ඈ පුණ්ණා නම් වූවාය | සිළුමිණ

ඈ පුණ්ණා නම් වූවාය

 

ඇගේ නම පුණ්ණා ය. ඇය උපන්නේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයා ගේ නිවසේ ය. පුණ්ණා ගේ මව ඒ සිටු මැදුරේ දාසියකි. තරුණ වියේදී ම පුණ්ණා බුදුරජාණන් වහන්සේගෙන් සීහනාද සූත්‍රය අසා සෝවාන් වූවා ය.

සිටු මැදුරට දිය ගෙන එන්නට ඇය දිනපතා ගඟට ගියා ය. සුද්ධ වූ තොටුපළක නෑමෙන් පව් සේදේ යයි විශ්වාස කළ බමුණකු සමඟ ඇය වාද කළා ය. බමුණා සිය පවු සේදීමේ ක්‍රමය වැරදි බව වටහා ගත් පසු බුදු සසුනට ඇතුළුව නිවන් සුවය ලැබූයේය.

මේ පිළිබඳව ඇසූ අනේපිඬු සිටුතුමා ඇය දාස භාවයෙන් නිදහස් කළේ ය. ඇය පැවිදි වූවා ය. විදසුන් වඩා රහත් බව ලැබුවා ය.

පුණ්ණා රහත් මෙහෙණින් වහන්සේ ගේ උදාන ගීතය වූයේ අර බමුණා සමඟ වූ සංවාදය යි.

පුණ්ණා :- සීත කාලයෙත් මේ වතුරට බැස්සා

වතුර බඳුන් සිටු මැදුරට අරන් ගියා

මා ඒ ලෙස දුක් වින්දේ හාම් පුතා

මට දඬුවම් දෙයි කියනා බිය හින්දා

හැම උදයක, සවසක ගිලෙමින් වතුරේ වෙවුල වෙවුල දැඩි සීතල විඳ ගනිමින්

බමුණාණනි, ඔබ සිරුරට දුක් දෙන්නේ

කවුරුන් හට බියෙන්දැ යි පවසනු මැනවි

බමුණා:- පුණ්ණා ඔබ දැන දැන ඇයි විමසන්නේ

මා කරනුයේ වතුරේ පව් සේදීම යි

පවු රැස් කොට තිබේ නම් කා හට වුවද

එය සෝදා නිදහස් විය හැකිය මෙයින්

 

පුණ්ණා:- කර්ම විපාකය ගැන කිසි දෙයක් නො දත්

බමුණාණනි, පවු සේදෙන වග නෑමෙන්

ඔබට කියා දුන්නේ කවුදැ යි කියනු

කවුරු වුව ද ඔහු කර්මය ගැන නො දනී

ඔබ කියනුයේ ඇත්තක් නම් වෙසෙන දියේ

ගෙම්බන්, කැස්බෑවන් හා කිඹුලන් ද

මිය ගිය පසු ස්වර්ගය වෙත යනු නියතයි

සතුන් මරන්නන්, සොරකම් කරන්නන්

රැස් කළ සියලු පවු නෑමෙන් පසු ඉවරයි!

 

ඔබ කළ පවු සේදෙන විට මේ වතුරෙන්

ඔබ කළ පින් ඇත්නම් ඒවත් සේදෙයි

උදේ සහ සවස ඔබ බසිනුයෙ දිය ට

බිය ඇති නිසා නේදැ යි කිව මැන පවට

එසේ නම් නොදී දුක් පීඩා සමට

පවෙන් මිදී ජීවත්වනු මැන සොඳට

 

බමුණා:- පින්වත් පුණ්ණා මා මෙතුවක් සිටියේ

නොමඟය, ඔබයි මා වතුරෙන් ගොඩ ගත්තේ

ආරිය මඟ ට මා යොමු කළ ඔබට මගේ

මේ සළුපට පුද දෙමි පිළිගනු සතොසේ

 

පුණ්ණා :- එපා ඔබේ සළු පට මට එපා එපා

අකැමති නම් දුකට, ඔබ බිය නම් දුකට

රහසිගතව හෝ එළිපිට කිසිදු පවක්

නොකරනු පවු විපාකය නිසැකව ම ලැබේ

පවු විපාක පල දෙන විට පලා යන

ඉඩක් ලැබෙන්නේ නම් නැත කිසිවකුට

බිය නම් පවට තෙරුවන් සරණ යනු මැන

එය පිහිටක් වේවි ඔබ ගේ යහපතට

 

බමුණා :- පින්වත් පුණ්ණාව මා ඒ අකම්පිත

සිත් ඇති බුදුන්, සදහම්, සඟ රුවන් තුන

සරණ යමි උතුම් සිල් රඳවමින් සිතේ

උදා වේය යහපත මට සැක නැතිව

බමුණු කුලේ මා ඉපදුණු නිසා එදා

බ්‍රහ්ම බන්ධුයන නම මා හට ලැබුණා

එහෙත් මා සැබෑ බමුණකු වුණේ අදයි

ත්‍රි විද්‍යාව මට ලැබුණා

නිවන් සුවය උරුම වුණා

කෙලෙස් සෝදලා දැම්මා

Comments