විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ සිසු­ අවනඩුව | සිළුමිණ

විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ සිසු­ අවනඩුව

පාඨමාලා ගාස්තු අඩු කරන ලෙසට ඉල්ලා විවෘත සරසවි ශිෂ්‍ය විරෝධතාවක්
පාඨමාලා ගාස්තු අඩු කරන ලෙසට ඉල්ලා විවෘත සරසවි ශිෂ්‍ය විරෝධතාවක්

විශ්වවිද්‍යාලයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. මෙම විශ්වවිද්‍යාලයේ ඇති විශේෂත්වයක් වන්නේ අධ්‍යාපනය ලබන බොහෝ විද්‍යාර්ථීන් රැකියා කරන අය වීමය. මේ වන විට විවෘත විශ්වවිද්‍යාලයේ යම් යම් ගැටලු තත්ත්ව උද්ගත වෙමින් පවතින බව එහි ශිෂ්‍ය සංගම්වල අදහස වී ඇත්තේය. අනිකුත් විශ්වවිද්‍යාල මෙන් නොව මෙහි පාඨමාලා සඳහා ඒකක ක්‍රමයට මුදල් අය කිරීමක් සිදුවන හෙයින් සිසුන්ගේ චෝදනාව වී ඇත්තේ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් හිතුමතේ පාඨමාලා ගාස්තු වැඩි කරමින් සිසුන්ව අපහසුතාවයට පත් කරන බවකි. මේ නිසා අතරමඟදි විවෘත විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාව හැර යන පිරිස් වැඩි බව ඔවුන්ගේ චෝදනාවයි.

විවෘත විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය පවසන පරිදි විවෘත විශ්වවිද්‍යාලයේ වසරකට සිසුන් 45,000 ක් පමණ ඉගෙනීම් කරති. ඒ අධ්‍යනාංශ 5 ක් වෙනුවෙනි. දළ වශයෙන් වසරකට සිසුන් 5000-10000 ක් අතර ඇතුළත් වන අතර එයින් 6000-7000 ක් අතර පිරිසක් උපාධිය සම්පූර්ණ කර පිටව යති. ඔවුන් පවසන පරිදි ඒ අතරමැදි විශාල පිරිස විවිධ හේතු මත පාඨමාලාව සම්පූර්ණ කර නොගෙන හැලෙන පිරිසකි. විවෘත විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය පවසන පරිදි වසර 5 කට එසේ හැරගිය පිරිස 14,000 ක් පමණ වෙති. ඔවුන් පවසන්නේ විද්‍යා පීඨයේ පමණක් මේ වසරේ සිසුන් 200 ක පමණ අධ්‍යාපනය අතරමඟ නතර කර දමා ඇති බවකි.

“අනිකුත් විශ්වවිද්‍යාලයමෙන්ම මේ විශ්වවිද්‍යාලයත් පාලනය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟිනුයි. පසුගිය කාලයේ සිටම මෙම විශ්වවිද්‍යාලයට විශාල වශයෙන් ප්‍රතිපාදන කප්පාදුවක් සිදුවුණා. ඒ නිසා එයට විරුද්ධව අපි සෑහෙන සටනක් කළා. අනිකුත් විශ්වවිද්‍යාලවලට සේම මෙයටත් ප්‍රතිපාදන ලැබිය යුතු වුවත් එය එසේ සිදුවූයේ නැහැ. රජය විසින් දිගින් දිගටම මේ විශ්වවිද්‍යාලයට ලබාදෙන ප්‍රතිපාදන අඩු කළා. උදාහරණ වශයෙන් 2017 වසරේදී රජයෙන් රුපියල් මිලයන 230 ක මූල්‍යාධාරයක් දුන්නා. 2018 දී එය රුපියල් මිලියන 150 ට අඩුකළා. 2018 වසරේදි ඒ ලබාදෙන ප්‍රතිපාදන රුපියල් මිලියන 50 ට බැස්සුවා. එතැන් සිට මේ විශ්වවිද්‍යාලට වසරකට ප්‍රතිපාදන වශයෙන් ලැබුණේ රුපියල් මිලියන 50 ක් පමණයි. මේ ප්‍රතිපාදන කප්පාදුව අනිකුත් විශ්වවිද්‍යාල සිසුන්ට වඩා අපේ විශ්වවිද්‍යාලයට දැඩිව දැනෙන්න පටන් ගත්තා. මෙම විශ්වවිද්‍යාල සිසුන් ආරම්භයේ සිටම පාඨමාලා ගාස්තු ගෙවමින් තමයි ඉගෙනීම් කටයුතු කරන්නේ. නමුත් රජයෙන් ලබාදෙන ප්‍රතිපාදන අඩු වූ පසු විශ්වවිද්‍යාල නඩත්තුවට අවශ්‍ය ඉතිරි මුදල් ප්‍රමාණය විශ්වවිද්‍යාලය සොයා ගත්තේ සිසුන්ගේ පාඨමාලා ගාස්තු වැඩි කරමින්. ඒ හිඟ මුදල් ප්‍රමාණය සිසුන්ගෙන් බෙදා පාඨමාලා ගාස්තු වලට එක් කළා. සාමාන්‍යයෙන් වසර 3 ක උපාධියක් සඳහා ඒකක 90 ක් සම්පූර්ණ කළ යුතුයි. නමුත් වසර 4 ක පාඨමාලාවක් කරන අයෙකුට ඒකක 120 ක් සම්පූර්ණ විය යුතුයි. විද්‍යාවෙදී උපාධිය සඳහා 2014 වසරේදී ද අපි ලියාපදිංචි වුණේ ඒකකයක් 1100 ට. නමුත් 2020/21 අධ්‍යයන වර්ෂය වලට මෙම ඒකකයක මිල 2300 ක් වුණා.“ ඒ විවෘත විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ මධුශංකය.

ඔවුන පවසන පරිදි ඒ ඒ උපාධිය සඳහා ඒකක මිල ගණන් වෙනස් වෙයි. ස්වභාවික විද්‍යා පීඨයේ 2019/20 අධ්‍යනය වර්ෂය සඳහා ඒකකයක මිල රුපියල් 2100 කි. නමුත් 2020/21 සඳහා එක් ඒකකයක මිල රුපියල් 2310 දක්වා වැඩි විය. ඉංජිනේරු තාක්ෂණ පීඨය සඳහා 3 හා 4 මට්ටම 2019/20 අධ්‍යනය වර්ෂය සඳහා ඒකකයක මිල රුපියල් 1150 කි. නමුත් 2020/21 සඳහා එක් ඒකකයක මිල රුපියල් 1350 දක්වා වැඩි විය. ඉංජිනේරු තාක්ෂණ පීඨය සඳහා 5,6 හා 7 මට්ටම 2019/20 අධ්‍යනය වර්ෂය සඳහා ඒකකයක මිල රුපියල් 1750 කි. නමුත් 2020/21 සඳහා එක් ඒකකයක මිල රුපියල් 2100 දක්වා වැඩිවිය. එසේම කලාවේදී උපාධිය සඳහා 2019/20 අධ්‍යනය වර්ෂය සඳහා ඒකකයක මිල රුපියල් 1450 කි. නමුත් 2020/21 සඳහා එක් ඒකකයක මිල රුපියල් 1600 දක්වා වැඩි විය. මේ අනුව වසර 3 ක ස්වභාවික විද්‍යා ක්ෂේත්‍රයේ පාඨමාලාවට අලුතින් එකතු වන කෙනෙකුට වසරකට පාඨමාලා ගාස්තු පමණක් රුපියල් 69,300 ක් පමණ යන බව ඔවුනගේ අදහසයි. එයට විද්‍යාගාර, නේවාසික මෙන්ම පුස්තකාල වැනි අනිකුත් සේවා ගාස්තුද එක් වූ විට වසරකට රුපියල් 75,000 ක් පමණ වෙයි. ඒ අනුව උපාධිය ලබා ගැනීමට රුපියල් ලක්ෂ 3 ක් පමණ වැයවෙයි.

“සෑම වසරකම මේ මුදල් ප්‍රමාණය 10% කින් වැඩි කරනවා. 2014 වසරේදී මේ ප්‍රමාණය 120% කින් වැඩි කළ අවස්ථාවේ අපි ඉල්ලීමක් කළා, ශිෂ්‍ය සංගමය සමඟ සාකච්ඡාවකින් තොරව වැඩි නොකරන ලෙසට. නමුත් අවස්ථා කිහිපයකදී මෙම වැඩි කිරීම් කළේ ශිෂ්‍ය සංගමයේ අනුමැතියකින් තොරවයි. දිගින් දිගටම ආ මේ ප්‍රශ්නය වැඩි වුණේ කොරෝනා වසංගතය හේතුවෙන්. මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු වල යෙදෙන සිසුන් බහුතරයක් රැකියා කරන අය. කොරෝනා ප්‍රශ්නය නිසා සිසුන් බහුතරයකට රැකියා අහිමි වුණා, සමහරුන්ට වැටුප් පවා නොමැතිව ගියා. ඒ වගේම මේ වන විට අධ්‍යයන කටයුතු කෙරෙන්නේ දුරස්ථ අධ්‍යාපන මෙවලම් හරහායි. මේ නිසා අපි ඉල්ලීමක් කළා මෙවර එම පාඨමාලා ගාස්තු අය නොකර සහනයක් සලසන ලෙස. නමුත් පාඨමාලා ගාස්තු වැඩි කළා සේම මෙහි වූ නම්‍යශීලි අධ්‍යාපන ක්‍රමය පවා බිඳ දැම්මා.....“ ඒ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති ය.

“මෙය ලංකාවේ වැඩ කරන ජනතාවට උපාධිය ලබා ගන්න හදපු විශ්වවිද්‍යාලයක්. මෙහි සිසුන් 60% රැකියා කරන අය. මෙම විශ්වවිද්‍යාලයට රජයෙන් ලබා දී ඇති වියදම් අඩුකර සිසුන් මතට ඒ බර පටවලා. මෙහි ලියාපදිංචි ගාස්තු පවා සිසුන්ට දරන්න බැරි තරමට අය කරනවා. ඒ වගේම පාඨමාලා ගාස්තු ගෙවා ගන්න බැරි තරමට සිසුන්ට බර පැටවිලා. ආණ්ඩුවේ සැලසුම තමයි සෑම විශ්වවිද්‍යාලයකටම ලබා දෙන වියදම් 60% ක් කප්පාදු කිරීම...“ ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේය.

කෙසේ වෙතත් මේ පිළිබඳ විශ්වවිද්‍යාල බලධාරීන් පවසන්නේ මෙවන් අදහසකි. විශ්වවිද්‍යාලයක් නඩත්තු කිරිමට ප්‍රතිපාදන අවශ්‍යය. මේ නිසා වසරින් වසර යම් මුදලක් වැඩි කිරීමක් සිදු කරන්නට සිදුව ඇති බවකි. ඔවුන් පවසන පරිදි එවන් තත්ත්වයකදී යම් සිසුවකුට පාඨමාලා ගාස්තු ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති නම් ඒ අයට සහනයක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කරන බවයි.

“සෑම වසරකම පාඨමාලා ගාස්තු 10% කින් වැඩි කරනවා. මෙය අතීතයේ සිට සිදුකරන දෙයක්. 2021/22 වසරට එවන් වැඩි කිරීමක් ගැන තවමත් සාකච්ඡා කර නැහැ. නමුත් යම් සිසුවකුට පාඨමාලා ගාස්තු ගෙවා ගත නොහැකි නම් ඒ සිසුන්ට සහනයක් ලබා දීම කෙරෙහි අපි සාකච්ඡා කරමින් යනවා. සියලු සිසුන්ට පොදු සහනයක් ලබා දෙන්න බැහැ. නමුත් ප්‍රශ්න ඇති අයට පමණක් සහනයක් ලබා දිය හැකියි. ....“ ඒ විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.ඒ අරියදුරෛ ය.

අනිකුත් විශ්වවිද්‍යාල මෙන්ම මෙම විශ්වවිද්‍යාලයට ප්‍රතිපාදන වෙන් කෙරෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහාය. ඔවුන් පවසන්නේ මෙම විශ්වවිද්‍යාලය නඩත්තුවට අවශ්‍ය සියලු වියදම් රජය විසින්ම නොගෙවන හෙයින් විශ්වවිද්‍යාල විසින්ම ඒ මුදල් සොයා ගත යුතු බවකි.

“මෙය අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති සුවිශේෂි විශ්වවිද්‍යාලයක්. මෙහි අධ්‍යාපනය ලබන්නේ රැකියා කරන සිසුන්. ඇතුළේ සිට අධ්‍යාපනය ලබන දරුවන් අඩුයි. මුද්‍රිත හෝ අන්තර්ජාල හරහා දුරස්ථව අධ්‍යාපනය හදාරන මේ සිසුන් විශ්වවිද්‍යාලය තුළට පැමිණෙන්නේ විභාග සඳහායි. ඒ වගේම මේ විශ්වවිද්‍යාලය නඩත්තුවට අවශ්‍ය සියලු වියදම් රජයෙන් ලබා දෙන්නේ නැහැ. ගුරුවරුන්ගේ වැටුප් රජයෙන් ගෙවනවා. ඒ නිසා අනෙකුත් නඩත්තු වියදම් ඔවුන් විසින්ම සොයා ගත යුතුයි. මේ නිසා යම් මුදලක් අය කර ගැනීමට සිදු වෙනවා. එසේ නොමැතිව විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමට නොහැකියි. ඒ වගේම මෙහි උපාධි වෙනත් තැනකින් කරනවා නම් මිලියන ගණනක් ගෙවන්න සිදු වෙනවා. මෙම විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා අය කරන්නේ ඉතාම සාධාරණ අයකිරීමක්......“ ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගය.

 

Comments