
ලලිත් චාමින්ද - ගාල්ල
අප රටේ පාසල් පද්ධතිය වර්තමානයේ ජාතික පාසල් හා පළාත් පාසල් ලෙස පරිපාලනමය වශයෙන් බේදා වෙන්කොට තිබේ. මීට අමතරව ජාත්‍යන්තර හා පුද්ගලික පාසල්ද එම ජාලයට එකතුවී තිබේ. තම දරුවන් මෙරට ජනප්‍රිය පාසලකට ඇතුළත් කරගැනීම සෑම දෙමවුපියකුගේම එකම අභිලාෂය වේ. මෙරට පැවතිය යුතු පාසල් සංඛ්‍යාව රටේ ජනඝණත්වය අනුව තීරණය කළ යුතු වේ. ඒකොයිහැටි වුවද පාසල්වල ජනප්‍රියභාවය අනුව අදාළ ප්‍රදේශයෙන් පරිබාහිර ප්‍රදේශවල සිට දරුවන් අධ්‍යාපන කටයුතු සදහා පැමිණීම හේතුවෙන් මෙරට පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව අසමතුලිතව ව්‍යාප්තව ඇත.
අප රටේ පාසල් සංඛ්‍යාව 10.165කි. ඉන් පාසල් 5161ක් එනම්, ඉන් හරි අඩක් ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල්ය. 2019 වර්ෂයට අදාළ පාසල් සංගණන වාර්තාව අනුව පාසල් සිසු දරු දැරියන් 50ට අඩු පාසල් සංඛ්‍යාව 1468කි. පළාත් වශයෙන් ගතහොත් බස්නාහිර පළාතේ සිසු දරු දැරියන් 50ට අඩු පාසල් සංඛ්‍යාව 78කි. මධ්‍යම පළාතේ පාසල් 231කි. දකුණු පළාතේ පාසල් 114කි; උතුරු පළාතේ පාසල් 264කි; නැගෙනහිර පළාතේ පාසල් 151කි; වයඹ පළාතේ පාසල් 135කි; ඌව පළාතේ ඇති එවැනි පාසල් සංඛ්‍යාව 150කි. සබරගමු පළාතේ සිසු දරු දැරියන් 50ට අඩු පාසල් සංඛ්‍යාව 227කි. උතුරුමැද පළාතේ ඇති පාසල් සංඛ්‍යාව 110කි.
අධ්‍යාපන අමාත්‍යංශයේ 2019 වර්ෂයට අදාළ පාසල් සංගණන වාර්තාව අනුව බස්නාහිර පළාතේ සිසු දරු දැරියන් 200ට අඩු පාසල් සංඛ්‍යාව 447කි.මධ්‍යම පළාතේ 804කි. දකුණු පළාතේ 530කි උතුරුපළාතේ 642කි. නැගෙනහිර පළාතේ පාසල් 549කි. වයඹ පළාතේ 607කි. උතුරුමැද පළාතේ 419කි; ඌව පළාතේ 492කි; සබරගමුව පළාතේ 632කි.
රජය මඟින් පාසල් දරුවන් 50ට වඩා අඩු පාසල් මෙන්ම 200ට වඩා අඩු පාසල් නඩත්තු කළ යුතුය. අනිකුත් පාසල්වලට මෙන්ම දරුවන් 50 දෙනෙකු ඉගෙනුම ලැබුවද එකි පාසල් සඳහා ගුරුවරු ලබාදිය යුතුය. ඒ විතරක් එවැනි පාසල්වලට අවශ්‍ය භෞතික සම්පත් ලබාදිය යුතුය. ශිෂ්‍ය සංඛ්‍යාව අඩු පාසල් බිහිවීමට කරුණු ගණනාවක් බලපා තිබේ. මින් ප්‍රධානම කාරණය වන්නේ දරුවන් කුඩා පාසල්වලට යැවීමට දෙමව්පියන්ගේ ඇති අකමැත්තයි.
ශිෂ්‍ය සංඛ්‍යාව අඩු පාසල් වල ඉගෙනුම ලබන දරු දැරියන්ගෙන් අති බහුතරයක් දිළිඳු පවුල් වල දරුවන්ය. මෙකී පවුල්වල මවට හා පියාට ස්ථිර රැකියාවක් නැත. ඇතැම් පවුල් විසිරුණු පවුල්ය. දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට දෙමවුපියන්ට වුවමනාවක් නැත. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වියදම් කිරිමට ප්‍රමාණවක් ආදායමක් ද නැත. අනික් කාරණය වන්නේ වතු ආශ්‍රිත පාසල් බෝහොමයක් ළමුන් 50ට අඩු පාසල්ය. ජාතික පාසල් මෙකී පාසල් අවට පිහිටා තිබීමද මෙකී පාසල්වල ළමුන්ගේ සංඛ්‍යාව අඩුවිමට හේතුවී ඇත.
එමෙන්ම ගුරුවරු මෙවැනි පාසල්වල ඉගැන්වීමට වැඩි කැමැත්තක් නොදැක්විම, හුදකලා ගම්මාන පැවතීම ආදී හේතු මේ සඳහා බලපා තිබේ. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුන්වා දී ඇති නිර්ණායක වලට පටහැනිව නව පාසල් ආරම්භ කිරීම නිසා එම පාසල අවට ඇති අනිකුත් පාසල් වැසියාමට හේතුවී තිබේ. මෙකී පාසල් වැසී යෑම වළක්වා ගැනීම සඳහා විදුහල්පතිවරු හා ගුරුවරු මහත් වෙහෙසක් දරමින් කටයුතු කරති. ළමුන් සිය පාසල වෙත ඇතුළත් කරගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරති. අනික් කාරණය වන්නේ මෙවැනි පාසල්වල විභාග ප්‍රතිඵලවල වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි වීමයි. මෙකී පාසල් සතුව විශාල භුමි ප්‍රමාණයක් හා ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් පවතින අතර එම සම්පත්වලින් නිසි ප්‍රයෝජනයක් ගැනිමට නොහැකි වී ඇත. මෙවැනි අතැම් පාසල්වල අතිරික්ත ගුරුවරු සිටීම නවීන භෞතික සම්පත් නැතිවීම, ද දැකිය හැකිය. මෙවැනි පාසල් නඩත්තු කිරීම සඳහා රජයට විශාල වැය බරක් දැරීමට සිදුවී ඇත.
කෙසේවුවද මෙකී ගැටලු අවම කිරීම සඳහා බලයට පත්වූ රජයන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබීය. විවිධ භෞතික සම්පත් පාසල් වෙත ලබා දී තිබුණි. හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතිය මේ අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක වු විශේෂ ව්‍යාපෘතියකි. කෙසේවුවද 2013 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලය තුළ පාසල් 83ක් ළමුන් නැති වීම, රටේ පැවති වාතාවරණය හා වෙනත් හේතු, මත තාවකාලිකව වසා දමා තිබුණි. අධ්‍යාපන අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන වලට අනුව 2018 වර්ෂයේ දී පාසල් 101ක් වසා දමා තිබුණි. හොඳම පාසල ළඟම පාසල් ව්‍යාපෘතියෙන්ද මෙකී ගැටලුව අවම කිරීම සඳහා විසඳුමක් ලැබී නොතිබුණි.
කෙසේ වුවත් ගාල්ල දිස්ත්‍රික් යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමේ දී අධ්‍යාපන ඇමති මහාචාර්ය ජි.එල් පිරිස් මේ ගැන කතා කළේය. මෙරට පාසල්වල ශිෂ්‍ය සංඛාව ව්‍යාප්ත වීමේ අසමතුලිතතාව පිළිබඳ ඇමතිවරයා කිවේ මෙවැනි කතාවකි.
‘අපේ උත්සාහය වෙලා තියෙන්නේ හැකිතාක් දුරට ගොඩනැගිලි ඉදිකිරීම සඳහා විශාල ආයෝජනය කිරීම වෙනුවට වර්තමානයේ පවතින සම්පත් දියුණු කරලා අප සතුව පවතින මුල්‍ය සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගැනීමයි. මෙරට තියෙන පාසල් අතුරින් ළමුන් 500ට අඩු පාසල් තියෙනවා සියයට 73.6ක්. පාසල් 10.165න් සියයට 73.6ක් තියෙනවා ළමුන් 500ට අඩු පාසල්. ළමුන් 51 යි 100 අතර පාසල් 1500ක් විතර තියෙනවා.මේ තුළින් පේනවා සම්පුර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා. ළමුන් 50ක් ඉන්න පාසලකට වුවත් ගුරුවරු වෙන්කරන්න ඕන. මුදල් වෙන් කරන්න අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් කඩිනමින් වැඩපිළිවෙළකට අවතීර්ණ වීම ඉතා වැදගත් වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ජාතික පාසල් වැඩපිළිවෙළ අපි ආරම්භ කරනවා. අදියර දෙකක් යටතේ එය ක්‍රියාත්මක කරනවා. පළමු අදියර යටතේ පාසල් 123 දෙවැනි අදියර යටතේ පාසල් 673ක් තෝරා ගන්නවා. ඒ සඳහා මුදල් ලැබී තියෙනවා. පළමු අදියර සඳහා රුපියල් මිලියන 950ක් හා දෙවැනි අදියර සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කරනවා. රුපියල් මිලයන 950න් 450ක් උපකරණ සඳහා වෙන් කරනවා. අනික් මිලියන 500 පුනරුත්ථාපන කටයුතු සඳහා වෙන් කරනවා‘
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව දකුණු පළාත තුළ සිසු දරු දැරියන් 50ට අඩු පාසල් සංඛ්‍යාව 114කි.ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 45ක්, මාතර දිස්ත්‍රික්කයේ පාසල් 42ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් 27 ක් තිබෙන බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිමල් දිසානායක පවසන්නේය.
අනිකුත් පාසල්වලට මෙන්ම මෙකි පාසල් සඳහා අවශ්‍ය භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් ලබාදිය යුතුව තියෙනවා. හුදෙකලා නොවූ පාසල් හැර සිසු දරු දැරියන් 50ට අඩු පාසල් සංඛ්‍යාව අවම කරගැනීම සඳහා ෙර්ඛීය අමාත්‍යංශය සමඟ එක්වි සැලසුම් සකස් කරනවා. මේ සඳහා රේඛීය අමාත්‍යාංශය සමඟ එක්වී එකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කළ යුතු අතර; හුදෙකලා පාසල් හැර අනිකුත් පාසල් වෙනත් පාසල් සමඟ එකාබද්ධ කළයුතු බවට යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. සිසු දරු දැරියන් 50ට අඩු පාසල් සඳහා විදුහල්පතිවරයකු ඇතුළු අවම වශයෙන් ගුරුවරු 07 දෙනෙකු යෙදවිය යුතුව ඇති බවද ඔහු කීවේය.
දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේගෙන් ද මේ සම්බන්ධව අපි විමසීමක් කළෙමු.
මෙකි පාසල් සම්බන්ධයෙන් ගත යුතු තීන්දු තීරණ පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තියෙනවා. මෙම පාසල් පිළිබඳ අපි තවම තීන්දුවක් ගෙන නැහැ. ඵලදායි නැති පාසල් ඵලදායි කටයුත්තකට යෙදවිය යුතු වෙනවා. ගුරුවරු 10යි ළමුන් 30ක් තියාගෙන පාසල් පවත්වාගෙන ගිහින් වැඩක් නැහැ. රජයේ ප්‍රතිපත්තියට අනුව එම පාසල් ඵලදායි කටයුත්තකට යොදවනවා. අධ්‍යාපන සම්බන්ධව වෙනත් වැඩකට යොදවන්න පුළුවන්. දරුවන්ගේ පාසල් යෑමේ අයිතිය තහවුරු කළ යුතුව ඇති බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපාගෙන් මේ සම්බන්ධව අප කළ විමසුමකදී මෙසේ කීවේය.
මෙකී පාසල්වල ඇතැම් පන්තිවල දරුවන් එක්කෙනයි දෙන්නායි ඉගෙනුම ලබන්නේ. ඇත්තටම මෙය ඉතා සංවේදී කාරණයක්. මෙකී පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට කණ්ඩායම් ක්‍රියාකාරකම් යෙදෙන්න අවස්ථාවක් නැහැ. එක අතකින් ඒ දරුවන්ට ද අසාධාරණයක් වෙලා තියෙනවා. තවම මේ සම්බන්යෙන් ස්ථිර තීන්දුවක් අරගෙන නැහැ. පාසල් එකාබද්ධ කිරීම වෙන්න පුළුවන්, නැතිනම් සෞභාග්‍යා පාසලක් විදියට සංවර්ධනය කරන්න පුළුවන්. වෙනත් මහා විද්‍යාලයක් සමඟ එකාබද්ධ කරන්න පුළුවන් මෙවැනි යෝජනා කිහිපයක් තියෙනවා. මෙවැනි පාසල් වහනවා කියලා තීන්දුවක් නැහැ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේ තමයි තියෙන්නේ. මාසයක් වගේ කාලයක් ඇතුළත මේ සම්බන්ධව අවසන් තීන්දුවක් ගන්නවා. බොහෝ විට එකාබද්ධ කිරීම තමයි කරන්න වෙන්නේ. මේ සම්බන්ධයෙන් පැති කිහිපයකින් බැලිය යුතුයි. පුළුල් සාකච්ඡාවක් කරලා තමයි තීරණය ගන්න වෙන්නේ. මෙය ලොකු ප්‍රශ්නයක් විදියට අපි හඳුනාගෙන තියෙනවා යැයිද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.