තොර­තුරු දැනු­මෙන් නැණ­වත් වේද? | සිළුමිණ

තොර­තුරු දැනු­මෙන් නැණ­වත් වේද?

 

පන්ති කාමරයට පිවිසුු අපේ ගුරුතුමා වදන් කීපයක් කළුලෑල්ලේ ලියුවේය. ඉන්පසුව අපෙන් ඇහුවේ ඉතා කුඩා ප්‍රශ්නයකි.

“මේ වචනවල අර්ථ තේරුම් අරන් තියෙනවද කියල බලන්න“ යි කියමින් ඒ වචන එකිනෙක ශබ්දනගා කියවීමට පටන් ගත්තේය.

“ගවේෂණය, විමර්ශනය, සමීක්ෂණය, නිරීක්ෂණය, විවරණය, විචක්ෂණය. මේ වචන හයම තොරතුරු සම්පාදනයට සම්බන්ධය. අපි නිතරම වාගේ තොරතුරු (Information) ගැන කතා කරනවා. තොරතුරු දැන ගැනීමට නම් අපට ඔය වචන හය හුඟාක් ඵලදායක වෙනවා. කොහොමද ඵලදායක වෙන්නේ?“

තොරතුරු කියන්නේ හොයන දෙයක්. එහෙමත් නැත්නම් සොයාගෙන යා යුතු දෙයක්. ඒකත් හරියට නැතිවුණු ගවයින් ලැග ඉන්නේ කොහේදැයි සොයා යනවා වගේ වැඩක්. ඒ ක්‍රියාව ‘හරකුන් සෙවීම‘ යන අර්ථය දෙන ‘ගවේෂණය‘ මඟින් සිදුවෙනවා. ඉංග්‍රීසි බසින් ගවේෂණය හැඳින්වෙන්නේ Investigation (ඉන්වෙස්ටිගේෂන්) යනුවෙන්. ඇති දෙයක්, දකින දෙයක් තව තවත් හොයන්න පුළුවන්. හැඟවුණු දෙයක් හොයන්නට වෙනවා.

“විමර්ශනය“ ඊට වඩා වෙනස් මඟික් ගන්න සෙවිල්ලක්. එය නිකම්ම නිකං සෙවිල්ලක් වෙනුවට බුද්ධිමත් අයුරින් සිදුවන සෙවිල්ලක්. ‘විමසීමෙන් දැන ගැනීම තමයි විමර්ශි‘ වෙන්නේ. ඒ නිසා ‘විමර්ශනය‘ යන්න ගවේෂණය ඉක්මවූ සෙවීම් කාලයක්. ඒ සඳහා Inquiry එහෙමත් නැත්නම් Enquiring search කියන්නට පුළුවන්. යම්කිසි තොරතුරක හුදු මතුපිට තලය වෙනුවට තවත් දිශානතී (dimensions) ඇති බව හඳුනා ගැනීම නිසා අපේ යෙදුමක් තියෙනවා. ‘විමර්ශන බුද්ධිය‘ කියල. කිසියම් තොරතුරක් ඇඳ දැක්වීමේදී විමසිලිමත්වීම මෙහි අදහසයි.

ඊළඟට යම් යම් තැන්වලට ගිහිල්ල තොරතුරු සෙවිල්ලේ යෙදෙන අය ‘සමීක්ෂණ‘ පවත්වනවා. එක් තොරතුරක් තවත් තොරතුරක් සමඟ සන්සන්දනය (compare) කරනවා. ඒ මඟින් තමන් හමුවට විවිධාකාර තොරතුරු ගලා එන්නට පුළුවන්. ඒ තොරතුරු මැනලා බලනවා. කිරලා බලනවා. මේ ක්‍රියාදාමය සමීක්ෂණය (Survey) යනුවෙන් හඳුන්වනවා. ඉඩම් මනිනවා. එය සමීක්ෂණයක්. එය ඉටුකරන්නේ මිනින්දෝරුවා (Surveyor) දිගපළල, වටිනාකම, අගය සමීක්ෂාවට භාජනය කරනවා.

ඊළඟට එන්නේ ‘නිරීක්ෂණය‘ (Observation) නිරීක්ෂණයකින් තොරව ඇතැම් තොරතුරුවල අගය තක්සේරු කිරීම අපහසුය. එය හුදු ‘පරීක්ෂණය‘ ඉක්මවා තොරතුරක අගය දැකීමක් වෙනවා. මේ නිසා ‘නිරීක්ෂණය‘ ඕනෑවට එපාවට වෙනුවට සියුම් ලෙස ගොඩ නැඟීමට පුළුවන්. වදන් භාවිතය (use of words) ඉගැන්වීමට වදන්කෝෂ අවශ්‍යයි. වදන් උගන්වන ගුරුවරුන් අවශ්‍යයි. ‘විවරණය‘ අප හමුවේ ඇති අපූරු යෙදුමක්. යම්කිසි තොරතුරක් දැනගත් පසුව ඒ තොරතුර ‘විවරණය‘ කිරීමට අතිරේක කුසලතාවක් (skill) අවශ්‍ය බව හඳුනාගත යුතුය. මේ නිසා ඒ කාරණය තොරතුරු සම්බන්ධයෙන් ‘විවරණ ඇස‘ යන තේරුම දෙන Commentary නැතිනම් Commentarial යනුවෙන් හැඳින්වෙනවා. මේ සියල්ලටම වඩා තමන් හමුවේ පවතින තොරතුරු බෙදා වෙන් කරගැනීම ගැන දැනුමක් තිබෙන්නට ඕනෑ. ඒ දැනුම හඳුන්වන්නේ ‘විචක්ෂණය‘ (discrimination) කියල. අපට ලැබෙන හැම තොරතුරක්ම එක හා සමානව නොවටිනා බවත් වටිනා හා නොවටිනා ලෙස වෙන් කිරීමේ ශක්තිය අප සතු විය යුතුය.

මේ කාරණා සියල්ල මෙනෙහි කරන කොට අපට එක් වැදගත් කාරණාවක් පැහැදිලි වෙන්ට ඕනැ. ඒ මොකක්ද ඒ කාරණය. අපට ළඟාවන තොරතුරු අපි ආදරයෙන් වැලඳ ගන්නා තොරතුරු අපි බැහැර දමන තොරතුරු පිළිබඳව කල්පනා කිරීමට සිදුවෙනවා. අප තුළ පවතින්නේ දැනුවත් කමක්ද? නොදැනුවත් කමක්ද? යන්න සියුම් ලෙස විමසීමට ඔය වදන් හය මඟින් ප්‍රකාශිත අර්ථ ඵලදායක වෙන්නට ඕනෑ.

Comments