
සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන 12න් එකක් වන දැරණියගල ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය සතු වේ. 2018 වසරේ පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10790ක් ලබාගනිද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 11460ක් ලබාගත්තද දැරණියගල ප්‍රාදේශීය සභාවේ 'බලය' එජාපය සතු වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්ද එජාපයට සහාය දුන් හෙයිනි.
ඒ අනුව වසර 12කට පසුව එනම් 2006 වසරෙන් පසු එජාපය බලයට දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්වීම් ලැබුවේ ලක්ෂ්මන් රාජකරුණා හෙවත් චීප් සයිඩ් රාජාය.
![]() |
සොරකම් කරන ලද ජල මීටර් තොගය |
දැරණියගල ලස්සේගම කොට්ඨාසය නියෝජනය කරමින් දේශපාලනයට පිවිස ප්‍රථම වතාවට දැරණියගල ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ ලක්ෂ්මන් සිය පියාගෙන් උරුම වූ ව්‍යාපාර කටයුතුවල නිරත වූ අයෙකි. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්වීම් ලැබ මාස කිහිපයකින්ම එනම් 2018 අගෝස්තු මාසයේදීම ලක්ෂ්මන් ගැන කරළියට ආවේ සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍යයන්හි සැරිසැරු වීඩියෝවක් නිසාවෙනි.
එම වීඩියෝවෙන් දිස්වූයේ දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන ලක්ෂ්මන් ඉතාම පහත් අන්දමින් හැසිරෙමින් අසභ්‍ය වචනයෙන් වැඩිහිටියකුට බැණ වදින ආකාරයයි. මුස්ලිම් ජාතිකයෙකු වන එම වැඩිහිටියාට ජාතිවාදය අවුස්සමින් බැණ වදිමින් තර්ජනය කරන්නෙ දැරණියගල ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන එම වැඩිහිටි ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික ස්ථානය ඉවත් කරගන්නා ලෙසටයි.
ඔහුගේ එම හැසිරීම ඒ දිනවල බොහෝ දෙනෙකුගේ දැඩි දෝෂදර්ශනයට ද ලක්වූයේ මෙවන් දේශපාලනඥයන් සමාජයටද පිළිලයක් බව පවසමිනි. කෙසේ හෝ එදා එලෙස හැසිරුණු එම ප්‍රාදේශීය සභා සභාපතිවරයා පිළිබඳව නැවතත් ගෙවී ගිය සතියේ කරළියට ආවේ රාජ්‍ය දේපළ සොරකම් කිරීමේ වරදට පොදු දේපළ පනත යටතේ පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම නිසාවෙනි.
ලක්ෂ්මන් රාජකරුණා සිදු කළ මහජන දේපළ සොරකම් කිරීමේ කතාන්දරය මෙලෙසිනි.
ජල සම්පාදන මණ්ඩලය විසින් මීට වසර හයකට පමණ පෙරදී දැරණියගල, සමන්පුරගම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ආරම්භ කර තිබිණි. පෞද්ගලික සමාගමක් විසින් සිදු කළ එම ව්‍යාපෘතිය සඳහා ගෙනැවිත් තිබූ උපකරණ තොගයක් පසුගිය කාලයේ අතුරුදන් විණි. ඒ අතර පසුගිය 28 වැනිදා එම ව්‍යාපෘතියේ සිවිල් ඉංජිනේරුවකු වශයෙන් සේවය කළ අබේවික්‍රම නමැත්තාට එම ව්‍යාපෘතියේම ගබඩා පාලකවරයකු වන කරුණාරත්න නැමත්තා විසින් එම ව්‍යාපෘතියේම රියදුරෙකු වන සංජීව නැමත්තා විසින් පීවීසී බට තොගයක් සොරකම් කර ඇති බවට දැනුම් දී තිබිණි.
එසැණින් සිවිල් ඉංජිනේරු අබේවික්‍රම විසින් සිදුකළ සමීක්ෂණයකදී හෙළි වී තිබුණේ පීවීසී බටවලට අමතරව රුපියල් 1812600 ක් වටිනා පිත්තලවලින් සාදන ලද ජල මනු 477 ක් හා රුපියල් 621000ක් වටිනා ෆේරුල්වෑල් 540 ක්ද අතුරුදන් වී ඇති බවයි. ඒ අනුව රුපියල් 2433600ක් වටිනා උපකරණ තොගයක් අතුරුදන්ව ඇති බවට එම සිවිල් ඉංජිනේරුවරයා විසින් පසුගිය 30 වැනිදා දැරණියගල පොලිසියට පැමිණිල්ලක් යොමු කෙරිණි.
ඒ අනුව දැරණියගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත අලහාකෝන්ගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණේ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රදලගේ ඇතුළු කණ්ඩායම විසිනි. එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය 01 වැනිදා මහියංගනය,පදියතලාව පාර,45 කණුව පදංචි එහි ගබඩා පාලක කරුණාරත්න මුදියන්සේලාගේ සුනිල් කරුණාරත්න අත්අඩංගුවට ගනු ලැබුවේ සමන්පුරගමදියි. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ එම ව්‍යාපෘතියේ රියැදුරකු වන දැරණියගල සමන්පුරගම පදිංචි සංජීව කුමාරට එම උපකරණ තොගය ලබාදුන් බවට හෙළි විණි. ඒ අනුව එදිනම සංජීවද පොලිස් අත්අඩංගුවට ගැනිණි. සංජීව පොලිසියට පාපෝච්චාරණය කළේ එම උපකරණ තොගය ගබඩා පාලක කරුණාරත්නගෙන් ලබාගෙන තමා විසින් එම භාණ්ඩ වෙනස්කොට ඉන් ප්‍රමාණයක් දැරණියගල, උඩපොල වත්තෙහි පදිංචි දැරණියගල නගර මධ්‍යයේ පරණ යකඩ බඩු එක්රැස්කරනා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ගෝවින්ද සාවි ගජේන්ද්‍රන්ට විකුණු බවයි. ඒ අනුව අදාළ බඩු තොගය සමඟ ගෝවින්ද සාවිද පොලිස් අත්අඩංගුවට පත්වූයේ පසුගිය 01 වැනිදාමයි. එසේම සංජීව විසින් එම උපකරණ තොගයෙන් කොටසක් දැරණියගල කොස්ගහකන්ද මියනවිට පදිංචි අමරසිරි කරුණාරත්නටද විකුණු බව හෙළි වීමත් සමඟ විමර්ශන නිලධාරිහු එදිනම ඔහුද අත්අඩංගුවට ගත්හ.
අමරසිරි පිත්තල වැඩ පොළක් පවත්වාගෙන යන්නෙකි. ඔහු සන්තකයේ තිබී සොරකම් කරන ලද ජලනළ කොටස් කිලෝ 28 ග්රෑම් 45 කවර දෙකක බහා තිබිය දී පොලීසිය විසින්
![]() |
සැකකාර දැරණියගල ප්‍රාෙද්ශීය සභා සභාපති ලක්ෂ්මන් රාජකරුණා සහ තවත් සැකකරුවෙක් අධිකරණයෙන් බන්ධනාගාරයට රැගෙන ගිය අයුරු. |
අත්තඩංගුවට ගැනිණි. එසේ ජල ව්‍යාපෘතියේ උපකරණ සොරකම් කිරීම නිසා අත්අඩංගුවට පත් සිවුදෙනා අප්‍රේල් මස 02 වැනිදා අවිස්සාවෙල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මේ අතර මෙකී සොරකම සම්බන්ධයෙන් දැරණියගල පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරුකරුවකුගෙන් තවත් හෝඩුවාවක් ලැබුණේ පසුගිය 16 වැනිදායි.
ඒ, දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපති ලක්ෂ්මන්ගේ සහෝරයකුගේ ලස්සේගම පිහිටි නිවෙසකද සොරකම් කරන ලද ජල ව්‍යාපෘතියේ උපකරණ තොගයක් තිබෙන බවටයි. ඒඅනුව ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් එදින රාත්‍රියේම එම නිවෙසට ගිය පොලිස් නිලධාරින්ට සභාපතිවරයාගේ මියගිය සහෝදරයාගේ බිරියගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සොරකම් කරන ලද ජලනළ උපකරණ ගැන හෝඩුවාවක් ලැබිණි.
ඒ, පසුගිය දිනෙක එම නිවෙසේ තිබී ජල මීටර් සහිත පෙට්ටි දෙකක් සභාපතිවරයාගේ මවගේ නිවෙසට රැගෙන ගිය බවයි. එසැණින් එම නිවෙසටද ගිය පොලිස් නිලධාරින්ට නිවෙස පරීක්ෂාවේදී පෙට්ටිවල අසුරා තිබූ ජල මීටර් 98 ක් සොයා ගැනීමට හැකි විණි. ජල මීටර් තොගය එකී නිවෙසේ තිබියදී පොලිස් අත්අඩංගුවට පත්වෙද්දී 16 වැනිදා රාත්‍රියේදීම දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද දෙහිඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට දැරණියගල පොලිස් නිලධාරින් සමත් වූයේය. රාජ්‍ය දේපළ සොරකම් කිරීම නිසාවෙන් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට පත් ලක්ෂ්මන් රාජකරුණා ද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ජනක සමරසිංහ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සෙසු සැකකරුවන් සිවුදෙනාද සමඟ ලබන මැයි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. එසේම මෙකී දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව මීට පෙරද අධිකරණයේ නඩු කටයුත්තක් විභාග වී තිබිණි.
මෙලෙස රාජ්‍ය දේපළ සොරකම් කිරීම නිසාවෙන් රක්ෂිත බන්ධනාගාරයට නියම වූ දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අප විමසීමක් කළේ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවගෙනි. එහිදී ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කුමක්ද යන්න ප්‍රකාශ කළ හැක්කේ එම සොරකම සම්බන්ධයෙන් සභාපතිවරයාට එරෙහිව අධිකරණය ලබාදෙන තීන්දුව සහ අභ්‍යන්තරව සිදු කෙරෙන පරීක්ෂණයෙන් ගන්නා ඉදිරි පියවර අනුව පළාත් ආණ්ඩුකාරතුමාද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.
![]() |
දැරණියගල ප්‍රාෙද්ශීය සභාව |
සිය ධන බලය, මැර බලය ඔස්සෙ දේශපාලනයට පිවිසි මෙවැනි අධම පුද්ගලයන් රටටම බරකි. එම නිසාවෙන් රටේ අහිංසක ජනයාගේ බදු මුදලෙන් යැපෙමින් රාජ්‍ය දේපළද සොරකම් කරන මෙවන් දේශපාලුවන්ට නැවත දේශපාලනයේ පස් පෑගීමටවත් ඉඩ නොතබා 'පාඩම්' ඉගැන්වීම රටේ ජනතාවගේම පරම වගකීමක් බව අපි අවධාරණය කරන්නෙමු.
මීට පෙරද දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිත්වය දැරු සභාපතිවරයෙක් වූ අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා නමැත්තාද මහත් ආන්දෝලනයක් ඇතිකළ අයෙකි. 2013 වසරේ ජූනි 05 වැනිදා දැරණියගල නූරි වත්තෙ වතු අධිකාරිවරයාව සිටි නිහාල් පෙරේරා නමැත්තා අමානුෂික ලෙස ඝාතනය කිරීම නිසාවෙන් අතකොටා සමඟ ඔහුගේ සහචරයන් 18 දෙනකු මේ වන විට මරණ දඬුවමට නියමව මහඋළුගෙදර සිටින්නෙ කළ වැරැදිවලට වන්දි ගෙවමිනි.
ජල සම්පාදන මණ්ඩල ජල ව්‍යාපෘතියේ සොරකම පිළිබඳව දැරණියගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත අලහකෝන්ගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂවරුන් වන ජයතිස්ස, චන්ද්‍රසේන, පොලිස් සැරයන් (57066) නිශාන්ත යන නිලධාරිහු විමර්ශනවලට එක්වූහ.
පසුබිම් තොරතුරු සහ ඡායාරූප
බුලත්කොහුපිටිය සමූහ - ඩබ්ලිව්. රෝහණ