විෂ පොල්තෙල් රට පුරා ගිහින්ද? | Page 2 | සිළුමිණ

විෂ පොල්තෙල් රට පුරා ගිහින්ද?

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවීමට තවත් ඇත්තේ දින කීපයකි. ඒ අනුව දැන් අප කවුරුත් සිටින්නේ අවුරුදු කටේ යග පසුගිය වසරේ රට පුරා පැතිර ගිය කොරෝනා වසංගතය නිසා කැවුමක, කොකිසක හෝ කළු දොදොල් කෑල්ලක රස බැලීමට නොහැකි වූ අපේ රටේ වැඩි දෙනෙකු දත මැද ගෙන බලා සිටියේ මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද මහ ජයට සැමරීමට ඒ ඔවුන්ගේ අතමිට යහමින් සරුසාර වී ඇති නිසා නොව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් තෙල් තාච්චිය ළිපේ තබා කැවුම් හෝ කොකිස් කෑල්ලක රස නොබැලුවහොත් හිතට මොකක්දෝ සංකාවක් දැනෙන බැවිනි.

 

එහෙත් දැන් ඒ බලාපොරොතුව ද අපේ ඇත්තන්ගෙන් ඈතට ගොස් තිබේ. ඒ කොරෝනා වසංගතය තවමත් රට තුළ කොකං කරමින් සිටීම නිසා නොව අප රස කැවිලි සෑදීමට යොදා ගන්නා පොල්තෙල් බෝතලයට කොහෙදෝ දුර රටක සිට පැමිණි පිළිකා කාරක විෂබීජ රිංගා ගෙන ඇති බවට පැතීරී තිබෙන හා හූව මුල් කරගෙන ය. ඒ අනුව දැන් පොල්තෙල් බෝතලයක් දකින විටත් අපේ උපාසක අම්මලාගේ මුළු ගතම කිලිපොළා යන්නේ මරුවා තමන්ට අතවනා ළඟට අඩ ගසන්නාක් වැනි හැඟීමක් දැනෙන බැවිනි. එහෙයින් පොල්තෙල් ගැන කවුරුන් හෝ කතා කරන අයුරු ඇසෙනවිටත් අපේ වැඩි දෙනෙකුගේ ඇඟේ ලේ රත්වන්නේ ඉබේටමය.

පොල්තෙල් පිළිබඳව මේ හැම සංගදියක්ම ඇති වී තිබෙන්නේ මෑතකදී මෙරටට ආනයනය කර ඇතැයි කියන පොල්තෙල් ලීටර් දහස් ගණනක පිළිකාකාරක විෂබීජයක් අන්තර්ගතව ඇතැයි කියන සිද්ධියක් මුල්කර ගෙනය. ඊට පෙර මෙවැනි සිද්ධියක් ගැන අසන්නට නොලැබිණි. එහෙත් එමඟින් කියැවෙන්නේ එකල ආනයනය කෙරුණු පොල්තෙල්වල එම පිළිකාකාරක විෂබීජ නොතිබුණු බවක් නොවේ. ඇතැම්විට එදා ඒ ගැන හා හූවක් නොතිබෙන්නට ඇත්තේ ඒ පිළිබඳව පරීක්ෂණයක් නොකෙරුණු නිසා විය හැකිය.

අප තුළ ඒ ගැන සාධාරණ සැකයක් හට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට විදේශ රට වලින් පොල්තෙල් ආනයනය කරන ප්‍රධාන වෙළඳ සමාගම් තුනෙන් එක ආයතනයක හිමිකරුවකු ඉකුත් දා මෙරට සති අන්ත පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් දැකීමෙනි. එහිදී තම ආයතනය විදෙස් රට වලින් අශුද්ධ පොල්තෙල් මහා පරිමාණයෙන් ගෙන්වන බවත්, එම අශුද්ධ පොල්තෙල් වල ඇෆ්ලටොක්සින් වර්ග හතර පමණක් නොව පොලිසයිලික්, ඇරෝමැටික්, හයිඩ්‍රො කාබන්, ජලය සහ යකඩ අංශු වැනිද අඩංගු බවත් හෙළි කර තිබුණි. එසේම ඔහු සඳහන් කර තිබුණු අන්දමට ඔවුන් එම අශුද්ධ පොල්තෙල් වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ ඒවා තම ආයතනය මඟින් පිරිපහදු කිරීමෙන් පසුවය.

එසේම තම සමාගම මඟින් ආනයනය කරනු ලබන අශුද්ධ පොල්තෙල් පිරිපහදු නොකර එකම එක තෙල් බෝතලයක්වත් වෙළඳපොළට නිකුත් නොකෙරෙන බවටද හෙතෙම සහතික වෙයි.

කෙසේ වෙතත් එම වෙළඳ ආයතනයේ හිමිකරුවාගේ මතයයි. මෙරට වෛද්‍ය නිලධාරීන්ගේ මතයත් එකිනෙකට නොගැළපෙන අවස්ථාවක් ගැනද අසන්නට ලැබේ. එහිදී එම පුද්ගලයා සඳහන් කරන අන්දමට ඔවුන්ගේ ආයතනය මඟින් අනුගමනය කරනු ලබන පිරිපහදු වැඩ සටහන යටතේ පිරිපහදුවට ලක්කෙරෙන අශුද්ධ පොල්තෙල්වල අඩංගු ඇෆ්ලටොක්සින් ඇතුළු සියලුම විෂබීජ ඇතුළු අපද්‍රව්‍ය ඉවත් වේ. ඒ අනුව එම ආයතනය මඟින් දේශීය වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ එක දශමයක්වත් දූෂණයට පත් නොවූ සුපිරිසුදු පොල් තෙල්ය.

ඔහු එසේ කීවද ලංකා ප්‍රමිති අයතනයල පාරිභෝගික සේවා අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු වැනි රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් කියන්නේ ඇෆ්ලටොක්සින් නැමැති පිළිකා කාරකය අශුද්ධ පොල් තෙල්වලින් ඉවත් කිරීමට නොහැකි බවය.

ඒ අනුව අපට සත්‍යයකැයි පිළිගත හැක්කේ ඒ අතරින් කුමන පාර්ශ්වයේ මතය දැයි තීරණය කළ හැක්කේ අධිකරණ තීන්දුවකිනි. ඒ පිළිබඳව අපිට විශේෂඥ දැනුමක් නොමැති නිසාය.

කෙසේ වෙතත් අශුද්ධ පොල් තෙල් මහ පරිමාණ මට්ටමින් මෙරට ආනයනය කරන පෞද්ගලික ආයතන ප්‍රධානියාගේ ප්‍රකාශය අනුව අපට එක් කරුණක් පැහැදිලි වේ. එනම් මෙවැනි අශුද්ධ පොල් තෙල් මෙරට ආනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇත්තේ ද ගතවු කාලය තුළ බලයට පත්වූ ආණ්ඩු මඟින් බවය.

මේ අතර ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය අන්තර්ගත බව කියන අශුද්ධ පොල් තෙල් කන්ටේනර් 5ක්, ඒවා ඇතැයි කියන මැලේසියාවට හරවා යවා ඇතැයි ඉකුත් දා ජනමාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණේය. තවත් කන්ටෙනර් 8ක් එලෙස ආපසු හරවා යැවීමට නියමිතව ඇතැයි එම ජනමාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ දැන් ඉතින් බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැතැයි ජනතාව තුළ යම් විශ්වාසයක් ඇති කිරිමේ අදහසින් විය හැකිය.

විදෙස් රටවලින් මෙරටට ආනයනය කරනු ලබන පොල් තෙල් ඇතුළු වෙනත් ආහාර පාන මිනිස් පරිභෝජනයට සුදුසු දැයි පරික්ෂා කිරිම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක්ම පිහිටුවා තිබේ ද? ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික සේවා අධිකාරිය, කාර්මික හා ආයතනය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් පර්යේෂණ අංශ කීපයක්ම තිබුණ ද මෙරට සුළු කර්මාන්ත මෝල හිමියන්ගේ සංගමය ආනයනික පොල් තෙල්වල අඩංගු වී ඇතැයි කියන පිළිකා කාරක විෂබීජ ගැන කියන තුරුම ඔවුහු කිසිවක් නොදැන සිටියහ. ඇතැම් විට ඔවුන් සමහරුන් ඒ ගැන දැන සිටියේ ද ඒ ගැන මෑතක් වන තුරුම නිහඬව සිටියේ අල්ලසට හෝ වෙනත් වරප්‍රසාද වලට යට වීම නිසා විය හැකිය.

මේ අතර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවීමට තවත් ඇත්තේ දින කිහිපයකි. ඒ අනුව දැන් මෙරට වෙසෙන වැඩි පිරිසකගේ සිත තුළ බුර බුරා නැඟෙන සැකමුසු හැඟීමක් තිබේ. එනම් සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවෙස් වල තැනෙන කැවුම්, කොකිස්, මුං අළුවා වැනි රස කැවිලි වර්ග ආහාරයට ගැනීම කෙසේ වෙතත් බුදුන් වහන්සේ වෙනුවෙන් පහන් සිලක් දැල්වීම සඳහා විෂ රහිත පොල් තෙල් බිඳක් සොයා ගැනීමට හැකිවේ ද යන්න පිළිබඳවය. එහෙයින් සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පහන් සිලක් දැල්වීම සඳහාත් ජනතාවට විෂ රහිත පොල් තෙල් බිඳක් ලබාදීමටවත් රජයේ අවධාරණය යොමු විය යුතුය.

Comments