මේ, බිරි­යට මුල් තැන් දුන් පිලිප් කුමරු ගැනයි | Page 2 | සිළුමිණ

මේ, බිරි­යට මුල් තැන් දුන් පිලිප් කුමරු ගැනයි

නාවික හමුදා සාමාජිකයකු ලෙස එච්එම්එස් රැමිලස් නෞකාවේ සේවය කරන යුගයේදී ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පැමිණ ඇති අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 19ක් විය. ඔහු කොළඹ වරායට පැමිණ එතැන් සිට ත්‍රිකුණාමලයට ගොඩබිම් මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ පහසුව සඳහා තමාටම මෝටර් රථයක් ද ගෙන්වා ගත්තේය.

 

ඔහු මෙලොව සිටි වඩාත්ම ඉවසිලිවන්ත ස්වාමිපුරුෂයා ලෙස ජනවහරේ හැඳින්වීය. සාමාන්‍යයෙන් ස්වාමි පුරුෂයන් පවුලේ ප්‍රධානීන් වන අතර සමාජයේදීද භාර්යාවන් දෙවැනි වන අතර මුල් තැන ගන්නේ ස්වාමි පුරුෂයන්ය. එහෙත් ඔහුට නම් පවුල තුළ පමණක් තම රට තුළදීද මතු නොව මුළු මහත් ලෝකය තුළදීම හිමිවූයේ දෙවැනි තැනයි. එයට හේතුව වූයේ ඔහුගේ භාර්යාව අන් කිසිවකු නොව බ්‍රිතාන්‍යයේ මහ රැජින වීමයි. සැම විටම ඇයට මුල්තැන දෙමින්, ඇයට අඩියක් පසුපසින් සිටිමින්, එහෙත් ඇයට ශක්තියක් වෙමින් ඉතා සාර්ථක යුග දිවියක් ගෙන යෑමට බ්‍රිතාන්‍ය රැජිනට මනා සහයක් දුන් ඔහු එඩින්බර්ග් හි ආදිපාදවරයා හෙවත් පිලිප් කුමරුය. ඔහු වසර අනූ නවයක් ආයු වලඳා පසුගිය (9) සිකුරාදා අභාවප්‍රාප්ත වූයේය.

පිලිප් කුමරු උපත ලබන්නේ ග්‍රීසියේ අති සුන්දර කෝෆු දිවයිනේය. ඔහු යුරෝපා මහාද්වීපයෙන් බාගයක රටවල රජපවුල්වලට නැකම් ඇත්තෙකි. ඔහු මවු සහ පිය පාර්ශ්වයන්ට අනුව ඍජුව ග්‍රිසියේ සහ ඩෙන්මාර්කයේ රජ පවුලේ සාමාජිකයකු වන අතර අමතරව විවාහ සම්බන්ධකම් මත රුසියානු රජ පවුලේද නෑකම් ඇත්තෙකි. වික්ටෝරියා රැජිනගේ ඥාතීත්වය අනුව පිලිප් කුමරුට බ්‍රිතාන්‍ය රජ පවුල සමඟද සම්බන්ධයක් වූ අතර එය තහවුරු වූයේ දෙවැනි එලිසබෙත් රැජින සමඟ විවාහ වීමෙන් පසුවය. මේ අනුව ඔහු යුරෝපයේ රජපවුල්වල මිශ්‍රණයක් ලෙස හැඳින්විය හැකිය.

රැජි­නගේ ඔටුණු පැල­ඳීමේ උත්ස­ව­යේදී

විවාහ සබඳතා හැරුණු විටත් තවත් අංශ කිහිපයකින්ම පිලිප් කුමරු තවත් රටවල් රැසක් සමඟ සම්බන්ධ වන්නේය. ඔහු ප්‍රංශයේ, ජර්මනියේ සහ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබන අතර 1939දී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට එක්වන්නේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 18කි.

පිලිප් කුමරුගේ සුන්දර තරුණ විය උදාවන්නේ මුළු ලෝකයටම අභ්‍යාග්‍ය සම්පන්න යුගයකදීය. ලෝක යුද්ධ දෙකකට මැදිවූ කාලයේදී හමුදා සාමාජිකයකු ලෙස ලෝකය පුරා සංචාරය කිරීමට ඔහුට සිදුවූ අතර යුද්ධයේ බිහිසුණු අවස්ථා රැසකටම මුහුණ දීමටද ඔහුට සිදුවන්නේය.

ඒ වන විටත් ඔහු බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි එලිසබෙත් කුමරිය සමඟ මිත්‍ර සම්බන්ධතාවයක් පවත්වන්නේ දෙදෙනාම රජ පවුල්වල සාමාජිකයන් වන බැවිනි. පිලිප් කුමරුට ප්‍රථම වරට එළිසබෙත් කුමරිය මුණ ගැසෙනවිට ඇයට වයස 13ක් වූ බව සඳහන්ය.

ලෝක යුද සමයේදී ඔහු මධ්‍යධරණී කලාපයේ සහ පැසිෆික් කලාපයේ නෞකාවල සේවය කළ අතර හමුදා සාමාජිකයකු ලෙස ඔහු ශ්‍රී ලංකාවටද අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට තොරතුරු තිබේ. ඔහු නාවික හමුදා සාමාජිකයකු ලෙස එච්එම්එස් රැමිලස් නෞකාවේ සේවය කරන යුගයේදී ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පැමිණ ඇති අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 19ක් විය. ඔහු කොළඹ වරායට පැමිණ එතැන් සිට ත්‍රිකුණාමලයට ගොඩබිම් මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ පහසුව සඳහා තමාටම මෝටර් රථයක් ද ගෙන්වා ගත්තේය. ස්ට්‍රෑන්ඩඩ් 9 වර්ගයට අයත් වූ මේ රථය අළු සහ කළු පැහැති විය. දැනටත් මේ රථය ගාලු මුවදොර හෝටලයේ කෞතුකාගාරයේ නවතා ඇත්තේ ඉතා වටිනා පෞරාණික භාණ්ඩයක් වශයෙනි. එහි ඇති දත්ත වාර්තා පවසන අන්දමට මේ මෝටර් රථය පිලිප් කුමරුගේ ප්‍රථම මෝටර් රථයද වන්නේය.

පිලිප් කුමරුගේ ජීවි­තයේ විවිධ අවස්ථා
 

එකල පිලිප් කුමරු සේවය කළ එච්එම්එස් රැමිලස් නෞකාව මධ්‍යධරණී මුහුද හරහා ඕස්ට්‍රේලියාවටත් එතැනින් යළි යුරෝපයටත් යුද උපකරණ සහ වාහන පරිවහනය කර තිබේ. ඔහු එම නෞකාවේ මිඩ්ශිප්මන්වරයකු ලෙස සේවය කර ඇති අතර ඒ වන විටත් ඔහු නාවික හමුදාවේ පරිවාස කාලයේ පසුවූ බව කියවේ. ඔහු ස්ට්‍රෑන්ඩඩ් 9 වර්ගයේ මෝටර් රථය තම නමට ලියාපදිංචි කර ගෙන්වාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ගමනාගමන කටයුතු වෙනුවෙනි. මේ රථය ඔහු තමා විසින්ම පදවාගෙන කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කළ බවට තොරතුරුද වාර්තා අතර වේ.

කෙසේ වුවද කුමරු පසුව එච්එම්එස් කෙන්ට් සහ එච්එම්එස් ශර්ප්ශයර් නෞකාවලද සේවය කර තිබේ.

යුද සමය අවසන් වීමෙන් පසු පිලිප් කුමරුගේ ජීවිතය උඩු යටිකරු වන්නේ බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමරිය සමඟ විවාහ වීමට සිදුවීමෙනි. සැබවින්ම මෙය යෝජිත විවාහයක් බව කිව හැකිය. ඒ දෙපාර්ශ්වයේම ආශිර්වාදය මත මේ දෙදෙන මුණ ගැස්වීම දෙමාපියන් විසින් සිදු කරන ලද බැවිනි. මේ සබඳතාව ගොඩනැඟෙන විට එළිසබෙත් රැජින 13වැනි වියේ පසුවූ බව කියවේ. බොහෝ විට අනාගත රැජිනියගේ අනාගතය කල් තබා පිළියෙල කිරීමට ඇයගේ දෙමාපියන් උත්සුක වන්නට ඇත්තේ රැජිනගේ පියාගේ වැඩිමල් සොහොයුරා තම පෙම්වතිය විවාහ කර ගැනීමට ඔටුන්න අත්හැරීමේ කටුක අත්දැකීම හේතුවෙන්ද විය හැකිය. කෙසේ වෙතත් මේ ගැළපීම හේතුවෙන් පිලිප් කුමරාට සිදුවූයේ තම ජීවිතයේ සියල්ල අත්හැරීමටය.

 

 පිලිප් කුමරා ශ්‍රී ලංකා­වේදී භාවිත කළ
මෝටර් රථය
 

1946දී කුමරිය සහ ඔහු අතර විවාහය තහවුරු වූ පසුව පිලිප් කුමරා තම පවුල් නාමය සහ උපතින් තමන්ට ලැබුණු නම්බු නාම සියල්ල අත්හැර බ්‍රිතාන්‍ය රජ පවුලේ නාමය තමාට ආදේශ කර ගන්නේය. එතැන් සිට ඔහු හඳුන්වනු ලැබුවේ ශ්‍රීමත් පිලිප් මවුන්ට්බැට්න් යනුවෙනි. බ්‍රිතාන්‍ය රජ පවුල සහ ඔහු අතර ඥාතීත්වයක් පැවති බැවින් මෙය සැබවින්ම ඔහුගේ මිත්තණුවන්ගේ පවුලේ නාමය ලබා ගැනීමක් විය. අනික් අතට ඔහු රැජිනගේ පවුලේ නාමය ලබාගෙන රැජිනගේ දරුවන් රජපවුලේ නාමය යටතේ කුලවැද්දීමට සහයෝගය ලබා දීමට කටයුතු කිරීමක්ද විය. ඔහු එවන් කැපකිරිමක් නොකරන්නට රැජිනගේ දරුවන්ට බ්‍රිතාන්‍ය රජ පවුලේ පෙළපත් නාමය හිමි නොවනු ඇත. එබැවින්ම පිලිප් කුමරු යනු රැජින සහ බ්‍රිතාන්‍ය රජපවුල වෙනුවෙන් අති විශාල කැපකිරීමක් කළ පුද්ගලයකු වශයෙන් හඳුනාගත හැකිය.

ශ්‍රී ලංකා­වට පැමිණි අව­ස්ථා­ව­කදී එව­කට රාජ්‍ය නාය­ක ජේ. ආර්. ජයවර්ධන සමඟ

1947 නොවැම්බර් 20 වැනිදා එළිසබෙත් කුමරිය සමඟ විවාහ වීමත් සමඟම පිලිප් කුමරා එඩින්බර්ග්හි ආදිපාද ධූරයෙන් පිදුම් ලැබුවේය. 1953 ජූනි මාසයෙදී රජුගේ අභාවයෙන් පසු එළිසබෙත් කුමරිය දෙවැනි එළිසබෙත් යනුවෙන් බ්‍රිතාන්‍යයේ ඔටුණු පැලඳුවාය. එතැන් සිට අනේකවිධ රාජ්‍ය චාරිත්‍ර හමුවේ පෙනී සිටීම, රජ පවුලේ සිරිත් පිළිපැදීම මෙන්ම වඩාත් අපහසු වන රැජින සමඟ රාජකීය උත්සවවලට සහභාගී වීම යනාදී මෙකී නොකී සියල්ල පිලිප් කුමරු වගකීමෙන් ඉටු කළේය. වරක් මේ රාජකීය ජීවිතය ඔහුගේ මුනුපුරු හැරී කුමරා විස්තර කර සිටියේ ‘උගුලක හසුවූවාක් වැනි ජීවිතයක්‘ වශයෙන් වුවද පිලිප් කුමරු ඉතා විධිමත් ලෙස මේ ජීවිතය උසුලා සිටියේය.

වියපත් භාවය මත ඇතිවන ශාරීරික අපහසුතා හේතුව ලෙස පවසමින් පසුගිය 2015දී ඔහු රාජකීය සේවයෙන් විශ්‍රාම ගන්නාතුරුම ඔහු මේ සියල්ල නොපිරිහෙළා ඉටු කළේය.

මේ නිවුණු මිනිසා ඇතුළත සීතල මිනීමරුවකු සිටින බවට තහවුරු නොවූ කටකතාද නැත්තේ නොවේය. ඩයනා කුමරිය දික්කසාදයෙන් පසු මුස්ලිම් ජාතික ඩෝඩි අල් ෆායිඩ් සමඟ සම්බන්ධයක් පවත්වන බව තහවුරු වූ පසු ඇය මරා දැමීමට නියෝග ලබා දුන්නේ පිලිප් කුමරු බවට සත්‍යයට ආසන්න කටකතා ලොව පුරා පැතිර ගියේය. එමෙන්ම ඩයනාගේ අවමගල්‍යයේදී චාල්ස් කුමරු දෙන පසුපස ඇවිද යෑම ප්‍රතික්ෂේප කළ විට ‘මම ඇවිද යනවා නම් ඔබ මාත් සමඟ එනවාද..?“ අසමින් චාල්ස් කුමරු පොලඹවමින් ඔහු සහ විලියම්, හැරී දරු දෙදෙනාද සමඟ ඩයනාගේ අවමංගල්‍ය පෙරහැරේ පිලිප් කුමරු ගමන් ගත් බවද ප්‍රකාශිතය. රැජිනක සමඟ විවාපත් වී සිටියද පිලිප් කුමරුට රැජිනකට වඩා වැදගත් වූ තවත් කාන්තාවන් රැසක්ම සිටි බවටද ප්‍රසිද්ධ කටකතා රැසකි. ඒ අතරින් ඇතැම් කාන්තාවෝ ඔහුට වඩා දශක දෙක තුන වයසින් බාල වීම ලොවට කියා පාන්නේ රැජිනක් වුවද කාලයේ සරදමට ලක් වීම මග හැර යා නොහැකි බවය. රැජිනක අත ගත්තද ආදරය යනු බලෙන් ආරෝපණය කර ගත නොහැකි දෙයක් බවය.

මිනිසුන්ම මුහුණු කිහිපයක් තිබිය හැකිය. විශේෂයෙන්ම ජනතාවගේ දැඩි අවධානයට සෑම මොහොතකම ලක්ව සිටින රජ පවුලක සාමාජිකයන්ට මුහුණු රාශියක් තිබෙනවාට සැක නැත. වසර සියයක් පුරා මේ සියල්ල සතුටින් උසුලමින් සිටි ඔහු දැන් සැනසිල්ලේ නිදනවාට සැක නැත.

Comments