
විෂය කරුණු අලුත් ක්‍රමවේද අනුව කොයි තරම් රසවත්ව ඉගැන්නුවත් වැඩක් නැහැ දරුවන්ට මතක හිටින්නේ නැතිනම්...
දහය වසරේ පළමුවන විද්‍යාව පාඩම සඳහා කාලපරිච්ඡේද 5ක් වෙන් කළත් මේ ක්‍රමයට අනුව කාල පරිච්ඡේද 2ක් ප්‍රමාණවත්...
වචනවලට වඩා රූප මතකයේ තැන්පත් වීම නිසා ළමයින්ගේ නිර්මාණ ශක්තිය වේගයෙන් වර්ධනය වුණා...
පාසලේ කාඩ් සෙල්ලම් කරමින් විනෝද වන දරු පිරිසකට කාඩ් කුට්ටමක් උපයෝගි කර ගනිමින් ගණිත භාග සුළු කිරීමේ පාඩමක් කියාදෙන අසේල නම් තරුණ ගුරුවරයා අපට හමු වන්නේ ‘තාල’ චිත්‍රපටයේ ය. “උඹලා අදත් බූරුවො ගහනවා නේද?” යනුවෙන් විදුහල්පතිවරයා පන්තියට පැමිණ බැණ වදින්නේ ඔහු අලුත් ඉගැන්වීමේ ක්‍රම ගැන නොදන්නා බැවිනි.
මෙවැනි නව ඉගැන්වීමේ ක්‍රම මඟින් ඉගෙනගැනීම එපා වී පොතක් අතින් අල්ලන්නේ නැති දරුවන් පොත බිමින් තියන්නේ නැති තත්ත්වයට පත් කළ හැකිය. පාඩම් කිරීමට ඇති අකමැත්ත, පාඩම්වල ඇති නීරස බව, පාඩම් මතකයේ තබා ගැනීමට ඇති අපහසුව වැනි කරුණු නිසා බොහෝ දරුවන්ට ඉගෙනීම එපා වේ.
ඉගෙනගැනීමට ආසාවෙන් පාසලට ඇතුළත් වන දරුවන්ගෙන් සිසුන් සුළු පිරිසක් අති සාර්ථකව ඉගෙනීමේ කටයුතු කරන විට බහුතරයක් අපේක්ෂිත මට්ටමට ළඟා නොවන්නේ එබැවිනි.
ඊට විසඳුමක් වශයෙන් නව ක්‍රමෝපායන් අනුව දරුවන් අධ්‍යාපනයට නැඹුරු කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන් අයකු අපට හමුවිය. ඔහු දිලීප වන්නිආරච්චිය. ඵලදායිතා සංවර්ධන උපදේශකවරයකු ලෙස කටයුතු කරන ඔහු, දරුවන්ට නව ඉගැන්වීමේ ක්‍රමවේදය අන්තර්ගත "9As වැඩමුළුවේ" නිර්මාතෘවරයා වෙයි.
“පාසල් එන සෑම දරුවකුටම ඉගෙනගන්න වුවමනාව තියෙනවා. ඒත් අතරමගදි කැපවීම සහ ඉගෙනීමට ඇති කැමැත්ත නැතිවෙලා යනවා. දරුවන් අධ්‍යාපනයෙන් පසුගාමී වන විට අම්මලා තාත්තලා දරුවන් අමතර පන්ති යවනවා.
එහිදී උගන්වන දේ නැවත නැවත අවධාරණය කෙරෙනවා. ඒත් එය මතකය පිළිබඳ ගැටලුවට සාර්ථක විසඳුමක් නොවෙයි. දරුවන්ට උගන්වන දේ අවබෝධ නොවීම වගේම නීරස වීමත් මතකයේ නොරැඳීමත් යන කාරණ නිසා දරුවන්ගේ ඉගෙනීමට ඇති උනන්දුව දියාරු වෙලා යනවා. ඒ නිසයි අපිට අලුත් ක්‍රමෝපායන් ගැන හිතන්න සිද්ධ වෙන්නේ” යනුවෙන් දිලීප වන්නිආරච්චි සඳහන් කළේය.
ඔහුට මේ සඳහා බලපා තිබුණේ සිය දියණියගේ අධ්‍යාපනයයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ දියණිය පන්තියේ ඉතාමත් පහළ මට්ටමක පසු වූවාය. පාසල්වලට ගොස් ඵලදායිතා සංවර්ධන වැඩමුළු පැවැත්වීම නවතා දමන ලෙස ඔහුගේ බිරිඳ චෝදනා කළේ දියණියගේ ඉගෙනීමේ කටයුතුවල ප්‍රවර්ධනයක් පෙන්නුම් නොකරන නිසාය.
මේ වන විට අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට දියණියට තිබුණේ මාස කීපයකි. දියණියගේ ඉගෙනීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ දිලීප වන්නිආරච්චි විෂය කරුණු ඉහළ සිට පහළට ගලා යෑම ගැලීම් සටහන්වලට (flow chat) පරිවර්තනය කළේය. එය ඉගෙනීමට විශාල පහසුවක් විය.
9AS වැඩසටහන් මාලාවේ නිර්මාතෘ දිලීප වන්නිආර්ච්චි
“විෂය කරුණු අලුත් ක්‍රමවේද අනුව කොයි තරම් රසවත්ව ඉගැන්නුවත් වැඩක් නැහැ දරුවන්ට මතක හිටින්නේ නැතිනම්. ඒ නිසා මම මතක ශක්තිය ගැන වෙනම අධ්‍යයනයක් කළා.
ඒ අනුව ජීව විද්‍යාත්මකව දිගුකාලීන මතකය ඇති වීමට නම් මොළයේ න්‍යුරෝන අතර glutamate ධාරා ප්‍රබල ලෙස තිබිය යුතු බව මට දැනගැනීමට හැකි වුණා. ප්‍රතිග්‍රාහක න්‍යුරෝන අග ඇති ඩෙන්ඩ්‍රිට්වල තිබෙන ඇම්පා නමැති ප්‍රතිග්‍රාහක තුළින් විශාල සෝඩියම් අයන ප්‍රමාණයක් ඇතුළු වී පීඩනයක් ඇති කරලා NMDA ප්‍රතිග්‍රාහකයේ සිර වී ඇති මැග්නීසියම් අයන ඉවත් කරනවා. ඊටපස්සේ NMDA ප්‍රතිග්‍රාහකය තුළින් කැල්සියම් සහ සෝඩියම් අයන ඇතුළු වෙනවා. ඒවා ඇතුළු වුණාට පස්සේ දිගුකාලීන මතකය (LP) ඇති වෙනවා. Glutamate විදුලි ධාරා නිකුත් නොවන තාක් කල් මතකයේ රැඳෙන්නේ කෙටි කාලයක් විතරයි. ඒ නිසා මැග්නීසියම් අයන ඉවත් කර, කැල්සියම් සහ සෝඩියම් අයන ඇතුළු කරලා පාඩම් කිරීමේදී දිගුකාලීන මතක ශක්තිය ඇති කිරීමේ ක්‍රියාකාරකම්වලට දරුවන් නැඹුරු කිරීමට මම පෙලඹුණා. මේ සඳහා මම උපයෝගි කර ගත්තේ වර්ණ (colour), රටා ගැන්වීම (pattern) සහ චිත්ත සිතියම් (mind map) කියන සාධක” දිලීප වන්නිආරච්චි වැඩිදුරටත් පැහැදිලි කරමින් කීවේය.
අවසානයේදී ඔහුගේ දියණිය අ.පොස.සාමාන්‍ය පෙළ විශිෂ්ට අයුරින් සමත් වී අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලැබුවාය. දියණියට ඉගැන්වීමට යොදා ගත් නව ක්‍රමෝපායන් භාවිත කරමින් ඉගෙනගැනීම අත් හැර දමා සිටින සිසුන් ඉගෙනීම කෙරෙහි නැඹුරු කරගත හැකි නොවේදැයි ඔහුට සිතුණේ ඉන් අනතුරුවය.
ඒ අනුව සුවිශේෂි ක්‍රම 11ක් මඟින් දරුවන්ට විෂය කරුණු අවබෝධ කර ගැනීමට පුහුණු කෙරේ. මෙම සංකල්පය "9As"යනුවෙන් හැඳින්වේ. ඊට අයත් ඉගැන්වීමේ ක්‍රම 11 වන්නේ පාඩම් වර්ගීකරණය, ගැලීම් සටහන් ක්‍රමය, සටහන් නිර්මාණය, චිත්ත සිතියම, QM ක්‍රමය, ආපසු සිතීමේ ක්‍රමය, Matrix ක්‍රමය, Flash cards, තාර්කික සිතීමේ ක්‍රමය, දෘෂ්ටිකෝණ විශ්ලේෂණය හා අවබෝධාත්මක ප්‍රශ්න නිර්මාණ ක්‍රමයයි. මෙම ක්‍රම මඟින් දරුවන්ට සරලව හා ගැඹුරින් හැදෑරීමට හැකි වූ බව ඔහු විසින් පවත්වන ලද වැඩමුළුවලදී අනාවරණය විය.
2018 වසරේදී පමණ ආරම්භ කළ 9As වැඩමුළුව මේ වන විට ලංකාවේ පාසල් 30ක පමණ සාර්ථකව පවත්වා ඇත. කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල, කඳාන ද මැසිනෝද් විදුහල, මීගමුව සාන්ත පීතර විදුහල, මහනුවර ධර්මරාජ විදුහල ඉන් කීපයක් පමණි. මෙම වැඩමුළුවලට සහභාගි වන දරුවන්ට කිසිම ආකාරයකින් විෂය කරුණු ඉගැන්වීමක් නොකිරීම, මෙහි ඇති සුවිශේෂිත්වයයි. පාසලේ පන්තියේ දුර්වල ලෙස හඳුනාගෙන සිටි දරුවන් සියලුදෙනාම 100% සිට 300% දක්වා විශාල ප්‍රගතියක් පෙන්නුම් කිරීමත් සමඟම මෙය ගුරු භවතුන්ගේ පමණක් නොව මවුපියන්ගේ ද පුදුමයට හේතු විය.
“මම නිර්මාණය කළ 9As සංකල්පයට අනුව රූප යොදාගෙන Flash card හදන එක දරුවන්ට විනෝදජනක ක්‍රීඩාවක් වුණා. මම හැම තිස්සෙම දරුවන්ට කියන්නේ flash card වල වචන ලියන්න එපා, රූප අඳින්න කියලා. ඒවා විකාර රූප වුණත් කමක් නැහැ. මොකද වචනවලට වඩා රූප තමයි මතකයේ තැන්පත් වන්නේ. මේ ක්‍රමය නිසා ළමයින්ගේ නිර්මාණ ශක්තිය වේගයෙන් වර්ධනය වුණා. මම ඒකට උදාහරණයක් කියන්නම්. එක පාරක් මම මුන්දලමෙ පාසලක වැඩමුළුවක් පැවැත්වුවා. එතැනදී ත්‍රිකෝණමිතිය පාඩමේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයට flash card හදන්න දුන්නා. ළමයි එය කොයි තරම් හොඳින් කළාද කියනවා නම් ගෑනු ළමයි දෙන්නෙකුයි පිරිමි ළමයි දෙන්නෙකුයි එකතු වෙලා අලුත් ප්‍රමේයයක් හැදුවා. පිරිමි ළමයෙක් ඒ ගැන හිතලා තිබුණේ වහලයේ දාලා තියෙන බාල්කවලින්. ගෑනු ළමයකුට උදවු වෙලා තිබුණේ පාසලේ පිට්ටනියේ හැඩ.”
දිලීප වන්නිආරච්චි එසේ කීවද එහෙත් ඇතැම් ගුරුභවතුන් ඔහුගේ 9As සංකල්පය යටතේ දරුවන්ට ඉගැන්වීමට කැමැත්තක් දැක්වූයේ නැත. එයින් විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීමට නොහැකි බවත් සෑම විෂයකටම මෙම ක්‍රමෝපායන් නොගැළපෙන බවත් ඇතැම් ගුරුභවතුන්ගේ තර්කය විය. වරක් ඔහුගේ වැඩමුළුවකදී පාසලේ ප්‍රධානාචාර්යවරයකු විවේකයක් ලබාදී වැඩමුළුව නැවැත්වීමට කටයුතු කර තිබුණේ නව ක්‍රමෝපායන් කෙරෙහි ඇති අකමැත්ත නිසාය. කට පාඩම් කිරීම, කෙටි සටහන් ක්‍රම හා ශබ්ද නඟා කියවීම වැනි යල් පැන ගිය ක්‍රමවලට ඔවුන් සීමා වී තිබුණි.
“මේ ඉගැන්වීමේ ක්‍රමයෙන් දරුවා ඉතා ආශාවෙන් විනෝදයෙන් ඉගෙන ගන්නවා. ඒවගේම ගුරුභවතුන්ට විෂය කරුණු අකුරෙන් අකුර පැහැදිලි කිරීමට අවශ්‍ය නොවන නිසා කාලය ඉතිරි වෙනවා. උදාහරණයක් හැටියට 11 වසර ඉතිහාසය පළමු පාඩම වන කාර්මික විප්ලවයට ගුරු අත්පොතේ කාල පරිච්ඡේද 7ක් වෙන් කරලා තියෙනවා. ඒත් අපේ ක්‍රම භාවිත කරන දරුවන් සිටින පන්තියක ගුරුවරයකුට උපරිම කාල පරිච්ඡේද 2ක් තුළ මුළු පාඩම සම්පූර්ණ කරන්න පුළුවන්. 10 වසරේ පළමුවන විද්‍යාව පාඩම වන ජීවයේ රසායනික පදනම සඳහා කාලපරිච්ඡේද 5ක් වෙන් කළත් අපේ ක්‍රමයට අනුව කාල පරිච්ඡේද 2ක් ප්‍රමාණවත්” දිලීප වන්නිආරච්චි පවසන්නේ අත්දැකීම් ඇසුරෙනි.
මේ වන විට දරුවන්ගේ සාර්ථකත්වය අවබෝධ කර ගත් මවුපියන් මෙන්ම ගුරුවරු සහ ප්‍රධානාචාර්යවරු 9As වැඩමුළු පැවැත්වීමට දිලීප වන්නිආරච්චිට ඇරයුම් කරති. පාඩම් කිරීම එපා වී සිටි දරුවන් ආසාවෙන් ඉගෙනගන්නා ආකාරය ගැන ඔවුන්ට ද පුදුම සහගත ය. කොරෝනා වසංගතය හමුවේ Zoom තාක්ෂණය ඔස්සේ ඔහු පුහුණු කළ දරුවන් 108 දෙනෙක් පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියහ.
ඔහුගේ නව ඉගැන්වීම් ක්‍රම අනුව දැනට ඉගෙනගන්නා පිරිස 130කි. නව ක්‍රමෝපායට අනුව ඔහු 6 වැනි පන්තියේ සිට අ.පොස. උසස් පෙළ දක්වා සිසුන්ට ඉගැන්වීමේ නිරත වී සිටියි. Born To Win Relationships ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ හා ඵලදායිතා සංවර්ධන උපදේශක දිලීප වන්නිආරච්චි සඳහන් කළේ ඔවුන්ගේ ආයතනය මඟින් පවත්වනු ලබන මෙම නව ඉගැන්වීමේ ක්‍රමයෙන් කීපදෙනකු පමණක් සාර්ථක වන අධ්‍යාපනය ක්‍රමයට අවසන් තිත තබා “සියලු ළමයි ඉගෙනීමට වෙයි සමත” යන්න ඉලක්ක කර ගත හැකි බවයි.