
මහරගම නගර සභාව, පසුගිය කාලයේ බොහෝ අවස්ථාවලදී කතාබහට ලක්වූ නගර සභාවකි. විශේෂයෙන්ම 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී එහි පාලක පක්ෂය පත්වීමේ සිටම කරළියට ආ මහරගම නගර සභාව පිළිබඳව මෑතකදී ද දැඩි සේ කතාබහක් වූයේ මහරගම නගර මධ්‍යයේ වූ වෙළෙඳසල් කීපයක් ඉවත් කිරීමේදී වූ නොසන්සුන්තාවක් නිසාවෙනි. මෙවර අලුත් අවුරුදු උදාවෙන් පසුව නැවතත් මහරගම නගර සභාව පිළිබඳව කතාබහක් කරළියට එන්නෙ එහි නාගරික මන්ත්‍රීවරියන් දෙපළකගේ කෙස්වලු පටලවා ගැනීමේ හුටපටයක් හේතුවෙනි.
ඒ, පාලක පක්ෂයේ මන්ත්‍රිනි 35 හැවිරිදි පස්මස් ගැබිනියක වන රසිකා ගුණසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරියක වන 47 හැවිරිදි ඉනෝජා මුණසිංහ අතර වූ ගැටුමකි. එම ගැටුම නිසාවෙන් යැයි සඳහන් කරමින් රසිකා මන්ත්‍රීවරිය ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගත්තාය. ඇයට බැණ වැදී තර්ජනය කරමින් පහර දුන්නා යැයි මහරගම පොලිසියට කළ පැමිණිල්ල අනුව ඉනෝජා මන්ත්‍රීවරිය පසුගිය 19 වැනිදා පෙරවරුවේ මහරගම පොලිසියට කැඳවනු ලැබුවාය.
ඒ අනුව මහරගම පොලිසියේ අත්අඩංගුවට පත් ඉනෝජා එදිනම නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ගංගොඩවිල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් තරයේ අවවාද කොට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය. ඊට අමතරව නැවතත් අධිකරණ කටයුතු සඳහා ලබන ජූලි මස දහනව වැනි දින අධිකරණයට කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.
![]() |
ගැටුමට මුල් වූ පන්නිපිටිය පොල්වත්ත ප්‍රෙද්ශයේ පිහිටි කුණු කානුව |
එලෙස රසිකා මන්ත්‍රීවරිය සහ ඉනෝජා මන්ත්‍රීවරිය අතර ගැටුමේ ආරම්භය සිදුවී ඇත්තෙ පසුගිය 15 වැනිදායි. එදින මහරගම නගර සභාවේ උප නගරාධිපතිවරයකුව සිටි කරෝලිස් රාජපක්ෂ මියයෑමෙන් පසු ඔහුගේ දේහය මහරගම නගර සභා ගොඩනැඟිල්ලට ගෙනැවිත් තිබුණේය. ඒ, මන්ත්‍රීවරුන්ට සහ එහි සේවකයන්ට අවසන් ගෞරව දක්වමින් උත්සව සභාවෙන් අනතුරුව දේහය ගොඩිගමුව භූමදානයට රැගෙන යෑමටයි.
එම අවමංගල උත්සවයට රසිකා ගුණසිංහ සහ ඉනෝජා මුණසිංහ මන්ත්‍රීවරියන් ඇතුළු බොහෝ මන්ත්‍රීවරු මෙන්ම නගර සභා සේවකයෝද එක්ව සිටියහ. ඒ අතර ඒ අවමංගල උත්සවයට සහභාගිවූ රසිකා සහ ඉනෝකා අතර බහින්බස්වීමක් සිදුවී තිබුණේ මහරගම නගර සභාවට අයත් පොල්වත්ත ග්‍රාම නිලධාරි වසමේ, ග්‍රාම සංවර්ධන පාර, 1 වන පටුමගේ ජලය බැස යාමට තිබෙන කානුවක් කලෙක සිටම වල්බිහි වී අවහිර වීම නිසාවෙන් සිදුකරන සංවර්ධන කටයුත්තක් නිසාවෙනි.
එම අවමංගල උත්සව සභාව අවසන පිරිස නගර සභා ගොඩනැඟිල්ලේ ඉහළ මහලේ සිට තරප්පු පෙළ බසිමින් එන අතර දෙදෙනා අතර බහින්බස් වීම උත්සන්න විණි. කෙසේ හෝ එ් අවමංගල උත්සව සභාවෙන් අනතුරුව නිවෙසට ගිය රසිකා මන්ත්‍රීවරිය රාත්‍රියේ ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූවාය. ඒ නගර සභා ගොඩනැඟිල්ලේ පඩිපෙළ බසිමින් සිටියදී ඉනෝජා මන්ත්‍රීවරිය පහර දී තල්ලු කළ බවත් එම නිසා උදරයේ වේදනාවක් හටගත් බව සඳහන් කරමිනි. එම පහරදීම පිළිබඳව ජයවර්ධනපුර රෝහල් පොලිසියට ලැබුණු පැමිණිල්ල අනතුරුව යොමුකර තිබුණේ එම සිදුවීමට අදාළ පොලිස් වසම වන මහරගම පොලිසියටයි.
ඒ අනුව මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්තගේ මෙහෙයවීමෙන් එහි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක පියරත්න ඇතුළු කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කළහ. එහිදී විමර්ශන නිලධාරිහු පසුදින එනම් 16 වැනිදා මහරගම නගර සභාවටද ගොස් විමර්ශන සිදුකරද්දී දැනගන්නට ලැබී ඇත්තෙ පහර දීමේ චෝදනාව එල්ල වූ ඉනෝජා මන්ත්‍රීවරිය සිය පවුලේ අයවලුන් සමඟ විනෝද චාරිකාවක් සඳහා ගොස් ඇති බවයි.
එදින සවස ඇයව ඇමැතු මහරගම පොලිසිය ඉනෝජාට දන්වා ඇත්තේ හැකි ඉක්මනින් මහරගම පොලිසියට පැමිණෙන ලෙසටයි. ඒ අනුව විනෝද චාරිකාව නිම කරමින් පැමිණි ඉනෝජා 19 වැනිදා පෙරවරුවේ මහරගම පොලිසියට පැමිණීමෙන් පසු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
කෙසේ හෝ මහරගම නගර සභාවට අයත් මාර්ගයක සංවර්ධන කටයුත්තක් නිසාවෙන් වූ ගැටුම බහින්බස් වීමක් පමණක් බවත් කිසි විටෙක ගැබිනියකට හෝ කිසිවෙකුට තමා පහර නොදෙන බව ඉනෝජා මන්ත්‍රීවරිය මේ පිළිබඳව අප කළ විමසීමකදී පවසන්නට වූවාය. ඇය වැඩිදුරටත් පවසන්නෙ,
"ඇත්තටම මං කිසිම පහරදීමක් කළේ නෑ. විශේෂයෙන්ම ගැබිනි කාන්තාවකට පහර දීමට තරම් මම අමානුෂික නෑ. මහරගම නගර සභාවට අයත් පොල්වත්ත කොට්ඨාසයේ කානුවක ප්‍රශ්නයක් වුණේ. ඒ කානුව අවහිරතාව ඉවත් කරලා දෙන්න කියලා මේ මස 05 වැනිදා පොල්වත්ත ජනතාව මගෙන් ඉල්ලීමක් කළා. ඒ ජනයා ඔය මන්ත්‍රීවරියටත් වසර දෙක තුනක් තිස්සෙ ඒ දේ කියලා තියෙනවා. ඒත් ඒ දේ වෙලා නෑ. පස්සෙ මට ලැබුණු ඒ පැමිණිල්ල මම නගරාධිපතිතුමාට ඉදිරිපත් කළා. නගරාධිපතිතුමා පහුවදාම නගර සභාවේ ටීඕ මහත්තයා සහ ඉංජිනේරුවා සමඟ ඒ ස්ථානයට ගොස් සොයා බැලුවා. එදා ම අපි ඇස්තමේන්තුවකුත් හැදුවා. නුදුරේදීම නගර සභාවේ මහජන මුදල්වලින් ඒ කානුව පිළිසකර කරන්නයි නියමිත. ඕනෙ කෙනකුට බලාගන්න පුළුවන් ඒ කානුව වල්බිහිවෙලා විශාල ගස් පවා පැළවෙලා තිබුණේ. ඊට අමතරව ප්‍රදේශවාසීන් පවසන්නෙ ඒ ස්ථානය ඩෙංගු මදුරුවන්ගෙ රජදහනක් කියලා.
එහෙම තියෙද්දියි පසුගිය 15 වැනිදා හිටපු උපනගරාධිපතිවරයාගේ දේහය නගර සභාවට රැගෙන ආවේ. ඒ මොහොතේ එහි අවමංගල්‍ය සභාව අවසන් වෙලා සියලු දෙනා තරප්පු පෙළ බසිමින් හිටියේ. වෙලාව පහට විතර ඇති. නගර සභාවේ මන්ත්‍රිවරු හත්අට දෙනෙක් වගේම සේවකයෝත් විස්සක් තිහක් විතර හිටියා.
ඒ මොහොතේ ඔය කානුව පිළිසකර කිරීමේ සංවර්ධන කටයුත්ත නිසා රසිකා මන්ත්‍රීවරිය මගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා කියලා මට බැන්නා... මං ඇහුවා, ඔයාගේ වැඩක් වෙන්නෙ කොහොමද? මහජන පැමිණිල්ලටනේ අපි වැඩ කරන්නෙ කියා. ඒ වගේම මං කිව්වා, ඔයාට දරුවෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක්නෙ. ඔයාගේ පාඩුවේ ඔයා ඉන්න මං වැඩේ කරන්නම් කියලා.
නෑ... ඒක කොහොමත් කරන්න දෙන්නෙ නෑ. පිනට පාත්වෙච්ච පින් මන්ත්‍රීවරු කියමින් මට බැන්නා... තව වැඩේ කළොත් බලාගන්නම් කියමින් ගියේ... මම නගරාධිපතිතුමා ඇතුළු පිරිස සමඟ කනත්තට ගිහින් ගෙදර ගියා. ඕක තමයි වුණේ... පහුවදා පවුලේ අය සමඟ මම විනෝද චාරිකාවක් යන්න යොදාගෙන තිබුණේ. අපි ඒ ගමන 16 වැනිදා පාන්දර පහට විතර ගියා.
ඒ ගමන ගිහින් නුවර ඉද්දි තමයි දවල් 12.30ට විතර මන්ත්‍රීවරයෙක් මට කතා කරලා කීවේ මම පහර දුන්නා යැයි කියා ඒ මන්ත්‍රීවරිය රෝහල්ගත වෙලා... පොලිසිය මාව සොයාගෙන නගර සභාවට පැමිණියා කියා. මට එදා සවස 4.30ට විතර මහරගම පොලිසියෙන් කතා කළා. මං කිව්වා, මම ට්‍රිප් එකක් ගිහින් ඉන්නෙ. සඳුදා පොලිසියට එන්නම්... ඉතින් මම සඳුදා උදේ 8.30 වෙනකොට පොලිසියට ගියා. මට කියන්න තියෙන්නෙ ඔය කතාව තමයි... ඕක තමයි ඇත්ත. මං කරන්න ගියේ ජනතාවට සේවයක්... ඒ වගේම මං කිසි විටෙකත් ඒ මන්ත්‍රීවරියට පහර දුන්නෙ නෑ... ඒක එතැන හිටිය ඕන කෙනෙක්ගෙන් අහන්න..."
ඇය එසේ සඳහන් කරද්දී රසිකා මන්ත්‍රීවරියගේ පාර්ශ්වයෙන් සිදුවූයේ කුමක්ද යන්න නිශ්චිත ලෙසටම දැනගැනීමේ අටියෙන් පහර කෑමකට ලක්වූවායැයි සඳහන් කරමින් රෝහල්ගතවූ රසිකා මන්ත්‍රීවරියගේ ජංගම දුරකථනයට ඇමැතුවත් ඇය ඊට ප්‍රතිචාරයක් නොදැක්වූවාය.
එසේම මෙකී මන්ත්‍රීවරියන් දෙදෙනාගේ ගැටුමට මුල්වූ පොල්වත්ත ග්‍රාම නිලධාරි වසමේ කානු පද්ධතිය අවහිර වීම නිසාවෙන් පීඩාවට පත්ව සිටින ජනයාගෙන්ද අප විමසීමක් කළේය. එහිදී වසර ගණනාවක් පුරා ඉන් පීඩා විඳින ගම්වැසියෙක් වන පාලිත වික්‍රමසිංහ අපට කීවේ මෙවන් කතාවකි.
"මෙහෙමයි, පොල්වත්ත ගමේ වතුර කානුවක් තියෙනවා. දැන් ඒ කානුවේ අඩි 75ක් පමණ වල්බිහිවෙලා විශාල ගසුත් වැවිලා. දැඩි සේ ඩෙංගු මදුරුවෝ බෝවන ස්ථානයක් වෙලා. වර්ෂාව කාලෙට වතුර බහින්නෙ නෑ... ගෙවලුත් යටවෙනවා. එය ප්‍රදේශයට විශාල පරිසර ප්‍රශ්නයක් වෙලා තියෙන ස්ථානයක්. ඒ ප්‍රශ්නය අපේ අවට බොහෝ දෙනෙක් වසර දෙක තුනක් තිස්සෙ රසිකා මන්ත්‍රීතුමියට කිව්වා. කානුව පිළිසකර කරලා දෙන්න කියලා. නමුත් එතුමියගෙන් එය සිදුවුණේ නෑ.
පස්සෙ මම ගිහින් ඉනෝජා මන්ත්‍රීතුමියට මේ ප්‍රශ්නෙ කිව්වා. පුළුවන් නම් අපට මේ කානුව පිළිසකර කරලා දෙන්න ලොකු දෙයක් කියලා. මොකද අපට පක්ෂ, පාට බේදයක් නෑ. ඊට පස්සෙ ගමේ තිස්හතළිස් දෙනෙක් අස්සන් කරලා මේ මස පස්වැනිදා ලිපියකුත් බාර දුන්නා. ඒ ඉනෝජා මන්ත්‍රීවරියගේ මැදිහත් වීමෙන් නගරාධිපතිතුමාට. ඇත්තටම අපි ගිහින් කියපු නිසයි එතුමිය මැදිහත් වුණේ. මෙය රණ්ඩු විය යුතු දෙයක් නොවේ. රසිකා මන්ත්‍රීතුමිය කියන්නෙත් අපි හොඳින් දන්න ගමේම කෙනෙක්. මේ ප්‍රශ්න නැතුවට ඇති කරගන්නා ප්‍රශ්න... ඉතින් අපට කියන්න තියෙන්නෙ අපේ ඡන්දයෙන් පත්වන හැමෝම එකතුවෙලා රටට වැඩ කරන්න... එච්චරයි..."
පක්ෂ, පාට බේදයකින් තොරව මතභේද, ගැටුම් දුරලා ජනතාවට සේවය කිරීම සෑම මහජන නියෝජිතයකුගේම පරම යුතුකම මෙන්ම වගකීම බව අපද දිගින් දිගටම පසක් කර සිටින්නෙමු. එසේ නොමැතිව කුඩා දරුවන් මෙන් අඩදබරවල පැටලීම මොනතරම් විහිළුවක් වන්නේ ද?
ඡායාරූප - සමීර අබේසිංහ,
නුගේගොඩ සමූහ