විජේ­වීරට අභියෝග කළ කවුද මේ, සුමිත් දෙවි­නු­වර | Page 5 | සිළුමිණ

විජේ­වීරට අභියෝග කළ කවුද මේ, සුමිත් දෙවි­නු­වර

ලාංකේය දේශ­පා­ල­නයේ ගමන් මඟ වෙනස් කළ පළමු වෙඩි මුරය වූයේ 1971 අප්‍රේල්  කැරැ­ල්ලය. රෝහණ විජේ­වී­රගේ නාය­ක­ත්ව­යෙන් යුත් අප්‍රේල් කැරැ­ල්ලට 2021  අප්‍රේල් 05 වැනි­දාට වසර 50ක් පිරිණි. ඒ පිළි­බ­ඳව පළවූ පත­පොත ද දුසිම් දෙක­කට ආස­න්නය. ලිපි ලේඛ­නද ප්‍රමා­ණ­යෙන් අති­වි­ශා­ලය. එම කතා ඇතැම් විට එකි­නෙ­කට පර­ස්ප­රය. එසේත් නොමැති නම් එකි­නෙ­කාගේ දෘෂ්ටි කෝණ­යන් අනුව ලියන ලද ලේඛ­නය. අප්‍රේල්  කැරැල්ලේ ඔබ නොදත් කතාව සොයා මේ ලියු­ම්කරු දිස්ත්‍රික් 17ක සංචා­රය කර 71 මුල් පෙළේ කැරැ­ලි­ක­රු­වන් සිය­ය­කට අධික සංඛ්‍යා­වක් හමු විය. එමෙන්ම ජවිපෙ ආරම්භ කිරී­මට හේතු, එම වක­වා­නුව තුළ තිබූ වෙනත් පක්ෂ සහ කණ්ඩා­යම්ද 71 කැරැල්ල දක්වා ජවිපෙ විකා­ශ­නය පිළි­බඳ විස්ත­රා­ත්ම­කව මේ ලිපි පෙළට අදා­ළය. මේ  ලිපි මාලාව විවර වන්නේ එකී සැබෑ ඉති­හා­සය වත්මන් පර­පු­රද දැන­ගත යුතු බැවිනි. මෙතෙක් බොහෝ දෙනා ඇසූ සහ කියවූ උප­ක­ල්පන, විකෘති කිරීම්, වැරැදි වැට­හීම් මත වෙනු­වට සත්‍ය ඉති­හා­සය මේ ලිපි මාලාව මඟින් විවර කරනු ඇත. අද පළ වන්නේ  “ජවිපෙ 1වැනි කැරැ­ල්ලට වසර 50 යි” යන ලිපි මාලාවේ තෙවන කොට­සය. 

 

ලාංකේය වමේ ව්‍යාපාරයේ ඉතිහාසය ඇරැ­‍ෙඹන්නේ 1930 දශකය ආරම්භයත් සමඟය. මාක්ස්වාදී අදහස් දැරූ විදේශ අධ්‍යාපනයක් ලබා සිටි මැද පාන්තික තරුණ කොටස් සමාජවාදය වැලඳගෙන ලංකාවට පැමිණි පසු තරුණ ව්‍යාපාර, සූර්යමල් සංවිධාන, නාගරික කම්කරු සංගම් තුළත් ක්‍රියාත්මක වෙමින් ස්වකීය දේශපාලනය ආරම්භ කළ ස්ථාන දක්වා වමේ ව්‍යාපාරයේ ඉතිහාසය දිවයයි.

සුමිත් සිය ඥාතීන් වූ ගාමිණී සහ ආනන්ද මීමැඩුම සමගින් පනහ දශකයේදී. මැද සිටින්නේ සුමිත් දෙවිනුවරය.

ලංකාවේ මාක්ස්වාදයේ පියා ලෙස සැලකෙන පිලිප් ගුණවර්ධන ලංකාවට 1931 පැමිණ මාක්ස්වාදය උනන්දුව දක්වන පිරිස් ඒකරාශී කොට ලංකා සමසමාජ පක්ෂය 1935 දෙසැම්බර් 18 ආරම්භ කිරීමට පුරෝගාමී විය. කම්කරු පන්තියේ නායකත්වයෙන් සමාජ ආණ්ඩුවක් ගොඩනඟා ගත යුතුය යන අදහස ප්‍රථම වරට මෙරට දේශපාලනය තුළ අනතුරුව ජනගත විය.

දෙවන ලෝක යුද්ධය 1939 ආරම්භ වීමත් සමඟම අධිරාජ්‍යවාදී යුද්ධය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ස්ථාවරය ගැන න්‍යායික විවාදයක් සමසමාජ පක්ෂයෙන් මතු විය. ඒ පිළිබඳ පළ වූ න්‍යායික විවාදයේ ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංහ ඇතුළු පස්දෙනකු සමසමාජයෙන් නෙරපා දැමිණි. ඒ ලාංකීය වාමාංශික ව්‍යාපාරය තුළ ඇතිවූ ප්‍රථම බෙදීමය.

අනතුරුව ජනශක්තිය සහ නව ශක්තිය පුවත්පත වඩා රැස්වූ පිරිසක් විසින් ලංකා කොමියුනිස්ට් පක්ෂය 1943 ජූලි 03 වැනිදා බිහි කරන ලදී. එය පිහිටියේ බොරැල්ල කොටා පාරේ 85 දරන ස්ථානයේය. පසුව 1948 නොවැම්බර් 05 වැනිදා ජනශක්ති පුවත්පත කොමියුනිස්ට් ලෙස නම වෙනස් කර පළකරන ලදී. පනහ දශකය වන විට එය දිනපතා පුවත්පතක් බවට පත්විය.

හැටේ දශකයේ මුල් භාගයේදී ලෝක වාමාංශික ව්‍යාපාරය තුළ හටගත් මහා කුණාටුව ලාංකීය වමේ ව්‍යාපාරය කෙරෙහිද ගැඹුරු බලපෑමක් ඇති කළේය. සන්නද්ධ අරගලයකින් පවතින පාලන ක්‍රමය පෙරළා දැමීමට කැපවූ කොමියුනිස්ට් පක්ෂවලට චීනය නායකත්වය දුන් අතර පාර්ලිමේන්තුව තුළින් සමාජවාදයට යෑමට යෝජනා කළ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්ට සෝවියට් සංගමය නායකත්වය දුන්නේය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙන්ම බොහෝ රටවල කොමියුනිස්ට් පක්ෂ මෙම මතවාදී සහ දේශපාලන රේඛා ඔස්සේ දෙපිලකට බෙදිණි.

රාජ්‍ය බලය අල්ලා ගැනීම තවදුරටත් පමාවීම නිවටකමක් ලෙස හැඳින්වූ මාවෝවාදීහු පාර්ලිමේන්තු මාර්ගය සංශෝධිතවාදී යැයිද එය නිර්දනයන්ගේ අපේක්ෂා පාවාදීමක් යැයිද අවධාරණය කළහ. මෙම වකවානුවේ කියුබාවේ 1959 සිදුවූ විප්ලවයේ ආස්වාදය ලතින් ඇමරිකානු, අප්‍රිකාව සහ ආසියානු රටවල ප්‍රචලිත වෙමින් පැවතිණි. සමාජ විමුක්ති උදාකර ගැනීම එකම මාර්ගය සන්නද්ධ අරගලය බව කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන කණ්ඩායම්වල සිටි රැඩිකල්වාදී තරුණයන්ට ඒත්තු ගියේය. කොමියුනිස්ට් පක්ෂයේ (චීන පිල) නායක එම්. ෂන්මුගදාසන්ගේ පක්ෂය එම සමාජවාදී සිහිනය යථාර්ථයක් කිරීම වෙනුවෙන් පෙනී සිටියහ.

ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 7 වන ජාතික සමුළුව 1964 ජනවාරි පැවැති අතර එහි කමිටු නායකත්වය දරන ලද්දේ ෂන්මුගදාස හා ප්‍රේමලාල් කුමාරසිරි ඇතුළු පිරිසකි. කම්කරුවා සහ තොලේලාලි පුවත්පත 1963 අගෝස්තු සිට ඔවුන්ගේ පුවත්පත් විය. කාර්යාලය කොළඹ 02 ද මැල් වීදියේ පිහිටියේය.

ෂන්මුගදාසන්ගේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (චීන පිලේ) 8 වන සමුළුව 1968 ජූලි මාසයේ කොළඹ රතුකුරුස ශාලාවේ පැවැතියේය. එම පක්ෂයේ 7 වන සමුළුවේ සිට 8 වන සමුළුව දක්වා වූ කාලය තුළ චීන පිලට නැඹුරු වූ කණ්ඩායම් ගණනාවක් ෂන්මුගදාසන්ගෙන් ඉවත්ව වෙනත් රැඩිකල්වාදී වාම කණ්ඩායම් බිහි කළේය. ෂන්මුගදාසන්ගෙන් ඉවත්ව එසේ බිහිවූ කණ්ඩායම් ගණන 8ක් වේ. රෝහණ වීජේවීරගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) 1965 මැයි 14 අක්මීමනදී උපත ලබන විටද විජේවීර ෂන්මුගදාසන්ගේ පක්ෂයේ පූර්ණකාලීන ක්‍රියාකාරිකයෙක් විය.

ජවිපෙට අමතරව සෙසු කණ්ඩායම් වූයේ ගාමිණී යාපා සහ විමල් විජේකෝන්ගේ පෙරදිග සුළඟ ද, කල්‍යාණ තිරාණගම, ආරියවංශ ගුණසේකර සහ කේ.ඒ. විමලපාලගේ ගිනි පුපුර කණ්ඩායම ද, සුමිත් දෙවිනුවරගේ කණ්ඩායම ද, ප්‍රේමලාල් කුමාරසිරි සහ වයි.පී. සිල්වාගේ ජාතික අරමුණ කණ්ඩායම ද, ආනන්ද ගුණතිලක, ටී.බී.සී. ප්‍රනාන්දු, කොල්වින් සිල්වා සහ චන්ද්‍රසිරි මායාදුන්නගේ ලංකා විමුක්ති ව්‍යාපාරය ද, කේ.ඒ. සුබ්‍රමනියම්ගේ කොමියුනිස්ට් වාම කණ්ඩායම ද, නිහාල් ඩයස්ගේ සමාජවාදී සංගමය ඇතුළු කණ්ඩායම් කිහිපයකි.

සුමිත් දෙවිනුවරගේ කණ්ඩායම පිළිබඳ මෙතෙක් කිසිදු සවිස්තර වාර්තාවක් නැති බැවින් ලියුම්කරු එහි අක්මුල් සොයා පැරැණි ක්‍රියාකාරිකයන්, ඔහුගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනකු හමුවිය. මේ ඒ පිළිබඳ සටහනකි.

සුමිත් දෙවිනුවර කණ්ඩායමේ අදිසි නම වූයේ මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයයි. සුමිත් එහි ප්‍රධාන ලේකම් විය. සභාපති වූයේ ලංගම ලිපිකරුවකු වූ ගාල්ලේ කරුණාරත්න මාපලගම ය. හැටේ දශකයේ අවසාන භාගයේ ජවිපෙ ඇතුළු ක්‍රියාකාරී වාම තරුණ කණ්ඩායම් සමඟ සුමිත්ගේ කණ්ඩායම ද වැදගත් භූමිකාවක් නිරූපණය කළේය. සුමිත්ගේ සම්පූර්ණ නම අභය සුමිත් දෙවිනුවරය. උපන්නේ 1938 පෙබරවාරි 20 වැනිදාය. පියා සහකාර වෛද්‍යවරයකු වූ ඩේවිඩ් ගයිගානාගේ දෙවිනුවරය. මව ලිලියන් ධර්මසිරිය. මාතර දෙවිනුවර ආසනයේ නාඔටුන්න ඔවුන්ගේ උපන් ගම විය.

සුමිත්ගේ දෙමපියන්ට දරුවන් තිදෙනකු වූ අතර එකම පිරිමි දරුවා වූයේ දෙවැන්නා වූ සුමිත්ය. දියණියන් වූයේ සුජාතා සහ සුගලීය. කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලද සුමිත් එහි ඉංග්‍රීසි විවාද කණ්ඩායමේ නායකයා ද විය. පසුව නීති විද්‍යාලයේ ප්‍රථම වසරේ ඉගෙනුම ලබමින් සිටියදී එය අතහැර රුසියාවේ ලුමුම්බා ශිෂ්‍යත්වයක් ලැබ වැඩිදුර උපාධිය හැදෑරීම සඳහා 1960 සැප්තැම්බර් 02 වැනිදා රුසියාව බලා පිටත් විය.

රුසියාව බලා ගිය එම ගුවන් යානයේම සරසවියට සිසුන් 16 දෙනකු සිටි අතර රෝහණ විජේවීර ද ඒ අතර විය. ඔවුහු සියලු දෙනාම සැප්තැම්බර් 25 වැනිදා ඇතුළු විය. විජේවීර වෛද්‍ය උපාධිය හැදෑරූ අතර සුමිත් හැදෑරුවේ ආර්ථික විද්‍යාවය.

ආර්ථික විද්‍යාව ගෞරව උපාධිධාරියකු ලෙස 1965 යළි ශ්‍රී ලංකාවට පැමිණි සුමිත් ඒ අතරතුර තෙවරක් පමණ නිවාඩුවට ලංකාවට පැමිණ තිබුණි. රුසියාවේදී ඇති කරගත් ප්‍රේම සම්බන්ධයක් මත ඔහු විවාහ වූයේ රුසියාවේ සරසවියක අධ්‍යාපනය ලබමින් සිටි රංජනී ගුණසේකර සමඟය. ඇය වාම ව්‍යාපාරයේ ප්‍රමුඛයකු වූ අනුරාධපුරයේ ආරියවංශ ගුණසේකරගේ කනිටු දියණියයි. සුමිත් සහ රංජනී දෙපළට දරුවන් දෙදෙනෙකි. ඒ සන්ධ්‍යා සහ සුජීවය. දියණිය සන්ධ්‍යා අතුරුගිරිය පදිංචිව සිටින අතර පුතු සුජීව ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටී.

උසස් අධ්‍යාපනයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි සුමිත් යාන්ත්‍රික ඉංජිනේරුවරයකු වශයෙන් ලංගම වේරහැර ඩිපෝවේ 1966 සිට සේවය කළේය. සුමිත් දෙවිනුවර සිය බොහෝ වාම සගයින් ගොනු කර ගත්තේ එහිදීය. සුමිත් මාක්ස්වාදයේ මූලික සිද්ධාන්ත රැකගත් විප්ලවාදියකු බව ඔහුගේ අනුගාමිකයෝ පවසති. විප්ලවයේ මූලික බලවේගය වශයෙන් ඔහු සැලකුවේ වඩාත් පීඩනයට පත්වූ කම්කරු පන්තියයි. තේ වතු ආර්ථිකයෙන් පීඩාවට පත්ව සිටින කම්කරුවන් සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවට සුමිත්ගේ මතය විය.

සුමිත්ගේ කණ්ඩායමේ ක්‍රියාකාරිකයන් වූයේ මාදිවෙල බෝධිය පාරේ ලංගම කාර්යාල සුළු සේවකයකු වූ සිරිසේන, රක්ෂණ සංස්ථාවේ විධායක නිලධාරියකු වූ යසවර්ධන, ඇඹුල්දෙනිය හන්දියේ සිටි තර්ස්ටන් ගුරුවරයකු වූ සී.එල්. පෙරේරා, ලංගම විදුලි කාර්මිකයකු වූ මිනුවන්ගොඩ ඩබ්.කේ. අමරදාස, ලංගම විදුලි කාර්මිකයකු වූ කිරුළපන වීරතුංග පල්ලියගුරු, මහරගම ලංගම ඩිපෝවේ විධායක නිලධාරී කිරුළපන ප්‍රේමදාස හෙවත් බුලත්ප්‍රේමේ, ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ පෑලියගොඩ සේවය කළ වීරසිංහ ආරච්චිගේ සිරිසේන හෙවත් පොඩිසිරා, ලංකා විද්‍යාත්මක සහ කාර්මික පර්යේෂණ ආයතනයේ පෑස්සුම්කරු පල්ලේවෙල ආරච්චිගේ රොබින්සන්, රත්මලාන ඩිපෝවේ කාර්මික නිලධාරි තෙන්නකෝන් මුදියන්සේලාගේ වීරසේන, මාවනැල්ලේ වෛද්‍ය ජීවන්දර උදයානන්ද ඇතුළු පිරිසකි.

එමෙන්ම සුමිත් සමඟ දේශපාලන පන්ති පැවැත්වූ සහ ඒවා සංවිධාන කළ අය අතර මිනුවන්ගොඩ වේරගොඩ ගුරුවරයකු වූ වංශපාල, ගම්පහ වීදිය වත්තේ එම්.එස්. පෙරේරා, රෝහල් කම්කරුවකු වූ මාදිවෙල සිරිසේන, මොරටුව ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ කථිකාචාරියවරයකු වූ ප්‍රේමදාස, ලංගම පුහුණු පාසලේ සේවයේ නිරත කෑගල්ලේ සෙනෙවිරත්න, වේරහැර වැඩ මූලිකයකු වූ අවිස්සාවේල්ලේ බොතේජු ඇතුළු පිරිසක් විය.

කිරුළපන පස්පාටියවත්ත ( වර්තමානයේ නුගගහපුර), ඇඹුල්දෙනිය, මාතර දෙවිනුවර, අනුරාධපුර තලාව සහ කැකිරාව, මිනුවන්ගොඩ, දිවුලපිිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක සුමිත් විසින් දේශපාලන පන්ති 50 ක් පමණ පැවැත්වීය. දිවුලපිටියේ තෙදින දේශපාලන කඳවුරක් ද සුමිත්ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි. ඒවාට සහභාගී වූ පිරිස 1,500 ක් පමණ වේ.

එම දේශපාලන පන්ති එක් දිනකට සීමා වූ අතර එහි ව්‍යාපාරයේ අරමුණ, පන්ති සටන, මාක්ස්වාදයේ මූලික සිද්ධාන්ත, විද්‍යාත්මක සමාජ වාදයේ කෙටි හැඳින්වීම සහ විප්ලවයක් ක්‍රියාත්මක කළ අයුරු පිළිබඳව මූලික අරමුණු ඉගැන්වීය. ඇතැම් ස්ථානයන්හි එම්.එස්. පෙරේරා විසින් මෙහෙය වන ලද කරාටේ පුහුණු වැඩසටහනක් ද විය. ලංගම සේවය කළ නිසා දේශපාලන පන්ති පැවැත්වීමට සුමිත් රට පුරා ප්‍රධාන නගර කිහිපයකටම ගියේය. ඒ තමාට නොමිලේ හිමිවන බස් ප්‍රවේශ පත්‍ර මඟිනි. එමෙන්ම පක්ෂයේ ක්‍රියාකාරිකයන්ට ද බස්වලින් ගමන් කිරීමට වෙනම ප්‍රවේශ පත්‍ර පහසුකම් නිල නොවන අන්දමින් සපයනු ලැබීය. ශ්‍රී ලංකාවේ සැම තැනින්ම වාගේ ඔහුගේ පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයන් සහ හිතවතුන් 125 ක් පමණ වසර තුනක් පමණ යනවිට ගොඩනැඟීමට සුමිත් සමත් විය.

සුමිත් දෙවිනුවරගේ කණ්ඩායම යම් තරමකින් ප්‍රචලිත වෙද්දී 60 දශකයේ අවසාන භාගයේ ඉහළ ක්‍රියාකාරිත්වයකට පැමිණි ජවිපෙ කණ්ඩායම විසින් ඔවුනට විවිධ ප්‍රශ්න නඟමින් ප්‍රතිප්‍රහාර ද එල්ල කරන ලදි. අවිස්සාවේල්ලේදී 1970 ඔක්තෝබර් මස බොතේජු සහ අමරදාස සෙනෙවිරත්න විසින් පැවැත්වූ දේශනයකදී ද කිරුළපනේ පැවැති කණ්ඩායම් සාකච්ඡාවකදී ද ගාල්ල කරන්දෙනියේදී සාකච්ඡාවකදී ද එය විවෘතව ක්‍රිියාවට නැඟිණි. එමෙන්ම අනුරාධපුරයේ තලාව පැවැති විවෘත සාකච්ඡාවකදී සුමිත් දෙවිනුවරට පහර දීමෙන් ඔහුගේ එක් කනකට ද ආබාධයක් සිදුවිණි.

මෙම දේශපාලන ව්‍යාපාරය සඳහා එවකට ක්‍රියාත්මක වූ සෙසු වාම කණ්ඩායම් මෙන් අරමුදල් තරකර ගැනීමට විවිධ නීති විරෝධී මුදල් ලබා ගැනීම් ද සිදුවිය. අනුරාධපුරයේ සහ ගම්පහ නිවාස කොල්ලකෑම් 25 කට ආසන්න පිරිසක් ද සුමිත්ගේ කණ්ඩායම විසින් සිදුකළ අතර එහි අදිසි නායකත්වය ගනු ලැබුවේ එම්.එස්. පෙරේරා ය. ඔහු ලබාගත් සල්ලි ව්‍යාපාරය වෙනුවෙන් එහි සභාපතිවරයා වූ මාපලගමට ලබා දුන් බව කියති.

සුමිත් දෙවිනුවරගේ පක්ෂ කටයුතු සම්බන්ධීකරණය කරන ලද්දේ ලංගම වේරහැර වැඩපොළ, රණසිංහ වත්තේ පිහිටි නිවස සහ කිරුළපන පස්පාටියේ නිවසකි. සුමිත්ගේ සොහොයුරිය පාගොඩ ආනන්ද බාලිකා මාවතේ 1959 සිට පදිංචිව සිටි අතර එම නිවස ද ඕනෑම අවස්ථාවක සුමිත්ගේ ක්‍රියාකාරිකයන් වෙනුවෙන් විවෘතව පැවතිණි.

මාක්ස්වාදය පිළිබඳ විද්‍යාත්මක දැනුමක් ඔහු සතු වුවද සමාජවාදී ආණ්ඩුවක් බිහි කර ගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ඔහු සතු නොවීය. එබැවින් 60 දශකයේ අවසාන භාගයේ වේගයෙන් ව්‍යාප්ත වූ ජවිපෙ ක්‍රියාකාරකම් හමුවේ සුමිත්ගේ කණ්ඩායමට බොහෝ දුරට අඩපණ විය.

අවසානයේ 71 අප්‍රේල් කැරැල්ලෙන් පසු සුමිත්ගේ පක්ෂයේ ක්‍රියාකාරිකයන් වූ වීරසිංහ, අමරදාස, පල්ලියගුරු, වීරසේන, ප්‍රේමදාස, විමලසේන,

මාතර නාඔටුන්න නිවෙසේදී සුමිත් (දකුණේ) 1959 දී
සුමිත් සහ දියණිය සන්ධ්‍යා 60 දශකයේ මුල් භාගයේදී රුසියාවේදී

සිරිසේන ඇතුළු ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගත් අතර සුමිත් කලක් සැඟව සිටියේය. පසුව අත්අඩංගුවට පත්විය. වසර දෙකකට ආසන්න කාලයක් සිරගතව සිටි සුමිත් පසුව චෝදනා නැති වීම නිසා නිදහස් විය. හැත්තෑඑකේ කැරැල්ලෙන් පසු සුමිත් දෙවිනුවර නායකත්වය දුන් මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය ද ක්ෂය වී ගියේය. ඉන්පසු එහි ක්‍රියාකාරිත්වයක් ද කිසිදා වාර්තා නොවීය.

ප්‍රථම විවාහයේ දික්කසාදයෙන් පසු 1975 දී සුමිත් නෙළුම් වික්‍රමසිංහ සමඟ යළි විවාහ විය. එම විවාහයෙන් 1977 දී උපන් පුතු නාත් වර්තමානයේ නීතිඥවරයෙකි.

සුමිත් දෙවිනුවර නිදහසින් පසුව ලංකා ලෝහ භාණ්ඩ සංයුක්ත මණ්ඩලයේ වාණිජ කළමනාකරු වශයෙන් ද, රත්මලාන වර්ණ රසායනාගාරයක කළමනාකරුවකු වශයෙන් ද, පල්ලෙකැලේ ගෝලයිට් සමාගමේ විකුණුම් කළමනාකරුවකු ලෙස ද ඇතුළු රැකියා ගණනාවක නිරත විය. අක්මාවේ පිළිකාවකින් පෙළුණ සුමිත් දෙවිනුවර 2003 දෙසැම්බර් 23 වැනිදා සිය දිවියෙන් සමුගෙන තිබිණ. (මේ ලිපියේ කරුණු පිළිබඳව වැඩි විස්තර ඔබ දන්නේ නම් එය ලියුම්කරු වෙත යොමු කළ හැකිය.)

Comments