පේරාදෙණිය සරසවියේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ මිලියන 50ක් පිල්ලි ගැසූ හැටි | Page 5 | සිළුමිණ

පේරාදෙණිය සරසවියේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ මිලියන 50ක් පිල්ලි ගැසූ හැටි

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්වවිද්‍යාලයකි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්වවිද්‍යාලය මෙරට 2 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 2466 ස්‌ථානය හිමිකරගෙන ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලය පීඨ 9 කින්ද, පශ්චාත් උපාධි ආයතන 2 කින්ද, මධ්‍යස්ථාන 10කින්ද, අධ්‍යයනාංශ 71කින්ද යුක්ත ය. සිසුහු 12,000 ක් පමණ විවිධ ක්ෂේත්‍රවල ඉගෙනුම ලබති.

පේරාදෙණිය විශ්වවිද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය යනු ලංකාවේ ඇති එකම විද්‍යා පශ්චාත් උපාධි පිරිනමන ආයතනය වන අතර 1996 දි ආරම්භ වුවකි. මෙහි අධ්‍යයන වර්ෂයකට සිසුන් 2500 ක් පමණ අධ්‍යාපනය ලබති.

එසේම වෙනමම ව්‍යවස්ථාවකින් හා පරිපාලනයකින් සමන්විත ආයතනයකි. මෙහි පාලනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පත්කරන අධ්‍යක්ෂවරයකු යටතේ සිදු වෙයි.

මෙහි මහා පරිමාණයෙන් සිදුවූ මූල්‍යමය වංචාවක් අනාවරණය වන්නේ 2016 දීය. ඒ එම ආයතන විසින් පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු වලින් රුපියල් මිලියන 50 ක මුදලක් එහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරීවරයෙක් විසින් වංචා සහගත ලෙස ලබාගෙන තිබීමය.

එය සිදුවන්නේ මෙසේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් මහජන බැංකු පේරාදෙණිය ශාඛාවේ අදාළ ආයතනය සතු ස්ථාවර තැන්පතු 14ක් පවත්වා ගෙන ගොස් ඇත්තේය. 2009 ජනවාරි 01 දින සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ අවසන් කර ලබා ගත්, රුපියල් මිලියන 93 (රුපියල් 93,287,025) ක මුදලින්, රුපියල් මිලියන 37 ක් (රුපියල් 37,948,865) ක් පමණක් නව ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර රුපියල් මිලියන 50 (රුපියල් 50,338,160) ක මුදලක් එම ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරීවරයා විසින් වංචා සහගත ලෙස ලබා ගෙන ඇත්තේ ටිකෙන් ටිකය. ඒ වසර කිහිපයක් තුළදීය.

පෞද්ගලික ආයතනය සේවය කළ එවකට වයස අවුරුදු 45 ක විවාහකයකු වූ ඔහුගේ රජයේ මුල්ම පත්වීමද මෙය වන්නේය. අවස්ථා කිහිපයකදි ස්ථාවර තැන්පතුවලින් මුදල් වශයෙන් ලබා ගන්නා මේ මුදල්වලින් ඔහු මාතලේ නගරයේ සුඛෝපභෝගි නිවසක්, මෝටර් රථයක් ලබා ගත් බවද වාර්තා වෙයි. සමහර අවස්ථාවලදි ඔහු ස්ථාවර ගිණුමෙන් මුදල් ලබා ගෙන ඒ මුදල යළි තැන්පත් කළ අවස්ථාද ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ මූල්‍යමය වංචාව අභ්‍යන්තර විගණනයකදී 2014 අනාවරණය වන්නේ මිලියන 10 ක් වශයෙනි. නමුත් කෙසේ හෝ මෙයද යටගොස් ඇත.

මේ අතර මේ පුද්ගලයා මාස එකහාමරක් පමණ රටින් පැන ගොස් සිටි අතර යළිත් ලංකාවට පැමිණ ඇත්තේ ඊට මුහුණ දීමට අවශ්‍ය පසුබිම සකසා ගෙන බව හෙළි වෙයි. 2018 වසරේදි මොහු රිමාන්ඩ් භාරයට පත්වන අතර මාස එකහමාරකට පසුව ඔහු යළිත් ඇප මත නිදහස් වෙයි.

මේ අතර ආයතනයේ ඉල්ලීම පරිදි ස්වාධීන විගණනයක් විගණනකාධිපති දෙපාර්තමේන්තුව හරහා සිදුවන අතර වාර්තා වන අන්දමට මේ වංචා කළ මුදල මුලින් මිලියන 29 ක් ලෙසද, පසුව රුපියල් මිලියන 50 ක්ද බවද සොයා ගැනෙයි. කෙසේ වෙතත් මේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේවන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරික්ෂණයක් මෙන්ම නඩු කටයුතු සිදු කෙරෙමින් පවතී.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ 2018 සහ 2019 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළබඳ විමර්ශනය කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී තවදුරටත් මේ පිළිබඳ කරුණු අනාවරණය කෙරුණි.

මේ කාලය තුළ මේ ආයතනය අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකු යටතේ පාලනය වී ඇත. වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයා වන්නේ මහාචාර්ය ඒ. පිටවලය. ඔහු මේ තනතුරට පත්වන්නේ 2018 වසරේදීය.

“ චෝදනාලත් නියෝජ්‍ය මූල්‍යාධිකාරිවරයා ස්ථාවර තැන්පතුවෙන් ලබා ගෙන ඇත්තේ මුදල් නෝට්ටු වශයෙන්. ස්ථාවර තැන්පතුවෙන් මුදල් ලබා ගන්නා පෝරමයේ ඔහු හිටපු අධ්‍යක්ෂකවරුන්ට නොදැනෙන පරිදි අත්සන ලබා ගෙන එහි මුදල් වශයෙන් ලබා ගන්නා බවට පසුව සඳහන් කරලා. මෙය අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකු යටතේම සිදු කරලා. ඔහු මුදල් නෝට්ටු වශයෙන් අතට ගැනීමේදී මහජන බැංකුව පවා නිසි විමසීමක් කර නැහැ. ඉඩම් හිමි මුදල් තිබෙන අයකු ලෙස පෙනී සිටිමින් තමන්ට අවශ්‍ය වේලාවන්හිදි මේ මුදල් ලබා ගෙන තියෙනවා. 2014 අභ්‍යන්තර විගණනයකින් රුපියල් මිලියන 10 ක වංචාවක් සිදුවී ඇති බව අනාවරණය වුවත් පසුව මේ පුද්ගලයා විසින් මෙය යට ගහලා. නමුත් පසුව අපි විගණනකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලිමක් කළා, මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස. ඒ අනුව මුලදී එම මුදල රුපියල් මිලියන 29 ක් කියාද පසුව රුපියල් මිලියන 50 ක් බවද වාර්තා වුණා. මේ සියල්ල දරුවන්ගේ මුදල්. ඒ නිසා මේ සම්බන්ධ සියලු දෙනාටම විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුයි.....“ වත්මන් අධ්‍යක්ෂකවරයා පවසන අන්දමට මෙය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවූ විශාලම මූල්‍ය වංචාව වෙයි. එසේම මහජන බැංකුවකින් සිදුවූ දෙවැනි විශාලම මූල්‍ය වංචාව බවද ඔහු සඳහන් කරන්නේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරට පත් වන්නේ 2015 දීය.

“ මෙම මූල්‍යමය වංචාව 2011 වසරේ සිට 2017 වසර දක්වා ක්‍රමක්‍රමයෙන් වසර කිහිපයකම සිදුවූ දෙයක්. මෙය සිදුවූයේ පේරාදෙණිය විශ්වවිද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේයි. එසේ නොමැතිව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ නොවෙයි. මෙම අනුබද්ධිත ආයතනයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් පත්කරන වෙනමම අධ්‍යක්ෂවරයෙක් හා පාලනාධිකාරියක් පවතිනවා. එහි වෙනමම ව්‍යවස්ථාවක් පවතිනවා. මෙම ආයතනයේ මූල්‍ය කටයුතු හා පරිපාලනය ස්වාධීනයි. අපේ විශ්වවිද්‍යාලය මඟින් කරන්නේ එහි උපාධි සහතික පිරිනැමීම යි. මේ සඳහා අපරාධ පරීක්ෂණයක්, සිවිල් පරීක්ෂණයක් හා විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා. විනය පරීක්ෂණ සිදු කළ යුත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසිනුයි.....“

වසර කිහිපයක් තිස්සේ සිදුකළ මේ මූල්‍යමය වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද ඇයිදැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද චෝදනා කරති. මන්ද මේ සියලු මුදල් දරුවන්ගේ වන නිසාය.

“මීට තවත් පිරිස් වගේම බැංකුවේ අයත් හවුල් බවයි අපට වාර්තා වී ඇත්තේ. මෙතරම් විශාල වංචාවක් සිදු කර ඇතත් දැන් මේ පුද්ගලයා ඇප මත නිදහස් වෙලා. මේ වන තෙක් ඔහුට දඬුවමක් හිමි වූ බවට වාර්තා වී නැහැ. මේ සිදුවීම සිදුවී වසර කිහිපයක් ගෙවී ගියත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද ඇයි කියලයි අපට පුදුම. මේ පුද්ගලයාව විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන තෙක් අපි බලා සිටිනවා...“ ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති ගයාන් අකිල ජයතිලකය.

මෙම අනුබද්ධිත ආයතනයේ සියලු පත්කිරිම් සිදු කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟිනි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මේ පිළිබඳව සිළුමිණට පැවැසූයේ මෙවන් අදහසකි.

“මෙවැනි වංචාවක් සිදුව ඇති බව ආයතනයේ අභ්‍යන්තර විගණන අංශයවත් සොයා ගත්තේ නැහැ. රාජ්‍ය මුදල් ගිණුමකට බැර කරනවා මිස නෝට්ටු වශයෙන් අතට ගැනීමක් සිදුවන්නේ නැහැ. විශ්වවිද්‍යාලයක මූල්‍යාධිකාරවරයා අතට මුදල් වශයෙන් ගත හැක්කේ රුපියල් ලක්ෂ 2-3 ක් පමණයි. ඊට උපකුලපති අවසරය අවශ්‍යයි. බැංකුව පවා මේ සියලු නීති දැනගෙනයි මේ දේ කර තියෙන්නේ. පර්යේෂණ කටයුතු සුමටව සිදුවිය යුතු නිසයි අපි මේ ආයතන ස්වාධීන කළේ. මේවාට දක්ෂ අධ්‍යක්ෂකවරු පත්වුණත් ඔවුන්ට මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිසි වැටහීමක් නැහැ. ඒ නිසා මෙවැනි දේට පාර කැපුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් මේ අයට විරුද්ධව විනය පරීක්ෂණ සිදුකොට ඔවුන් ඉවත් කර ස්වාධීන පරීක්ෂණයකට අවශ්‍ය පසුබිම සකස් කර දුන්නා. ඒ වගේම කෝප් කමිටුවේ ඉල්ලීම පරිදි ඉදිරියේදී මේ ආයතනවලට ලබා දුන් නිදහස පිළිබඳ නැවත සිතා බැලීමක් කරනවා. ඒ වගේම කාලයක් එකතැන සේවය කළ පිරිස් මාරු කරන ලෙසද ඉල්ලීමක් කළා. එයටත් අවධානය යොමු කරනවා. එසේම ඉදිරියේදි මේවායේ මූල්‍ය භාවිතය විනිවිද බවකින් සිදු කිරීමට කටයුතු කරනවා. මෙය මෙවැනි චෝදනා මතුවූ මුල්ම අවස්ථාව මෙය නොවන නිසා මෙවැනි චෝදනා මතුවූ සියලු ආයතන සම්බන්ධයෙන් නැවත සොයා බැලීමක් කරනවා. ඉදිරි මාස තුන ඇතුළත මූල්‍යමය රෙගුලාසි පවත්නා මුදල් කමිටු හරහා මුදල් ගනුදෙනු කිරීමට නියෝග දෙනවා..“ ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිය.

පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය පිළිබඳ කෝප් කමිටු රැස්වීමේදීද තවත් කරුණු කිහිපයක් සම්බන්ධව අවධානය යොමු විය.

පේරාදෙණිය විශ්වවිද්‍යලයේ විද්‍යපීඨයේ පුස්තකාලාධිපතිවරයා වෙත පශ්චාත් උපාධි ආයතනයේ සේවය කිරීම කිරීම වෙනුවෙන් අදාළ මාසික වේතනයට අමතරව 10% ක දීමනාවක් අදාළ ආයතනය මඟින් අනුමැතියකින් තොරව ගෙවීම් කළේද, ආයතනයේ බාහිර කථිකාචාර්යවරුන් සඳහා සැතපුම් කුලී හා ගමන් වියදම් ගෙවීමේදී අදාළ චක්‍රලේඛ විධිවිධානවලට අනුව කටයුතු කර තිබේද යන්න කෝප් කමිටුව විමසීම් කළහ. එසේම භාණ්ඩාගාරයේ නිසි අනුමැතියකින් තොරව පශ්චාත් විද්‍ය උපාධි ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය පමණක් ලබාගෙන ආයතනයේ සමායෝජක දීමනා සහ ගෞරව දීමනා ගෙවීම සම්බන්ධව ද කෝප් කමිටුවේදී සාකච්ඡා විය.

එසේම එවකට යෝජිත බදුල්ල-මහනුවර අධිවේගී මාර්ගය තැනීමේදී පශ්චාත් විද්‍යා උපාධි ආයතනයට සිදු වන පාරිසරික බලපෑම පිළිබඳ ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් රුපියල් 6,386,200ක මුදලක් අදාළ ව්‍යාපෘතිය වෙත ගෙවා ඇතත්; එම වාර්තාව ඉදිරිපත් කර නොතිබීම සම්බන්ධව කෝප් කමිටුව කරුණු විමසා සිටියේය.

ආයතනයේ පර්යේෂණ ව්‍යාපෘති 04ක ගිවිසුම් කාලය තුළ පර්යේෂණ කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වීම සහ මිලියන 36 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 07ක් භෞතික ප්‍රගතිය පිළිබඳ වාර්තා හෝ අවසන් ප්‍රගති වාර්තා ඉදිරිපත් නොකොට අතරමග නැවතී තිබීමට හේතු කවරේද යන්න පිළිබඳව කෝප් කමිටුව විමසීමේදී අදාළ නිලධාරීන් සඳහන් කළේ ඒම අවශ්‍යතාවන් මේ වන විට සම්පූර්ණ කොට ඇති බවයි. රටපුරා පවතින පශ්චාත් උපාධි ආයතන 09 ම පරිපාලන කටයුතු සම්බන්ධව උපකමිටුවක් පත්කොට ඒ පිළිබඳ සොයා බලා වාර්තාවක් මාස 06ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව අධ්‍යාපන හා උසස් අධ්‍යපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්හ. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විවර වු මේ ආයතන වල සිදුවන මෙවැනි වංචාවන්ට අදම තිත තැබිය යුතු වන්නේ ඒ සියලු මුදල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වූවක් වන නිසාය.

 

Comments