අක්මී­ම­නදී සිදු වූ ජවිපෙ උපත | සිළුමිණ

අක්මී­ම­නදී සිදු වූ ජවිපෙ උපත

ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ශන්මු­ග­දා­සන් රැස්වී­මක් අම­ත­මින් සිටියදී
ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ශන්මු­ග­දා­සන් රැස්වී­මක් අම­ත­මින් සිටියදී

විපෙ උපත සිදු වූයේ 1965 වසරේ මැයි 14 වැනිදාය. අක්මීමන ඩබ්ලිව්. ටී. කරුණාරත්නගේ නිවෙසේ දෙදිනක් පැවැති ඒ සාකච්ඡාවට 12 දෙනකු එක්ව සිටියහ.

ඔවුහු නම් මාතර, කෝට්ටේගොඩ උපන් පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර, ගාල්ල, අඟුළුගහ, ගෝනපිනුවල විතානගේ විජයසේන හෙවත් සනත් බොරුළුකැටිය, හැඳල උපන් වැලිතන්ත්‍රිගේ කරුණාරත්න හෙවත් ඩබ්ලිව්. ටී. කරුණාරත්න, වත්තල මාබෝලේ උපන් එච්. ඩී. මිල්ටන් ප්‍රනාන්දු හෙවත් මාබෝලේ මිල්ටන්, තිස්සමහරාමයේ සිරිපාල අබේගුණවර්ධන, දෙල්ගොඩ උපන් රාජපක්ෂ පතිරත්නලාගේ ජයරත්න පෙරේරා හෙවත් දෙල්ගොඩ රාජා, පන්නිපිටිය පොල්වත්තෙ උපන් තලගලගේ දොන් වෝල්ටර් හෙවත් සතොස වෝල්ටර් විජේසිරි, අක්මීමන උපන් ඩබ්ලිව්. ටී. අමරතුංග, රුවන්වැල්ලෙ උපන් විල්සන් දැදිගම, රත්නපුරේ උපන් රණසිංහ ආරච්චිගේ බියුටි චන්ද්‍රා තෙවරාතන්ත්‍රිගේ හෙවත් ටී. බී. සී, නාවික හමුදාවේ හේරත් මුදියන්සේලාගේ තිලකරත්න හෙවත් නේවි තිලක් සහ කොළඹ සරසවියේ දෙවුන්දර මුතුමාලය. ඒ 12 දෙනාගෙන් පස්දෙනකු කෞරව කුලයටත් පස්දෙනෙක් ගොවිගම කුලයටත් අනෙක් දෙදෙනාගෙන් එක් අයකු බැගින් දේව සහ බත්ගම කුලයටත් අයත් බව පසුකාලීනව හෙළි විය.

මේ සාකච්ඡාවට ප්‍රථමයෙන් සාකච්ඡා වට ගණනාවක් විවිධ තරාතිරමේ පුද්ගලයන් රැසක් සමඟ විජේවීර කොළඹ සහ අම්බලන්ගොඩ පවත්වා තිබිණි. අම්බලන්ගොඩ බොහෝ සාකච්ඡා පැවැතියේ කළුවඩුමුල්ල පන්සලේය. එවකට එහි විහාරාධිපති පටබැඳිමුල්ලෙ බුද්ධ ශ්‍රී නාහිමියන්ය. වාමාංශික සහ බෞද්ධ ප්‍රබෝධයේ උන්වහන්සේ පුරෝගාමියෙකි. පන්සලේ ආවතේවකරුවන් වූ ඩේවිඩ් සහ පාවුල් විසින් විජේවීරලාගේ මේ සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවන්හිදී බොහෝ සහාය දුන් දෙදෙනෙකි. ඒ සාකච්ඡාවන්ට ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කම්කරු සමිති උපසභාපති කඹුරුගමුව කොටුවෙල උපන් ලුණුමෝදරගේ දිනෝරිස් හෙවත් සිරිල් දිසානායක ද ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්යාධිකාරි සංගමයේ ලේකම් අම්බලන්ගොඩ උපන් ගුස්තිඤ්ඤ වඩු පියසිරි ගුණරත්න හෙවත් සරත් ගුණදාසද, අඟුළුගහ උපන් දොඩන්දූව, වළමුල්ල ගමේ ජීවත්වූ ගුරුවරයෙකු වූ ගෝනපිනුවල විතානගේ විජයසේන හෙවත් සනත් බොරළුකැටිය ඇතුළු කිහිපදෙනෙක් එක්ව සිටියහ.

එවකට ජවිපෙ සමාරම්භකයන් 12 දෙනාගෙන් දැනට ජීවතුන් අතර සිටින හතර දෙනෙකු ද සෙසු අයගේ පවුල්වල බොහොමයක් දෙනාද ලේඛකයාට හමු විය. ඒ අනුව ජවිපෙ ආරම්භ කළ අතීත කතාව දීර්ඝ ලෙස ආවර්ජනය කළේය.

වසර 1965 මැයි 13 වැනිදා යූනියන් පෙදෙසේ, සයිවර් කඩයකින් තෝසේ සහ වඩේ සමඟ රාත්‍රී ආහාරය ගෙන ඔවුහු මරදාන දුම්රියපළට ගොස් වෙන වෙනම ප්‍රවේශ පත්‍ර මිලදී ගත්හ. රාත්‍රී තැපැල් දුම්රියෙන් ගාල්ලට පැමිණීමෙන් පසු අලුයම තෙක් එම කණ්ඩායම ගාල්ල, සමනල පාලම අසල රැගෙන ආ ගමන්මලු හිසට තබාගෙන පැය තුනක පමණ නින්දකට වැටිණි. එදින වෙසක් පොහොය බැවින් වන්දනාවේ යන නඩයක් සේ පිටතට පෙනිය යුතු යැයි විජේවීර මුලදීම පිරිසට උපදෙස් දී තිබිණි.

අලුයම හිරු උදාවෙත්ම මහ මෝදර රෝහලට ගොස් එහි නේවාසික හෙදියක ලෙස සේවය කරන තම පාසල් මිතුරියක් හමුවිය යුතු යැයි කියා සිටි විජේවීර, විෂබීජනාශක දියරයක් සහ පුළුන් ප්‍රමාණයක් ඇයගෙන් ලබාගත යුතු බව කියා සිටියේය. එහෙත් ඇය එදින සේවා මුරය අවසන් කර ගොස් ඇති බැවින් විෂබීජ නාශක ලබාගැනීමට හැකි වූයේ ගාල්ලෙ ෆාමසියකිනි.

ඉන්පසු ඔවුන් ගාල්ලෙන් තේ බී අක්මීමන, ඉහළගොඩ, කුරුඳුවත්තෙ කරුණාරත්නගේ නිවෙසට යෑම සඳහා උදෑසන අටට පමණ තල්ගම්පළ බලා යන බස් රථයට ගොඩ විය. දෙහිදූව හන්දියෙන් නිවෙසට යන විට පෙරවරු නවය පමණ විය. නිවෙසට ගිය ඔවුන් පිළිගනු ලැබුවේ කරූගේ දෙමාපියන්ය. උදෑසන ආහාරයට ලුණු මිරිස් සමඟ කිරිබත් ද පොල් පැණි යොදා සාදන ලද ඉඹුල් කිරිබත් ද නිවෙසේ සූදානම් කර තිබිණි. නිවෙසේ හිමිකරු කරූගේ පියා වූ වැදිතන්ත්‍රිගේ තේමිස් අප්පුහාමි 1899 උපන් අතර ඒ වන විට 66 හැවිරිදි වියේ පසු විය. කලක් රාජකීය හමුදාවේ සිවිල් අංශයේ සේවය කළ ඔහු පසුව අබේගුණසේකර හෙවත් පැටි මහත්තයාගේ බස්රථ සමාගමේ රියැදුරෙකු වශයෙන්ද කටයුතු කළ අයෙකි. පසුව ඉන් ඉවත්ව ගොවිතැන ප්‍රධාන වෘත්තිය කරගෙන ජීවත් විය. ඔහුගේ බිරිඳ වත්තල හැඳල උපන් ආදාහෙට්ටිගේ ඉන්ද්‍රාවතී පෙරේරා වූ අතර එම දෙපළට දරුවන් දහදෙනෙකි. ඉන් හතක් පිරිමි දරුවන් වූ අතර තුනක් ගැහැනු දරුවන්ය. පසු කලෙක ජවිපෙ මුල් පෙළේ නායකයෙක් වූ ඩබ්ලිව්. ටී. කරුණාරත්න එම දෙපළගේ සිවුවැනි දරුවා විය.

ජවිපෙ ආරම්භක සාකච්ඡාව 1965 වසරේ මැයි 14 වැනිදා උදෑසන ආහාරයෙන් පසු ආරම්භ වූ අතර කරූගේ නිවෙසේ සාලයේ පැදුරු එළාගෙන සාකච්ඡාව පැවැතිණි. එකල දේශපාලන තත්ත්වය ගැනත්, වාමාංශික ව්‍යාපාරය ගැනත් බොහෝ කරුණු රෝහණ විජේවීර විසින් සහභාගිවන්නන්ට පහදා දෙන ලදී. චීන සහ කියුබන් විප්ලව ගැනද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර; ශ්‍රී ලංකාව සඳහා මාක්ස් ලෙනින්වාදී විප්ලවීය සංවිධානයක් ගොඩනැඟීමට එහිදී තීරණය විය. උදෑසන 10ට ආරම්භ වූ සාකච්ඡාව දිවා ආහාරයට මොහොතක් නතරකොට පසු දින අලුයම 4 තෙක් පැවැතිණි. පසු දින යළි උදෑසන නවයට සාකච්ඡාව ඇරැඹිණි.

ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියමක් මඟින් කරුණු පැහැදිලි කළ විජේවීර මේ යන ක්‍රමය යටතේ තරුණ පරපුරට අනාගතයක් නැති බව එහිදී අවධාරණය කළේය. සමනල කන්දෙන් පැන නඟින බොහෝ ජල මූලාශ්‍ර රට වටා ගොස් අවසානයේ මහමුහුදට ගලා බසින බව පෙන්වා දුන් ඔහු කෘෂි ආර්ථිකයක් තුළ රට ගොඩනඟන හැටි අපූරුවට පැහැදිලි කළ බව ඊට එක් වූවෙක් පැවැසීය. වසර දහයකින් ශ්‍රී ලංකාවේ බලය නව විප්ලවීය සංවිධානයට ලබාගත හැකි බව විජේවීර සපථ කළ බව කියයි.

සාකච්ඡාව පස්වරු 12ට පමණ නිමාවට පත් වූයේ සහභාගිවූ සියලු දෙනා ලාංකේය විප්ලවය වෙනුවෙන් සිය සම්පූර්ණ ශක්තියම ජීවිත පරදුවට තබා කැප කරන බවත්; මොනයම් හෝ අවස්ථාවකදීවත් කිසිවකු පාවා නොදෙන බවටත් වූ ප්‍රතිඥාව එක හඬින් කියවමිනි. පසුව අදාළ ලියවිල්ලකට සියලු දෙනාම සිය රුධිර බිඳකින් අස්සන් කළේය. ඒ සඳහා උපයෝගී කරගත්තෙ මිදුලේ තිබූ දෙහි ගසක කට්ටකින් සුළැඟිල්ල පසාරු කිරීමෙන් ආ රුධිරයයි. කරූගේ නිවෙසට එන විට ගාල්ලෙ ෆාමසියකින් විජේවීර මිලදී ගත් විෂබීජ නාශක දියරය පුලුන් කෑල්ලක පොඟවා සුළැඟිල්ල පිස දැම්මේය. එම ලිපිය පසු කලෙක සුරැකිව තබාගෙන සිටියේ බණ්ඩාරගම පදිංචි ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවය කළ වෙල්ගමය.

ප්‍රතිඥාවෙන් පසු විප්ලවීය සංවිධානයේ සාමාජික චර්යාධර්ම වශයෙන් දුම්පානය සහ මත්පැන් පානය මනස විකෘති කරන අතර; අනවශ්‍ය වියදමක්ද දරන්නට සිදුවන බව විජේවීර කියා සිටියේය. එමෙන්ම ප්‍රේම සබඳතා මඟින් විප්ලවීය ජීව ගුණය බොඳවී අනවශ්‍ය කාලයක්ද වැයවී විප්ලවවාදී පක්ෂයේ රහස් සතුරා අතට පත්විය හැකි බව අවධාරණය කළ අතර එවැනි දෙයින් බැහැරවිය යුතු බව විජේවීර කියා සිටියේය.

මෙහිදී මරදාන, පන්සල පාරේ නේවාසිකව සිටි කොළඹ සරසවි සිසුවකු වූ දෙවුන්දර මුතුමාල ඒ ගැන ප්‍රශ්න කළ අතර; එම තීරණය දරදඬු බවද කියා සිටියේය. එම තීරණ පිළිගැනීමට තමාට නොහැකි හෙයින් ගෞරවාන්විතව ඉවත්ව යන බව මුතුමාල කියා සිටියේය. සෙසු අයගේ ඉල්ලීම මත දිවා ආහාරය තෙක් රැඳි සිටි ඔහු ප්‍රථම දිනයේදීම යෝජිත විප්ලවවාදී පක්ෂයෙන් ඉවත්ව ගියේය. ශන්මුගදාසන්ගේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පාණදුරේ කණ්ඩායමෙන් දේශපාලනයට ප්‍රවේශ වූ දෙවුන්දර මුතුමාලගේ පියා ගුරුවරයෙකි. දෙහිවල වෛද්‍ය පාරේ තරුණියක සමඟ එකල ඔහුගේ ප්‍රේම සබඳතාවක් විය. එමෙන්ම වැඩිම මිලක් වන සිගරැට්ටුවක් වන ‘ආඩත්‘ද ඔහු පානය කළේය. පාණදුර කණ්ඩායමෙන් එක්වූ තවත් අයකු වූයේ ටී. බී. සී. ප්‍රනාන්දුය. රත්නපුරේදී උපන් ඔහු පාණදුර, සුමංගල විදුහලේ ආදි සිසුවකු වූ අතර ඔහු එකල පුහුණු ගුරුවරයෙකි. පාණදුර කණ්ඩායමේ 15ක් පමණ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයන් ශන්මුගදාසන් සමඟ සිටි අතර ඔහු මාක්ස්වාදී දැනුමෙන් මුහුකුරා ගිය අයෙකි.

දිවා ආහාරයෙන් පසු සාකච්ඡාව නිම වූ විට එහි සිටි තවත් අයකු අද්දර ගෙවත්තෙ හිමිකරු අල්විස්ගේ දියණිය පත්මලතාට සිය ලිපිනය කොළ කැබැල්ලක ලියා දුන් බව දුටු මාබෝලෙ මිල්ටන් සියලු දෙනාට ඇසෙන පරිදි කීවේ ඉදිරියේ එය විප්ලවයට එරෙහි වීමක් ලෙස හඳුන්වමිනි. ඒ සාකච්ඡාවෙන් පසු විප්ලවවාදී සංවිධානයෙන් විජේවීර ඔහුවද ‘වාෂ්පකර‘ හැරියේය.

මේ සාකච්ඡාවට සහභාගිවූ අයගෙන් විජේවීර ඉල්ලා සිටියේ පක්ෂයේ අරමුණු ප්‍රචලිත කිරීම සඳහා පූර්ණකාලීනව කැපවන ලෙසය. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට ශන්මුගදාසන්ගේ පක්ෂයට අයත් වරායේ සමාජවාදී එක්සත් කම්කරු සමිතියේ සහකාර පාලක ලේකම් ලෙස කටයුතු කළ අමරතුංග දියතලාව කහගොල්ල විවේකාශ්‍රමයේ සේවය කරමින් සිටියදී නව විප්ලවවාදී සංවිධානයේ සබඳතා ප්‍රවර්ධනයට දායක විය.

සාකච්ඡාවට එක්වී සිටි බදුල්ලෙ උපන් හේරත් මුදියන්සේලාගේ තිලකරත්න හෙවත් නේවි තිලක් ඒ වන විට වැලිසර කඳවුරේ සේවය කළේය. ත්‍රිකුණාමල කඳවුරේ සේවය කරමින් සිටියදී ශන්මුගදාසන්ගේ දේශපාලන පන්තියකදී ඔහු විජේවීර දැනහඳුනාගෙන තිබිණි. වඩා උස නැති එහෙත් ප්‍රතාපවත් දේහයක් සහිත නේවි තිලක් දක්ෂ රගර් සහ වොලිබෝල් ක්‍රීඩකයෙකි. හේලිස්හි සේවය කළ කම්කරුවකු වූ රුවන්වැල්ලෙ විල්සන් දැදිගම ද වෘත්තිය සමිති ක්‍රියාකාරිකයකු වූ අතර ඔහු විජේවීරට එක්වූයේ ශන්මුගදාසන්ගේ සමිතිය හරහායි. මේ දෙදෙනා ද ජවිපෙ කටයුතුවලින් කෙටි කලකින් වෙන් විය.

ජවිපෙ සමා­ර­ම්භ­ක­යන් 12 දෙනා­ගෙන්  අට දෙනෙක් මෙහි වමේ සිටය. රෝහණ විජේ­වීර, සනත් බොරු­ළු­කැ­ටිය, ඩබ්ලිව්. ටී.  කරු­ණා­රත්න, ජය­රත්න පෙරේරා හෙවත් දෙල්ගොඩ රාජා, ඩබ්ලිව්. ටී. අම­ර­තුංග, ටී. බී. සී. තෙව­රා­ත­න්ත්‍රිගේ,  මාබෝලේ මිල්ටන් සහ සතොස තල­ග­ලගේ වෝල්ටර් 

වරාය තාක්ෂණික අංශයේ සේවය කළ රාජපක්ෂ පතිරණලාගේ ජයරත්න පෙරේරා හෙවත් දෙල්ගොඩ රාජා දෙල්ගොඩ, කඳුබොඩ පදිංචි අයෙකි. 1957 කොමියුනිස්ට් පක්ෂයේ වරාය එක්සත් සේවක සමිතියට එක්වූ ඔහු පසුව ශන්මුගදාසන්ගේ පක්ෂයට එක්වී ඉන් ඉවත්ව විජේවීරට සහාය දැක්වීය. කොළඹ, කොච්චිකඩේ කම්කරු සාකච්ඡාවකදී 1964 වසරේදී තමා විජේවීර දැනහඳුනාගත් බව රාජා ලියුම්කරුට කීවේය. රාජාට අයත් ඊඑන් 90130 සහ 1 ශ්‍රී 7765 යතුරුපැදි ජවිපෙ ආරම්භයේදී බොහෝ කටයුතුවලට යොදාගෙන තිබිණි. විජේවීරගේ සොහොයුරා වන ආනන්ද, ඔරුගොඩවත්තෙ කාර්මික විදුහලේ ඉගෙනුම් කටයුතු සඳහා යන සමයේ වසර එකහමාරක් පමණ නතර වී සිටියේ රාජාගේ නිවෙසේය. විජේවීර ද තෙමසක් පමණ වරෙක සිටියේ එම නිවෙසේය. හිතහොඳ අවංක පුද්ගලයකු ලෙස ප්‍රකට රාජා 1967 ජවිපෙන් ඉවත් වුවද අවසානය දක්වා විජේවීරට ළැදි පුද්ගලයකු ලෙස ඔහු සමඟ වූ සම්බන්ධය පවත්වාගෙන ගියේය.

 ජවිපෙ බිහිවූ අක්මී­මන කරු­ණා­ර­ත්න­ලාගේ නිවෙස මෑත­කදී නට­බුන්ව තිබූ අයුරු.

පන්නිපිටිය, පොල්වත්තෙ උපන් වෝල්ටර් තලගල සතොස මෝටර් රථ තාක්ෂණ ශිල්පියෙකි. ඔහුගේ පියා ද සතොසේ සේවය කළ චන්ද්‍රමාන වූ අතර මව ගුරුවරියකි. ශන්මුගදාසන්ගේ පක්ෂය හරහා විජේවීරට එක්වූ වෝල්ටර් 71 කැරැල්ලෙන් පසු ජවිපෙ සබඳතා අත්හැරියේය.

ජවිපෙ සමාරම්භක සාමාජිකයන් 12 දෙනාගෙන් 71 අප්‍රේල් කැරැල්ල වන විට විජේවීරට ඉතිරිව සිටියේ 7 දෙනෙක් පමණි. ඉන් දෙදෙනෙක් කැරැල්ලේදීම මිය ගිය අතර; ඔවුන් වන්නේ කඩවත පොලිසියට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගිය මාබෝලේ මිල්ටන් හා ගෝනපිනුවල සනත්ය. කැරැල්ල අරඹන විට සනත් ජවිපෙ දෙවැනි නායකයා විය. ඉතිරිව සිටින පස්දෙනාගෙන් ඩබ්ලිව්. ටී. කරුණාරත්න අද ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නෙ ගම්පහ වැඩිහිටි නිවාසයකය. ඉතිරි සිවුදෙනාද කැරැල්ලෙන් පසු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත් විය.

Comments