නැඟෙනහිර වැව් වැනසූ සිරිසර පිවිසුමේ තිත්ත ඇත්ත | Page 2 | සිළුමිණ

නැඟෙනහිර වැව් වැනසූ සිරිසර පිවිසුමේ තිත්ත ඇත්ත

ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් යහ පාලන රජය විසින් ක්‍රියාත්මක කරන ලද“ සිරිසර පිවිසුම“ වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර දේශපාලන අරමුණු ඉලක්ක කරගනිමින් මහජන මුදල් කාබාසිනියා කළ ව්‍යාපෘතියක් බව ගොවීහු චෝදනා කරති.

 

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ 2017-2021පස් අවුරුදු විශේෂ වැඩසටහනක් ලෙස දියත් කළ මෙම සිරිසර පිවිසුම ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ, ශ්‍රී ලංකා යුද හමුදා ව්‍යාපෘති කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද්දකි.

ව්‍යාපෘතිය ආරම්භයේ සිට 2018 වසරේ අවසානය දක්වා මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයෙකු ලෙස හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සේරුවිල ආසන සංවිධායකවරයෙකු වන ප්‍රියන්ත ප්‍රේමකුමාර කටයුතු කරඇති අතර,පසුව ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ශ්‍රී.ල.නි.ප. සේරුවිල ආසන සංවිධායකවරයෙකු වු ජයන්ත විජේසේකර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පත් කර ලදි. සමස්ත ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වශයෙන් යුද හමුදා ඉදි කිරීම් ඒකකයේ බ්‍රිගේඩියර් ඊ. එන්. රාමනායක කටයුතු කර ඇති බව ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියා සිටි.

•වැව් 26 ට මුදල් වෙන් කරලා

 

සිරිසර පිවිසුම වැඩසටහන යටතේ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකට අයත්, වැව් විසි හයක් ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනාවී තිබු අතර ඒ සඳහා වෙන් කරන ලද මුදල රුපියල් කෝටි 33ක් බව ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය තහවුරු කරයි. අදාළ ව්‍යාපෘතිය සඳහා 2018 සැත්තැම්බර් මාසයේ දී ඇතැම් ඇස්තමේන්තුවල ඇතැම් අයිතමයන් ප්‍රසම්පාදනය කිරීමේ වගකීම දිස්ත්‍රීක් ලේකම් වෙත පවරා තිබේ.

ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ තොරතුරු වලට අනුව 2018/2019 කාල සීමාවේදී එම කාර්යාලය විසින් ප්‍රසම්පාදන කටයුතු සිදුකර යන්ත්‍ර හා අමු ද්‍රව්‍ය සැපයූ වාරි ව්‍යාපෘති සංඛ්‍යාව 26 කි.ඉන් 23 ක ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කර ඇති අතර, අයහපත් කාලගුණික තත්ත්වය මත ඉන් වැව් 03 ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම අත්හිටුවීමට සිදුවී තිබේ. 2019-12-31 දින වන විට වැව් 09 ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති බව ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ හිටපු පරිපාලන නිලධාරි එස්. කේ. ඩී. නෙරංජන් 2020-02-17 දිනැති GAT/EST/sirisara/Gen දරන ලිපිය මගින් තහවුරු කර සිටි. දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය එසේ කියා සිටියද, ගොවිජන සේවා සංවර්ධන දෙපාර්මේන්තුව කියා සිටින්නේ, සිරිසර පිවිසුම හරහා ප්‍රතිසංස්කරණය කළ කිසිදු වැවක් යුද හමුදාව විසින් මෙතෙක් භාරදී නොමැති බවයි.

වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසි ආකාරයෙන් සිදුවී ඇද්ද යන්න නිර්දේශ කරනු ලබන්නේ, ඉදි කිරීම් ඒකකයේ යුද හමුදා ඉංජිනේරුවන් සහ වැව අදාළ ගොවිජන සේවා සංවර්ධන දෙපාර්මේන්තුවේ ඉංජිනේරුවන් විසිනි.

•කිතුල්උතුව අසාර්ථක ව්‍යාපෘතිය

 

සිරිසර පිවිසුම යටතේ ප්‍රතිසංස්කරණය කළ කිතුල්උතුව වැවේ පිටත වාන වසරක් ගතවීමටත් පෙර මුළුමනින්ම බිදී ගොස් ඇත. සිරිසර පිවිසුම යටතේ කිතුල්උතුව වැවේ සිදුකළ බව කියන ප්‍රතිසංස්කරණ කටයුතු මගින් අපේක්ෂිත අරමුණු කිසිවක් ඉටුවී නොමැති බව කිතුල්උතුව ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික ලක්ෂිත ප්‍රදීප් පෙන්වා දෙයි.

“වැවේ රොන්මඩ අයින් කරලා, ඇළ මාර්ගය කිලෝ මීටරයක් කොන්ක්‍රීට් කරලා තව සොරොව්වත් හදලා පිටත වානත් අලුත් වැඩියාකරලා බේසම හදනවා කියලා තමා අපිට වැඩේ පටන් ගනිද්දී කිව්වේ. නමුත්මේ බේසම කඩලම අවුරුද්දක් විතර ගියා. නැවත හදනවා කියල කිව්වත් ඒක කියපු හැටියට සිද්ධ වු‌ෙණ් නැහැ. මේ ගැන ගොවිජන සේවා එකට පැමිණිලි කළා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දුන්නා. නමුත් කිසිම කෙනෙක් ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ.“

ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම ගොවිජන සේවා දෙපාර්මේන්තුව සතු වුවත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ හා ව්‍යාපෘතියේ අවසාන ගෙවීම් සිදු කිරීමේදී සිය නිර්දේශ ලබාදිය යුතු බවත්, එම නිර්දේශ වලට අනුකූලව යුද හමුදාව වෙත ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ගෙවීම් සිදු කළ බවත් ත්‍රීකුණාමලය හිටපු දිස්ත්‍රීක් ලේකම් එන්. ඒ. ඒ. පුෂ්පකුමාර පවසයි.

කිතුල් උතුව වැව සඳහා සිරිසර ව්‍යාපෘතිය යටතේ,වෙන්කර තිබු මුදල රුපියල් එක්කෝටි හත් ලක්ෂ විසිදහස් පන්සිය පනස් හයකි. එහෙත්, වැවේ රොන්මඩ යම් ප්‍රමාණයක් ඉවත් කිරීම සහ වැව් බැම්මට අඟලක පමණ පස් තට්ටුවක් දමා තැළීම හැරීම වෙනත් කිසිවක් සිදු කර නොමැති බවත්, එයද නිසි ප්‍රමිතියකින් ඉටු නොකළ බවත් කිතුල් උතුවේ දමයන්ති දිසානායක සහතික කර සිටි.

•වැව් භාර දී නැහැ

 

සිරිසර පිවිසුම වැඩ සටහන යටතේ මොරවැව දහය කණුව කිතුල් උතුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේදී අඩුම තරමින් රුපියල් කෝටි යක් පමණ අවභාවිතා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති නමුදු, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හෝ පරීක්ෂණයක් සිදු කිරීමට හැකියාවක් නැති බව ගොවිජන සේවා දෙපාර්මේන්තුවේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් සහකාර කොමසාරිස් එස්. වරුණිගේ අදහස් දැක්වීමෙන් පැහැදිලිය.

“තවම මේ වැව් ටික අපිට භාරදීලත් නැහැ. වැව් ටික ඇස්තමේන්තු කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව. වැඩ කළේ යුද හමුදාව. අපිට මැදිහත් වෙන්න ඉඩක් ලැබුණෙ නැති නිසා අදහසක් දක්වන්න බැහැ. නමුත් අපිත් මේ වෙන කොට විශාල ගැටලුවකට මුහුණ දීලා ඉන්නේ මේ ඉදි කිරීම් අසාර්ථකවීම නිසා. “

ගොවිජන සංවර්ධන දෙපාර්මේන්තුවට මේ සඳහා මැදිහත් වීමට අවස්ථාවක් නොලැබුණු බව දිස්ත්‍රීක් සහකාර කොමසාරිස්වරිය පැවසුවද ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය කියා සිටින්නේ, 2019.05.13 දිනැති GAT/EST/SP/Ma3/2019/T/Gen ලිපිය මඟින් වැව් අධීක්ෂණ කටයුතු සිදු කරන ලෙස ගොවිජන සේවා දෙපාර්මේන්තුවට දන්වා ඇති බවයි. ඊට අමතරව මෙම ව්‍යාපෘති අධීක්ෂණය සදහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සහකාර අධ්‍යක්ෂ අයි.යු. කේ. සෙනෙවිරත්න සිරිසර පිවිසුම ව්‍යාපෘති අධීක්ෂණ කටයුතු සඳහා සෘජුවම පත්කර තිබු බවයි.

කිතුල් උතුව වැව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්මේන්තුව වෙත භාරදී නැති බව එස්. වරුණි පවසා සිටියද, නව රජය විසින් ක්‍රියාත්මක කර ඇති වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ කිතුල් උතුව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නැවත ආරම්භ කර තිබේ.

ගෝමරන්කඩවල කන්දමලාව වැවද යුද හමුදා ඉදිකිරීම් ඒකකයේ තවත් මතභේදයට තුඩුදුන් ව්‍යාපෘතියකි. කන්දමලාව වැවේ පිටතවාන වාරිමාර්ග දෙපාර්මේන්තුවේ හෝ ගොවිජන සංවර්ධන දෙපාර්මේන්තුවේ අනුමැතියකින් තොරව අඩියක් ඉස්සීම හේතුවෙන් මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රලපනාව, බෙල්ලක්කඩවල වැව් යටතේ පෝෂණය වන කුඹුරු අක්කර 40 ක් පමණ යටවීමේ අවදානමට ලක්වු බව ගෝමරන්කඩවල නෙළුම් ගොවි සංවිධානයේ සභාපති පී. ජී. අමරදාස කියා සිටි.

ගෝමරන්කඩවල කොට්ඨාසයටම අයත් කුරුදුගම සහ ඔට්ටිච්චාකුලම් වැව් දෙක සඳහා සිරිසර පිවිසුම වැඩ සටහන යටතේ, රුපියල් කෝටි හයහමාරකට අධික සුවිශාල මුදල් ප්‍රමාණයක් වැය කර ඇතත්, අපේක්ෂිත ප්‍රතිලාභ කිසිවක් ඒ තුළින් ඉටුවී නැති බව ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති එච්. එම්. සුගත් රාමනායක පෙන්වා දෙයි.

“කුරුදුගම වැවේ සොරොව් දෙක හදලා නැහැ. බන්ට් එකට පස් දාලා තළනවා කියලා කිව්වට ඒක කරලත් නැහැ. වාන උස්සලා ජල ධාරිතාව වැඩි කරලා තව අක්කර 150 වගා කරන්න හදලා දෙනවා කිව්වට තවමත් අර කලින් කරපු කුඹුරු ටිකම තමා කරන්නේ. මේ ව්‍යාපෘතිය සම්පූර්ණම අසාර්ථකයි කියන එක.

•වැව විනාශ කරලා

 

සිරිසර පිවිසුම යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉදි වැව සම්බන්ධයෙන්ද ගොවීන්ට ඇත්තේ, බරපතළ ගැටලු රාශියකි. ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමකදී අදහස් දැක්වූ ඉදි වැව ගොවි සංවිධානයේ සභාපති එස්.ඩී.දීපානි යුද හමුදා ඉදි කිරීම් ඒකකයට චෝදනා කරමින් කියා සිටියේ වැව ප්‍රතිසංස්කරණය කළා නොව තිබුණ වැවත් විනාශ කර ඇති බවයි.

සිරිසර පිවිසුම හරහා ප්‍රතිසංස්කරණය කරන ලද වැව් දහයකින් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි තත්වයක් උදාවී ඇති බවත්, මොනයම් හෝ ව්‍යාපෘතියක් හරහා එම වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ගොවි ජනතාවට සහන සැලසීම තම අරමුණ බවත් වත්මන් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල කියා සිටි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට කාලයක් ගත වන බව පෙන්වා දෙන දිස්ත්‍රීක් ලේකම්වරයා කියා සිටින්නේ, පරීක්ෂණ සිදුකර කාලය වැය කිරීමට වඩා මෙම වැව් ටික වෙනත් ව්‍යාපෘතියක මුදල් යොදවා හෝ කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි.

සිරිසර ව්‍යාපෘතියේ අසාර්ථකභාවය සහ ඒ තුළින් සිදුව ඇති බවට පෙනී යන බරපතළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම ව්‍යාපෘතියේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත ප්‍රේමකුමාරගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ, පටු දේශපාලන හා මතවාදී අරමුණු ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය අඩාළ කිරීමට කටයුතු කළේ,නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ පසුව ජනාධිපති ලේකම් ලෙස ද කටයුතු කළ ඔස්ටින් ප්‍රනාන්දු බවයි.

මේ සඳහා එවකට ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ පී.බී.අබේකෝන් සහ හිටපු යුද හමුදාපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාත් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කරුණාසේන කොඩිතුවක්කු ද විශාල දායකත්වයක් ලබා දුන් නමුදු, එවකට නැඟෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ඔස්ටින් ප්‍රනාන්දු ව්‍යාපෘතියට අකුල් හෙළුෑ බව ප්‍රියන්ත පවසයි.

•ව්‍යාපෘතිය අඩාළ කිරීම

 

අනතුරුව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වු ඔස්ටින් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අඩාළ කොට එම මුදල් උතුරට ලබාදීමට රහසිගත වැඩ සටහනක් දියත් කළ බවත්, එතකින් නොනැවතී සිරිසර පිවිසුම හරහා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා ඉතිහාසයේ ලැබුණු විශාගතම මුදල වු රුපියල් බිලියන පහක් ගෙන ආ තමාට එරෙහිව බරපතළ මූල්‍ය වංචා චෝදනා ඉදිරිපත් කරමින් මෙම ව්‍යාපෘතියෙන් තමා ඉවත් කර, ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔහුට හිතවත් රවින්ද්‍රනාත් නැමැති අයෙකු 2018 වසරේ මැද භාගයේදී පත් කර එවීමට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු කටයුතු කල බව ප්‍රියන්ත ප්‍රේමකුමාර අවධාරණය කර සිටි.

මෙම සිරිසර ව්‍යාපෘතිය හරහා වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ වත්මන් තත්වය කවරේද යන්න දැන ගැනීමට යුධ හමුදා ඉදි කිරීම් ඒකකයේ බ්‍රිගේඩියර් ඊ. එන්. රාමනායක සම්බන්ධ කරගැනීමට කිහිප අවස්ථාවකදීම උත්සහ කළද එය අසාර්ථක විය.

යුද හමුදාව කෙරෙහි අප තුළ ඇත්තේ, ගෞරව සම්ප්‍රයුක්ත භක්තියාදරයකි. තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට ජීවිත මෙන්ම අත් පාද අහිමි කර ගනිමින් ඔවුන් දැක්වු කැප කිරීම අතිමහත්ය. එවන් මුර දේවාතාවුන්ගේ අභිමානය සහ ඔවුන් පිළිබදව ඇති විශ්වාසය අප අතරින් හීනවී යාමට කවර හෝ පාර්ශ්වයක් කටයුතු කරන්නේ නම් එය අභාග්‍යකි.

යුද හමුදාවේ කීර්ති නාමය උපයෝගී කරගෙන කිසියම් පාර්ශ්වයක් විසින් මේ අවභාවිතා සිදු කරන ලද්දේදැයි යන සැකය බොහෝ දෙනා තුළ පවතී. එය සිදු කළ හැක්කේ විමර්ශනයකින්ම පමණි.

 මංගලනාත් ලියනආරච්චි

- ත්‍රීකුණාමලය.

Comments