‘කිරි දෙන්න ඉඩ දෙන්න’ | සිළුමිණ

‘කිරි දෙන්න ඉඩ දෙන්න’

“මාතෘ සුරක්ෂිතතාව මූලික මානව අයිතිවාසිකමක් වන අතර පවුල සහ රැකියාව සම්බන්ධ පූර්ණ ප්‍රතිපත්ති සකස් කිරීමේදී ද අනිවාර්යයෙන් ම ඇතුළත් කළ යුතු අංගයකි. වැඩපොළේදී කාන්තාව නොසලකා හැරීමට ලක් නොවීම සහ මවගේත් දරුවාගේත් සෞඛ්‍යාරක්ෂාව ප්‍රවර්ධනය උදෙසා එය තීරණාත්මක සාධකයකි. (ලෝක කම්කරු සංවිධානය)” සේවා ආයතනයේ මාතෘ සුරක්ෂිතතාව හා බැඳුණු කම්කරු අයිතීන් පිළිබඳ පළමු ප්‍රඥප්තිය සම්මත කෙරුණේ ලෝක කම්කරු සංවිධානයේ සමාරම්භක ජාත්‍යන්තර සමුළුවේදීය. කාල වකවානුව සලකා බලන විට 1919 තරම් ඈතට දිව යයි.

ශ්‍රී ලංකාවේ මාතෘ ප්‍රතිලාභ හිමිකම් පිළිබඳව විමසා බැලීමේදී ඒ සම්බන්ධයෙන් ප්‍රථම වරට ක්‍රියාත්මක වී තිබෙන්නේ ලංකාව ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ 1939 වර්ෂයේදී ය. ඒ, 1939 අංක 32 දරන ප්‍රසූතිකාධාර ආඥා පනත මඟිනි. දරු ප්‍රසූතියක් සඳහා සේවිකාවන්ට නිවාඩු දීම, නිවාඩු කාලයට වැටුප් ගෙවීම, දරුවාට මවුකිරි දීම සඳහා විවේක කාලයක් ලබාදීම යන කරුණු කෙරෙහි එයින් අවධානය යොමුකර තිබිණි. ඉන්පසුව 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනතේ 18 වැනි වගන්තිය යටතේ ප්‍රසූත නිවාඩු හිමිකම තවදුරටත් තහවුරු විය.

මේ ආකාරයට කාර්යාල සේවිකාවක් මාතෘත්වයට පත්වූ විට ප්‍රසූත නිවාඩු හිමිකම නීතිගත කර තිබෙන්නේ මාතෘත්වය සුරක්ෂිත කිරීම මූලික මානව හිමිකමක් වන නිසා ය. මේ වනවිට රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවන්හි නිරත කාන්තාවන්ට වැඩ කරන දින 84 ක ප්‍රසූත නිවාඩුවක් හිමිවේ. එයින් උපරිම දින 14 ක් ප්‍රසූතියට පෙර හා දින 70 ක් ප්‍රසූතියට පසු ගත හැකි ය. 2005/4 චක්‍රලේඛයට අනුව ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 18.1 වගන්තියෙන් ස්ථිර, තාවකාලික, අනියම් හෝ අභ්‍යාසලාභී නිලධාරිනියන්ට ප්‍රසූති නිවාඩු හිමිකම තවදුරටත් තහවුරු වී ඇත. ඊට අමතරව 18.2 වගන්තියෙන් වැටුප් සහිත ප්‍රසූති නිවාඩු ද 18.3 වගන්තියෙන් අඩ වැටුප් සහිත ප්‍රසූති නිවාඩු ද 18.4 වගන්තියෙන් වැටුප් රහිත ප්‍රසූති නිවාඩු ද දක්වා තිබේ. මවක් වන කාන්තාවකට ප්‍රසූති නිවාඩු ලබාදීම නීති මඟින් තහවුරු කර තිබෙන්නේ අලුත උපන් බිලිඳාට මවුකිරෙන් පෝෂණය වීමේ අයිතිය සුරක්ෂිත කරමිනි. අලුත උපන් බිලිඳකුට මුල් මාස 6 තුළ මවුකිරි දිය යුතු බවත් ඉන් අනතුරුව අතිරේක ආහාර සමඟ අවුරුදු 2 ක කාලයක් මවුකිරෙන් පෝෂණය කළ යුතු බවත් සෞඛ්‍ය නිර්දේශයයි. එහෙත් මේ වනවිට රාජ්‍ය සේවයට බඳවා ගෙන සිටින අභ්‍යාසලාභි උපාධිධාරීන්ට ලබාදෙන ප්‍රසූත නිවාඩු දින 42 ක් ලෙස ඔවුන්ගේ පත්වීම් ලිපිවල සඳහන් වී තිබේ.

“අභ්‍යාසලාභී උපාධිධාරීන් 51,000 කට ගිය සැප්තැම්බර් 02 වැනිදා පත්වීමේ ලිපි ලබාදුන්නා. ඒ ලිපිවල ප්‍රසූත නිවාඩු දින 42 ක් ලෙස සඳහන් කර තිබෙනවා. ආයතන සංග්‍රහයේ 12 වැනි පරිච්ඡේදයේ 18.1 වගන්තියේ සඳහන් වී තිබෙනවා ස්ථිර, තාවකාලික, අනියම් හෝ අභ්‍යාසලාභී නිලධාරිනියන්ට දින 84 ක ප්‍රසූති නිවාඩු හිමිවන බව. ආයතන සංග්‍රහයට පිටින් ගිහින් තමයි ආණ්ඩුව මේ අයට දින 42 ක ප්‍රසූත නිවාඩු දීලා තිබෙන්නේ. කෙළින්ම දින 42 ක් කප්පාදු කරලා‍. මෙය මවුවරුන්ගේ මානව හිමිකම් කඩවීමක්. ඒ නිසා අපි සැප්තැම්බර් 07 වැනිදා මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. දැන් මාස ‍6 කුත් ගත වුණා. මාස 6 ක් ගෙවුණට පසුව එය විභාගයට ගැනීමට සූදානම් වෙනවා. මේ අසාධාරණය ගැන කියලා අපි ජනාධිපති, අගමැති, විෂය භාර නිලධාරීන් ඇතුළු හැමෝම දැනුම්වත් කළා.” යනුවෙන් අදහස් දක්වමින් සාකච්ඡාවට පිවිසියේ ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ ය.

ඔහු තවදුරටත් සඳහන් කරන්නේ ප්‍රසූත නිවාඩු කප්පාදුවට මුහුණ දී සිටින්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ බඳවා ගත් උපාධිධාරිනියන් පමණක් නොවන බවයි. පෙබරවාරි මාසයේ බඳවා ගත් උපාධිධාරිනියෝ ද අඩු ආදායම්ලාභීන් ලෙසින් රාජ්‍ය සේවයට බඳවා ගත් ලක්ෂයට ඇතුළත් කාන්තාවෝ ද ප්‍රසූත නිවාඩු දින 42 ක කප්පාදුවට අයත් අය වෙති. දෙසැම්බර් මාසයේදී රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හමුවී දින 84 ක ප්‍රසූත නිවාඩුවක් හිමි විය යුතු බව පෙන්වා දී තිබේ. එහිදී දින 84 ක ප්‍රසූත නිවාඩුවක් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් සූදානම් කරන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරිට දන්වා තිබේ‍. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් එය ලේකම්වරයා‍ට දන්වා ඇත්තේ දෙසැම්බර් 24 දාතමින් යුතු ලිපියකිනි. එහෙත් අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයට කැබිනට් පත්‍රිකාවක් සූදානම් වූයේ නැත.

“ඇමැතිවරයාගේ නියෝගය අමාත්‍යාංශ ලේකම් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන්නේ මේක හරිම විහිළුවක්. වෙලාවකට අපිට හිතෙනවා මේක එකිනෙකාට බෝලය පාස් කර ගැනීමක් ද කියලා. ඒ නිසා අපි නැවතත් අමාත්‍යවරයාට මේ ගැන මතක් කළා. 2021 මාර්තු 02 වැනිදා අමාත්‍යාංශ ලේකම්වරයාට නැවතත් ලිපියක් යැව්වා. මෙවර අමාත්‍යවරයා එහි සඳහන් කළා දින 14 ක් ඇතුළත කැබිනට් පත්‍රිකාව සූදානම් කළ යුතු බව. දැන් දින 14 නෙමෙයි මාසයක් ගෙවිලා ඉවරයි. තවම මුකුත් සිද්ධ වුණේ නැහැ.” යනුවෙන් එකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පැවසීය.

සැප්තැම්බර් මාසයේ බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ සේවා කාලය මේ වනවිට මාස 6 ඉක්මවා තිබේ. පෙබරවාරි මාසයේ බඳවා ගත් අයගේ සේවා කාලය මාසයක් ගත වී තිබේ‍. මෙම අභ්‍යාසලාභී උපාධිධාරීන්ගෙන් බහුතරයක් කාන්තාවෝ වෙති.

එහෙත් ඔවුන්ට හිමි විය යුතු සති 12 ක ප්‍රසූත නිවාඩුව තවමත් හිමිවී නැත. “අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ප්‍රසූත නිවාඩු දින 42 ක් හිමිවීම 2013 දී කැබිනට් පත්‍රිකාවකින් අනුමත වුණු දෙයක්. එහි සඳහන් වෙන්නේ සේවා කාලය මාස 9 ක් සම්පූර්ණ වනතුරු ප්‍රසූත නිවාඩු වශයෙන් දින 42 ක් හිමිවන බව. සේවා කාලය මාස 9 ක් සම්පූර්ණ වුණාට පස්සේ දින 84 ක ප්‍රසූත නිවාඩු ඒ අයටත් හිමි වෙනවා.

ඒත් 2019 දී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයෙන් දින 84 ක ප්‍රසූත නිවාඩු හිමිවන බවට චක්‍රලේඛයක් නිකුත් කරලා. ඒක වරදක්. නිවාඩු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මිස සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය නෙමෙයි‍. අනික ඒ අමාත්‍යාංශ ලේකම් නිකුත් කළ චක්‍රලේඛයට කැබිනට් අනුමැතියක් අරගෙන නැහැ. ඇත්තටම ඒක බලයක් නැති, වැරදියට නිකුත් කරපු චක්‍රලේඛකයක්.

අමාත්‍යවරයා මට දැනුම් දුන්නානේ කැබිනට් පත්‍රිකාවක් හදන්න කියලා. මම ඒක හදලා යවලා තියෙන්නේ. එය අනුමත වුණොත් අපි දින 84 ක ප්‍රසූත නිවාඩු දෙනවා” යනුවෙන් පැහැදිලි කළේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි ය. වර්තමානයේ අපේ රටේ ජනගහනයෙන් බහුතරයක් කාන්තාවෝ ය. එය 52% කි. අද වනවිට රටේ ඉහළ තනතුරු දරන අයගෙන් වැඩි ප්‍රමාණයක් කාන්තාවෝ වෙති. තේ දලු නෙළන, ඇඟලුම් සේවයේ යෙදී සිටින, මැදපෙරදිග රටවල්වල සේවය කරන කාන්තා‍වන් අපේ රටට විදේශ විනිමය උපයාදෙන ආකාරය අපට කිසිසේත් අමතක කළ නොහැකිය. ගැබිනි මවුවරුන්ට බස් රථවල වෙන්වූ ආසනයක් තිබෙන්නේ මාතෘත්වයට ගෞරව කරමිනි. කාලයෙන් කාලයට පත්වන රජයන් කාන්තාවන් වෙනුවෙන් දුම්රිය මැදිරි වෙන් කරන්නේත් කාන්තාවන්ට පමණක් ගමන් කළ හැකි බස් රථ යොදන්නේත් කාන්තාවන්ට ගරු කිරීමක් වශයෙනි. එහෙත් අභ්‍යාසලාභී උපාධිධාරී කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු කප්පාදු කර වෙනම හැන්දකින් බෙදීම යුක්ති සහගත නැත.‍ ඒ සම්බන්ධයෙන් ‘ස්ත්‍රී’ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා පද්මිණි වීරසූරියගෙන් විමසුවේ එබැවිනි. “මෙය අපි සම්පූර්ණයෙන් ම හෙළා දකිනවා. ඉස්සර ප්‍රසූත නිවාඩු වශයෙන් වැඩ කරන දින 84 අයිතිවෙලා තිබුණේ රාජ්‍ය අංශයට විතරයි. පෞද්ගලික අංශයට තිබුණේ නිකම්ම දින 84 ක්. ඒකට සෙනසුරාදා, ඉරිදා, පෝය ඇතුළු නිවාඩු දවස් සියල්ල ඇතුළත් වුණා. කාන්තා සංවිධාන, වෘත්තීය සමිති එකතුවෙලා හඬක් නඟලා ජාත්‍යන්තර කම්කරු සංවිධානය දැනුවත් කරලා තමයි පෞද්ගලික අංශයේ කාන්තාවන්ටත් වැඩ කරන දින 84 ක් ප්‍රසූත නිවාඩු වශයෙන් හිමිවුණේ. මේ වනවිට 1 වැනි දරු ප්‍රසූතියටත් 2 වැනි දරු ප්‍රසූතියටත් වැඩ කරන දින 84 ක් හිමිවී තිබෙනවා. රාජ්‍ය හෝ පෞද්ගලික හෝ ස්ථිර හෝ අනියම් හෝ ඔවුන් සියලුදෙනාම රටේ ශ්‍රම බළකායට දායක වී සිටින කාන්තාවෝ.

ඔවුන් සියලුදෙනාටම මවු පදවිය ලැබීමේදී එක සමාන ආකාරයට වරප්‍රසාද හිමිවිය යුතුයි. අභ්‍යාසලාභී උපාධිධාරිනියන් ගැන කියන්න තියෙන්නෙත් ඒකම තමයි. අභ්‍යාසලාභීන් වුණා කියලා මවු පදවිය ලැබුණාම ඒ අයත් අනිත් අම්මලා වගේම තමයි. වෙනස් වෙන්නේ නැහැ. අනික දැන් වෛද්‍යවරු කියන්නේ අලුත උපන් දරුවන්ට මාස 6 ක් යන තුරු මවුකිරි දෙන්න කියලා. අඩුම ගණනේ වතුර ටිකක්වත් පොවන්න එපා කියනවා. වෛද්‍යවරුන් ඒ විදිහට උපදෙස් දෙන විට රජයෙන් ප්‍රසූත නිවාඩු කප්පාදු කිරීම හරිම අසාධාරණයි.

එතකොට අභ්‍යාසලාභී මවුවරුන්ගේ දරුවන්ට මන්ද‍පෝෂණය හැදුණාට කමක් නැද්ද? මේ අම්මලා දරුවන් ලැබිලා දින 42 කට පසු සේවයට වාර්තා කළත් ඔවුන් ඉන්නේ හොඳ මානසික තත්ත්වයකින් නෙමෙයි. මවගේ උණුසුමෙන් කිරි ‍බොන දරුවන් අත් හැරලා එන මවුවරුන් ලොකු මානසික පීඩනයෙන් ඉන්නේ. ඒ අයගෙන් හොඳ සේවයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා භේදයක් නැතිව සෑම වැඩ කරන කාන්තාවකටම වැඩකරන දින 84 ක ප්‍රසූත නිවාඩුවක් හිමි විය යුතුයි.” යනුවෙන් ස්ත්‍රී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා පද්මිණී වීර‍සූරිය විස්තර කළාය. අමාත්‍යාංශ ලේකම් පැවසූ ආකාරයට අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ගේ ප්‍රසූත නිවාඩු සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාව සකස් කර අමාත්‍යවරයාට යවා අවසානය. දැන් තිබෙන්නේ එයට කැබිනට් අනුමැතිය හිමිවීම පමණි.

 

Comments