‘කොවිඩ් බිය’ යටපත් කළ අවුරුදු සිරි අසිරිය | සිළුමිණ

‘කොවිඩ් බිය’ යටපත් කළ අවුරුදු සිරි අසිරිය

අලුත් අවු­රුද්ද නිමි­ත්තෙන් කොළඹ මුල්ලේ­රි­යාව, අයි.ඩී.එච් රෝහලේ නිරෝ­ධා­නය වන කොවිඩ් රෝගීන් වෙනු­වෙන් එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය, හෙද ඇතුළු සිය­ලුම කාර්ය මණ්ඩ­ලය එක්වී කැවුම්, කිරි­බත් ඇතුළු සිය­ලුම කැවිලි වර්ග ඇතු­ළත් ආහාර පාර්ස­ල­යක් ලබා­දී­මට කට­යුතු කළහ. ඒ සඳහා රෝහල් කාර්ය­ම­ණ්ඩ­ලය යුහු­සු­ළුව සුදා­නම් වූයේ මෙලෙ­සිනි.                   ඡායා­රූ­පය- සුලෝ­චන ගමගේ
අලුත් අවු­රුද්ද නිමි­ත්තෙන් කොළඹ මුල්ලේ­රි­යාව, අයි.ඩී.එච් රෝහලේ නිරෝ­ධා­නය වන කොවිඩ් රෝගීන් වෙනු­වෙන් එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය, හෙද ඇතුළු සිය­ලුම කාර්ය මණ්ඩ­ලය එක්වී කැවුම්, කිරි­බත් ඇතුළු සිය­ලුම කැවිලි වර්ග ඇතු­ළත් ආහාර පාර්ස­ල­යක් ලබා­දී­මට කට­යුතු කළහ. ඒ සඳහා රෝහල් කාර්ය­ම­ණ්ඩ­ලය යුහු­සු­ළුව සුදා­නම් වූයේ මෙලෙ­සිනි. ඡායා­රූ­පය- සුලෝ­චන ගමගේ

ශ්‍රී ලාංකිකයන් මෙවර සිංහල- හින්දු අලුත් අවුරුද්ද සැමරුවේ ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 139 සීමාවේත් ගෝලීය මරණ සංඛ්‍යාව මිලියන 3 පසුකරමින් තිබෙන පසුබිමකය. පසුගිය වසරේදී මෙරට ශ්‍රී ලාංකිකයන්ට අලුත් අවුරුදු අසිරිය විඳගැනීමට කිසිදු අවකාශයක් නොවුණේ ඒ වන විට රටම ලොක්ඩවුන් තත්ත්වයට පත්වී තිබුණු නිසාය. එහෙත් වාසනාවකට මෙන් මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශයන්ට යටත්ව හෝ අලුත් අවුරුද්ද සැමරීමට අවස්ථාව සැලසීම සතුටට කරුණකි.

 

මේ වනවිට ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් හමුවන දෙවැනි රට වන ඉන්දියාවේ තත්ත්වය වඩාත් දරුණු අතට හැරෙමින් තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි. ඉකුත් 15 වැනිදා පමණක් එරටින් නව අසාදිතයන් ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අතර මරණ 1,183ක් සිදුව ඇත. විදෙස් වාර්තා පවසන්නේ හින්දු බැතිමතුන් මිලියන 3කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති කුම්භමේලා උත්සවය ආසාදිතයන්ගේ ශීඝ්‍ර වර්ධනයට හේතු වී ඇති බවය. ඉන්දීය සෞඛ්‍ය අංශ වයිරසයේ වත්මන් ව්‍යාප්තිය කොවිඩ් සුනාමියකට සමාන කර ඇති අතර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ඉකුත් 15 වැනිදා සිට අප්‍රේල් මාසය අවසන් වනතුරු ලොක්ඩවුන් කර ඇත. ඊට හේතුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගෙන් හතරෙන් එකක් වාර්තා වන්නේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වීමය. එමෙන්ම කොවිඩ් සිවුවැනි රැල්ලට ද මුහුණ පා සිටින ඉන්දියාවේ අගනගරය වන නවදිල්ලි නුවරට මේ සති අන්තයේදී ඇඳිරි නීතිය පැනවීමට නියමිතය. මේ අතර ඉන්දියාවේ කුම්භ මේලා උත්සවයට පැමිණි බැතිමතුන් සිය ගණනකට සහ ප්‍රධාන පූජකවරුන් 9 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මේ අතර බක් මාසයේදී වසන්ත සිරියෙන් සැරසෙන නුවරඑළිය නගරයට මෙවර අවුරුදු සමයේදී වාර්තාගත සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි බව වාර්තා විය. මේ හේතුවෙන් නවාතැන් ගැනීමේ ස්ථාන ද පිරී ගොස් ඇති බවත් කොවිඩ් පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරන ලෙස සංචාරකයන්ගෙන් ඉල්ලා සිටින බවත් නුවරඑළිය නගරාධිපතිවරයා නිවේදනය කළේය.

අවුරුදු සිරිය රට වටා සැරිසරද්දී කොවිඩ් 19 මාරයා විසින් මෙරටින් බිලිගත් ජීවිත සංඛ්‍යාව 608ක් දක්වා ඉහළ ගියේ ඉකුත් 15 වැනිදාය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ පරිදි එලෙස මරණයට පත් වූයේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පිරිමි පුද්ගලයකු, එල්ල කළ ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක, කපුලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් විටින් විට අවධාරණය කරන්නේ උත්සව සමය තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහ ජනතාව විසින් කොවිඩ් වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශන දිගටම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන බවයි. එසේ නැතහොත් තවත් කොවිඩ් රැල්ලක් රට පුරා ව්‍යාප්ත වීම නොවැළැක්විය හැකි බවට ද ඔවුහු අනතුරු අඟවති.

මේ අතර රාමසාන් උපවාසයන්හි නිරතව සිටින පිරිස් විසින් අනුගමනය කිරීම සඳහා ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත්තේ පසුගිය වසරේදී ඉස්ලාමීය බැතිමතුන්ට ද රිසි සේ රාමසාන් සැමරීමේ අවස්ථාව කොවිඩ් වසංගතය විසින් උදුරා ගෙන තිබූ නිසාය. තොරන ඉදිකිරීමේ නිරතව සිටින්නන් ද පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් රජයෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙවර වෙසක් සහ පොසොන් උත්සව වෙනුවෙන් තොරන ඉදිකිරීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසටය.

Comments