පහන සමඟ කෙළෙස් ගිනි ද නිවී ගියා... | සිළුමිණ

පහන සමඟ කෙළෙස් ගිනි ද නිවී ගියා...

 

ඇගේ නම පටාචාරා ය. ඇය උපන්නේ සැවැත්නුවර සිටු මැදුරකය. ඇගේ පෙම්වතා වූයේ සිටු මැදුරේ මෙහෙකරුවෙකි. ප්‍රේමය විසින් වෙහෙසවනු ලැබූ ඇය ඔහු සමඟ එක් රැයෙක පලා ගියා ය.

ඈත ගමක කුඩා ගෙයක පදිංචි වූ ඔවුන්ගේ ජීවිතය දුක් මුසු වුව ද පටාචාරා ඔහු හැර දැමීමට නොසිතුවාය. පළමු දරුවාගේ උපත සිදුවන්නට පෙර ගමට ගොස් මා පියන් බලා එමුදැ’යි ඇය සැමියාගෙන් ඇසුවාය. ඔහුගෙන් ඒ සඳහා කැමැත්තක් නොලැබිණ.

දෙවැනි දරුවාගේ උපත සිදුවන්නට පෙර ඇයට ගමට යාමට වුවමනා විය. මඟදී පුතුගේ උපත සිදුවිය.

මහ වැස්සක් වැටිණ. වන මැද සිටි ඇයත්, දරු දෙදෙනාත් වැස්සෙන් රැක ගැනීමට සිතූ සැමියා අතු කැබලි ටිකක් ගසකින් කඩා ගැනීමට ගියේය. ගසට අත තබන විට ම සර්පයෙක් ඔහුගේ පය දෂ්ට කළේය.

“ඇයි ඔහු පමා”

පටාචාරා තෙමි තෙමී දරු දෙදෙනා ද ගෙන සැමියා සෙව්වාය. ඇයට හමුවූයේ ගසක් මුල ඇද වැටී තිබුණු ඔහුගේ මළ සිරුර ය.

ඇය හඬා වැටෙමින් දරු දෙදෙනා ද ගෙන ගමට යන්නට සිතුවා ය. අතර මඟ ගඟකි. පෙරදා මහ වැස්ස නිසා ගඟ ඉදිරි දෙපස ද වතුරට යට වී තිබිණ. එහෙත් ඇය ඉවුරේ සිටිය දී බිලිඳා ද ගෙන එගොඩ යන්නට දියට බැස්සාය. එගොඩට ගොස් බිලිඳා බිම තණ මත තබා දෙටු පුතු ගෙන එන්නට යළි දියට බැස්සා ය.

එවිට උකුස්සෙක් තණ මත වැතිර සිටි බිලිඳා ඩැහැගත්තේය.

ගඟ මැද සිටි පටාචාරා බිලිඳු හඬ අසා උකුස්සා බිය ගැන්වීමට අත්පුඩි ගැසුවාය. ඒ හඬ ඇසූ දෙටු පුතු “මට අම්මා කතා කරනවා” යි සිතා දියට බැස්සේ, සැඩ පහරට හසුවූයේ නොපෙනී ගියේ ය.

“සැමියා සර්පයෙකුට, දෙටු පුතු ගංවතුරට, පොඩි පුතු උකුස්සාට ගොදුරු වූ පසු මා ජීවත්වන්නේ කුමකට දැයි අසමින් ඇය සිටු මැදුර දෙසට ගියාය.

ඈතින් මහ දුමක් නැඟිණ.

“ඒ කුමක් දැ’යි ඇය මඟියකුගෙන් ඇසුවාය.

“ඊයේ රෑ මහ වැස්සට හසු වී සිටු මැදුර කඩා වැටුණා‍. සිටුතුමා සහ සිටු දේවිය ඊට යට වී මැරුණා‍. ඔය පෙනෙන්නේ ඔවුන්ගේ දර සෑයෙන් නැඟෙන දුම” ඒ පුවත ඇසීමත් සමඟ ඇය සිහිසුන් ව ඇද වැටුණාය. නැඟිට්ටේ පිස්සියකි. ඇදි වත ද ගිලිහී වැටෙද්දී ඇය නිරුවතින් මඟ දිගේ දිව ගියා ය.

“පිස්සියක්” යි කියමින් පුරවැසියෝ ඇයට කැට කැබිලිතිවලින් පහර දුන්හ.

හිස හැරුණු අතේ දිව ගිය ඇගේ ගමන අවසන් වූයේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙනි.

“නැඟණිය සිහිය පිහිටුවා ගන්න.”බුදුහු වදාළහ.

ඇගේ උමතුව බිඳිණ. පියවි සිහිය ලැබිණ. තමා නිරුවත්ව සිටිනු ඇයට පෙනිණ. ඇය වහාම බිම හිඳ ගත්තාය. උවසුවෙක් ඇයට සළුවක් දුන්නේය.

ඇය එයින් විළි වසා ගන්නී බුදු රජාණන් වහන්සේට නමස්කාර කළා ය.

“ස්වාමීනි, මට පිහිට වුව මැනවි’යි කී ඇය සිදුවූ විපත හෙළි කළා ය.

“දූ පුතුන්, මා පියන්, සැමියත් ආදීන්ගේ මරණ නිසා මේ සසරේ ඔබ හෙළූ කඳුළු සාගරයේ දිය කඳටත් වැඩියි.”

බුදුහු සසර පිළිබඳව දෙසූහ. දෙසුම අග පටාචාරා දුක තුනී කැර ගන්නී සෝවාන් පලයෙහි පිහිටියා ය.

එදිනම ඇය පැවිදි වූවා විදසුන් වැඩීම ඇරැඹුවා ය. දිනක් ඇය දිය කළයකින් පා දොවන්නී දිය පා මතට වැටී මඳ දුරක් ගලා ගොස් පොළොවේ සිඳී යනු දුටුවාය. තවත් වරක් කළයෙන් දිය හෙළූ ඇයට පෙනුණේ මුල් වරට වඩා තවත් ඈතට දිය ගලා ගොස් සිඳී ගිය අයුරු ය. තුන්වන වරට වැටුණු දිය තවත් ඈතට ගලා ගොස් සිඳී ගියේය.

විදසුන් වඩමින් සිටි ඇගේ සිතට එය අරමුණු විය.

“මුලින් ම වැටුණු දිය ගලා ගියේ මඳ දුරකි. එමෙන් ම සත්ත්වයෝ ප්‍රථම වයසේ දී ද මිය යති. දෙවැනි දිය පහර තවත් දුරට ගොස් සිඳී ගිය ලෙසින් සත්ත්වයෝ මධ්‍යම වයසේදී ද මිය යති. මුල් අවස්ථා දෙකටම වඩා තෙවැනි දිය පහර ගලා ගියා මෙන් සත්ත්වයෝ පශ්චිම වයසේදී ද මිය යති.”

ඇය මෙසේ ජීවිතයේ අනිත්‍යය මෙනෙහි කළා ය.

ගඳ කුටියේ සිටි බුදුරජාණන් වහන්සේට පටාචාරා මෙහෙණියගේ නුවණ මුහුකුරා ගිය බව පෙනිණ. උන්වහන්සේ එතුමිය දෙසට ආලෝක ධාරාවක් යවමින් මෙසේ වදාළහ.

“පංච උපාදානස්කන්ධය ඇති නැති වන අන්දම නොදැන නිසි ලෙසින්, සිය වස් ජීවත් වෙනවාට වඩා එය ඇතිවන, නැතිවන හැටි දකිමින් එක දවසක් හෝ ජීවත්වන එක උතුම් ය, වෙහෙස වන්න එය දකින්න”

මෙයට සවන් දුන් දා ම පටාචාරා මෙහෙණින් වහන්සේ රහත් බවට පත්වූහ.

කෙලෙසුන්ගෙන් මිදුණු, නිවී සැනසුණු සිතින් ගලා ගිය පටාචාරා රහත් මෙහෙණින් වහන්සේගේ උදානය මෙසේ විය‍.

නඟුල්වලින් කෙත් සීසා බිජු වපුරා

දනෝ දනය සොයා ගනිති පවුල් රකිති

අලස නොවූ උඩඟු නොවූ සිල්වත් වූ

දහමෙහි බැඳී මා

කිම නොලබනුයේ නිවන්?

දෙපා දෙ වූ දිය පොළවේ ගලා ගොසින්

සිඳෙනු බලා ආනිසය වටහා ගත්තෙමි.

අජානීය අසකු දැමූ අස් ගොව්වකු

ලෙස නොදැමුණු සිත දමනය කර ගත්තෙමි

සමාධියට පත් වූයෙමි එයින් පසුව

පහනක් ගෙන කුටියට ගොස් යහනේ හිඳ

පහළට ඇද්දෙමි එහි වූ තිරය එවිට

පහන නිවිණ, එලෙසම මා තුළ පැවැතුණු

කෙලෙස් ගිනි ද නිවී ගියා නිවන් දිටිමි.

 

 

Comments