
ඩෙංගු ලොව රටවල් සියයකට අධික සංඛ්‍යාවකට බලපාන වසංගත රෝගී තත්ත්වයකි. වසරක් පාසා විශාල ජනතාවක් මෙම රෝගයට ගොදුරුව පීඩා විඳින අතර, ඉන් සමහරෙක් සිය ජීවිතයෙන්ද සමුගනිති. එනිසා ඩෙංගු රෝගය බරපතළ සෞඛ්‍ය ගැටලුවක් වන අතර, එය මෙරට සෑම දිස්ත්‍රික්කයකම පාහේ ව්‍යාප්තව පවතී. විශේෂයෙන් 2009, 2010 සහ 2013 වර්ෂවලදී මෙතෙක් සිදු වූ දරුණුතම ඩෙංගු වසංගත තත්ත්වයට මෙරට මුහුණ දුන්නේය. එනිසා මෙවැනි වසංගත තත්ත්වයක් සාර්ථකව පාලනය කළ හැකිනම් එය මෙරටට පමණක් නොව මුළුමහත් මානව ප්‍රජාවගේම යහපතට හේතුවන්නකි. මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශය හා කැලණිය විශ්වවිද්‍යාලයේ අණුක වෛද්‍ය ඒකකය එවැනි සත් කාර්යයකට උරදී සිටියි.
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ පරපෝෂිත ජීව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නයන ගුණතිලකගේ අධ්‍යයන වාර්තාව අනුව 1901 සිට 2016 දක්වා මදුරු විශේෂ 159 ක් මෙරටින් වාර්තා වී ඇති අතර ඉන් විශේෂ 23 ක් මෙරටට ආවේණික විශේෂ ලෙස සැලකේ. මෙම විශේෂ අතරින් ඩෙංගු වයිරසය රැගෙන යන වාහකයන් ලෙස සැලකෙන්නේ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන විශේෂයන්ය. අනෙකුත් මදුරු වර්ග ඩෙංගු වයිරසය රැගෙන නොයන බව සනාථ වී ඇත. එනිසා ඩෙංගු වයිරසයේ වාහක මදුරුවන් පාලනය කළහොත් ඩෙංගු රෝගය මැඬ පැවැත්විය හැකි බව මේ සම්බන්ධයෙන් පවතින පිළිගත් මතය වේ. ඩෙංගු සඳහා ඖෂධයක් හෝ ඵලදායී එන්නත් මෙතෙක් නිෂ්පාදන කර නොමැති අතර ඩෙංගු මදුරු පාලනය, ඩෙංගු වයිරස් සම්ප්‍රේෂණය පාලනය කිරීම එකම විකල්පය ලෙස සැලකෙයි. මේ වනවිට ලොව පුරා මෙම රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමවේද හා නූතන ක්‍රමවේද යනුවෙන් ක්‍රියාමාර්ග දෙකක් අනුගමනය කරයි. සාම්ප්‍රදායික ක්‍රම මඟින් ළඟා කරගෙන ඇත්තේ සිමා සහිත සාර්ථකත්වයකි. එනිසා ඇමරිකාව බ්‍රිතාන්‍ය වැනි ලොව දියුණු රටවල් මේ සඳහා නූතන ක්‍රමවේදවලට අවතීර්ණ වී සිටියි.
ශ්‍රී ලංකාවේ ජෛව විද්‍යාඥයෝ මීට සාර්ථකව මුහුණ දීම සඳහා නූතන ක්‍රමවේදවලට අවතීර්ණ වී සිටිති. කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය රනිල් දසනායකගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායම, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අණුක වෛද්‍ය ඒකකයේ මහාචාර්ය නිල්මිණී ගුණවර්ධන සමඟ එක්ව ඩෙංගු වයිරස් ප්‍රතිරෝධී ජාන සුසංහිත මදුරුවකු නිර්මාණය කිරීමේ විද්‍යාත්මක පරික්ෂණයක් ආරම්භ කළහ. ඒ අනුව කලිඳු රම්‍යසෝම ශිෂ්‍යයාගේ ආචාර්ය උපාධි පර්යේෂණ ව්‍යාපෘතියේ කොටසක් ලෙස ආර්එන්ඒ (RNA)බිඳ දැමීමේ යාන්ත්‍රණය (ආර්එන්ඒඅයි) පදනම් කරගත් තාක්ෂණය භාවිත කරමින් ඩෙංගු ප්‍රතිරෝධී ජානයක් (multi-miRshRNA) ජෛව තොරතුරු ආධාරයෙන් නිර්මාණය කර ඩෙංගු මදුරු විශේෂයක් වන ඊඩිස් ඊජිප්ටි මදුරුවන්ගේ ජීනොමයට සම්ප්‍රේෂණය කිරීම සිදු විය.
අප්‍රිකානු මහද්වීපයේ ජන්මය ලබා මුළු ලෝකය පුරාම ව්‍යාප්තව වසර මිලියන 40 ක පමණ කාලයක පටන් ජීවත්ව ඇති මෙම මදුරු විශේෂ විලෝපිකයන්ගෙන් හා කටුක පරිසර සාධක විලින් බේරී පවතින පරිසර පද්ධතියට හොඳින් අනුවර්ථනය වී පරිනාමය වී ඇත. ළිඳක, ජල තටාකයක, පොකුණක, ගස් බෙනයක, අතුපතර ආදී වතුර එක්රැස්වන ඕනෑම ස්ථානයක බිත්තර දමා සිය දාහස් ගණන් බෝ කළ හැකිය. මෙනිසා මේ මදුරුවන්ගේ ව්‍යාප්තිය වැළැක්වීමට කටයුතු කිරීම ඉතාම අපහසුය. අප උත්සහ කළේ එම ස්ථානවලට පහසුවෙන් ළඟා වී ඩෙංගු සම්ප්‍රේෂණය නැවතිය හැකි විශේෂ හැකියාවැති මදුරුවකු නිර්මාණය කිරීම බව කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය රනිල් දසනායක පැවැසුවේය.
මෙම නූතන තාක්ෂණික ක්‍රමවේදය හඳුන්වන්නේ රයිබොනියුක්ලික් අම්ලය (RNA)බිඳ දැමීමේ යාන්ත්‍රණය ලෙසය. රයිබොනියුක්ලික් අම්ලය (RNA)යනු සියලුම ජීව සෛලවල ඇති වැදගත් ජීව විද්‍යාත්මක සාර්ව අණුවකි. සෑම සත්ත්වයකු තුළම මෙම ආර්එන්ඒ පවතින අතර, මේ තුළ ජීව සංවර්ධනය හා නඩත්තුව සඳහා අවශ්‍ය ජානමය උපදෙස් අඩංගු වේ. මෙකී යාන්ත්‍රණය බිඳදැමී ජාන සුසංහිත මදුරුවා විසින් සිදු කරයි.
ඒ අනුව මෙම නව මදුරු විශේෂය බිහි කිරීමට නව ඩීඑන්ඒ (DNA) අනුවක් නිර්මාණය කළ අතර, ඒවා වැඩි වශයෙන් නිපදවීම සඳහා ඇමරිකානු සමාගමක සහය ලබාගෙන ඇත. වෛරසය සහ ඩෙංගු වාහකයා පිළිබඳව ලොව පුරා ජීව බැංකුවල ඇති සියලුම ජීව දත්ත මෙම කාර්ය සඳහා යොදා ගැනුණි. ඒ අනුව නව ඩීඑන්ඒ (DNA) අනුවක් නිර්මාණය කළ අතර, එය ඩෙංගු ප්‍රතිරෝධී ජානය ලෙස හඳුන්වයි.
මේ නව ඩීඑන්ඒ (DNA)අනුව ඊඩිස් ඊජිප්ටි මදුරුවකුගේ බිත්තරවලට ඇතුළු කිරීම සඳහා රතු ෆ්ලෝරසෙන්ට් (red fluorescent) ප්‍රෝටීනයක් සහිත තවත් ජානයක් නිෂ්පාදනය කළේය. එය රතු දීප්තිමත් ජානයකි. මෙම ජාන විශේෂ දෙක එකට මුහුම් කර ඉතා කුඩා ප්‍රමාණයක් ඊඩිස් ඊජිප්ටි මදුරුවකුගේ බිත්තරවලට ඇතුළත් කෙරිණි. එවිට එම ජාන මදුරුවාගේ ජානවලට බද්ධ වී ක්‍රමානුකූලව වැඩෙන්නට පටන් ගනී. මෙලෙස මදුරු බිත්තර 12,500කට පමණ ක්ෂුද්‍ර විදිනය ආධාරයෙන් කලිඳු විසින් ඇතුළු කළේය. මෙලෙස බිත්තරවලට ජාන ඇතුළත් කිරීම පහසු කාර්යයක් නොවන අතර, විනාඩි 30ක් ඇතුළත ක්ෂුද්‍ර විදිනය කළ යුතු වේ. මදුරුවන් බෝකිරීම සිදු කරනු ලැබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයට අයත් අනුක වෛද්‍ය ඒකකය තුළය. මෙම නව ජානය බිත්තරවලට ඇතුළු කිරීමට අවශ්‍ය විශේෂිත ක්ෂුද්‍ර විදිනය (Micro Injector) රාගම වෛද්‍ය විද්‍යාලයේ අනුක වෛද්‍ය ඒකකය තුළ ස්ථාපිත කර ඇති අතර, මෙම උපකරණ ලංකාවටම ඇත්තේ එකක් පමණි. මේ සඳහා පුහුණුව ලත් එකම පුද්ගලයා වන්නේද කලිඳු රම්‍යසෝම වීමද විශේෂය.
කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අනුක ජීවවිද්‍යා ඒකකය තුළ නිර්මාණ කළ මෙම නව ජානය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම අනුක වෛද්‍ය ඒකකය තුළ දී මදුරු බිත්තර තුළට ඇතුළු කළේය. එලෙස නිමැවූ ජාන සුසංහිත මදුරුවා සහ සාමාන්‍ය මදුරුවා අතර බැලූ බැල්මට වෙනසක් නොපෙනුණද වඩ සූක්ෂමව බැලූ විට නව මදුරු විශේෂයේ ඇස් රතු පැහැයෙන් දිස්වේ. එය සිදු වන්නේ නව ඩීඑන්ඒ (DNA)අනුව සමඟ ඇතුළත් කළ රෙඩ්ෆ්ලොරසන් ප්‍රෝටීනයක් සහිත ජානය නිසාය. ඒ අනුව ජාන සුසංහිත මදුරුවා පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබේ.
මෙලෙස ජාන ඇතුළත් කළ මදුරුවා ඩෙංගු පැතිරීම වැළැක්වීම සඳහා යොදාගන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අණුක වෛද්‍ය ඒකකයේ මහාචාර්ය නිල්මිණී ගුණවර්ධන පවසා සිටියේ මදුරුවා විසින් ලේ උරා බීමේදී ඩෙංගු ප්‍රතිරෝධී ජානය ප්‍රකාශ වන ආකාරයට එය නිමවා ඇති බවයි. මෙම ජානය සෑම මොහොතකම ප්‍රකාශ නොවන අතර, වතාවක් දෙවතාවක් ඩෙංගු ආසාදිතයකුගේ රුධිරය උරා බිව් මදුරුවකු තුළට වයිරසය ඇතුළු වූ විට නව ජානය ක්‍රියාත්මක වීමට පටන් ගනී. එනම්, එය සක්‍රීය වන්නේ මදුරුවාගේ ශරීරය තුළට රුධිරය පැමිණි විටය.
මෙම ක්‍රියාවලිය ආරම්භ වන්නේ අලුතින් නිර්මාණය කළ ජාන සුසංහිත මඳුරුවන්ගෙන් පිරිමි මදුරුවන් වෙන්කර පරිසරයට මුදා හැරීම මඟිනි. මේ ජාන සුසංහිත මදුරුවන් පරිසරයට මුදාහල පසු පරිසරයේ සිටින ගැහැනු සතුන් හා සම්බන්ධ වී ප්‍රජනනය කරයි. එවිට ඒ පිරිමි මදුරුවා සතු ඩෙංගු ප්‍රතිරෝධී ජානය ඊළඟ පරම්පරාවට හිමි වේ. එවිට එම නව පරම්පරාව විසින් ඩෙංගු සම්ප්‍රේෂණය වීම නවතා දමයි. නව මදුරු විශේෂය යොදාගෙන කළ පර්යේෂණය අනුව ඩෙංගු රෝග වයිරස් සම්ප්‍රේෂණය කරන කාණ්ඩ 4න් කාණ්ඩ 2 සහ කාණ්ඩ 4 දෙකෙහිම සම්ප්‍රේෂණය නවතා දැමීමට මෙම නව විශේෂයට හැකි වී ඇත. දැනට වාර්තා වී ඇති බහු ඩෙංගු වයිරස් කාණ්ඩවලට ප්‍රතිරෝධී වන ජාන සුසංහිත මදුරුවන් අතරින් මෙකී ලක්ෂණය පිළිබිඹු කරන ප්‍රථම මදුරු විශේෂය මෙය වේ.
උපකුලපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා එන්.විජේරත්න පවසන පරිදි ජානමය රෝගී තත්ත්වයන් සහ ජානමය වගා සඳහා ජානමය ව්‍යූහය හඳුනාගෙන එහි ක්‍රියාකාරිත්වය හදාරා ප්‍රායෝගික විද්‍යාත්මක ක්‍රමවේදයන්ගෙන් නවොත්පාදනයක් ශ්‍රී ලංකාව තුළ මේවනතෙක් සිදු කර නොමැති තත්ත්වයක් තුළ සිදු කළ මෙම පර්යේෂණය ඉතාම විශිෂ්ට වූවක් බවයි. එසේම මෙම පර්යේෂණය හරහා ශ්‍රී ලංකාවේ ජෛව තාක්ෂණය ලොව දියුණු රටවල ජෛව තාක්ෂණික සොයාගැනීම් සමඟ කරට කර පැමිණිය හැකි බව පෙන්නුම් කරන අවස්ථාවක් බවයි. මෙම සොයා ගැනීම මෙරටට පමණක් නොව මුළුමහත් මානව ප්‍රජාවටම තිළිණ කළ අපූර්ව තිළිණයක් බව ඇගේ අදහසය.