
මෑත ඉතිහාසයේ වැඩිම පිරිසක් පීඩාවට පත්කළ ගෝලීය කොවිඩ් 19 වසංගතය මේ වන විට ලොව පුරා මිලියන 145ක් ආසාදිතයන් බවට පත්කොට මිලියන 3.07ක් මරු වසඟයට ගෙන ඇත. දැනට වසංගතයේ බලපෑම අතින් ලොව දෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාවේ ඉකුත් 22 වැනිදා පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,102කි. ද්විත්ව කොරෝනා විකෘති ප්‍රභේදයට අමතරව ඉන්දියාවෙන් ත්‍රිත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් ද පැතිර යමින් පවතින බවත් ඉන්දියාවේ දෛනික ආසාදිතයන් දිනපතා ලක්ෂ දෙකට වඩා වැඩි වන්නේ මේ ත්‍රිත්ව කොරෝනා විකෘතිය නිසා බවත් එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.
මේ වන විට ලොව රටවල් කීපයකින් විකෘතිකරණයට ලක්වූ කොරෝනා වයිරස ප්‍රභේද හමුවී ඇති නමුත් මෙකී ද්විත්ව සහ ත්‍රිත්ව කොරෝනා විකෘති හමුවී ඇත්තේ ඉන්දියාවෙන් පමණි. මේ අතර සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුමෙන් පසු ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රදේශ රැසකින් රතු එළි දැක්වෙමින් තිබේ.
මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 300ට අඩුවෙන් පවත්වාගෙන ඒමට සෞඛ්‍ය අංශ සමත් වුවද අලුත් අවුරුදු සැමරුමෙන් පසු ඉකුත් 21 වැනිදා පළමු වරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළිත් 500 ඉක්මවා ගියේය. අලුත් අවුරුද්දෙන් පසු අයි.ඩී. එච් රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් වීමේ වැඩිවීමක් සිදුව ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක පැවසූ අතර ඒ අනුව ඉකුත් 21 වැනිදා පමණක් එම රෝහලට අලුත් කොරෝනා රෝගීන් 150 දෙනකු ඇතුළත් වී ඇත. ඉකුත් මාර්තු මාසය වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගීන් ඉතාමත් අවම මට්ටමකින් වාර්තා වී තිබුණද ඉකුත් සතියෙන් පසු එම ගණන වේගයෙන් වැඩිවූ බවත් මේ වන විට රෝහලේ ඇති හදිසි ප්‍රතිකාර ඒකක දෙකම රෝගීන්ගෙන් පීරී ගොස් ඇති බවත් වාර්තා විය. ඉකුත් 22 වැනිදා මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 700කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය.
මේ අතර අලුත් අවුරුදු උත්සව සමයේදී ජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් කොවිඩ් -19 වසංගතය තදින්ම පැතිර යෑමේ දැඩි අවදානමක් හට ගැනීම නිසා දැඩි තීන්දු ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට ඇත. ඒ අනුව දිනකට අවම වශයෙන් පී. සී. ආර් පරීක්ෂණ 15,000ක් බැගින් සිදු කිරීම, නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක කිරීම හා නිරෝධායන නීති කඩකරන්නන්ට එරෙහිව දඬුවම් ක්‍රියාත්මක කිරීම සහ විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයන් සඳහා විශේෂිත නිරෝධායන නීති අලුතින් සකස් කිරීම ඇතුළු දැඩි පියවර 8ක් වහාම ක්‍රියාත්මක කිරීමට තීන්දු කළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.
ඊට අමතරව රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාව වැඩි කිරීම, රෝගීන්ට අවශ්‍ය හයිෆ්ලෝ ඔක්සිජන් ලබා දීම, දත්ත රැස් කිරීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන්, හෙදියන් ඇතැම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආරක්ෂිත ඇඳුම් වැඩිපුර ලබාදීමටත් පියවර ගෙන ඇත.
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසුව රුධිරය කැටි ගැසුණු මෙරට හය දෙනකුගෙන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. මෙම එන්නත ලබා ගැනීමෙන් සති කිහිපයකට පසුව රුධිරය කැටි ගැසුණු රෝගීන් වෙනත් රටවලින් ද වාර්තා වී ඇති බවත් මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ මිලියනයකට 4ත් 6ත් අතර ප්‍රමාණයකින් බවද සඳහන් කළාය. ලෝක සෞඛ්‍ය සංවිධානය රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර සෘජු සම්බන්ධතාවක් හඳුනා ගෙන නැතැයිද ඇමතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය. කෙසේ වෙතත් කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු සංකූලතා ඇතිවුවහොත් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 011-3415985 දුරකථන අංකය හඳුන්වා දී ඇත.
කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමත් සමඟ කුරුණෑගල,ගනේවත්ත ප්‍රදේශයේ තිත්තවැල්ගාල ග්‍රාම නිලධාරී කොට්ඨාසයට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පනවනු ලැබුවේ ඉකුත් 21 වැනිදාය. එදිනම ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත මරණ 5ක් වාර්තා විය. මෙරට කොවිඩ් 10 දෙවැනි රැල්ල වාර්තා වූ ගම්පහ දිවුලපිටියෙන් නැවතත් කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අනතුරු අඟවමින් දිවුලපිටිය මැල්ලවගෙදර ප්‍රදේශයේ නව ආසාදිතයන් 44 දෙනෙකු එදින වාර්තා විය.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කිහිපයක මේ වනවිට යළි කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ජනතාව විශේෂ අවධානයක් යොමු විය යුතුයැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේය. මේ අතර අප්‍රේල් 27 වැනිදා සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට තීරණය කළද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද උපදෙස් මත එම දිනය තවත් සති දෙකකින් කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලැබිණි.
වැඩිවෙමින් පවතින කොවිඩ් අවදානම හමුවේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු සභාගර්භයේදී හා ඉන් පිටතදී හැසිරිය යුතු ආකාරය සහ කොරෝනා නීති සම්බන්ධයෙන් ඔවුන්ට යළි සිහි කැඳවීම් කෙරෙන නිවේදනයක් කථානායකවරයාගේ උපදෙස් අනුව ඉදිරි දිනවල නිකුත් කරන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේය.
මේ අතර ඉදිරි සති දෙක සහ තුනක කාලය ඉතා තීරණාත්මක හා අවදානම් බැවින් ඉදිරියේදී කිසිදු උත්සව අවස්ථාවක ඒකරාශීවීමක් සිදු නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කුලියාපිටිය, දිවුලපිටිය, යාපනය සහ ගම්පහ ප්‍රදේශවල රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වන බැවින් රෝගීන් සංඛ්‍යාව වැඩි වුවහොත් දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය 15,000ක් දක්වා වැඩිකිරීමට තීරණය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය. PCR හා ඇන්ටිජන් කට්ටල අවශ්‍ය තරමට තිබෙන බවත් අලුතින් ලබාගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
කොවිඩ් වයිරසයේ වත්මන් ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ මේ දක්වා මෙරට කොවිඩ් ආසාදිතයන් වැඩිවශයෙන් වාර්තා වූයේ අවුරුදු 60ට වැඩි නිදන්ගත රෝග තිබෙන පිරිස අතර වුවත් මේ වනවිට වයස අවුරුදු 30, 40, 50ට අඩු වයස් කාණ්ඩවල පිරිස වැඩිපුර වාර්තා වන බවය.
මේ මොහොත වන විට සමාජය තුළ විශාල ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින බැවින් ඔවුන් හඳුනාගැනීම සඳහා සංචරණ සීමා පැනවීම අත්‍යාවශ්‍ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළ අතර කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිකුරාදා පස්වරුවේ රැස්විය. මෙරටට නව කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කළේ සිකුරාදා පස්වරුවේ පැවැති කොවිඩ් -19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීය. මීට පෙර වාර්තා වු කොවිඩ් ආසාදිතයන්ට වඩා මේ මොහොතේ වාර්තා වන ආසාදිතයන්ගේ ලක්ෂණවල යම් යම් වෙනස්වීම් දක්නට ලැබෙන අතර එම වෛරසය වාතය මඟින් බෝවීමක් පෙන්නුම් කරන නිසාවෙන් වෙනදාට වඩා මුව ආවරණ සැලකිලිමත්ව පැලඳීම වැදගත් බව ද මහාචාර්ය නීලිකා මලවිගේ අවධාරණය කළාය.
එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මෙම අවස්ථාවේදී රට වසා දැමීමක් හෝ සංචරණ සීමා පැනවීමක් නොකරන අතර රෝග ව්‍යාප්තිය අනුව ගත යුතු පියවර ගන්නා බවය.
ඉදිරි දිනවලදී කොවිඩ් ආසාදිතයන් තවත් ඉහළයෑමේ අවදානමක් ඇති බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආරක්ෂා වන්නැයි ජනතාවට දැනුම් දෙන බවද හෙතෙම සඳහන් කළේය. ඒ අනුව සති අන්තයේ නිවෙස්වල සිටින ලෙසත් සංවිධානය කර ඇති චාරිකාවල නිරතවීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී හමුදාපතිවරයා තමා කොවිඩ් ආසාදිතයකු වීමෙන් වැළකී සිටීමේ වගකීම සෑම පුරවැසියකුටම පැවරෙන බව ද අවධාරණය කළේය.