දෙව­න­ග­ල යළි කැලඹෙයි! | සිළුමිණ

දෙව­න­ග­ල යළි කැලඹෙයි!

හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරයකු වූ එච්. සී. පී. බෙල් දෙවනගල ගැන සිය කෑගලු වාර්තාවේ සඳහන් කළේ සතර කෝරලේ වෙනත් කිසිම තැනකදී දැකගත නොහැකි තරමේ මනස්කාන්ත දර්ශනයක් දෙවනගල පර්වතය මතට නඟින කවරකුට වුවද දැකගත හැකි බව ය. ප්‍රාග් ඵෙතිහාසික යුගයට අයත් සාධකද සහිත දෙවනගල පුදබිම අනුරාධපුර යුගයේ ධාතුසේන රාජ්‍ය සමයේ (ක්‍රිස්තු වර්ෂ 460 – 479) ඉදිකරන ලද බව සැලකේ. බතලේගලට දෙවැනි වන ගල නිසාත්, අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් දෙවැනි වරට වැඩමවූ ස්ථානය නිසාත් මෙය “දෙවනගල‘‘ ලෙසින් හඳුන්වන බව ජනප්‍රවාදයේ සඳහන්ය.

මෙහි පොළොන්නරු යුගයේ සහ මහනුවර යුගයේ සෙල්ලිපි දෙකකි. ගල් විහාරය හෙවත් පැරැණි විහාරය, මහනුවර යුගයේ මූර්ති හා සිතුවම් සහිත ටැම්පිට විහාරය, සංඝාවාසය, ධර්ම ශාලාව, පොකුණ මෙන්ම සිරිපතුල වැනි ප්‍රධාන ස්මාරක කීපයකි.

එක් සෙල්ලිපියක පළමුවන පරාක්‍රමබාහු රජු සමයේ මෙරට නාවිකයන්ට බුරුම රාජ්‍යයෙන් එල්ල වූ වද හිංසාවලට විරුද්ධව එරට සමඟ යුද වැදුණු සෙනෙවියකුට පිදූ ගම්වරයක් ගැන සඳහන්ය. අනෙක් සෙල්ලිපිය මහනුවර යුගයේ වන අතර, පළමුවන විමලධර්මසූරිය රාජ්‍ය සමයේ විසූ රතනාලංකාර නම් හිමියන් ශාසනයේ උන්නතියට කළ සේවය වෙනුවෙන් වූ සඳහනකි.

මෙවැනි දිගු ඉතිහාසයකට නෑකම් පවසන දෙවනගල මෑතකාලීනව නිතර කතාබහට ලක්වන පුදබිමක් බවට පත්ව ඇත. ඒ දෙවනගල පුදබිමට අයත්ව තිබූ ඉඩම්වල පදිංචි පිරිස් විහාරස්ථානයට එරෙහිව සිදුකරනවා යැයි පවසන විවිධ ක්‍රියා හේතුවෙනි.

මෙහි වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු හෙළිකරන දෙවනගල රජමහා විහාරස්ථානයේ භාරකාර මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ මෙසේ වදාළහ.

‘මේ ඉඩම් රජකාලේ පන්සලට පැවරුණු ඉඩම්. මේ ඉඩම්වල සිංහල, මුස්ලිම් දෙගොල්ලම සිටිනවා. ඒ අයගේ ගෙවල් ඉවත් කරගන්න, පල්ලි කඩන්න, ඒ අයට කරදර කරන්න කියලා අපි කියන්නේ නැහැ. මේ ඉඩම්වල ඉන්න සිංහල, මුස්ලිම් හැමදෙනාම මේ සෙවණේ සමඟියෙන්, මෛත්‍රියෙන් ඉන්න ඉඩකඩ ලබා දීලා මේවා විහාර දේවාලගම් පනත ක්‍රියාත්මක කරලා පන්සලට බදු මුදලක් ලැබෙන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ. මේ තත්ත්වයෙන් ජීවත්වෙලා ඉදිරියට යම් ආක්‍රමණයක් නොවෙන්න තව පල්ලි හැදෙන එක, ගෙවල් හැදෙන එක නතර වෙන්නයි ඕනෑ.

අපේ විහාරස්ථානයේ බෝධියට හානි කරනවා නම්, නාම පුවරුවලට හානි කරනවා නම්, බෞද්ධ කොඩියක් දැමුවාම ඒක ඉරා දමනවා නම්, විහාරයට යන පාර ශුද්ධ කරන්න දෙන්නේ නැතිනම් ඒකනේ ජාතිවාදය

නාමපුවරුවට හානිකළ බවට සැකපිට තරුණයකු අත්අඩංගුවට ගනිමින්

කියන්නේ. මේ රටේ මුස්ලිම් ජනතාව බහුලව ජීවත්වන ප්‍රදේශවල සිංහල ජනතාව ඔවුන්ට කරදර හිරිහැර කරන්නේ නැහැ. මෙච්චර කල් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. පන්සලට එන පාර දැක්වෙන බෝඩ් එකක් රකින්න පොලිස් නිලධාරියෙක් පැය විසිහතරක් එතැන හිටගෙන ඉන්න ඕනෑද; මේ බෞද්ධ රටේ. අපි කවදාවත් පල්ලියකට හානි කරලා නැහැ. මේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ජීවත්වෙනවා අපිත් සමඟ හිතවත්ව. සීමිත පිරිසක් තමයි අන්තවාදී වැඩ සිදුකරන්නේ.‘‘

පසුගිය කාලය තුළ විහාරස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාමින් යුත් උරුම රැසකට විවිධ පිරිස්වලින් හානි පැමිණ තිබේ. මෙම විහාරස්ථානයේ ස්ථිරව ස්වාමින් වහන්සේ නමක වැඩ නොසිටීමද මෙම පුද්ගලයන්ට එම කටයුතුවල යෙදීමට පහසුවක් වී ඇත. සමහර පුද්ගලයන්ට දේශපාලන රැකවරණය සැලසීමද මෙම ඉඩම් අල්ලා ගැනීමට රුකුලක් වූ බව පුඤ්ඤසාර හිමියෝ පවසති.

‘‘මෙම අන්තවාදී පිරිස් දෙවනගල විහාරයේ ඵෙතිහාසික වටිනාකමින් යුතු ගල් ඇඳි, ගල් පුවරු, ගල් පාදම, සඳකඩ පහණ විනාශ කරලා. ඒවා අපේ උරුම. සිංහල, දෙමළ, මුස්ලිම් අපි කාගෙත් උරුම. ඇයි මේ උරුම, පුරාවස්තු විනාශ කරන්නේ. පුරාවස්තු විනාශ කරනවා කියන්නේ සිංහලයාගේ, බෞද්ධයාගේ, මේ රටේ සිටින අනෙකුත් පුරවැසියන්ගේ ඉතිහාසය විනාශ කිරීමක්. ඒවා රැකෙන්න ඕනෑ. පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ දෙවනගල ගල් පාදම ඩෝසර් කළා. තැන් දෙකක විතරයි ගල් පාදම බේරාගන්න පුළුවන් වුණේ.

මේක පැහැදිලිවම සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් නොවෙයි. දෙවනගල ගල වටේ ගත්තාම තුන් පැත්තකම පදිංචි වෙලා ඉන්නේ සිංහල මිනිස්සු. ඒ අයගෙන් සමහරක් අන්තවාදී වැඩ කරනවා, මුස්ලිම් අයගේ නමින් යන්න. මේ දේවල්වලින් අසමඟියයි ඇතිවෙන්නේ. අපේ බෝධින් වහන්සේ දෙපාරක් කැඩුවා; බෝඩ් කැඩුවා; පාලම් කොඩි ඉරා දැමුවා. කරපු කෙනෙක් දන්නේ නැහැ. අපිට හිතාගන්නත් බැහැ. අපි රුපියල් ලක්ෂ එකහමාරක් දෙකක් මේ බෝඩ් දමන්න වියදම් කළා. තුන් පාරක් බෝඩ් දැම්මා. මේවා ඉවරයක් වෙන්න ඕනෑ. බෝඩ් කඩා දමන නිසා වාහල්කඩක් හදන්න අපි තීරණය කළා.

යහපාලන රජය කාලයේ නීතිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ හැම එකක්ම දේශපාලනයට යටවෙලා තිබුණේ. නිලධාරින් අසරණයි. දේශපාලන වාසි ගන්න දෙවනගල විනාශ කළා. අද දේශපාලන බලපෑම්, ඇඟිලි ගැසීම් නැහැ. දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ පාර බෝඩ් එක විනාශ කරපු කෙනාවත් අත්අඩංගුවට ගත්තා. මේ අපරාධකරුවන් මෙතෙක් අල්ලා ගන්න බැරි වුණා. අද වන විට දෙවනගල ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ, සබරගමුව ආණ්ඩුකාරතුමාගේ, දිසාපතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ අවධානය යොමුවෙලා තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, බුද්ධශාසන අමාත්‍යාංශය මේ හැමෝම එකතුවෙලා තමයි දැන් මේකට විසඳුම් හොයන්නේ. මල්වතු මහා විහාරයේ මහානායක හිමියන් ඇතුළු සංඝ සභාව මාව මේ ස්ථානයට පත්කර තිබෙනවා.‘‘

මේ වන විට පන්සල් භූමිය සම්පූර්ණයෙන්ම මැන අවසන්ය. එම භූමියේ එක් එක් පුද්ගලයා සතු ඉඩම් මැනීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතය. බිමි අඟලක්වත් මැනීමට නොදෙන බවට පිරිසක් තර්ජනය කරද්දීත් එම

මහනුවර යුගයේ නිම කළ බුද්ධ ප්‍රතිමා

කාර්යය සාර්ථක කරගැනීමට හැකිවීම සතුටක් හා ජයග්‍රහණයක් බවද පුඤ්ඤසාර හිමියෝ පෙන්වා දෙති.

‘‘රජය මඟින් පන්සල් බිමට අයිති අක්කර අසු පහක් මැන්නා. අපිට දෙවෙනි මැනුම පටන් ගන්න බැහැ නඩුවක් තියෙන නිසා. ඒකේ නීති කටයුතු අවසන් නැහැ. ඊළඟට තියෙන්නේ දෙවනගල විහාරය සතු බිම මනින්න. අක්කර අසූ පහක් මේ ගම මැන්නාට ඒවා කට්ටි වශයෙන් යළි මනින්න ඕනෑ. එක් එක් පුද්ගලයන් අල්ලාගෙන තිබෙන ඉඩම් ප්‍රමාණ වෙන වෙනම මනින්න ඕනෑ; බදු අයකරන වැඩපිළිවෙළකට යන්න. එතකොට ගහක් කපාගන්න, ගෙදර හදාගන්න ඒ අයට නීතිමය අවසරයක් ලබාදෙන්න පුළුවන්. මෙහෙම තියෙනකොට එහෙම කරන්න අවසර නැහැ. එයින් මිනිස්සුන්ට අසාධාරණයක් වෙනවා. මේ මැනපු අක්කර අසූ පහ නිදහස් කර දෙන්න රජය මුල්වෙන්න ඕනෑ. ඒක කරන්න තියෙන්නේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව.

වටිනාම පුරාවස්තු සහිත විහාරගෙය තිබෙන්නේ ගල ඉස්මත්තේ. ඒවා තමයි රැකගන්න ඕනෑ. දෙවනගල විහාර මැනුම අයිති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. පුරාවස්තු රකින්න ඕනෑ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. පුරාවස්තු සහිත බිම තමයි ගල පාදමේ සිට අඩි විස්සක් දුරට මනින්න ආණ්ඩුකාරතුමා තීරණය කළේ. නමුත් ඒකට විරුද්ධව මේ මැනුම නතර කරන්න කියලා සිංහල හත්දෙනෙකුත් අධිකරණයට ගිහින් තියෙනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුත් මේකට සම්බන්ධයි. එයා සිංහල අන්තවාදින් සහ අර මුස්ලිම් අන්තවාදින් සමඟ එකතුවෙලයි මේ වැඩේ කරන්නේ.සිංහල හොඳ පිරිසක් ඉන්නවා. මුස්ලිම් හොඳ පිරිසකුත් ඉන්නවා.ඒ දෙගොල්ලන්ටම නැඟිටින්න දෙන්නේ නැහැ මේ අන්තවාදීන්. මේ සිංහල බෞද්ධයන් නමට පමණක් බෞද්ධ. අපේ රට, ජාතිය, ආගම රැකගන්න කලවම් ලේ තියෙන අයට හැඟිමක් නැහැ. සුජාත ලේ තියෙන අයට මේ උරුම රැකගන්න ඕනෑකම තියෙනවා.‘‘

මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමේ සිදුවීමත් සමඟ දෙවනගල ගැටලුවද ජාතිවාදී ගැටලුවක් බවට පත්කිරීමට පිරිසක් වෙර දරති. මේ අතර මෙහි මෑතදීම වූ සිදුවීම නම් සංඝාවාසයට යන මාර්ගය පෙන්වා දීමට තිබූ නාම පුවරුවක් කිසියම් පුද්ගලයකු විසින් විනාශ කිරීමය. මෙම සිද්ධියට සැකපිට මුස්ලිම් ජාතික තරුණයෙක් මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අරනායක ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී අජන්ත දිසානායක මෙම ගැටලුවට ඝෘජුවම සම්බන්ධ වූවෙකි. ඔහු මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙබන්දකි.

‘මම 1997 අවුරුද්දේ ඉඳලා නොකඩවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනවා. දෙවනගල, තල්ගමුව, අට්ටාපිටිය සහ රුවන්දෙනිය ග්‍රාම නිලධාරි වසම්වලට අයත් ගම්මාන නවයක් මගේ කලාපයට තිබෙනවා. මේ කලාපයේ මුස්ලිම් ජනතාව පදිංචි නැහැ. බහුතරයක් වූ මේ මිනිසුන් වෙනුවෙන් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයා ලෙස මම කතා නොකළොත් කවුද කතා කරන්නේ. මේක මේ ජනතාවට බලපාන මූලිකම ප්‍රශ්නයක්. මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කටුගහවත්ත පමණයි මුස්ලිම් අය ඉන්නේ. සමහරු මම මුස්ලිම් අය වෙනුවෙන් සල්ලිවලට කතාකරනවා කියලා කීවත් මම පගාවට වැඩ නොකරන බව මගේ විරුද්ධ පාක්ෂිකයොත් දන්නවා. මෙතන කවුරුවත් පූජා භූමියට අයිතිවාසිකම් කියන්න යන්නේ නැහැ. පාරම්පරිකව භුක්ති විඳින ඉඩම් ගැන විතරයි අපි කතා කරන්නේ.

දෙවනගලට යාමට ඇති මාවත

දෙවනගල ජාතිවාදී ප්‍රශ්නයක් නැහැ. වාසියට ජාතිවාදය පෙන්නුම් කරනවා. අරනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආණ්ඩුකාරතුමා සමඟ තිබූ සාකච්ඡාවේදී මම මේ මිනිසුන් වෙනුවෙන් කතා කළා කියලා මට මරණ තර්ජනත් ආවා. නමුත් මම ඇත්ත කියන්න ඕනෑ. අපේ ගම්මානයට මේක හරිම කරදරයක් වෙලා. දෙවනගල රජමහා විහාරය රජවරුන්ගෙන් පස්සේ වැඩිදියුණු කළේ අපේ අත්තලා මුත්තලා. අදටත් අපේ පුදබිම මේ විහාරයයි. මුලින්ම දෙවනගල ගල පාමුල ඉඳලා මීටර් හාරසීයක් ප්‍රේරණ කලාපයක් කරනවාට මේ හැමෝම විරුද්ධ වුණා. ආණ්ඩුකාරතුමා ඇතුළු උසස් නිලධාරින් ඒ ගැන සලකා බලලයි ගල පාමුල සිට අඩි විස්සකට සීමා කළේ.එවැනි රක්ෂිත කලාපයක් වුණොත් මිනිස්සුන්ට ගහක අත්තක් කපාගන්නත් අවසර ගන්න වෙනවා. මේවා මේ අය පරම්පරා ගණනක් පදිංචිව සිටි ඉඩම්. අද තමන්ගේ ඉඩම වටේ බැම්මක් බැඳගන්න ඉඩදෙන්නේ නැහැ. හැබැයි එක පාර්ශ්වයකට විතරක් අනුන්ගේ ඉඩම්වල පාරවල් කපන්නත් පුළුවන්‘‘

කෑගල්ල දිසාපති මහින්ද එස්. වීරසූරියගෙන්ද අප මේ පිළිබඳව විමසුවෙමු.

“දෙවනගල පූජාභූමිය ආශ්‍රිතව පැනනැඟුණු ගැටලුවේදී විහාරාධිකාරී ස්වාමින් වහන්සේ, අරනායක සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් අමාත්‍යාංශය, පොලිසිය සහ සියලුම පාර්ශ­්වයන් සමඟ ඒකාබද්ධ සාකච්ඡා වට කීපයක් පැවැත්වූවා. දැනට භාරකාර ස්වාමින් වහන්සේ සහ දායක සභාවෙන් ඵෙතිහාසිකව පැවැති විහාරස්ථානයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමත්, පුරා විද්‍යා රක්ෂිතයට හානි වන බවත් ප්‍රකාශ වූවා. මෙහි ඉතිහාසය බලන විට යම් යම් අවස්ථාවලදී වසර ගණනාවක් තිස්සේ ඉඩම් අල්ලා ගැනීම් සිදුව තිබෙනවා. අවුරුදු අසූව,අනූව පැරැණි ඔප්පු හදාගත් අයත් සිටිනවා.

කෑගල්ල දිසාපතිවරයා ලෙස බුද්ධශාසනයට අදාළ කටයුතු සඳහා අවශ්‍ය ආරක්ෂාව සහ පහසුකම් සැලසීමත්, පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ජාතික උරුම ආරක්ෂා කිරීමත් මට පැවරී තිබෙන වගකීමක්. පූජනීය හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන අනාගත පරපුරට ආරක්ෂා කිරීමේ ස්ථාවරයෙන් ඒ අනුව මම කටයුතු කරනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාරතුමාගේ සහ මගේ ප්‍රධානත්වයෙන් කච්චේරියේ රැස්වීම් දෙකක් පැවැත්වුණා. ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්, පුරාවිද්‍යා කොමසාරිස්, බෞද්ධ කටයුතු කොමසාරිස්, ඉඩම් කොමසාරිස් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉඩම් අමාත්‍යාංශයේදීත් සාකච්ඡාවක් පැවැත්වුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් තීරණය කර තිබුණා; පර්වතයට අදාළ කොටස සහ පර්වතය පාමුල සිට යාර හාරසියයක ප්‍රේරණ කලාපයක් සලකුණු කිරීමට. ඒ සම්බන්ධව ගැටලු හා විරෝධතා මතුවුණා ගෙවල් හා ඉඩම් ඇතුළත්වීම නිසා. ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් අරනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී විශාල විරෝධතාවක් ඇතිවුණා.

අපි නැවත කමිටුවක් පත්කරලා තීරණය කළා; පුරාවිද්‍යා ප්‍රේරණ කලාපය නම් කරනතුරු දැනට පර්වතය පාමුල සිට අඩි විස්සක ස්ථිර ආරක්ෂිත කලාපයක් ලෙස සලකුණු කිරීමට. ඒ සඳහා දෙපාර්ශ්වයම එකඟ වූවා. ඒ අනුව අරනායක සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් මැනුම් නියෝග නිකුත් කළා. නමුත් ඊට එරෙහිව පුද්ගලයකු අධිකරණයට ගොස් තිබෙනවා. එය සමථයකට පත්වූ පසු ඉදිරි කටයුතු සිදු කෙරෙනවා. නමුත් තවදුරටත් අනවසර වැඩ සිදුවෙන බවට චෝදනා හා පැමිණිලි ලැබෙනවා. ග්‍රාම නිලධාරීන්ට, පොලිසියට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට සාමය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට උපදෙස් දී තිබෙනවා. මෙම ගැටලුව සමඟියෙන් බේරා ගැනීමට විහාරාධිකාරී හිමියන්ගේත්, ප්‍රදේශවාසීන්ගේත් සහය අපිට අවශ්‍ය වෙනවා.‘‘

Comments