ගුවන් හමුදාවේ රොෂාන් ගීනස් වාර්තා පොතට | සිළුමිණ

ගුවන් හමුදාවේ රොෂාන් ගීනස් වාර්තා පොතට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොෂාන් ලෝක වාර්තා අත­රට එක්වූ අව­ස්ථාව

“මගේ ගෙවල් තියෙන්නෙ මාතර, මුහුද අද්දර. මුහුද මට හොඳට හුරුයි. අපි පොඩි කාලේ ඉඳලා මුහුදේ පීනනවා. වෙරළේ සෙල්ලම් කරනවා. ඒ නිසාම මුහුදේ, මුහුදු වෙරළේ වෙන පොඩි වෙනස්කමක් පවා මට ඉක්මනින් දැනෙනවා. දැන් ඉස්සරට වඩා මුහුද හැඩි වෙනවා. වෙරළ හැඩි වෙනවා. ප්ලාස්ටික්, පොලිතින් හැමතැනම. වතුර අපිරිසිඳුයි. ගොඩබිම, වෙරළේ කුණු එකතු වෙනවා. පොඩි කාලේ ඉඳන් හුරු පුරුදු පරිසරය මෙහෙම විනාශ වෙමින් යනවා මට හොඳින්ම දැණුනා. ඒක මට ලොකු දුකක්. මේ විනාශය වළක්වන්න මට පුළුවන් උපරිමයෙන් කුමක් හෝ කරන්න ඕනේ කියලා හිතුවා. මම ලෝකය පුරා මගේ නම ප්‍රසිද්ධ වෙන දෙයක් කළොත්, මගේ පණිවිඩයත් ලෝකයට ගෙනියන්න පුළුවන් වෙයි කියලා මම තීරණය කළා. ඒ අනුව තමයි මම මගේ හැකියාවත් උපයෝගී කරගෙන පෝක් සමුද්‍ර සන්ධිය පිහිනන්න කටයුතු කළේ..“

 

පැය පහකට පසු විනාඩි පහක විවේකයක්

 

ඔහු 32 හැවිරිදි මාතර වල්ගම රොෂාන් අබේසුන්දරය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භටයකු වන ඔහු මේ වන විට තම නාමය මෙන්ම ශ්‍රී ලංකාවේ නාමයද ලෝක වාර්තා පොත් අතරට ගෙන ගොස් අවසන්ය. පසුගියදා ඔහු ලංකාවත්, ඉන්දියාවත් වෙන් කරන පටු මුහුදු තීරය වන පෝක් සමුද්‍ර සන්ධිය පැය 28කුත් මිනිත්තු 19ක් තුළ පිහිනා ලෝක වාර්තා අතරට ගියේය.

ඔහු ඒ මහා ප්‍රයත්නය දැරුවේ, එය සාර්ථක කර ගත්තේ අන් කිසිවක් නිසා නොව පරිසරය කෙරෙහි තමා තුළ වන ආදරය නිසාවෙන්මය. පරිසරය සුරැකීමේ පණිවිඩය ලොවට ගෙන යා යුතු නිසාවෙන්මය. රොෂාන් ගුවන් හමුදාවට බැඳෙන්නේ වයස අවුරුදු 19දීය. ඔහුට යුද්ධයද මුණ ගැසෙන්නේය.

යුද කාලයේදී වව්නියා, වන්නි වැනි ප්‍රදේශවල ක්‍රියාන්විත රාජකාරිවලද නියැළුනේය. සාමය පැමිණීමෙන් පසු රොෂාන් තමන් සතු දක්ෂතාවලින් ලොවට යමක් කළ යුතු බව තීරණය කරන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔහුට ඒ සඳහා අවස්ථාව සපයන්නේය.

“මම තෝර ගත්තේ මුහුදු පිහිනුම්. මුහුද මට හුරුයි. ඒත් මට ඕනෙ කළා විශේෂයක්. මම ගොඩක් දුර පීනන්න පටන් ගත්තා. මුලින්ම මම මාතර ඉඳන් කොග්ගලට පීනුවා. ඒ දුර කිලෝමීටර් 25ක් මට පැය දහයක් ගියා ඒ දුර පීනන්න. ඊට පස්සේ මම මාතර ඉඳලා හික්කඩුවට පීනුවා. එතන කිලෝමීටර් 49ක්. මම ඒ දුර පැය 23කින් පීනුවා. මගේ ලෝක වාර්තාව මම තිබ්බේ ඊට පස්සේ. ඒ පෝක් සමුද්‍ර සන්ධිය පීනලා“

අවුරුදු පනහක් පැරණි වාර්තාවක් බිඳ දමයි

 

එහි මුළු දුර කිලෝමීටර් 60කි. ශ්‍රී ලංකාවේ මන්නාරමේ සිට ඉන්දියාවේ දනුෂ්කොඩි දක්වා පිහිනාගෙන යෑමටත්, යළි පිහිනාගෙන ඒමටත් රොෂාන් අබේසුන්දරට ගත වන්නේ පැය 28කුත් මිනිත්තු 19කි. එය ලෝක වාර්තාවකි.

ඒ සමඟින්ද ඔහු බිඳ දමන්නේ වසර 50ක් පැරණි වාර්තාවකි.

ඒ 1971 වසරේදී කුමාර් ආනන්දන් පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා තැබූ වාර්තාවයි. එහිදී කුමාර් ආනන්දන්ට ඒ සඳහා පැය 51ක් ගත වුවද රොෂාන් එයට වඩා ඉතා කෙටි කාලයකින් මේ දුර තරණය කළේය. එසේ කිරීමට රොෂාන්ට හැකියාව ලැබුණේ කෙසේද? අපි ඒ ගැන ඔහුගෙන් විමසුවෙමු.

“පිහිනුම් තාක්ෂණය මෙතනදී ඉතා වැදගත්. ඉස්සරට වඩා දැන් පිහිනුම් තාක්ෂණය දියණුයි. වඩා වේගයෙන් සහ පහසුවෙන් පිහිනීමේ ක්‍රම ගැන දැන් මිනිසුන් දැනුම්වත්. මමත් මේ ක්‍රම හැදෑරුවා. පුහුණු වුණා. උපදෙස් ගත්තා.

ඒ නිසා මම හිතනවා මට වඩා වැඩි වේගයකින්, වඩා අඩු කාලයකින් මේ දුර පිහිනා යන්න හැකියාව ලැබුණා කියලා.“ රොෂාන් එසේ පවසන්නේය.

ඔහුගේ මේ වෑයම නිරීක්ෂණය කිරීමට ලෝක ජල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් පැමිණෙන්නේය. ඒ අතරින් සිවු දෙනෙක් ශ්‍රී ලංකාවේ සීමාවේත් සිවු දෙනෙක් ඉන්දියාවේ සීමාවේත් රැදෙමින් තරගය නිරික්ෂණය කරන්නේය. මේ විනිසුරුවන්ගේ තීරණය වන්නේ රොෂාන් කිසිඳු දුර්වලතාවයකින් තොරව තම ඉසව්ව අවසන් කළ බවයි.

“පිහිනීමේදී පැය පහකට පසුව විනාඩි පහක් විවේක ගන්නට පුළුවන්. එතනදී දිය මතුපිට පාවෙමින් ඉන්න පුළුවන්. කෑම කන්න පුළුවන්. ඒත් බෝට්ටුවට ගොඩවෙන්න හෝ බෝට්ටුව අල්ලන්න බැහැ. කාගේවත් අතකින්වත් අල්ලන්න බැහැ. මගේ සහයට හිටපු 32 දෙදෙනෙකුගේ කණ්ඩායම එවැනි විවේක අවස්ථාවලදී සර්ෆ් බෝඩ්එකක තියලා මගේ ළඟට කෑම එවුවා.“

 

තලෙයිමන්නාරම් මුහුදේදී ජෙලි ෆිෂ් ගෙන් කරදර

 

ඔහු තම දුෂ්කර වෑයම ජයගත් ආකාරය එසේ පවසන්නේය. මේ පිහිනුම අතරතුර ඔහු චොක්ලට්, යෝගට් සහ පලතුරු වර්ග ආහාරයට ගන්නේය.

තලෙයිමන්නාරම පසුකරමින් පිහිනා යන විට ඇඟේ ගෑවුණු ජෙලි ෆිෂ් හේතුවෙන් තමන් අපහසුතාවට පත් වූ බවද රොෂාන් පවසා සිටින්නේය. ශ්‍රී ලංකාව ආසන්නයේ ගලා යන ජල ධාරාවන්ට වඩා ඉන්දීය සීමාවේ ජලය වඩා සීතල වූයෙන් තම ශරීර ශක්තිය බිඳ වැටේවි යැයි තමා බියපත් වූ බවද ඔහු සිහිපත් කරන්නේය. එහෙත් වඩා වේගයෙන් පිහිනමින් ශරීරය උණුසුම් කරගත් ඔහු සාර්ථකව අභියෝගයට මුහුණ දෙන්නේය.

“ මාතර ඉඳන් හික්කඩුවට පීනපු අවස්ථාවේදී මිනී මෝරෙක් මගේ වටේ ටික වෙලාවක් පීනමින් හිටියා.

බොහෝ අවස්ථාවලදී මිනිසුන් මේ විදිහට තනිව මුණගැහුනොත් මිනී මෝරුන් මිනිසුන්ට පහර දෙනවා. මම වතුර යටට ගිහින් මෝරා දිහා හොඳින් බැලුවා. මට පහර දෙන්න හදනවද කියලා.

ඒත් ඌ මට පහර දුන්නේ නැහැ. ඒ වගේම තමයි මෙවර මම පිහිනා යනකොට ඉන්දියාවට ආසන්න මුහුදේදී ඩොල්ෆින් මාළුන් දෙදෙනෙක් ටික දුරක් මාත් සමඟ පිහිනා ආවා. බෝට්ටුවල සිටි හැම දෙනාම ඒ සුන්දර දර්ශනය අත්වින්දා. “ රොෂාන් තම දුෂ්කර වෑයමේ සුන්දර අවස්ථා සිහිපත් කරන්නේය.

ලොකුම අරමුණ මුහුදේ සහ වෙරළේ ප්ලාස්ටික්, පොලිතීන් පිටුදැකීමයි

 

“මගේ එකම අරමුණ පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධ පණිවිඩය තවතවත් මිනිසුන් අතරට ගෙන යෑමයි. මේ සඳහා මට සහයෝගය ලබා දුන් ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ මහතාටත්, ක්‍රීඩා භාර නිලධාරී එස්. එන්. ප්‍රනාන්දුපුල්ලේ මහතාටත්, බළගණ නායක දිසානායක, බලලත් නිලධාරී දිසානායක සහ සැරයන් චන්දන ඇතුළු මට සහයෝගය දුන් ගුවන් හමුදාවේ සියලු දෙනා මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම තමයි මගේ පුහුණුකරු මාතර පොල්හේන ජල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන පුහුණු ආචාර්ය කේ.ඩබ්ලිව්. යසරත්න ( මවුන්ට්බැට්න් සම්මාන ලාභී) මහතා වත් සිහිපත් කළ යුතුමයි.

“ඒ වගේම මගේ පවුලේ සාමාජිකයන්, මගේ බිරිය මනෝජා විජයරත්න, මගේ අම්මා, තාත්තා සහ මගේ සහෝදරියන් මට ලබා දුන් සහයෝගය මම සිහිපත් කරන්නේ ඉතා ආදරයෙන්“ රොෂාන් එසේ පවසන්නේ තම ඉදිරි අරමුණු සම්බන්ධවද පවසන අතරදුරේදීය.

“මුහුද සහ වෙරළ ප්ලාස්ටික් , පොලිතීන්වලින් රැක ගැනීම තමයි මගේ එකම අරමුණ. ඒ වෙනුවෙන් මම ඉදිරියටත් මෙවැනි උත්සාහයන්වල නිරත වේවි“

 

රොෂාන් එසේ පවසන්නේ අනාගතයේදී ශ්‍රී ලංකාවෙන් බිහිවීමට ඉඩ තිබෙන තවත් ලෝක වාර්තා සම්බන්ධව ඉඟි කරමිනි.

තනියට ඩොල්ෆින්ලා දෙදෙනෙක්

 

රොෂාන්ගේ මේ වාර්තාව ලෝක වාර්තා පොත් අතරට යන විට ගිනස් වාර්තා පොතේ පොතේ පිටු අතර ශ්‍රී ලංකාවෙන් බිහිවී ඇති වාර්තා රැසක්ම හමුවේ. ඒ අතර ලොව වැඩිම නිවුන්නුන්ගේ හමුව, ලොව විශාලතම තේ කෝප්පය, ලොව දිගම වේල්පොට වැනි වාර්තා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වරින් වර තැබූ වාර්තා රාශියක්ද ඇතුළත්ය.

ශ්‍රී ලංකාව ආඩම්බරයෙන් ගිනස් වාර්තා පොතට එක්ව ඇත්තේ ලොව ප්‍රථම අගමැතිනිය මෙන්ම වැඩිම ‘අගමැතිනියන්‘ පිරිසක් බිහි කළ රටද වශයෙනි. ශ්‍රී ලංකාවෙන් අගමැතිනියන් දෙදෙනෙකු බිහිවී ඇත. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සිරිමා බණ්ඩාරනායකයි.

ලොව පැරණිම ‘මිනිසුන් විසින් පැළ කරන ලද බවට සාක්ෂි සහිත වෘක්ෂය ඇත්තේද ශ්‍රී ලංකාවේය. ඒ අප ජය ශ්‍රී මහා බෝධියයි. අප වන්දනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේද ගිනස් වාර්තා පොතට එක්වී ඇත්තේ වසර 2300ක ඉතිහාසයක්ද සමඟිනි. ඉංග්‍රීසි වචන සෑදීමේ ක්‍රීඩාවක් ස්ක්‍රැබල් ලෝක වාර්තාවක්ද ලංකාවෙන් බිහිවී ඇත්තේය.

ඒ තරගය ලක්ෂාන් වන්නිආරච්චි සහ යෙෂාන් ජයසූරිය නම් වන ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර පැවැත්වී ඇති අතර ඔවුන් එහිදී ලකුණු 1,96,525ක් ලබා ගැනීමට සමත් වී තිබේ.

ලෝකයේ ලොකුම තේ කෝප්පය ලෙස ලීටර් 4000කින් යුතු තේ කෝප්පයක් කොළඹදී සාදා ඇත්තේ 2010 ඔක්තෝබර් 10වැනිදාය. දෙවැනි මනාලියන් 126 දෙනෙකු යොදමින් ලොව මනාලියකට සිටිවැඩිම දෙවැනි මනාලියන් සංඛ්‍යාවද වාර්තා පොතට ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ නමද ඒ සමඟ ඈඳා ගනිමිනි.

එමෙන්ම කවදත් දේශපාලනයෙන් ලෝක වාර්තා අතරට යන ශ්‍රී ලංකාව ලොව වැඩිම කැබිනට් ඇමතිවරු සංඛ්‍යාවක් සහිත රට බවටද පත් වෙමින් ගිනස් වාර්තා පොතේ නොමැකෙන ලෙස නම සඳහන් කර ඇති බවද මෙහිලා ලියා තැබිය යුතුමය.

Comments