දශක හයකට පසුවත් හමන ‘ජීවරාණි සුවඳ රැල්ල’ | සිළුමිණ

දශක හයකට පසුවත් හමන ‘ජීවරාණි සුවඳ රැල්ල’

තම ආයතනයේ නිෂ්පාදනවල ප්‍රචාරක කටයුතු සඳහා විද්‍යුත් මාධ්‍යයක සතිපතා පැය භාගයක ගුවන් කාලයක් වෙන් කර ගත හැකි දේශීය ව්‍යාපාරිකයන් අද වුවද මෙරට සිටිනුයේ ස්වල්ප දෙනෙකි.

මේ මීට දශක හයක පමණ කාලයක සිට ගලාගෙන එන අපූරු කතාවකි. රූපවාහිනිය නොතිබූ ඒ කාලයේ තිබූ එකම විද්‍යුත් මාධ්‍යය වූයේ ගුවන් විදුලියයි. පැය විසිහතර පුරා වැඩසටහන් විකාශනය නොවූ ඒ කාලයේ ‘මුවන් පැලැස්සෙන්‘ පසු ජාතික ගීය අසා බොහෝ අය නිදා ගත්හ.

දාස සමූහ ව්‍යාපාරය ඉදිරිපත් කළ ආරියදාස පීරිස් මෙහෙයවූ ‘පිබිදෙන ගායක පරපුර‘, ඊ.එච්. කුරේ සහ සමාගම ඉදිරිපත් කළ ‘ඊ.එච්. ගීත ධාරා‘, සූරිය ගී තැටි සමාගම ඉදිරිපත් කළ ‘සූරිය ෂෝ‘ වැනි ජනප්‍රිය වැඩසටහන් අතර අගලවත්තේ ජීවරාණි හඳුන්කූරු කර්මාන්තායතනය ඉදිරිපත් කළ ‘ජීවරාණි සුවඳ රැල්ල‘ වැඩසටහන ද ඉතා ජනප්‍රිය වැඩසටහනක් විය.

අතුකෝරළ නම් වූ නිවේදකයෙකු මෙහෙයවූ එම වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වූයේ සෑම ඉරිදාවකම සවස 5.15ත් 5.45ත් අතර කාලයේය. එම වැඩසටහන රසවිඳීම සඳහා රට පුරා රසිකයන් සැදී පැහැදී සිටියහ.

මෙම වැඩසටහන අතරතුර සෑම සතියකම අසන ප්‍රශ්නයක් විය. ඉරිදා වැඩසටහනින් අසන ප්‍රශ්නයට පිළිතුරු අඟහරුවාදා සිට ගලා එන අතර අගලවත්ත තැපැල් කාර්යාලයේ පියුන් මහත්තයා දිනපතා උදේ සවස පිළිතුරු පත් ඇතුළුව ලිපි මලු දෙක බැගින් ආයතනයට ගෙනැවිත් භාරදේ.

ඊටත් වඩා අමාරු කාර්යය වූයේ ජයග්‍රාහකයන් තේරීමය. පැනයට පිළිතුරු සමඟ එකකට එකක් දෙවැනි නොවූ චිත්‍ර ඇඳ එවීමට ද රසිකයන් පුරුදුවී සිටියහ. මෙහි ප්‍රථම ස්ථානය හිමි කර ගන්නා ජයග්‍රාහකයාට හිමි ත්‍යාග මුදල වූයේ රුපියල් දහයකි. දෙවැනි ස්ථානය හිමි කර ගත් ජයග්‍රාහකයාට රුපියල් පහක මුදල් ත්‍යාගයක් හිමිවූ අතර තෙවැනි ස්ථානය සඳහා හිමි වූයේ ජීවරාණි හඳුන්කූරු පාර්සලයකි.

මෙහි කථා නායකයා 1935 වසරේ සැප්තැම්බර් මස 19 වැනි දින කළුතර දිස්ත්‍රික්කයේ ඈත කෙළවර අගලවත්තේ උපන් ක්ලෙමන්ට් පෙරේරායි.

අගලවත්ත මිහිඳු විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගත් ඔහු පසුව මතුගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්වී ජ්‍යෙෂ්ඨ විභාගයෙන් සමත් විය. රුපියල් හැටක මාසික වේතනයකට සමූපකාර සංගම් කාර්යාලයේ ලිපිකරුවෙකු වශයෙන් ජීවිතය ආරම්භ කළ ඔහු ඒ අතරේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) අගලවත්ත ප්‍රාදේශීය මාධ්‍යවේදියා ලෙස ද කටයුතු කළේය.

මේ අතර ඔහුට 1957 වසරේදී ලංගම සාමාන්‍ය ලිපිකරුවෙකු වශයන් රැකියාවක් ලැබුණි. ඔහු පළමුව සේවය කළේ ලංගම වේරහැර මධ්‍යස්ථානයේය. පිළියන්දල බෝඩිමක නැවතී සේවා ස්ථානයට ගිය ක්ලෙමන්ට් තරුණයා වැඩ ඇරුණු විගස නැවත නවාතැනට යාමට කම්මැළි නිසා බස් රථයක නැගී සෑම සවසකම කොළඹට ඒම සිරිතක් කර ගත්තේය. ඔහු සවස් යාමය ගත කළ එක් ස්ථානයක් වූයේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයයි. එසේ බංකුවක් මතට වී සිටින ඔහුට නිරත මුණ ගැසෙන මුහුණක් විය. ඒ ‘බායි‘ මහත්තයෙකි.

ඔහු සුවඳ ආලේපන හා හඳුන්කූරු නිෂ්පාදනය කර අලෙවි කරන ව්‍යාපාරිකයෙකු විය. බායි මහත්තයා තම ක්ලෙමන්ට් මිතුරාව නිවසට ද කැඳවාගෙන ගොස් තම කර්මාන්තය කරන ආකාරය ද පෙන්වා දුන්නේය.

එහෙත් බායි මහත්තයා හඳුන්කූරු කර්මාන්තය කළේ ඕනෑවට එපාවට මෙනි. ඒ ඉන්දියාවෙන් ඕනෑ තරම් හඳුන්කූරු ගෙන්වූ එකල ඔහුගේ හඳුන්කූරුවලට සාර්ථක වෙළඳපොළක් නොවූ නිසාය. මිතුරාට එපාවී ඇති ව්‍යාපාරයට අත තබන්නට ක්ලෙමන්ට් තරුණයාට සිතුණේය. බායි මිතුරා හඳුන්කූරු නිෂ්පාදනය කරන ආකාරය කියා දුන්නද රහස් සංයෝග කිසිවක් කියා දුන්නේ නැත. එහෙත් ක්ලෙමන්ට් තරුණයා නොබියව හඳුන්කූරු කර්මාන්තය ආරම්භ කළේ හඳුන්කූරු කර්මාන්තයට අත ගැසූ මෙරට ප්‍රථම සිංහල ව්‍යාපාරිකයා වශයෙනි. ඒ 1959 වසරේ පිළියන්දල ප්‍රදේශයේ තමා නැවතී සිටි නවාතැනේ කාමරයකය.

උණ කූරු කැපීමට හා ශුද්ධ කිරීමටත් බෙහෙත් ගැල්වීමට වේළීමට සහ ඇසුරුම් කිරීමටත් ගැහැනු ළමයින් දොළොස් දෙනෙකු බඳවා ගන්නා ලදී. බායි මිතුරාගෙන් මූලික දැනුම ලබා ගත් ඔහු වරද්ද වරද්දා අලුත් බෙහෙත් වර්ග යොදා ගනිමින් තම නිෂ්පාදනය වැඩිදියුණු කළ අතර පසුව, නියම ‘මාත්තුව‘ සොයා ගත්තේය. සුදු හඳුන් සහ සුවඳ කොට්ටන් ද ඔහු තම පර්යේෂණ සඳහා යොදා ගන්නා ලදී.

සෑම දිනකම උදේ දවස තුළ කළ යුතු කාර්යයන් තම සේවිකාවන්ට පවරා වේරහැර ලංගම මධ්‍යස්ථානයේ සේවයට යන ඔහු සවස නිවසට පැමිණ හඳුන්කූරු අලෙවි කිරීම සඳහා වෙළඳසැල් කරා යන්නේ ඒවා බයිසිකලයක බැඳගෙනය. තෙල් කඩදාසියක දවටාගෙන කඩයක් ගානේ ගියද සමහර වෙළඳසැල් හිමියන් ඒවා ගන්නට මැළි වූයේ ඊට වෙළඳ නාමයක් නොවූ බැවිනි. ඒ අනුව විවිධ වෙළඳ නාම යටතේ වෙළඳ පොළේ තිබූ ඉන්දියන් හඳුන්කූරු සමඟ තරග කිරීම මෙම හඳුන්කූරට අපහසු විය. සමහර වෙළෙන්දන් ක්ලෙමන්ට්ගේ හඳුන්කූරු ප්‍රතික්ෂේප කරමින් ඔහු එළවා ගත්තේය. ඔහු මහන්සිය නොබලා තම නිෂ්පාදනය අලෙවි කර ගැනීම සඳහා සැතපුම් ගණන් දුර බයිසිකලය පැද ගියේය.

මේ අතර ලංගමයේ මෙහෙයවීමෙන් අලුත් අවුරුදු උත්සවයක් පැවැත්විණි. එහි ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම විස්තර ප්‍රචාරකයා වූයේ ද ක්ලෙමන්ට්ය.

මෙම උලෙළේ විවිධ අංග අතර නැටුමක් ද විය. ඒ සඳහා පැමිණ සිටියේ එකල එතරම් ජනප්‍රිය අයෙකු නොවූ නාට්‍යාංගනාවකි.

“අපේ අලුත් අවුරුදු උලෙළේ මීළඟ අංගය නැටුමක්. මෙන්න නැටුම ඉදිරිපත් කිරිමට ‘ජීවරාණි‘ යැයි ක්ලෙමන්ට් නිවේදකයා කෑ ගැසුවේය.

ජීවරාණි නැටුම ඉදිරිපත් කරන අතරේ ක්ලෙමන්ට්ගේ සිතේ අපූරු අදහසක් පහළ විය. ඒ නමක් නැති තම හඳුන් කූරට ‘ජීවරාණි‘ යන නම යෙදුවොත් හොඳ බවය.

අලුත් අවුරුදු උත්සවය නිමවීමත් සමඟ ක්ලෙමන්ට්ගේ හඳුන්කූරු වෙළෙඳසැලට ගියේ ‘ජීවරාණි හඳුන්කූරු‘ ලෙසය. එසේම එදා නැටුම ඉදිරිපත් කළ ජීවරාණි තරුණිය පසු කලෙක මෙරට ජනප්‍රිය නිළියක් බවට පත්වූවාය. ඇය ජීවරාණි කුරුකුලසූරියයි. ක්ලෙමන්ට් තරුණයාට මතුගම ලංගම ඩිපෝවට මාරුවීමක් ලැබුණේ ඉන් ටික කලකට පසුවය. ඒ සමඟම පිළියන්දල නිවසක ගරාජයක පවත්වාගෙන ආ හඳුන්කූරු කර්මාන්තය ද අගලවත්තට මාරු වූයේය.

අවට ගම්වල රැකියා නොමැතිව සිටි ගැහැනු ළමයින්ගේ සේවය ලබා ගනිමින් ඔහු අගලවත්තේ හඳුන්කූරු කර්මාන්තායතනය පවත්වාගෙන ගියේය. 1963 වර්ෂය වනවිට ඉන්දියාවෙන් හඳුන්කූරු ගෙන්වීම රජය මඟින් තහනම් කළ බැවින් මෙරට හඳුන්කූරට වැඩි ඉල්ලුමක් ලැබෙන්නට විය. ‘ජීවරාණි‘ ව්‍යාපාරය ද කෙමෙන් ඉදිරියට ගියේය. බයිසිකලයෙන් ගම අවට අලෙවි කළ හඳුන්කූරු රට වටා ගෙන යාම සඳහා වෑන් රථ රැසක් යොදවන ලදි. සියයකට අධික සේවක පිරිසක් සඳහා රැකියා අවස්ථා ද ලබා දෙන ලදි. ඔවුනට විශේෂ නිල ඇඳුමක් ද ලබාදෙන ලදී. එමෙන්ම මල්වානේ රඹුටන්, කළුතර මැංගුස්, නාවල අන්නාසි මෙන් ජීවරාණි හඳුන්කූරුවලට අගලවත්ත රට පුරා ප්‍රසිද්ධ විය.

ජීවරානි හඳුන්කූරු කාර්මාන්තායතනයේ සේවය කළ ඒ අවට පිරිස් ඉන් අස්වී ස්වාධීනව හඳුන්කූරු නිෂ්පාදනය කිරීමට පටන් ගැනීමත් සමඟ අගලවත්ත එකම හඳුන්කූරු පුරයක් බවට පත්විය. විශාල ව්‍යාපාරයක් තමන් සතුව තිබියදීත් තමාට වඩා ඉහළ වැටුප් තම ආයතනයේ සේවක පිරිස් ලබද්දීත් යාන වාහන තිබියදීත් ක්ලෙමන්ට් පෙරේරා ලංගම ‘පාස්‘ එකෙන් බස් රථයේ නැගී දිගටම මතුගම ඩිපෝවේ රැකියාවට ගියේය. ඒ තමා ජීවිතය ආරම්භ කළ රැකියාව අතහැර දැමීම නැඟුණු ඉණිමඟට පයින් ගැසීමක් යැයි ඔහු විශ්වාස කළ නිසාය. ඒ තරමටම ඔහු නිහතමානී මිනිසෙකි.

අගලවත්ත බෙල්ලන ප්‍රදේශයේ පදිංචිකාරියකවූ බෙල්ලන විදානලාගේ නන්දාවතී මහත්මිය ක්ලෙමන්ට් පෙරේරාගේ දයාබර බිරිඳයි. ඇයව ඔහුට හමුවුණේ ද හඳුන්කූරට ‘ජීවරාණි‘ නම ලැබුණෙත් බක් අවුරුදු උත්සවයකදීමය.

ඒ 1965 වසරේ සිංහල අලුත් අවුරුද්දයි. බෙල්ලන විද්‍යාල භූමියේ පැවැති අලුත් අවුරුදු උත්සවය බැලීම සඳහා නන්දාවතී තරුණිය පැමිණ සිටියේ තම ඥාතීන් සමඟය. අවුරුදු උලෙළේ විශේෂාංගය වූ අවුරුදු කුමරිය තේරීම් තරගය ආරම්භ විණි. වර්ණවත් රෙදි හැට්ටවලින් සැරසුණු යුවතියන් රැසක් වේදිකාවට ගොඩවෙමින් සිටියහ. ඒ සඳහා ඉදිරිපත් වීමට කිසිදු සූදානමක් නැතිව පැමිණ සිටි නන්දාවතීට මෙම තරගය සඳහා ඉදිරිපත් වන ලෙසට අවට සිටි ඥාතීන් සහ හිතවතුන් බලකරන ලදි. ඔසරියකින් සැරසී පැමිණ සිටි නන්දාවතී එම වේදිකාවට ගොඩ වූයේ විශාල පිරිසකගේ බලකිරීම මතය. එහෙත් සිහිනෙන්වත් නොසිතූ ලෙස එදින අවුරුදු කුමරිය තරගයේ ජයග්‍රාහිකාව වූයේ නන්දාවතීය. ඇයට අවුරුදු කුමාරි කිරුළ පලඳවා ජයග්‍රාහී චෙක්පත පිරිනැමූයේ අවුරුදු උත්සවයට අනුග්‍රහය දැක්වූ එවකට මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක් වූ ජීවරාණි හඳුන්කූරු කර්මාන්ත ශාලාවේ අධිපති ක්ලෙමන්ට් පෙරේරාය.

ගතවූයේ දින කීපයකි. එදා සිදු වූයේ ද නොසිතූ දෙයකි. නන්දාවතී සොයා බෙල්ලන නිවසට ගිය ක්ලෙමන්ට් පෙරේරා ඇය විවාහ කර ගැන්මට තමා කැමති බව කියා සිටියේය. එසේ සිදුවූ ඔවුන්ගේ විවාහයෙන් දියණියන් තිදෙනෙකු හා පුතුන් දෙදෙනෙකු ඔවුනට ලැබුණි.

විවාහයෙන් පසු තම බිරිඳගේ සහය ද ව්‍යාපාරයට ලැබුණු අතර හඳුන්කූරුවලට අමතරව ලක්වයිට් නමින් සබන් වර්ගයක් ද දන්ත ශක්ති නමින් දන්තාලේපයක් ද වෙළඳපොළට හඳුන්වා දෙන ලදි. තම ව්‍යාපාරයේ මුද්‍රණ කටයුතු මෙන්ම ඉන් බාහිර මුද්‍රණ කටයුතු සඳහා මුද්‍රණාලයක් ද පත්වාගෙන යන ලදි. දේශීය කර්මාන්තවලට කණකොකා හැඬුවේ 1977ට පසු ඇතිවූ විවෘත ආර්ථිකයත් සමඟය. ජීවරාණි හඳුන්කූරු කර්මාන්තයට ද එම තත්වය බෙහෙවින් බලපෑවේය. කෙසේ වුවද සුළු වශයෙන් පටන්ගෙන දියුණුවේ හිනිපෙත්තටම ගිය ව්‍යාපාරිකයෙකුවූ ක්ලෙමන්ට් පෙරේරා මෙලොව හැර ගියේ 2017 සැප්තැම්බර් මස 19 වැනි දින 81 හැවිරිදි වියේ පසුවෙමින් සිටියදීය. වසර හැට දෙකක් තිස්සේ තවමත් පවත්වාගෙන යන ජීවරාණි හඳුන්කූරු කර්මාන්තායතනයේ වත්මන් තත්වය දැක බලා ගැනීම සඳහා ගිය අපව පිළිගත් නන්දාවතී මහත්මිය අප සමඟ මෙසේ කීවාය.

“අපේ මහත්තයා හඳුන්කූරු සඳහා දේශීය සුවඳ පැළෑටිම යොදා ගත්තා. එමෙන්ම ඉන්දියාව, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය හා ස්විට්සර්ලන්තය ආදී රටවලින් සුවඳ ජාති ගෙනාවා. ඒ රටවල කොම්පැනිවල සුදු මහත්තුරුත් ඒ දවස්වල අපේ කර්මාන්තශාලාව බලන්න එනවා. ඒ කාලයේ කොල්වින් ආර්. ද සිල්වා, රොනී ද මැල් යන ඇමතිවරුත් අපේ මහත්තයාගෙ යාළුවො. නිතර ගෙදර එනවා. රැකියා ඉල්ලගෙන කාර්යාලයට එන සමහර ගැහැනු ළමයින්ව කොල්වින් ආර්. ද සිල්වා මහත්තයා අපේ කර්මාන්ත ශාලාවටත් එවනවා. ඒ කාලයේ රට පුරා අපට ලොකු ප්‍රසිද්ධියක් තිබුණා.

ඒ කාලයේ අගලවත්ත හඳුන්කූරු ව්‍යාපාරික මහත්තයෙකු කතරගම යද්දි හුංගම රන්න ඇළේ වැටී මරණයට පත්වී තිබුණා. රටපුරා බොහෝ දෙනා හිතුවේ මේ ‘ජීවරාණි මුදලාලි‘ කියලයි. සමහරු ගෙදරට ආවා. ශෝකය පළකරල විදුලි පුවත් විශාල ප්‍රමාණයක් ලැබුණා.“ යැයි ඇය සඳහන් කළාය. පියාගේ ‘ජීවරාණි හඳුන්කූරු ව්‍යාපාරය‘ මේ වනවිට ඉදිරියට ගෙන යමින් සිටිනුයේ පුත් 42 හැවිරදි ක්ලිප්ටන් පෙරේරායි. තම ව්‍යාපාරයට බලපාන වත්මන් අභියෝග පිළිබඳව ඔහු මෙසේ විස්තර කළේය.

“තාත්තාගේ ව්‍යාපාරය අපි කොහොම හරි ඉදිරියට අරගෙන යනවා. පිටරටින් භාණ්ඩ ගෙන ඒම නතර කරලා කියල කිව්වට ඉන්දියන් හඳුන්කූරු කොළඹ වෙළඳපොළේ අදත් ඕන තරම් තිබෙනවා. ඉස්සර හඳුන්කූරු සඳහා යොදා ගත්තේ මෙරට උණ ගස්. අපේ කර්මාන්තශාලාවේ තිබූ ස්ථිර රැකියාවලට අමතරව ඒ කාලයේ උණගස් කපා සුද්ද කිරීමේ වක්‍ර රැකියා රැසක් තිබුණා. දැන් උණගස් කැපීම නීතියෙන් තහනම්. හඳුන්කූරුවලට උණ කූරු ගෙනෙන්නේ චීනයෙන් හා වියට්නාමයෙන්. ගංගා ඉවුරුවලට හානිවීම හේතුවෙනුයේ උණගස් කැපීම තහනම් කර තිබුණේ. ඒත් දැන් උණගස් එතරම් කැපෙන්නේ නැහැ. පලංචිවලට යකඩ යොදා ගැනීම ඊට හේතුවයි. දැන් කරදරයක් වන තරමට උණ පඳුරු වැවෙනවා. මඳ වශයෙන් හෝ ලිහිලක් දුන්නොත් ඒ සඳහා වැය වන විදේශ විනිමය ඉතිරි කරගත හැකි වනවා මෙන්ම වක්‍ර රැකියා රැසක් ද බිහි වෙනවා.

දේශීය කර්මාන්ත කඩා වැටුණේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමෙන් කියල මම හිතනවා. අදටත් හඳුන්කූරු ගෙන්වීම නතර කළහොත් අපේ රටේ හඳුන්කූරු කර්මාන්තය දියුණු කරන්න පුළුවන්.

“ජීවරාණි කර්මාන්තායතනය පිළිබඳව 1950 වසරේ පළවූ දිනමිණ පුවත්පතක පිටුවක අතිරේකයක් අදත් එම නිවසේ රාමුකර තබා ඇත. දශක හයක් ගෙවී ගොසිනුත් හමන ජීවරාණි සුවඳ රැල්ල අපට විඳ ගත හැකි විය.

 

 සුනිල් ස්ටැන්ලි,කළුතර මධ්‍යම සමූහ

 

Comments