
මාර්තු 21 සිළුමිණ පුවත්පතේ 7 වැනි පිටුවේ පළවූ ‘මහින්දයේ 9 කල්ලිය’ පිළිබඳව ලියූ ලිපිය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් එහි විදුහල්පතිවරයා විසින් සිළුමිණ කර්තෘවරයා වෙත එවා ඇත. එම ලිපිය පහත පළවේ.
“උක්ත මාතෘකාව යටතේ 2021 මාර්තු 21 වැනි ඉරිදා සිළුමිණ පුවත්පතේ පිටු 07 හි පළවූ පිටු අඩක ව්‍යාජ තොරතුරු ද ඇතුළත් විශේෂාංග ලිපිය සම්බන්ධයෙනි.
විභාග කාල වකවානුවේ දී ඇති වූ හුදෙකලා සිද්ධියක් පාදක කරගෙන ලොකුකරවිට නම් මාධ්‍යවේදියකු මේ ලිපිය ලියා ඇතත්, එවැනි අයකු කිසිදු විටෙක මේ පිළිබඳව අප අමතා සම්මුඛ සාකච්ඡාවක් ලබාගෙන නැත.
එසේම ඉතා කැපවීමෙන් කටයුතු කරන ගුරු මණ්ඩලයක, කළමනාකරණ මණ්ඩලයක අධීක්ෂණයෙන් විනය පවත්වාගෙන යනු ලබන මෙම විද්‍යාලයට මෙවැනි අභූත චෝදනාවක් නඟා කල්ලියක් මෙය ඉටු කළ බව හුවා දැක්වීමෙන් සිළුමිණ පාඨක මහින්දීයන් තුළ ද අප්‍රසාදයක් හටගනී.
මෙය හුදකලා සිද්ධියක් ලෙස මෙම ලිපියේ ම දක්වා ඇති අතර, ලිපිය මඟින් ම හුවා දක්වා ‘9 කල්ලිය’ යන්න ‘අතේ රෝල්’ මාධ්‍ය භාවිතාවකි.
11 ශ්‍රේණි භාරව කටයුතු කරනුයේ පූජ්‍ය මාකුඹුරේ චන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේ වන අතර, ඉතා කැපවීමෙන් හා මනා සංවිධානයකින් එම පන්තිවල විනය පවත්වා ගැනීමට උන්වහන්සේ කැපවේ. මෙවැනි කල්ලියක් හෝ වෙනත් ‘කල්ලි’වල සේයාවකුදු මෙම විදුහලේ නැත.
විදුහල්පති - ගාමිණී ජයවර්ධන (ලිපිය කිසිදු සංස්කරණයකට බඳුන් කර නැත)
මේ ලිපියට අදාළව සිළුමිණ කර්තෘවරයාගේ කරුණු පැහැදිලි කිරීම පහත පළ වේ.
පාසලක් යනු දැයේ දරු පරපුරට අධ්‍යාපනය ලබා දෙන ස්ථානයක් ම පමණක් නොවේ. දරුවන් යහමඟට යොමු කරන්නේත්, ඔවුන් සමාජයට වැඩදායක පුද්ගලයන් බවට පත්කරන්නේත් අධ්‍යාපනය ලබා දෙන පාසලෙනි.
ගාල්ල මහින්ද විද්‍යාලය යනු මෙරට බෞද්ධ අධ්‍යාපනයේ පුනරුදය සමඟ ආරම්භ වූ ඕල්කොට් පාසලක් වන අතර එමඟින් මෙරට සමාජයට තිළිණ කළ රටට ජාතියට පමණක් නොව සමස්ත ලෝකයටම දායාද කළ වැඩදායී පුරවැසියන් සංඛ්‍යාව මහත්ය.
නමුත් මාර්තු 08දා මහින්ද විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ විභාග ශාලාවක දී ළමයකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය ඒ සියලු අතීත කීර්ති නාම ඉදිරියට දමා ලඝු කර දැමිය හැක්කක් නොවේ.
පාසල් සිසුවකුගේ ජීවිතයේ වැදගත්ම විභාගයක් පැවැත්වෙන අතරතුර ඔහුගේම සම වයසේ සිසුන් පිරිසක් විසින් අපරාධමය වරදක් සිදුකිරීම හේතුවෙන් එම සිසුවා රෝහල්ගත වී දින දෙකක් ප්‍රතිකාර ගත්තේය. සිද්ධිය පොලිසියටත්, එතැනින් අධිකරණයටත් ගොස් සැකකාර සිසුන් තිදෙනකුට රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප නියම කෙරිණි.
මෙය කිසිසේතම පාසල් පද්ධතිය තුළ අසන්නට හෝ දකින්නට නොලැබිය යුතු සිදුවීමක්ය යන්න අපගේ පිළිගැනීමයි. මෙවැනි සිදුවීම් ඉදිරියටත් පාසල් තුළ සිදුවීම වළක්වාලීමේ සමාජ වගකීමක් සියලු මාධ්‍යයන්ට ඇත.
අප එසේ කියන්නේ නීතිමය වරදවල් සිදුවීම හා වෙනත් අපරාධ සිදුවීම වළක්වා ගැනීමට සාර්ථක ක්‍රමයක් ලෙස නිවැරදි මාධ්‍ය වාර්තාකරණය උදවු වන බව පිළිගැනීම බැවිනි.
සිළුමිණ පුවත්පතේ වගකීම වන්නේ මේ සිද්ධිය නිවැරදිව වාර්තා කරමින් එවැනි සිද්ධීන්ට ලක්වන දරුවන්ට විඳින්නට සිදුවන දඬුවම් ද පෙන්වා දී එවැනි සිදුවීම් වළක්වාගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සමාජය දැනුම්වත් කිරීමයි.
අප ඉටු කළේ එම වගකීමයි. අප ඒ සිද්ධිය වාර්තා කර ඇත. සිදුවීමට අදාළ වින්දිත පාර්ශ්වයේ කරුණු ලිපියට ඇතුළත් කර ඇති අතර චූදිතයන්ට අධිකරණයෙන් ගත් ක්‍රියාමාර්ග ද සඳහන් කර ඇත.
එමෙන්ම මහින්ද විදුහලේ වත්මන් විදුහල්පති (?) වැඩබලන විදුහල්පති සමඟ සාකච්ඡා කරමින් ඔහුගේ අදහස් ද එම ලිපියට අන්තර්ගත කර ඇති අතර එවැනි සිදුවීම් තවදුරටත් සිදුවීම වළක්වා ගැනීමටත් අවශ්‍ය දැනුම ලබාදීම සඳහා උපකාරක තොරතුරු ලෙස විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගේ අදහස් ද ලිපියට ඇතුළත් කර ඇත.
එබැවින් මෙම ලිපිය මඟින් කිසිදු පාර්ශ්වයකට අගතියක් සිදු කිරීමට බලාපොරොත්තු නොවූ අතර මෙය මාධ්‍ය ආයතනයක් වෙත පැවරෙන සමාජ වගකීම මනාව ඉටුකිරීමක් බව ද නැවත නැවතත් සිහිපත් කරන්නෙමු.
විදුහල්පතිවරයා පවසන්නේ එම ලිපිය ලියන ලද එස්.ලොකුකරවිට නම් මාධ්‍යවේදියකු ඔහු අමතා සම්මුඛ සාකච්ඡාවක් ලබාගෙන නැති බවයි. නමුත් විදුහල්පතිවරයා එම ලිපියේ සඳහන් ඔහු කියූ කරුණු කිසිවක් ප්‍රතික්ෂේප කරන්නේ ද නැත.
එස්. ලොකුකරවිට අප මාධ්‍යවේදිනියගේ සැමියා ද මාධ්‍යකරණයේ නිරත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.
අප දන්නා පරිදි මේ මාධ්‍යවේදියා හා මාධ්‍යවේදිනිය යන දෙදෙනාම වැඩබලන විදුහල්පති ගාමිණී ජයවර්ධන හොඳින්ම දන්නා හඳුනන අය වෙති.
මාධ්‍යවේදීන් දෙදෙනා විසින් ගාමිණී ජයවර්ධන වැඩබලන විදුහල්පතිවරයා සමඟ අදාළ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කරන විනාඩි 18 වැඩි කාලයක් සහිත හඬ පටයක පිටපතක් ද අප ආයතනය වෙත එස්.ලොකුකරවිට මාධ්‍යවේදිනිය විසින් එවා ඇති අතර, එම දුරකථන ඇමතුම ගෙන ඇත්තේ මාධ්‍යවේදිනියගේ සැමියා විසිනි.
සාකච්ඡාව අතරතුර මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් පහරකෑමට ලක්වූ සිසුවා විසින් සමාජමාධ්‍ය ජාලයේ පළකරන ලදැයි කියන ඡායාරූපය ද එවා ඇත්තේ එස්.ලොකුකරවිට මාධ්‍යවේදිනියගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේය.
ඒ අනුව වැඩබලන විදුහල්පති ගාමිණී ජයවර්ධන එස්.ලොකුකරවිට මාධ්‍යවේදිනිය නොදන්නා බවත් ඇය මාධ්‍යවේදියකු (පිරිමි) ලෙස හැඟවීමට උත්සාහ ගනිමින් කිසිදු අවස්ථාවක සාකච්ඡා නොකළ බවත් සඳහන් කරමින් කරන ප්‍රකාශය සාවද්‍යය බව සඳහන් කර සිටිමු.
විදුහල්පතිවරයා විසින් කරුණු පැහැදිලි කරන ලද ලිපියේ දක්වා ඇත්තේ “9 කල්ලිය“ යන්න “අතේ රෝල්” මාධ්‍ය භාවිතයක් බවයි. සිළුමිණ පුවත්පත එවැනි අතේ රෝල් මාධ්‍ය භාවිතයක් නොකරන බව විදුහල්පතිවරයාට මේ අවස්ථාවේ අප දැනුම් දිය යුතුව ඇත.
තමන්ට පහර දුන්නේ පාසල තුළ ‘9 කල්ලිය‘ යනුවෙන් හඳුන්වා ගන්නා කල්ලියක් බව පවසන්නේ පහර කෑමට ලක්වූ සිසුවා විසිනි. පහර කෑමට ලක්වූ සිසුවා 9 කල්ලිය ගැන පොලිසියට ද දැනුම් දී ඇති අතර; පහරදුන් අයගේ නම් පවා පොලිසියට දන්වා ඇත.
විදුහල්පතිවරයාගෙන් කරුණු විමසන හඬපටයේ “9 කල්ලිය” පිළිබඳ විමසීමේදී මහින්ද විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා එය ප්‍රතික්ෂේප නොකරන අතර ඔහු පවසන්නේ “කල්ලි තියෙනවා. ඔයත් ඔය ඉස්කෝලෙටනේ ගියේ. කල්ලි හදාගැනීම දරුවන්ගේ අවශ්‍යතාවක්” යනුවෙනි. එයින් තහවුරු වන්නේ කල්ලි ඇති බව වැඩබලන විදුහල්පති ගාමිණී ජයවර්ධන ද පිළිගන්නා බවයි.
නමුත් විදුහල්පතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමේ ලිපියේ දක්වා ඇත්තේ මෙවැනි කල්ලියක් හෝ වෙනත් කල්ලිවල සේයාවකදු නැති බවයි.
මේ පිළිබඳව සොයා බැලීමේදී විදුහල් ප්‍රජාවගෙන් මෙන්ම වෙනත් සිසු දරුවන්ගෙන් ලද තොරතුරු අනුව ‘9 කල්ලිය‘ නමින් හඳුන්වා ගන්නා කණ්ඩායමක් සහ තවත් කණ්ඩායම් කිහිපයක් පාසලේ තිබෙන බවත්, ඇතැම් කල්ලි සාදාගෙන සිටි සිසුන් දැන් පාසලෙන් සමුගෙන ඇති බවත්, දැනට මෙවැනි කල්ලි නිර්මාණ කරගත් සිසුන් පාසලේ වෙනත් සිසුන්ගෙන් කප්පම් ගැනීම්, සිසුන්ට පහරදීම් හා වද හිංසා පැමිණවීම් කරන බවටත් කරුණු අනාවරණය වී ඇති බව අපි විදුහල්පතිවරයාට පවසා සිටින්නෙමු. නමුත් මෙම සිදුවීමට එ්වා අදාළ නොවන බැවින් ඒ පිළිබඳ ලිපියේ සටහන් කර තිබුණේ නැත. මේවා සම්බන්ධව කරුණු අනාවරණය කරගැනීම විදුහල්පතිවරයාගේ කාර්යභාරයක් බවද අප මෙහි සඳහන් කරමු. එමෙන්ම පහර කෑ සිසුවාට තවත් සිසුන් කණ්ඩායමක් පහර දී ඇත්තේ ඔහු දැමූ අසභ්‍ය ඡායාරූපයක් නිසා යැයි පවසන විදුහල්පතිවරයා “එය එයාලගේ වැඩක්” යැයි පවසා ඇත.
මේ අනුව සිසුන් පිරිසක් තවත් සිසුන් පිරිසකට දඬුවම් දීම මහින්ද විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා අනුමත කරන්නේ නම් එය බරපතළ තත්ත්වයක් බව අපි විදුහල්පතිවරයාට අවධාරණය කරන්නෙමු.
කෙසේ වෙතත් කරුණු පැහැදිලි කිරීමේ ලිපියේ විදුහල්පතිවරයා සඳහන් කර ඇත්තේ මෙය හුදෙකලා සිදුවීමක් ලෙස එම ලිපියේ ම දක්වා ඇති බවයි.
අප විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගේ අදහස් මෙම ලිපිනයට අන්තර්ගත කළේ යම් සිදුවීමකට උපකාරක තොරතුරු ඇතුළත් කිරීම පිළිගත් මාධ්‍ය ආචාරධර්මයක් ලෙස අප සලකන බැවිනි.
එහි දී විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ සමස්ත පාසල් දරුවන් හා කල්ලි ගැසීමේ මානසිකත්වය පිළිබඳ හා සියලුම පාසල් පිළිබඳව බව මෙහි දී විදුහල්පතිවරයාට සිහිපත් කරන්නෙමු.
ඔහු සඳහන් කර ඇත්තේ “මෙය මහින්ද විද්‍යාලයෙන් වාර්තා වූ එක් හුදෙකලා සිදුවීමක් වුව ද සෑම පාසලකම පසුගිය වකවානුවේ ඉතාමත් විශාල වශයෙන් මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවයි”
මෙය හුදෙකලා සිදුවීමක් ලෙස සඳහන් කර ඇත්තේ වෙනත් බාහිර සිදුවීම් සමඟ සම්බන්ධ දෙයක් නොවන බැවින් විනා මෙය ලඝු කර දැක්වීමට නොවන බව විදුහල්පතිවරයාට අපි අවධාරණය කරමු.
එමෙන්ම මෙය මහින්දයේ සිදුවූ එක් සිදුවීමක් පමණක් වුව ද එවැනි සිදුවීම් ගණනාවක තොරතුරු මේ වනවිට අප වෙත ලැබී ඇති බව ද එබැවින් එය හුදෙකලා සිදුවීමක් නොව වසර කිහිපයක සිට ඇතිවූ සිදුවීම් මාලාවක එක් ප්‍රතිඵලයක් බවද මෙහි දී අවධාරණය කරන්නෙමු.