මෙහි වැලි ස්තර තුනක් දමනවා. පළමු වැලි ටික හේදිලා යනවා. ඒ වැලි වෙරළට ආසන්න ගැඹුරු මුහුදේ තැන්පත් වෙනවා. ඒ මඟින් එහි ගැඹුර අඩුකර අපේ ප්‍රධාන වැලි නිධියට දියවැල් වලින් හා තරංග ජල බලපෑම් අඩු කරනවා. ඒ අනුව ඊට පසු දියවැල් හා තරංග මඟින් උතුරට මේ වැලි ගමන් කරනවා.

මෙම වැලි නිධියේ තවත් ස්තරයක් තිබෙනවා. එමඟින් කරන්නේ කුණාටු හා මෝසම් සුළං අවස්ථාවලදි මුලින් පිරවූ ප්‍රධාන වැලි නිධිය සුරැකීමයි.

2017 ජුනි වලදි දරුණු ලෙස මේ වෙරළ ඛාදනය වුණා. 2020 පුරවපු වැලි ප්‍රමාණය ඒ අයුරින්ම දැන් මේ වෙරළ පුරා කිලෝමීටර් 2ක් පුරා පැතිරී තිබෙනවා” ඔහු කියයි.

මෙම ව්‍යාපෘතියට පසුබිම් වන බව පැවසෙන්නේ 2017 වසරේ යෝජනා කරන ලද කළුතර කැලිඩෝ වෙරළ තීරය සහ අඟුලාන වෙරළ තීරය වැලිවලින් කෘත්‍රීමව පෝෂණය කිරීමේ ව්‍යාපෘතියයි. මෙම යෝජනාවට පසුබිම වන්නේ එම වසරේ මැයි මාසයේ ඇති වූ මහා ගංවතුර තත්ත්වයි. ගල්කිස්ස මුහුදු තීරය සඳහා පිරවෙන්නේ වැලි කියුබ් 1,50,000කි. මීට වැලි මෝටර් සහ පොම්ප යොදා රත්මලාන මුහුදු තීරයේ සිට පොම්ප කර ඇත.

“පසුගිය වසරේ එම වෙරළට වැලි දමා තිබූ අයුරුත් ඊට පසු වාරකන් කාලයේදී එම වැලි කඩාගෙන ගොස් ඇති අයුරුත් බැලුවම අපිට ඉතා දුකක් ඇතිවුණා. නමුත් අද මේ ව්‍යාපෘතියෙන් ගල්කිස්සේ වෙරළට එන සියලු දෙනාටම යහපතක් සිදුවී තිබෙනවා.” මේ ගල්කිස්ස වෙරළේ ව්‍යාපාරවල නිරත පිරිසකගේ අදහසයි.

“ඉස්සර මේ වෙරළ හරහා යන්න බැහැ. නමුත් දැන් වෙරළ හුඟක් පළලයි. අපිට දෙහිවල ස්ටේෂන් එක දක්වා එක දිගටම වෙරළ දිගේ යන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ ව්‍යාපෘතිය නිසා අපේ ව්‍යාපාරවලට ලොකු සෙතක් ලැබෙනවා.” ගල්කිස්ස වෙරළ අසල පිහිටි සංචාරක හෝටලයක නිලධාරියෙක් අප සමඟ කීය.

“අපි මේ වෙරළේ හුඟක් කල් ඉඳන් සෙල්ලම් කරනවා. 2016 - 2017 කාලවලදී මේ වෙරළ කැඩී ගිය නිසා සෙල්ලම් කරන්න බැරිවුණා. නමුත් දැන් සතුටුයි වෙරළ ලොකුයි. ඒ නිසා වෙරළේ සෙල්ලම් කරන්න බාධාවක් නැහැ.” දෙහිවල තිළිණ රුවන් අප සමඟ කීය. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන ඉංජිනේරු ලිලානි රුහුණුගේ මහත්මිය පවසන්නේ ඔවුන් 2020 අප්‍රේල් මාසේ කළ වැලි පිරවීම දැන් සාර්ථක වී ඇති බවයි.

ගල්කිස්ස හෝටලය අසලට අපි මුලින්ම වැලි පිරවූවා. බටහිර වෙරළ තීරයේ වැලි ගමන් කිරීම වැඩිපුරම සිදුවන්නේ උතුරු දිසාවට. අපි 2020 අප්‍රේල් මාසේ 16 සිට 22 කාලය ඇතුළත මේ වැලි පිරවීම් කළා. නමුත් බුරවි සුළි සුළං හා අන්තර් මෝසම් වැසි බලපෑවා. මේ නිසා වැලි ටිකක් අඩුවුණා. අපි ස්ථාන 5ක් ඇතුළත පසු විපරම් කළා. ඒ අනුව පෝෂණ ස්ථානයේ සිට විවිධ දුරවලින් මේ පසු විපරම් කළා. ඡායාරූප බැලුවා. ඊට පස්සේ හරස්කඩ මැනීම මුහුදු පතුලේ වැලි තැන්පත්වීම් පිළිබඳව ස්ථාන 5ක බැලුවා. ඒ අනුව කිලෝමීටර් 2ක් දුරට මේ වැලි ගිහින් තිබෙනවා. මේ වැලි ප්‍රති පෝෂණය සකස් කර තිබෙන්නේ මෝසම් වැසි කාල දෙකක් සඳහායි.

ගල්කිස්ස හෝටලය ළඟ මුල්ම පිරවීම් කළත් එහි සිට මීටර් 500 ක් උතුරු දෙසට දැන් වෙරළ මීටර් 50ක් වැලි පිරී තිබෙනවා. හෝටලයේ සිටි මීටර් 1000ක දුරින් වෙරළ දැන් මීටර් 40ක් පළලට සැකසී තිබෙනවා. දැන් දෙහිවල දුම්රිය නැවතුම දක්වාම මේ වෙරළ සකස් වෙලා. එහි අලුත් වෙරළේ පළල මීටර් 20 ක පළලයි.

මේ අනුව කවුරු කෙලෙස කිව්වත් මේ ගල්කිස්ස වෙරළ පිරවීම සාර්ථක වෙලා තිබෙනවා. විද්‍යාවට බොරු කරන්න බැහැ. ප්‍රධාන ඉංජිනේරුවරිය පවසන්නීය.

ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා මීට සති කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ජාලයකට පවසා තිබුණේ ගල්කිස්ස වෙරළ තීරය වැලිවලින් පිරවීම සාර්ථක කටයුත්තක් බවයි. ඒ නිසා දැන් සංචාරක ව්‍යාපාරයට ගල්කිස්ස වෙරළ ඉතා සුදුසු මට්ටමක පවතින බවත් එම සමාජ මාධ්‍යයට ඔහු පවසා තිබිණි. එසේ වුවත් සිළුමිණ ගල්කිස්සේ මුහුදු වෙරළට වැලි පිරවීම ගැන 30 වැනිදා පෙරවරුවේ ඔහුගෙන් විමසූ විට ඔහු පැවසූයේ “මම ඒක පිළිබඳව දැන් කිසිම ප්‍රකාශයක් කරන්නේ නැහැ” යනුවෙනි.

මේ සියලු කරුණු අනුව අපට කියන්නට තියෙන්නේ අගමැති තුමන් යටතේ ඇති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ගල්කිස්ස වෙරළ සංරක්ෂණ ප්‍රති පෝෂණ ව්‍යාපෘතිය දැන් ඉතා සාර්ථක බවයි. එයට අදාළ ව වෙරළ ඉංජිනේරුවන් විද්‍යාත්මක හේතු පැහැදිලිව පෙන්වා ඇත. ඒ නිසා පසුගිය වසරේ අප්‍රේල් මාසයේ විපක්ෂයේ සමහර දේශපාලනඥයන් කියූ කතා දැන් අතේ පැළවෙන බොරු බවට පත්වි ඇත.

මේ අනුව මේ දිනවල රටේ තැනින් තැන පරිසර විනාශයන් සිදුවන බවට මවා පෙන්වන සමහර මාධ්‍ය හා සමහර සමාජ මාධ්‍ය මඟින් පිළිබිඹු කරන වැරදි ප්‍රචාර ද නුදුරේදීම පදනමක් නැති බොරු ප්‍රචාර බවට විද්‍යානුකූලව ඔප්පු‍ වෙනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

සේයා රූ - කැලුම් ලියනගේ

 

Comments