අපි කන හැටි දැනගන්න ‘බත්-කරි’ Indicator එළිදක්වයි | සිළුමිණ

අපි කන හැටි දැනගන්න ‘බත්-කරි’ Indicator එළිදක්වයි

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුරවැසියකු ගේ දෛනික ආහාර වේල සඳහා කොපමණ මුදලක් වැය වනවා ද යන්න පිළිබඳ, කාලය සමඟ ගණනය කරමින් අවබෝධයක් ලබා ගැනීම සහ එම ආහාරවල මිල වෙනස් වීම් සොයා ගැනීම අරමුණු කොට ගෙන, 'බත්-කරි' විශේෂ දර්ශකය (Indicator) පසුගියදා හඳුන්වා දෙන ලදී.

ශ්‍රී ලංකාවේ ආර්ථික සමීක්ෂණ සිදු කරන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් සඳහා තොරතුරු සහ දත්ත සැපයීමෙන් සහාය දක්වන, Advocata ආයතනය විසින් හඳුන්වා දෙන ලද මෙම 'බත්-කරි' දර්ශකය පිළිබඳ එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු අදහස් දැක්වූයේ මෙලෙසිනි.

ජීවන වියදම අඩුකර ගැනීම පිළිබඳ නිතර කතා කරන ප්‍රතිපත්ති සම්පාදකයන් සහ දේශපාලනඥයන් සඳහා මෙම දර්ශකය, විශාල අත් වැලක් සපයනවා. ඔවුන්ට සේම, ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටමත් මෙය එක සේ ප්‍රයෝජනවත් වන අතර, තමන් ගේ සහ තම පවුලේ සාමාජිකයන් ගේ බත් පත වෙනුවෙන් වැය වන මුදල පිළිබඳවත්, තම පවුලේ ආදායම සහ වියදම පිළිබඳවත්, විශාල අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම දර්ශකය අප ගණනය කරන ක්‍රමවේදය වන්නේ, මෙරට පොදු ජනතාව බත් වේලක් සඳහා භාවිත කරන බහුලම ආහාර වර්ග කිහිපයක මිල අඩු වැඩි වීම් පදනම් කරගෙනයි. එය අප විසින් තෝරා ගත් ආහාර වට්ටෝරුවක් නොවෙයි. 2016 වසරේ අවසන් වරට මෙරට කරන ලද සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලංකාවේ ජනතාව බහුලව ආහාරයට ගන්නා ආහාර පිළිබඳ කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයි. සතියක් ගාණේ එම ආහාර වට්ටෝරුවේ මිල අඩු වැඩි වීම් ඔස්සේ මෙම දර්ශකය සැකසෙනවා. ඒ සඳහා අප තොරතුරු ලබා ගන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන්නා වූ, දත්ත සහ තොරතුරු මත පදනම්වයි.

Comments