අර­වින්ද් කුමාර් සහ කඳු­රට ජනතා පෙර­මුණේ ගැටුම | සිළුමිණ

අර­වින්ද් කුමාර් සහ කඳු­රට ජනතා පෙර­මුණේ ගැටුම

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර්
පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර්

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අරවින්ද් කුමාර් කඳුරට ජනතා පෙරමුණෙන් ඉවත් කර තිබේ. මේ සන්දර්භය තුළ, කඳුරට ජනතා පෙරමුණේ සහ එහි අනුබද්ධ සන්ධානයන් හි සියලු දේශපාලන කටයුතුවලින් ඔහුව ඉවත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කර ඇත. පක්ෂ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අරවින්ද් කුමාර් පක්ෂයෙන් නෙරපන බව කඳුරට ජනතා පෙරමුණ නායක වී. රාධාක්‍රිෂ්ණන් සිය කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දුන්නේය.

විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත වූයේ 2020 ඔක්තෝබර් 22 වැනි දිනය. පනත් කෙටුම්පතේ දෙවන හා තෙවන වර කියැවීමට පක්ෂව ඡන්ද 156ක් සහ විරුද්ධව ඡන්ද 65ක් හිමි විය. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් වන නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච්. එම්. එම්. හාරිස්, සහ එම් එස් තවුෆික්, මුස්ලිම් ජාතික සන්ධානයේ මන්ත්‍රී ඒ. ඒ. එස්. එම්. රහීම්, ද්‍රවිඩ මහජන පෙරමුණේ නියෝජනයක් ලෙස සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ කඳුරට ජනතා පෙරමුණේ මන්ත්‍රී අරවින්ද් කුමාර් සහ සමගි ජන බලවේගයෙන්ම ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉෂාක් රහමාන් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ලංකා කම්කරු කොංග්‍රසයේ ආරම්භක මහ ලේකම්වරයකු වූ එම්.එස්.සෙල්ලසාමිගේ හිතවතකු වූ තලවකැලේ රෙදිපිළි වෙළෙඳසැලක හිමිකරුවකු වූ පෙරියසාමිගේ ඉල්ලීමකට අනුව ලංකා කම්කරු කොංග්‍රසය හා සම්බන්ධ කරගත් පෙරියසාමිගේ පුත් පී. චන්ද්‍රසේකරන්ව පසු කලෙක ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ අංශයේ නායකයා බවට පත් කළේය. එසේ කටයුතු කරමින් සිටිය දී චන්ද්‍රසේකරන් තරුණ පිරිස හා එක්ව සැලසුම් කරන්නට ගිය විවිධ සටන් පිළිබඳව පැහැදීමක් නොවූ තැන එහි නායක සෞම්‍යමූර්ති තොණ්ඩමන් විසින් අවස්ථා කිහිපයක දී තදින්ම අවවාද කරන්නට විය. කොංග්‍රසය යනු අහිංසාවාදී සංවිධානයක් බවත් එතුළ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවන්ට ඉඩක් නැති බවත් සඳහන් කරන්නට විය. ඒ තුළ ලංකා කම්කරු කොංග්‍රසය හා ඇතිවූ මත ගැටුමක් මත 1986 දී චන්ද්‍රසේකරන් කොංග්‍රසයෙන් ඉවත් වී 1989 දී කඳුරට ජනතා පෙරමුණ ගොඩ නඟමින් එහි නිර්මාතෘ බවට පත්විය.

මේ පක්ෂය වෙනත් වතු වෘත්තීය සමිතිවලටත් වඩා වෙනස් ස්වරූපයක් ගත්තේ කොටි සංවිධානය සමඟ සමීප සබඳතාවක් ඇතිව ආරම්භ කිරීම නිසාය.

කොටි සංවිධානය විසින් කොළඹ නගරය ඉලක්ක කරගෙන බෝම්බ පිපිරවීම් රැසක්ම සිදු කළ අසූව දශකයේ සිදු වූ විශාලතම බෝම්බ සිද්ධිය වූයේ කොළඹ මධ්‍යම විදුලි පණිවුඩ කාර්යාලය හෙවත් සීටීඕ බෝම්බ සිද්ධිය විය. ඊට සම්බන්ධ වරදන් නමැති කොටි සැකකරුවකුට රැකවරණ දීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් චන්ද්‍රසේකරන් බන්ධනාගාරගතව සිටියදීම 1994 පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කර ජය ලැබුවේය. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයන්ට ආණ්ඩුව පිහිටුවන්නට චන්ද්‍රසේකරන්ගේ සහය අවශ්‍ය විය. ඒ අනුව කඳුරට ජනතා පෙරමුණ ගත් පළමු දේශපාලන පියවර එය විය. ටික කලකින් චන්ද්‍රසේකරන් අධිකරණය මඟින් නිදහස් කරනු ලැබිණි.

චන්ද්‍රසේකරන් 1994 වසරේ ගනු ලැබු දේශපාලන තීන්දුවත් සමඟ ඔහුගේ දේශපාලන ගමන් මඟ වමටම හැරිණි. දේශපාලන වශයෙන් වාමාංශිකයකු ලෙස ගමන් කළ ඔහුගේ, කඳුරට ජනතා පෙරමුණ සමඟ අරවින්ද කුමාර් එක්වන්නේ 2004 දී කඳුරට ජනතා පෙරමුණ භාණ්ඩාගාරික ලෙසය. එ් වසරේ පැවැති පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙමින් කඳුරට ජනතා පෙරමුණේ ඉතිහාසයේ පළමුවන පළාත් සභා නියෝජනය ලෙස ඌව පළාත් සභාවට තේරී පත්විය. මුල් වරට 2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කර පරාජයට පත් වූ අරවින්ද් කුමාර් 2015 හා 2020 පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණවල දී පාර්ලිමේන්තුවට ද තේරී පත්විය.

කෙසේ වෙතත් විධායක ජනාධිපති ධූරයේ බලතල අඩු කරමින් ගෙනෙන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතිකාවේ දී 20 වන සංශෝධනයක අවශ්‍යතාව මැනවින් අවබෝධ කරගෙන සිටි අරවින්ද් කුමාර ඊට සහය දැක්වීය. මෙය කඳුරට ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක නියෝජනය වූ දෙමළ ප්‍රගතිශීලි පෙරමුණට මරු පහරක් විය.

දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන් 20 වන සංශෝධනයට ඡන්දය දුන් පසු දිනම අරවින්ද් කුමාර් සිය සන්ධානයෙන් නෙරපූ බව නිවේදනය කළේය. එමෙන්ම කඳුරට ජනතා පෙරමුණද ඔහුව ඉවත් කිරීමට වහා පියවර ගත යුතු යැයි එහි නායක රාධාක්‍රිෂ්ණන් වෙත දැනුම් දුන්නේය. එසේ දැනුම් දී මාස ගණනාවක් ගතවී ඇතත් ඒ පිළිබඳව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් විසින් එල්ල කරන ලද බලපෑම් මත අරවින්ද් කුමාර්ව සිය පක්ෂයෙන් ඉවත් කිරීමට රාධාක්‍රිෂ්ණන් පියවර ගත්තේය.

පී. චන්ද්‍රසේකරන් කඳුරට ජනතා පෙරමුණ ආරම්භ කළ දා පටන් නොයෙකුත් බලපෑම් එල්ල වුවත් ඔහු ඒ කිසිවකට නොසැලී තීන්දු තීරණ ගත්තේ ස්වාධීන පක්ෂයක් ලෙසය. එහෙත් අද වනවිට කඳුරට ජනතා පෙරමුණ දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ හරහා සමඟි ජනබලවේගයට උකස් කර ඇති බවත් පෙනී යයි.

දේශපාලන පක්ෂයක් සන්ධානයකට එක් වූ පමණින් පක්ෂයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට සන්ධානයට බලයක් නැතත් එම බලයත් දෙමළ ප්‍රතිශීලි පෙරමුණට ලබාදී පක්ෂය රාධාක්‍රිෂ්ණන් විසින් පාවා දී ඇතැයි කඳුරට ජනතා පෙරමුණ ජ්‍යෙෂ්ඨයෝ සඳහන් කරති.

වාමාංශික දේශපාලන බලවේගයක් ලෙසින් ක්‍රියාත්මක වූ කඳුරට ජනතා පෙරමුණ පී. චන්ද්‍රසේකරන්ගෙන් පසු බලයට පත් වන ඔහුගේ භාර්යාව වූ ශාන්තිනි චන්ද්‍රසේකරන් ඉවත් කර රාධාක්‍රිෂ්ණන් නායකත්වයට පත්වන අතර එහි නියෝජ්‍ය ලේකම් ලෙස සිටි අනුෂිකා චන්ද්‍රසේකරන් ද එම තනතුරින් ඉවත් කරන්නට පියවර ගනිමින් අද එහි චන්ද්‍රසේකරන් කියනා නාමය පවා නැතිකර දැමුවේය.

චන්ද්‍රසේකරන්ගේ නාමය දෛනිකව සිහිපත් කරමින් කටයුතු කළ අරවින්ද් කුමාර් ද අහිමි කරමින් යන ගමන පිළිබඳව වතුකරයේ ජනතාව ද අවධානයෙන් පසුවෙති.

Comments