නෝම්බි ඇල්ලූ මාධ්‍ය­වේ­දීන් කියන කතා | සිළුමිණ

නෝම්බි ඇල්ලූ මාධ්‍ය­වේ­දීන් කියන කතා

වමේ සිට - දෙටු ප්‍රවීණ මාධ්‍යවේදි එන්. එම්. අමීන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් වන හනා ඉබ්‍රහිම්, රමේස් උවයිස්, ෆවුස් මොහොමඩ් සහ මාධ්‍යවේදිනි සහිඩා අල්මා
වමේ සිට - දෙටු ප්‍රවීණ මාධ්‍යවේදි එන්. එම්. අමීන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් වන හනා ඉබ්‍රහිම්, රමේස් උවයිස්, ෆවුස් මොහොමඩ් සහ මාධ්‍යවේදිනි සහිඩා අල්මා

සුගිය අප්‍රේල් 14 වැනිදා මෙරට සිටින සිංහල හා දෙමළ ජනතාවට සතුට සොම්නස රැගෙන ආ දවසක් වූයේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එදිනට යෙදී තිබුණු නිසාය. මේ වසරේ අප්‍රේල් 14 වැනි දවස සිංහල හා දෙමළ ජනතාවට පමණක් නොව මුස්ලිම් ජනතාවට ද සුවිශේෂී දිනයක් විය. ඊට හේතු වූයේ මුස්ලිම් ජනතාවගේ රමසාන් මාසය අප්‍රේල් 14 වැනි දින උදා වීමයි.

“ඉස්ලාමීය දින දර්ශනයට අනුව නව වැනි මාසය රමසාන් මාසය ලෙස හැඳින්වෙනවා. ඊට පෙර මාසය හැඳින්වෙන්නේ සහබාන් මාසය කියලා. සහබාන් මාසය කලින් අවසන් වුණොත් රමසාන් මාසය කලින් ආරම්භ වෙනවා. මේ පාර සහබාන් මාසය අවසාන වුණේ දින 30 කින්. ඒ නිසා මෙවර රමසාන් මාසය අප්‍රේල් 14 වැනිදා ආරම්භ වුණා. රමසාන් මාසය උපවාසයෙහි යෙදෙන කාලය ලෙස හැඳින්වෙනවා. රමසාන් කියන අරාබි වචනයේ තේරුම පව් පුච්චා දැමීමයි. ඒ අරමුණින් තමයි අපි මේ මාසය ගත කරන්නේ. උපවාසය ආරම්භ වන්නේ දවසේ සඳ බැසයන වෙලාවටයි. ඒ කියන්නේ පාන්දර. උපවාසය අවසාන කරන්නේ දවසේ ඉර බැස යන වෙලාවට. ඒ කියන්නේ හවස. සාමාන්‍යයෙන් දවසේ පැය 24 න් පැය 14 ක් උපවාසයට වෙන් කරනවා. මෙය රටින් රටට වෙනස් වෙනවා ” යනුවෙන් විස්තර කළේ ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, නවමනි පුවත්පතේ කර්තෘ එන්.එම්. අමීන්ය.

ඉස්ලාම් දහමට අනුව අනිවාර්ය 4 වැනි යුතුකම ලෙස සැලකෙන රමසාන් උපවාසය, වයස අවුරුදු 10 සම්පූර්ණ කළ සෑම ඉස්ලාම් අයෙකුම ඉටු කළ යුතු පිළිවෙතකි. වයස අවු. 10 ට අඩු කුඩා දරුවන්ට මෙන් ම වියපත් අයට ද ‍‍රෝගීන්ට ද ගර්භණී හා කිරිදෙන මවුවරුන්ට ද උපවාසයේ නිරත නොවී සිටිය හැකි ය. එමෙන් ම කාන්තාවන්ට ඔසප් කාලයේදී උපවාසයෙන් බැහැර විය හැකි ය. රමසාන් උපවාසය ලෙස කවුරුත් හැඳින්වුවද කටවහරට අනුව මෙය හැඳින්වෙන්නේ නෝම්බි ඇල්ලීම යනුවෙනි.

පැය 14 ක පමණ කාලයක් නිරාහාරව සිටීම තුළින් දුප්පතුන්ගේ දුක හඳුනා ගැනීමට අවස්ථාව උදාවන බවත් දුප්පතුන්ට අසරණයන්ට උදව් උපකාර කිරීමේ මානසිකත්වය ඇති වන බවත් එන්. එම්. අමීන් වැඩිදුරටත් සඳහන් කළේ රමසාන් මාසය පින් කිරීම සඳහා යොමු වන මාසයක් බවට අවධාරණය කරමිනි. ශුද්ධ වූ අල් කුරාණය පහළ වූයේ ද රමසාන් මාසයේ බැවින් මෙම මාසය ඉස්ලාම් බැතිමතුන්ට සුවිශේෂී මාසයකි.

උපවාසයේ නිරත වෙමින් වත්පිළිවෙත් ඉටු කරන රමසාන් මාසයේදී පාසල් දරුවන්ට නම් නිවාඩු ලැබේ. එහෙත් කා‍ර්යාලවල සේවය කරන ඉස්ලාම් බැතිමතුන්ට හෝ අන් කිසිවෙකුට උපවාස මාසයේ නිවාඩු ලැබෙන්නේ නැත. ඔවුහු සියලුදෙනාම සුපුරුදු පරිදි රාජකාරිවල නිරත වෙති. ඔවුන් අතරින් පුවත්පත් කලාවේ නිරත වී සිටින මුස්ලිම් ජනමාධ්‍යවේදීන් කීපදෙනෙකුගෙන් උපවාසයේ යෙදෙන ආකාරය පිළිබඳව විමසීමක් කළේ පුවත්පත් කලාව ඉතා අවිවේකී, කාර්ය බහුලත්වයෙන් පිරුණු ක්ෂේත්‍රයක් වන නිසා ය.

“ඉස්ලාම් දහම සෞඛ්‍ය පැත්තෙන් ඉතා වැදගත් පණිවිඩයක් දෙනවා. මාසයක් හෝ උපවාසයේ යෙදීමෙන් අපේ ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතියට පොඩි විවේකයක් ලැබෙනවා. ඒ වගේම ඉස්ලාම් බැතිමතුන්ටත් තමුන්ගේ හිත පාලනය කර ගැනීමට, සංවරවීමට මේ කාලය හොඳ අවස්ථාවක් ලබාදී තිබෙනවා. උපවාසය අවසාන කරන වෙලාවට මම කාර්යාලයේ හෝ වැඩකට ගිහින් එළියේ ඉන්න පුළුවන්. ඒ තැන කොහොම වුණත් වතුර ටිකක් බීලා උපවාසය අවසාන කරනවා. කෑම කන්න අවස්ථාවක් ලැබුණොත් කෑම කනවා.” යනුවෙන් පැවසුවේ දිනමිණ පුවත්පතේ නියෝජ්‍ය ක්‍රීඩා කර්තෘ ෆවුස් මොහොමඩ් ය.

ඩේලි එක්ස්ප්‍රස් සහ සන්ඩේ එක්ස්ප්‍රස් පුවත්පත්වල ප්‍රධාන කර්තෘ හනා ඉබ්‍රහිම් සඳහන් කරන්නේ උපවාසයේ යෙදී සිටින කාලය තුළ කාර්ය බහුලවීම ඉතා යහපත් දෙයක් බවයි.

“උපවාස කරන වේලාවට වැඩ කරන්න මම කැමතියි. මොකද අපි කාර්යබහුල වෙලා සිටින විට බඩගින්න ගැන හිතන්න වෙලාවක් නැහැනේ. අපිට උපවාසය අත් හරින්න තියෙන්නේ සවස 6.00 ට. ඒ කියන්නේ පත්තරේ වැඩ අධිකම වෙලාව‍‍. පත්තරේ ඉවර කරන වෙලාව‍. ඒ වෙලාවට මම නම් වතුර බීලා රටඉඳි කාලා උපවාසය අත් හරිනවා” යනුවෙන් ඩේලි එක්ස්ප්‍රස් සහ සන්ඩේ එක්ස්ප්‍රස් පුවත්පත්වල ප්‍රධාන කර්තෘ හනා ඉබ්‍රහිම් පැවසුවාය.

ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන්.එම්. අමීන් සඳහන් කළේ රමසාන් උපවාසයේ නිරතවීම ජනමාධ්‍යවේදීන්ට පමණක් නොව නාට්ටාමිලාට ද පහසුවෙන් කළ හැකි දෙයක් බවය.

“මම නෝම්බි අල්ලලා හිටියාට මගේ රාජකාරිය අකුරටම ඉෂ්ට කරනවා. නෝම්බි අරින වෙලාවට ඉන්න තැන අනුව තමයි කෑම බීම තීරණය වෙන්නේ. උපවාසය අවසාන කරන වෙලාවට අඩුම ගණනේ වතුර ටිකක් බොනවා. මම පොඩි කාලේ නම් හරි ආසයි නෝම්බි අල්ලන්න. මොකද නෝම්බි අවසාන වුණාම රසවත් කෑම බීම ගොඩාක් ජාති ලැබෙන නිසා. ඒත් මම ලොකු වෙනකොට තේරුම් ගත්තා නෝම්බි ඇල්ලීමේ අරමුණ වෙනත් දෙයක් බව. තවත් කෙනෙකුගේ දුක හඳුනන, දුප්පතුන්ට පිහිටවන, අන්‍යයන්ට මෛත්‍රිය දක්වන මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසකු බිහි කිරීම තමයි මෙහි අරමුණ.” යනුවෙන් සඳහන් ක‍ළේ ඩේලි මිරර් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ රමේෂ් උවයිස් ය.

මෙහිදී ඔහු තවත් අපූරු කාරණාවක් මතු කළේය. ඒ අද වනවිට Intermittent Fasting යනුවෙන් ආහාර නොගෙන සිටීමේ ක්‍රමවේදයක් ලෝකයේ පවතින බවය. එය යහපත් ශරීර සෞඛ්‍යයකට හිතකර බවට නිර්දේශ කර ඇති බැවින් රමසාන් උපවාස මාසයට අමතරව තවත් මාස 4 ක් පමණ ඔහු Intermittent Fasting ක්‍රමවේදය අනුගමනය කරන බව ද පැවසීය.

“මමත් අවුරුදු 10 ඉඳලා නෝම්බි ඇල්ලුවා. දැනුත් උපවාසයේ යෙදී සිටිනවා. සාමාන්‍යයෙන් ඕනෑම කෙ‍නකු තමුන් ගැන විතරයි හිතන්නේ. අනුන්ගේ බඩගින්න, අනුන්ගේ දුක දැනෙන්නේ නැහැ. උපවාස කාලයේදී අපිට අනුන්ගේ බඩගින්න දැනෙනවා. දුක වේදනාව දැනෙනවා. මිනිසුන්ට අනිත් අය ගැන හිතන්න මෙය හොඳ අවස්ථාවක් හැටියටයි මම දකින්නේ. මේ මාසය තුළ පුළුවන් තරම් දාන පින්කම්වල නිරත විය යුතුයි. පරිත්‍යාගශීලී විය යුතුයි; අසරණ අයට උදව් කළ යුතුයි” යනුවෙන් ‘ද මෝනින්’ පුවත්පතේ මාධ්‍යවේදිනියක වූ සහිඩා අල්මා සඳහන් කළාය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවයේ යෙදී සිටින ඉස්ලාම් බැතිමතුන්ට උපවාස කාලයේදී සේවා ස්ථානයෙන් පිටවී යෑමට සහනයක් ලබා දීම නෛතිකව හිමි වුවත් ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ වගකීම හා කාර්ය භාරය අනුව එවැන්නකට ඉඩක් හිමි නොවන බව පැවසුවේ දිනමිණ පුවත්පතේ නියෝජ්‍ය ක්‍රීඩා කර්තෘ ෆවුස් මොහොමඩ් ය.

කෙසේ නමුදු ලොකු පොඩි, උස් පහත්, දුප්පත් පොහොසත් භේදයකින් තොරව සෑම ඉස්ලාම් බැතිමතුන්ම උපවාස ශීලය ආරක්ෂා කරන බව නම් පැහැදිලිය.

Comments