
හෙළයේ මහාගත්කරු මාටින් වික්‍රමසිංහ සූරින් උපන් නිවස දෙවන ලෝක යුද්ධයෙන් පසු මහ කැළෑවෙන් වැසි ගොස් තිබුණි.එකි නිවස සොයා ගැනිමට මුල්වු අය අතර කොට්ටව සිරිසේන රාලහාමි ද ප්‍රමුඛයෙකි.මේ අතරේ සිරිසේන රාලහාමිට කොග්ගල මලල ගම්මානයේ ගම්මුලාදැනිකමද ලැබෙන්නේය. හේ තම කාර්යාලය පවත්වාගෙන යන්නේ මාටින් වික්‍රමසිංහ සූරින්ගේ මහගෙදරය. වික්‍රමසිංහයන් කොග්ගලට එනවිට විදුලි පණිවුඩයක් මඟින් ඒබව කොට්ටව රාලහාමිට දැනුම් දෙන්නේය. වික්‍රමසිංහයන් කොග්ගල ගමට ආවිට ගමේ ඇවිදින්න යන්නේද රාත්‍රියට කොග්ගල ඔයේ ඔරු පැදීමට යන්නේද කොට්ටව රාලහාමි සමඟය.
මේ නිසා මාටින් වික්‍රමසිංහයන්ගේ ජිවිතය හා බැදුණු හරි අපුරු කථාන්දර සිරිසේන රාලහාමිට ඔහුගෙන් දැන ගැනීමට හැකි විය. දැන් කොට්ටව සිරිසේන රාලහාමිගේ වයස අවුරුදු අසුපහකි.
කොග්ගල ගම්මානයේ සුන්දරත්වය එදා කොග්ගල ගම්වැසියන් අලුත් අවුරුදු සැමරු අයුරු මාටින් වික්‍රමසිංහයන් කොට්ටව රාළහාමි සමඟ කීවේය. ඒ අතිත කථාන්දරයන් කොට්ටව රාලහාමි ඔහුගේ වචනවලින්ම අප ඉදිරියේ තැබුවේ මෙසේය.
‘වික්‍රමසිංහ මහත්තයා කොග්ගල ගමට ආවහම දින දෙකතුනක් ගමේ ඉන්නවා. ගමේ ඇවිදින එක ඇරුණහම ලියන එක තමයි ලොකුම රාජකාරිය. හුඟක් වෙලාවට මා සමඟ කතා කරන්නේ කොග්ගල ඔයේ ඔරුවෙන් යන විට. මම තමයි ඔරුව පදින්නේ. ආරක්ෂාවට ගමේ තරුණයෝ දෙතුන් දෙනෙක්ද යනවා. කලටි පොල් සමඟ ඉස්සෝ කකුළුවෝ කන්න වික්‍රමසිංහ මහත්තයා කැමතියි. ඔයේ යන විට ඉස්සෝ කකුළුවෝ ගෙනවිත් ධිවරයන් ඔරුකඳ යටට දමනවා. අතීත සිද්ධින් ඔහු එකින් එක හරි අපුරුවට විස්තර කරනවා. ඒ කාලයේ කොග්ගල ගම්මානයේ අලුත් අවුරුද්ද සමරපු ආකාරය පිළිබඳ ගොඩක් කථා වික්‍රමසිංහ මහත්තයා මා සමඟ කියා තියෙනවා.
වික්‍රමසිංහ මහත්තයා තමයි පවුලේ බාලය වගේම එකම පිරිමි දරුවා. ඒ කාලයේ දැන් වගේ මාධ්‍ය තිබුණේ නැහැ. අලුත් අවුරුද්දට මාස දෙක තුනකට කලින් අවුරුදු සීට්ටුව රැගෙන සීට්ටුකාරයා ගමට එනවා. එදා ඉඳලා කොග්ගල වගේම අනිකුත් ගම්මානවල ගම්මුන් අලුත් අවුරුද්දට සුදානම් වෙනවා. ගැමි දරුවන්ට එදා ඉදලා අලුත් අවුරුද්ද. කොග්ගල තියෙනවා හිරිගල් දේවාලය කියලා පැරණි දේවාලයක්. වික්‍රමසිංහ මහත්තයා කුඩා කාලයේ අවුරුද්දට කලින් අම්මා තාත්තා හා පවුලේ අය සමඟ මේ දේවාලයට ගිහින් තියෙනවා පුද පුජා පැවැත්වීමට. සුර්ය නමස්කාර සඳහා තමයි ගිහින් තියෙන්නේ. කිරිබත් පිගානක් මල් බුලත් පඬුරු රැගෙන ගිහින් පහන් පත්තුකරලා සුර්යා නමදිනවා.
ඇත්තටම ඒ කාලයේ අලුත් අවුරුද්ද කුඩා දරුවන්ට රජ මඟුලක් වගේ තමයි. දුව පැන ඇවිදමින් නොයෙකුත් කෙළි සෙල්ලම් කරනවා. වික්‍රමසිංහ මහත්තයාත් කුඩා කාලයේ කොග්ගල ගමේ කොලු ගැටවු එක්ක සෙල්ලම් කරලා තියෙනවා. ඔයේ පැනලා දිය බුන් ගැසිම මෙන්ම වක්ගුඩු පැනීම, ඉපිල් පැනීම, ගුඩු පැනීම ගැමි දරුවන් කරපු ක්‍රිඩා තමයි. අලුත් අවුරුදු කාලයට පංචි දැමිම ඒ කාලයේ හැම ගෙදරකම සිදුකරන ක්‍රීඩාවක්. වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදරත් පන්චි දමලා තියෙනවා. ඔහුගේ අක්කලා එක්ක තමයි පංචි දමලා තියෙන්නේ. සල්ලිවලට තමයි පංචි දමන්නේ. නමුත් අම්මා නම් පංචි දමන්න පැදුරේ වාඩි කළත් පංචි දමලා නැහැ. දැන් තමයි අවුරුද්ද ලබන විට ඒ බව රටට කියන්න රතිඤ්ඤා පත්තු කරන්නේ. ඒ කාලයේ උණ බම්බුවලට භුමි තෙල් වත්කරලා උණ වෙඩිලි තමයි පත්තු කරලා තියෙන්නේ.
ඒ විතරක් නෙවෙයි ගැමි දරුවන් සමඟ එකතු වෙලා වික්‍රමසිංහ මහත්තයා හරි අපුරු වැඩ තමයි කරලා තියෙන්නේ. ඒ කාලයේ ගැමි කතුන් වතුර ගෙනියන්න ළිඳ ළඟට ඇවිත් කථා කරකර ඉන්නවා; වික්‍රමසිංහ මහත්තයා අනික් කොලු ගැටව් සමඟ කළ ඇතුළට කකුළු පැටව් අල්ලලා දමනවා.
ඉතින් ගැමි ගැහැනුන් කයි කථාන්දර ඉවර කරලා ඇවිත් කළයට වතුර දමා අත දමලා කළය හෝදනවා. එවිට කළය ඇතුළේ ඉන්න කකුළුවන් ගැහැනුන්ගේ අත් අල්ලනවා. ගැහැනු වතුර ගෙනියාම පැත්තක තියලා දුවනවා; නැතිනම් කළය පොළවේ ගහලා යනවා. මේ වගේ දේවල්කරලා විනෝදයක් ලබලා තියෙනවා.
අලුත් අවුරුද්ද කිට්ටුවන විට පැදුරුකාරයත් ගමට එනවා. පැදුරු වියන්න පුළුවන් ගැමි කාන්තාවන් පන් උගුල්ලාගෙන විත් පැදුරු වියා ගන්නවා. අලුත් පැදුරු දමලා එවායේ වාඩි වෙලා තමයි අවුරුදු කාලා තියෙන්නේ. වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදරත් ජයටම අවුරුදු කාලා තියෙනවා. අවුරුදු කෑම මේසය පිළියෙල කරනවා; පසුව සාලයේ මැද පැදුරු එළනවා. අක්කලා පවුලේ අය පැදුරුවල වාඩි වෙලා පොල්තෙල් පහන් එහෙම දල්වලා නිල් මානෙල් කොළවල හා නෙළුම් කොළවල තමයි කිරිබත් ඇතුළු කෑම වර්ග දමාගෙන අවුරුදු කාලා තියෙන්නේ.
වැඩ අල්ලන කොට ගෙදර කාන්තාව තමයි ළිඳත් සමඟ ගනුදෙනු කරන්නේ. ඒ වගේම කිරි ගහක් කපනවා. කොස්,දෙල්, වගේ ගස් පිහියකින් කපනවා කිරි වැක්කෙරෙනකම්. කුඩා දරුවන් වැඩිහිටියන් සමඟ කැවුම්,කොකිස්, ඇතුළු කිරිබත් තැටි තමයි අසල් වැසි හා ඥාති ගෙවල් ගෙවල්වලට අරගෙන යන්නේ බුලත් දිලා වැද නමස්කාර කරනවා. ඇත්තටම ඒ කාලයේ අවුරුදු සිට්ටුකාරයා එන තෙක් තමයි ගැමි දරුවන් බලාගෙන ඉන්නේ. එදා ඉඳලා ගැමි දරුවන්ට අවුරුදු තමයි. ගැහැනු අය ඇන්දේ කම්බාය; පිරිමි අය පට සරම නැතිනම් අල්ලි තියෙන සරම තමයි ඇන්දේ.
ඒ කාලයේ ගැමි ගෙවල්වල රාත්‍රියට පත්තු කරලා තියෙන්නේ නොම්මර 15 චිමිනි ලාම්පු. වවුල්පළවල් වලින් දොඹ ඇට එකතු කරලා දොඹ තෙල් එහෙමත් අරගෙන තියෙනවා ගමන් බිමන් යන විට ලැන්තැරුම වගේම හුළු අතු එහෙමත් අරගෙන ගිහින් තියෙනවා වික්‍රමසිංහ මහත්තයා කියපු කථාන්දර හරිම සුන්දරයි.
ඒ කාලයේ බක් මාසේ එහෙම මඟුල් තුලා වැඩිපුර කෙරිලා තියෙනවා. ගමට මනාලියෙක් කැන්දාගෙන එනවිට ගැමි ගැහැනුන් ආදර එහෙම තියලා මංගල ජෝඩුව පිළිගන්නවා. ටීපෝවක බුලත් තට්ටුවක් හා ටොනික් බෝතල් එහෙම කිහිපයක් තියලා තමයි මංගල ජෝඩුව පිළිගන්නේ. වික්‍රමසිංහ මහත්තයා පවුලේ බඩ පිස්සානේ; මංගල ජෝඩුවක් කැන්දාගෙන එන උත්සවයක් තිබිලා තියෙනවා. වික්‍රමසිංහ මහත්තයාගේ සහෝදරියන්ද පවුඩර් එහෙම දමලා මංගල ජෝඩුව බලන්න පාරට ගිහින් තියෙනවා. වික්‍රමසිංහ මහත්තයා ආප්ප තම්බපු චාච්චියේ අත් දෙක උලාගෙනවිත් අක්කලාගේ මුහුණේ අතුල්ලලා තියෙනවා. අක්කලාගේ මුහුණේ දැලි ගැවුණාට පසු මුහුණ හෝදන්න යන විට මංගල ජෝඩුව ගිහින් ඉවරයි. මේ වගේ වැඩවලට වික්‍රමසිංහ මහත්තයා පියාගෙන් දඬුවම් පවා ලබලා තියෙනවා.
වික්‍රමසිංහ මහත්තයා බල මාළු ඇඹුල් තියල් කන්න හරිම ආසයි. ඔහු ගමට එනදාට ගංදුවේ ජෝන් අයියාගේ හාමිනේ මාළු ඇඹුල් තියලා කරවෙන්න හදලා දෙනවා යැයි කොට්ටව රාලහාමි කීවේය.
ගම්පෙරළිය නවකතාවෙන්, මෙන්ම් අපේගම, උපන්දා සිට මඩොල්දුව යන කෘතිවලින් වික්‍රමසිංහයන් කොග්ගල ගැමි පරිසරය හා එහි සුන්දරත්වය හරි අපූරුවට විස්තරකොට ඇත්තේය. එදා තිබු ඒ ගැමි පරිසරය වියැකි යමින් තිබේ. කොටින්ම කිවහොත් කොග්ගල නවිකරණය වි ඇත්තේය.ඒ කොයිහැටි වුවද පැරණි ගම්මුන් තමන්ට ආවේණික සිරිත් විරිත් රැකගැනීමට දැඩි අරගලයක නිරතව සිටිති.