
කොවිඩ් 19 ගෝලීය වසංගතය ලෝකයටම මුකවාඩම් පලඳවා දැන් වසර එකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇත. ඉකුත් සිකුරාදා වන විට ලොව පුරා 134,525,543ක් කොවිඩ් ආසාදිතව සිටි අතර; ඒ වන විට ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 29 ලක්ෂය ඉක්මවා තිබිණි.
ඉකුත් වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව ද කොවිඩ් වංසගතයට ගොදුරු වූ අතර රටවැසි බොහෝ දෙනකුට ඒ වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්නට සිදුවූයේ නිවෙස්වල සිට ය.
මේ වනවිට ලෝකවාසී ජනතාව කොවිඩ් සමඟ ජීවත්වන්නට පුරුදු වෙමින් සිටින අතර ශ්‍රී ලාංකිකයන්ද ඒ තත්ත්වයට හුරුවෙමින් සිටී.
පවතින වසංගත තත්ත්වය තුළ මෙවරත් අලුත් අවුරුද්ද සුපුරුදු පරිදි උත්සවශ්‍රීයෙන් සමරන්නට නොහැකි වේවි යන දොම්නස බොහෝදෙනාගේ සිත්හි විය. එහෙත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඉකුත් සතියේ මාර්ගෝපදේශන සංග්‍රහයක් නිකුත් කරනු ලැබීම බොහෝ දෙනාට අස්වැසිල්ලක් විය.
නිවෙසේ සිට පවුලේ අය සමඟ අවුරුදු සැමරීමට වසංගත තත්ත්වය බාධාවක් නොවූවද අලුත් අවුරුද්දේ මූලික හරය සියලු දෙනා අතර සුහදතාව, සතුට, සමගිය වර්ධනය කිරීම බැවින් බොහෝ දෙනා අවුරුදු ක්‍රීඩා, සැණකෙළි, අවුරුදු උත්සව සහ සංගීත ප්‍රසංග ආදිය පැවැත්වීමට හැකිවේද යන්න පිළිබඳ දෙගිඩියාවෙන් පසුවූහ. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සියලු කාරණා පිළිබඳ සැලකිලිමත් වෙමින් අලුත් අවුරුද්ද වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවක් පෙනෙන්නට ඇත.
ඉටු කළ හැකි චාරිත්‍ර වාරිත්‍ර
නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම, අලුත් අවුරුදු උදාව සැමරීම, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය, හිසතෙල් ගෑම ආදී සියලු චාරිත්‍ර වාරිත්‍ර නිවෙසේදීම සිදු කළ හැකිය. වසංගත අවදානම සැලකිල්ලට ගනිමින් හැකිතාක් දුරට අවම කළ යුතු ක්‍රියාකාරකම් ලෙස මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශන තුළ දැක්වෙන්නේ නෑදෑ ගමන් යෑම, කැවිලි හුවමාරු කරගැනීම, නිවෙසින් පිටත බොහෝ පිරිසක් එකතු වී සිදු කරන අවුරුදු ක්‍රීඩා සහ අවුරුදු උත්සව සංවිධානය කිරීමයි. එමෙන්ම පවුලේ සාමාජිකයන්, නෑදෑයන් හා නිතර හමුවන වයිරසයෙන් ආරක්ෂිත යැයි තහවුරු කුඩා පිරිසක් සමඟ අලුත් අවුරුදු චාරිත්‍ර කරමින් අවුරුද්ද සැමරීම යෝග්‍ය වන අතර; නිතර හමු නොවන අය ඒ කණ්ඩායමට ඇතුළත් කර ගැනීම සුදුසු නොවන බවද එම සෞඛ්‍ය මාර්ගෝපදේශ අතර වේ.
අවුරුදු උත්සව පැවැත්වීම සහ සහභාගීත්වය
පුද්ගල දුරස්ථ භාවය, ශ්වසන ආචාර විධි, අත් සේදීම, විෂබීජහරණය, මුව ආවරණ පැලඳීම යන සෞඛ්‍ය උපදෙස් සහ කොවිඩ් වැළැක්වීමට අදාළ අනෙකුත් උපදෙස් පිළිපදිමින් උත්සව පරිශ්‍රයේ වරකට පුද්ගලයන් 100කට අඩු පිරිසක් සිටින සේ පැවැත්විය හැකිය. සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර නැති අතර; අවුරුදු උත්සව එය පවත්වන ප්‍රදේශයේ ජනතාවට පමණක් සීමාවිය යුතුය.
කොවිඩ් 19 වැලඳුණු පුද්ගලයන්, ආශ්‍රිතයන් සහ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් සහභාගි කරවා ගැනීමෙන් වැළකිය යුතු අතර එකම පවුලේ සාමාජිකයන්ට අවුරුදු උත්සව පරිශ්‍රය තුළ එකට සිටිමින් නැරඹිය හැකි නමුත් ආගන්තුක පුද්ගලයන් සමඟ දුරස්ථභාවය තබාගැනීමට කටයුතු කළ යුතුය. කඹ ඇදීම, අවුරුදු කුමරා /කුමරිය තේරීම, පාපැදි ධාවන තරග, මැරතන් ධාවන තරග, කණා මුට්ටි බිඳීම, කොට්ටා පොර ගැසීම, බනිස් කෑම, රබන් ගැසීම, අලියාට ඇස තැබීම, කණාට කිරි කැවීම, විකට ඇඳුම් තරගය, ඔලිඳ කෙළීම හා පංච දැමීම ආදී ප්‍රධාන අවුරුදු ක්‍රීඩා සංවිධානය කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ ඒ ක්‍රීඩා සඳහා දී තිබෙන මාර්ගෝපදේශ පිළිපැදීම අනිවාර්ය වේ. සියලු උත්සව පැවැත්වීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අනුමැතිය ලබාගෙන අදාළ උපදෙස් අනුව ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය කරුණකි.
අලුත් අවුරුදු සතුට දිගටම පවත්වාගෙන යෑමට නම් අවුරුදු සමයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශන නිසි ලෙස පිළිපැදීම කොවිඩ් 19 ව්‍යාප්තිය අවම කරගැනීම සඳහා සෑම පුරවැසියකුගේම වගකීම බවද සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.