හිටපු ජනාධිපතිවරයකු වූ මෛත්‍රීපාල සිරිසේන ඉකුත් කාලය තුළ වැඩිපුරම ගත කළේ නිහඬවය. එතුමා පාර්ලිමේන්තු රැස්වීම් වලට ඉඳහිට සහභාගී වූවද තමන් පෙනී සිටින ඇතැම් ප්‍රසිද්ධ රැස්වීම් වලදී පවා ජනමාධ්‍යවේදීන් උපායශීලීව මගහැර යන අයුරු අපට නොයෙක් වර දැක ගත හැකි විය.
කෙසේ වෙතත් 2019 අප්‍රේල් මස 21 දා එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඉකුත් සතියේ පැවති පාර්ලිමේන්තු විවාදයේ දී ඔහු තම සුපුරුදු නිහඬ බව අමතක කර දීර්ඝ දේශනයක් කර තිබුණේය. එදින රාත්‍රී විද්යුත් මාධ්‍යයෙන් විකාශය කෙරුණු එම දේශනය ඇසූ අපට සිතුණේ හිටපු ජනාධිපතිවරයා දැන් තමන්ගේ සියලු දොස් අකාමකා දමා දෑත් පිරිසිදු කර ගැනීමට අසාර්ථක උත්සහයක් ගෙන ඇති බවයි.
සාමාන්‍යයෙන් රටක රාජ්‍ය නායකත්වයක් දැරීම යනු සුළුපටු වගකීමක් නොවේ. තමන්ගේ පාලන කාලය තුළ රටේ කොතැනක හෝ සිදුවන කුමන සිදුවීමක් පිළිබඳව වූවද එහි වගකීම පැවරෙන්නේ රාජ්‍ය නායකත්වයේ කරමතය. එහෙත් ඒ බව හිතාමතාම යටපත් කිරීමට තැත් කරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 අප්‍රේල් මස 21 දා එල්ල වූ පාස්කු ප්‍රහාරයේ වගකීම අන්‍යයන් මත පැටවීමට දැඩි උත්සාහයක් ගෙන තිබෙන්නේ ඒ මොහොත වන විට මෙරට රාජ්‍ය නායකයා තමන් බව සිතාමතාම අමතක කරමිනි.
ඉහත සඳහන් බිහිසුණු බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාව වනවිට මෛත්‍රීපාල සිරිසේනයන් විදේශගතව සිටි බව සත්‍යයකි. එසේ වූ පමණින් තමන්ට එම සිද්ධියේ වගකීම දැරිය නොහැකි කියා දෑත් පිසදමා ගැනීමට ඔහුට නොහැකිය. එසේ වන්නේ එතුමා ඒ වන විටත් මේ රටේ ජනාධිපතිධූරය දරමින් සිටි බැවිනි.
එසේම මෙවැනි බොම්බ ප්‍රහාරයක් එල්ල වෙතැයි සඳහන් බුද්ධි වාර්තා තමන්ට නොලැබුණු බව කීම හිටපු ජනාධිපතිවරයාගේ නිදහසට හේතුවක් නොවේ. ඇතැම් විට එය සත්‍යයක් විය හැකිය. එසේම එම ප්‍රකාශය අසත්‍යයක් වීමට ද පුළුවනි. පාස්කු ඉරිදා දින සිදුවිය හැකි ත්‍රස්ත ප්‍රහාරය ගැන විදේශ බුද්ධි අංශයකින් කල්තියා තොරතුරු ලැබී තිබුණ බව තමන් පසුව දැනගත්තේ යැයි කියන හිටපු ජනාධිපතිවරයා තම ප්‍රකාශය මඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙරට සිටි කිසිදු වගකිව යුතු නිලධාරියකු ඒ බව තමන් වෙත දැනුම් දීමක් සිදුකර නැති බවයි.
ඔහු එලෙස ඇගිල්ල දිගු කරන්නේ අග්‍රාමාත්‍යවරයා වෙත විය හැකිය. නැතහොත් ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් හෝ පොලිස්පතිවරයා දෙසට විය හැකිය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම විදේශ බුද්ධි වාර්තා පිළිබඳ තොරතුරු කල්තියා දැනගෙනත් ඔහු ජනාධිපතිවරයා වෙත ඒ බව දැනුම් නොදුන්නේ නම් එයද බරපතළ වැරැද්ද පැටවෙන්නේ ජනාධිපති ලේකම් හෝ ආරක්ෂක ලේකම් වෙතද? නැත්නම් පොලිස්පතිවරයා වෙතද? යන ප්‍රශ්නය මෙහිදී පැන නැඟේ.
කෙසේ වෙතත් තමන්ට එවැනි තොරතුරක් නොලැබුණු බව එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාස්කු කොමිසමේ දී පවා ප්‍රකාශ කර තිබුණේය. මේ අතර එම කාලය තුළ ආරක්ෂක මණ්ඩලය සතිපතා රැස් නොවූ බවත්, අඩුම වශයෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට තමන් කැඳවා නොතිබුණ බවත් වික්‍රමසිංහ ඊට පෙර සඳහන් කර තිබුණු බව ද අපට මතකය. එය සත්‍යයක් නම් තමන් එම රැස්වීම් වලට නොකැඳවීම පිළිබඳව තම ඉහළ බලධරයා වන ජනාධිපතිතුමන්ගෙන් විමසීමට ඔහුට ද යුතුකමක් තිබුණේය.
මේ වන විට රටේ ආරක්ෂක ඇමති ධූරය පැවතුණේ ජනාධිපතිවරයා සතුවය. එසේ නොවුණද රටේ ජනාධිපතිවරයා වන ඔහුට තමන් විදේශගත වන අවස්ථාවේ වැඩ බලන ආරක්ෂක ඇමතිධූරය අග්‍රාමාත්‍යවරයාට හෝ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වෙත පවරා යාමට ඕනෑ තරම් ඉඩ තිබුණේය. එහෙත් විපකෂ මන්ත්‍රීවරයකු ඒ පිළිබඳව විමසූ විට හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඉහත සඳහන් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට රට තුළ ත්‍රස්තවාදයක් නොපැවැති නිසා එවැනි පියවරක් ගැනීමේ අවශ්‍යතාවක් නොතිබුණු බවයි.
හිටපු ජනාධිපතිවරයා තම පාර්ලිමේන්තු කතාවේ දී එසේ කීවද එම අවස්ථාව වන විට මෙරට ආරක්ෂක අංශවල පූර්ණ අවධානය යොමුවී තිබුණේ නාමල් කුමාර නැමැත්තකු විසින් හෙළි කළ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සහය පිළිබඳ පරික්ෂණ පැවැත්වීම කෙරෙහිය. මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය පිළිබඳව පැවැති පරීක්ෂණ කටයුතු පවා අඩාළ වී තිබුණේ ජනාධිපති ඝාතනය කිරීමට සිදු කර ඇතැයි කියන කුමන්ත්‍රණය පිළිබඳව තොරතුරු සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අවධානය යොමුවී තිබීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
රටේ ජනාධිපතිවරයා වූ තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු හෙළිවී ඇතැයි කියන වාතාවරණයක් තුළ රටේ ත්‍රස්තවාදයක් නොතිබුණැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් කරන ප්‍රකාශය තරමක් ගැටලු සහගතය. එසේම ඒ අවස්ථාව වන විටත් සහරාන් අත් අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් පවා නිකුත් වී තිබුණේය. 2017 දී නිකුත් කර තිබූ එම වරෙන්තුව අනුව ඔහු අත් අඩංගුවට ගැනීම පොලීසියේ කාර්යයක් බව මෛත්‍රීපාල සිරිසේනයන් කියයි.
අනෙක් අතට 2015 සහ ඉන් අනතුරුව එළඹුණු කාලයේ ලෝකයේ බොහෝ රටවල ත්‍රස්තවාදී ක්‍රියා බහුලව සිදුවී ඇති නිසා ලෝක ත්‍රස්තවාදී ප්‍රහාරයන් ගැන සැලකිලිමත් විය යුතු යැයි තමන් ආරක්ෂක මණ්ඩල රැස්වීම් වල දී නිතර කියා සිටි බවත් මෛත්‍රීපාල සිරිසේන තම පාර්ලිමේන්තු කතාවේ දී සඳහන් කර තිබුණෝය. එසේ කියන හිටපු ජනාධිපතිවරයා ඒ සමඟම සඳහන් කරන්නේ උතුරේ යුද්ධය පැවැති සමයේ දී මෙන් රට තුළ ත්‍රස්තවාදී ප්‍රහාර ඇති වීමේ වාතාවරණයක් නොමැතිවීම නිසා තමන් විදේශ ගත වන විට ආරක්ෂක ඇමතිධූරයේ වැඩ ආවරණය කිරීම සඳහා වෙනත් පුද්ගලයෙකු පත් කිරීමේ අවශ්‍යතාවයක් නොතිබුණු බවයි.
එය තරමක් හතර බීරි කතාවකි. මන්ද 2015 සිටම ලෝකයේ බොහෝ රටවල ත්‍රස්ත ප්‍රහාර සිදු වී ඇතැයි ඔහුම කියන අතර ශ්‍රී ලාංකාවේ දී ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව නාමල් කුමාර නැමැත්තා විසින් තොරතුරු හෙළිදරව් තිබූ බැවින්, එවැනි තත්ත්වයක් රට තුළ තිබිය දී පවා මෛත්‍රීපාල සිරිසේනයන් විදේශගතවී ඇත්තේ තමන් සතු ආරක්ෂක ඇමති බලතල සුදුසු අයකුට පවරා නොදෙමිනි.
අපට පෙනෙන අන්දමට නම් හිටපු ජනාධිපතිවරයා තමන් සතු ආරක්ෂක ඇමති බලතල වෙනත් අයකුට පවරා නොදී ඇත්තේ එතුමා තුළ පැවති සැකයක් මුල් කර ගෙනය. එහෙත් ඒ බව ප්‍රකාශ නොකරන මෛත්‍රීපාල සිරිසේනයන් අද වෑයම් කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සූදානම් වීමය. එපමණකින් ද නොනවතින හෙතෙම පාස්කු ඉරිදා ප්‍රහාරයට තමන් පැටළවීමේ උත්සාහයක් පවතින බවට වත්මන් ආණ්ඩුවට ද චෝදනා කරයි. එහෙත් හිටපු ජනාධිපතිගේ එම බබා පාට් මෙරට බුද්ධිමත් ජනතාව විසින් අවඥාවෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.