
දිනය 2019 අප්‍රේල් 21 වැනි ඉරිදා ය. ලොව පුරා කිතුනු බැතිමතුන්ට එදින විශේෂ වූයේ ඔවුහු මහත් බැතියෙන් සහ උද්දාමයෙන් සිහිකරන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැඟිටීම සමරන පාස්කු ඉරිදාව එදිනට යෙදී තිබීම නිසාය. කිතුනුවන් ඒ දිනය සමරනු ලබන්නේ දින 40කට අධික කාලයක් උපවාසයෙන් සහ දොම්නසින් ගත කළ කාලයට විරාම තබමිනි. එහෙත් වෙනදා මෙන් ඒ දවසේ ප්‍රීතිය සිත් පුරා විඳ ගන්නට 2019 වසරේ උදා වූ පාස්කුවේදී කිතුනුවන්ට පමණක් නොව කිසිදු ශ්‍රී ලාංකිකයකුට හැකිවූයේ නැත. ක්‍රිස්තුස් වහන්සේ මළවුන් පරාද කළ විජයග්‍රහණය සැමරීමට දේවස්ථාන තුළට රැස්වී සිටි බැතිමතුන්ට ලැබුණේ මරණයේ උරුමයයි. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සාහසික වියරුවකට ඔවුහු සිය ජීවිතවලින් වන්දි ගෙවූහ.
ඉකුත් අප්‍රේල් 21 වැනිදාට ඒ ත්‍රස්ත ප්‍රහාරය සිදුවී දෙවසරක් සම්පූර්ණ විය. අන්තවාදීන්ගේ ඒ නින්දිත ප්‍රහාරයට වසරක් පිරුණු ඉකුත් වසරේ අප්‍රේල් 21 වැනිදා සුසානයේ නිදන තම ආදරණීයන් වෙත ගොස් ඒ වේදනාව මඳක් හෝ සමනය කරගන්නට පවා අවකාශ නොවූයේ ඒ වන විට කොවිඩ් වසංගතය හේතුවෙන් රටම ලොක්ඩවුන් කර තිබූ නිසාය. ඒ අනුව 2020 ඒ සැමරුම අප්‍රේල් 21 වැනිදා පෙරවරු 8.40ට කතෝලික දේවස්ථානවල මෙන්ම අන්‍යාගමික සිද්ධස්ථානවලින් ඇසුණු සීනු හා ඝණ්ටා හඬට, නිහඬ යැදුම්වලට හා පහන් දැල්වීම්වලටත් පමණක් සීමා විය.
මෙම වසරේ කොවිඩ් තරමක් දුරට මර්දනය වී තිබීම නිසා කොවිඩ් වැළැක්වීමේ සෞඛ්‍ය උපදෙස් අතර වුවද පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ දෙවැනි වසර සැමරුමට අවකාශ සැලසිණි. ඒ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණත්වය පතා ඉකුත් 18 වැනි ඉරිදා සිට 20 අඟහරුවාදා දක්වා රට පුරා පිහිටි කතෝලික සිද්ධස්ථාන හා දේවස්ථාන ආශ්‍රිතව විශේෂ තුන්දින සර්ව රාත්‍රික යැදුම් මෙහෙයක් පැවැත්වීමට කතෝලික සභාව විසින් පියවර ගෙන තිබිණි.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් සපිරීම සිහිපත් කරමින් විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව පැවැත්වූ දේවස්ථාන සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබාදීමට පොලිසිය කටයුතු කර තිබුණි. පාස්කු ප්‍රහාරයේ දෙවැනි වර්ෂ පූර්ණය යෙදෙන 21 වැනි බදාදා දිවයිනේ සියලුම කතෝලික පාසල්වලට අති විශේෂ නිවාඩු දිනයක් විය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකිරීම සඳහා බොරැල්ල පොදු සුසාන භූමියේ සහ මාදම්පිටිය සුසාන භූමියේ ඉදිකළ ස්මාර දෙකක් ආසිරි ගැන්වීම ඉකුත් 18 වැනිදා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
අප්‍රේල් 21 වැනිදා දිවයිනේ සියලුම කතෝලික දේවස්ථානවල පෙරවරු 8.45ට මළවුන්ගේ සීනුව නාද කර ප්‍රහාරයෙන් මියගිය වූවන් සිහිකර විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පවත්වා පහන් දල්වා පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරුණි. ඊට සමගාමීව බෞද්ධ විහාරස්ථාන ඇතුළු අන්‍යාගමික සිද්ධස්ථාන තුළද විශේෂ සැමරුම් සිදුකිරීම විශේෂත්වයකි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් එදින පාර්ලිමේන්තුවේද විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පවත්වනු ලැබිණ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී පාස්කු ප්‍රහාරයන් විපතට පත් වවූවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වූහ.
කොළඹ කොච්චිකඩේ සිද්ධස්ථානයේ පැවති ප්‍රධාන සැමරුම සිදු කෙරුණේ අගරදගුරු හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ඕමල්පේ සෝභිත හිමි ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්ගේ සහභාගීත්වයෙනි. එහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ විශාරද නන්දා මාලිනියන් විසින් ගැයූ ගීතයක්ද ජනගත කෙරුණි.
එදින පස්වරුවේ පූජාප්‍රසාදිවරුන් හා කන්‍යා සොහොයුරියන් මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අසල සිට යැදුම්ශීලී පෙරහැරකින් කටුවාපිටිය දක්වා ගමන් කළේ පාස්කු ප්‍රහාරයේදී මියගිය 269 දෙනාගේ ඡායාරූප ද ඇතැතිවය. කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී ලේවලින් නැහැවුණු උත්ථානයේ ජේසු සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් රථයක් ඒ පෙරහරට පෙරටුව ගමන් කළ අතර එම පෙරහරට මහා සංඝරත්න ඇතුළු සර්ව ආගමික නියෝජිතයන් එක්වී සිටීම විශේෂත්වයකි. අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ කතෝලික රදගුරු මණ්ඩලය කටුවාපිටිය මීසම්වාසීන් හමුවීමට යෑමද එහිදී සිදුවූ අතර කටුවාපිටිය, කදිරානේ ඩේවිඩ් මාවතේ සමූහ සුසාන භූමියේ ඉදි කළ දෙව්මැදුර කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ රදගුරු මණ්ඩලය විසින් ආසිරි ගන්වා විවෘත කිරීම අනතුරුව සිදුවිය.
ඒ අවස්ථාව ඉතා හැඟීම්බර අවස්ථාවක් වූයේ ඒ සුසාන භූමියේ මළවුන් අතර සැතපී සිටින සියලු දෙනා ඊට දෙවසරකට පෙර කටුවාපිටිය දේවස්ථානයේදී ත්‍රස්ත ප්‍රහාරයට ලක්ව ජීවිතයෙන් සමුගත් අය වීමය. සුසාන භූමියේ හැම සොහොන් කොතක් මතම අලුත් මල්ය, දැල්වූ ඉටිපහන්ය. සොහොන් කොත් අබියස හඬා වැටෙන සහ නිහඬවම සුසුම්ලන මවුපියන් මෙන්ම දූ දරුවන්ගේ දසුන්ය.
"මගේ පුංචි පුතාව බලන්න මම ආවෙ අද විතරක් නෙවෙයි දෙයියනේ. හැමදාම දවසකට දෙසැරයක් මම මෙතනට එනවා. මගෙ අහිංසක දරු පැටියා මෙතන නිදාගෙන ඉද්දි මම කොහොමද ගෙදරට වෙලා ඉන්නෙ."
තරුණ මවක් සොහොන් කොතක් බදාගෙන එසේ කියමින් වැලපෙනු පෙනුණි. ඒ සොහොන යට නිදන්නේ වසරක් ගෙවීමටත් පෙර මරුවා කැටිව ගිය සුරතල් පුතෙකි.
"අපේ දරුවො නැතිවුණ වේදනාව අපි මැරෙනකම්ම තියෙයි. ඒත් අපේ අහිංසක දරුවො නිරපරාදෙ මරලා දාපු ඒ අපරාධකාරයන් කවුද කියලවත් අපි තාම දන්නෙ නැහැ. අපි රජයෙන් ඉල්ලන්නේ අපේ දරුවන්ගේ මරණවලට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒ අපරාධකාරයො හොයලා උන්ට දඬුවම් දෙන්න."
ඒ, පාස්කු ප්‍රහාරයෙන් සිය පුතු අහිමි වූ වේදනාවෙන් තැවෙන පියෙකුගේ වැලපිල්ලකි. ඔහුගේ පමණක් නොව එම ප්‍රහාරයේ වින්දිතයන් බවට පත් සියලු දෙනාගේ ආයාචනය එයයි.
කාලය යනු බොහෝ සිත්තැවුල් වේදනා නිවන ඔසුවක් යැයි කීවාට ගතවූ දෙවසරක කාලය තුළ ඒ ප්‍රහාරයේ වින්දිතයන්ට සැබෑ සැනසුමක් ලැබුණේද යන්න ගැටලුවකි. කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය ඇතුළු දේවස්ථාන තුනකදීත් කොළඹ ප්‍රධානපෙළේ හෝටල් කිහිපයකදීත් පුපුරා ගිය ත්‍රස්ත්‍රවාදී බෝම්බ ප්‍රහාර හේතුවෙන් අහිමි වූ ජීවිත ගණන 269කට අධිකය. තුවාල ලැබූවන්ගේ ගණන 500ට අධිකය. අයිතිකරුවන් නැතිව හඳුනාගත නොහැකිව රෝහල් මෘත ශරීරාගාරවල පුද්ගල ශරීර කොටස් මාස ගණන් තිබූ බව ද වාර්තා විය. අනුවේදනීය ලෙස ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය වූවන් අතර විදේශිකයෝ 45ක් වූහ. ඒ අතර සුප්‍රකට පුද්ගලයෝ හා මහා ධනකුවේරයන් පවුල්වල සාමාජියෝ ද වූහ. දරුවන් 56කට දිවි අහිමි වූ අතර තවත් දරුවන් 30කට ආසන්න සංඛ්‍යාවකට පියා හෝ මව හෝ ඇතැම්විට දෙදෙනාම අහිමි විය. ඒ මහා ඛේදවාදකය යළි යළිත් සිහිකිරීම වේදනාවක් වුවද එහි ගිනි පුපුරු තවමත් බොහෝ සිත් දවා හළු කරමින් ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට දෙවසරක් පිරීම දක්වා ගතවූ කාලය තුළ ඒ සම්බන්ධයෙන් සිදුවූ දේවල් බොහෝය. එම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට එවකට පැවති යහපාලන රජයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් සහ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනු ලැබුවද ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ජනතාව තුළ සතුටුදායක බවක් පෙනේනට නොවීය. එම කොමිෂන් සභාවල කාර්යක්ෂතාව සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් විවේචන එල්ල විය.
2019 බලයට පැමිණි වත්මන් රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් එම කොමිසමේ කටයුතු කඩිනමින් සහ විධිමත්ම පවත්වාගෙන යන ලෙස උපදෙස් දුන් අතර එහි කටයුතුවල ද ප්‍රමාදයක් තිබෙන බවට ඇතැමුන් චෝදනා කළහ. කෙසේවෙතත් කොවිඩ් වසංගතය තත්ත්වය අතරතුර එහි කටයුතු වසරකුත් මාස තුනක පමණ කාලයකින් නිමාවට පත්වූ අතර පසුගිය පෙබරවාරි මස 1 වැනිදා එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයාට බාරදෙනු ලැබුණි.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික රදගුරු මණ්ඩලය දැඩිව අවධාරණය කරන්නේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් ලබාදීම කඩිනම් කරන ලෙසය. ඉකුත් මාර්තු මස 8 වැනිදා කොළඹ අගරදගුරු පදවියට අයත් සියලු කතෝලික බැතිමතුන්ට සහ දේවස්ථානවලට ‘කළු ඉරිදා’වක් වූයේ ත්‍රස්ත ප්‍රහාරයට වසර 2ක් ගතවීමට පෙර ඒ පිළිබඳ විධිමත් යුක්තිය ඉටුකර දෙන ලෙස ඉල්ලමිනි.
මේ අතර පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව බොහෝ කටයුතු සිදුකර ඇත. අගදරගුරු පදවියේ සමාජ සේවා ආයතනය වන සෙත්සරණ ආයතනය සහ සෙඩෙක් ආයතනය කාදිනල් හිමිපාණන්ගේ මඟපෙන්වීම යටතේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළ අතර මේ වන විටද ඒවා ක්‍රියාත්ක වෙමින් පවතී. ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව ආධ්‍යාත්මික, මානසික සහ සමාජීය යන අංශ 3 තුළින් නඟා සිටුවීමටත් ඉදිරි අනාගතයට මුහුණ දීම සඳහා ජනතාව සමාජීය වශයෙන් සවිමත් කිරීමේ අභියෝගයත් සෙත්සරණ අධ්‍යක්ෂ ගරු ලෝරන්ස් රාමනායක පියතුමා ඇතුළු කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ අතර එහිදී ප්‍රමුඛතාව දී ඇත්තේ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීමටයි.
ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයන් වූ කුලී නිවාසවල ජීවත්වන පවුල් 32 ක් සඳහා නිවාස ලබාදීමට අවශ්‍යව තිබෙන අතර ඒ අතරින් අතරින් 24 දෙනකු සඳහා කාදිනල් හිමිපාණන් විසින් අරමුදලින් ලබාගත් මුදල්වලින් ඉඩම් මිලදී ගෙන තිබේ. ඒ ඉඩම්වල නිවෙස් ඉදිකර ගැනීමට රජයේ ප්‍රතිපාදන කඩිනමින් ලැබෙන්නේ නම් එය ඔවුන්ගේ බිඳුණු හදවත්වලට සැනසීමකි.
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් කටුවාපිටිය සහ කොච්චිකඩේ දේවස්ථානවලට අයත් ජනතාවගේ ජීවිත කායික, මානසික සහ සමාජීය වශයෙන් නැංවීමේ වගකීමට උරදී සිටින්නේ කොළඹ අගදරගුරු පදවියේ සමාජ සේවා ආයතනය වන සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ ගරු ලෝරන්ස් රාමනායක පියතුමාය. කාදිනල් හිමිපාණන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන වැඩසටහන් රාශියක් තුළින් ඒ ජනතාවට මේ වන විටත් විශාල සේවයක් ඉටුවී තිබේ.
" මේ සාහසික ප්‍රහාරය සිදුකළේ කවුද යන්න හෙළි කිරීම හා ඔවුන්ට දඬුවම් කිරීම වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමක්. ඔබේ සිරුරේ තවම ඒ ප්‍රහාරයෙන් සිදුවූ තුවාල සහ සලකුණු ඇති. ඒවා වෛරයේ සලකුණු නොව ආදරයේ සලකුණු කරගනිමු. මේ ප්‍රහාරය නිසා පියා අහිමි වුණ පුංචි දුවක් මට මෙහෙම කිව්වා" මගේ අතේ මේ තුවාලෙ වුණේ තාත්තා එක්ක ඉන්නකොට. ඒ, අපි දෙන්න එකට හිටපු අන්තිම මොහොත. තාත්තා මියගියත් මේ තුවාලෙ මට මැරෙනකම්ම මගෙ තාත්තව මතක් කරනවා. ඒ නිසා මම මේ තුවාලෙට ආදරෙයි" ඒ දුව වගේ අපිත් අපේ වේදනාව ආශිර්වාදයක් කරගෙන සුබවාදීව මේ ගමන යමු" ගරු ලෝරන්ස් රාමනායක පියතුමා වරක් එලෙස පැවසුවේ එතුමා අත්විඳි සත්‍යයකි.
පාස්කු ඉරිදා ව්‍යසනයෙන් පසු රටේ විශේෂ ආගමික සහජීවනයක් ඇතිවූ බව නොරහසකි. ප්‍රහාරයෙන් විනාශ වූ කටුවාපිටිය දේවස්ථානය පිරිසුදු කිරීමට බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් වූයේත් දේව මෙහෙයන් පැවැත්වීමට විහාරස්ථානවල බණ මඩු වෙන් වූයේත් ඒ සහජීවනය නිසාය. පාස්කු ප්‍රහාරයෙන් කැඩුණු බිඳුණු හිත් සුවපත් වීමටත් එවැනි ව්‍යසන යළිත් සිදු නොවීමටත් ඒ ආගමික, ජාතික සහජීවනය ඉදිරියටත් අවශ්‍ය බව යළි යළිත් සනාථ වෙමින් ඇත. ඒ වගකීමට උරදීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකමයි.
ඡායාරූප- සුලෝචන ගමගේ
පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වන හැටි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග
![]() |
කොමිෂමේ අවසන් වාර්තාව ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) නීතිඥ හරිගුප්ත රෝහණදීර විසින් කාදිනල්තුමාට පිළිගන්වමින්... |
නිර්දේශ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවසන් වාර්තාව මඟින් නිර්දේශ 78ක් යෝජනා කර ඇති බව මේ වන විට බොහෝ දෙනකු දන්නා කරුණකි. දැන් රටම බලාගෙන සිටින්නේ එම නිර්දේශ ක්‍රියාත්මක වන තෙක්ය.
එම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ඒවා ඊට අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත යොමු කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ වී ඇති බව එම කමිටුවේ ලේකම්, ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) නීතිඥ හරිගුප්ත රෝහණදීර පැවසීය.
අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු යුතු යැයි යෝජනා කර ඇති ආයතන සංඛ්‍යාව පනහකට ආසන්න වන අතර ඊට ආරක්ෂක, මුදල්, අධිකරණ හා අධ්‍යාපන ඇතුළු අමාත්‍යාශ රැසක් ඇතුළත් බව ද හෙතෙම සඳහන් කළේය. මේ වන විට ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක මට්ටම කරා ළඟා වෙමින් තිබේ.
ඒ අතරින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත. අමාත්‍ය අනු කමිටුව නිර්දේශ කර ඇත්තේ රජය විසින් මියගිය එක් අයකු සඳහා රුපියල් මිලියන 2 සහ තුවාල වූවන්ගේ සැබෑ වියදම් සලකා රුපියල් 5,00,00ක වන්දි මුදලක් ප්‍රදානය කිරීමටය. එමෙන්ම මෙතෙක් වන්දි ගෙවා නැති මරණ 51ක් සඳහා කඩිනමින් වන්දි ප්‍රදානය කිරීමට ද කමිටුව නිර්දේශ කර ඇත. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම මුදල් අමාත්‍යාංශය, හානි පූර්ණ කාර්යාලය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව හරහා සිදු වේ. එමෙන්ම අවුරුදු 18ට අඩු මවුපියන් දෙදෙනාම අහිමි වූ දරුවන් සඳහා සුභසාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් නිර්දේශ කර ඇත.
ත්‍රස්තවාදී කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම හා ඒ වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වන ඒකකයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුව නිර්දේශ කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම අංශවල කාර්යයන් සමාලෝචන ක්‍රමයක් ද ක්‍රියාත්මක කරමිනි. ඒ අනුව විශේෂයෙන් ත්‍රස්ත විමර්ශන අංශය සහ අනෙකුත් ආයතනවල ඒ වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායම් සහ නිලධාරීන් විසින් කරුණු සමාලෝචනයේ යෙදෙන රැස්වීමක් මාසිකව ක්‍රියාත්මක කළ යුතුය.
මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සියලු දේපළ රාජසන්තක කිරීමට නීති සම්පාදනය කර එහි අරමුදල් ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් විපතට පත් අය සඳහා වන්දි අරමුදලකට බැර කෙරේ.
![]() |
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සාක්ෂිදීමට කොමිසමට පැමිණි අවස්ථාවක් |
ආගමික ස්ථාන ලෙස භාවිත කිරීමට ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුව යෝජනා කර ඇත. ඒ අනුව මින් ඉදිරියට විදේශ මුදල්වලින් ඉදිවන රාජ්‍ය නොවන සංවර්ධන ලේකම් කාර්යාලයෙන් සහ අදාළ ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ නිසි මූල්‍ය විනයකට හා පාරදෘශ්‍ය විගනනයකට ලක් කෙරේ.
ත්‍රස්තවාදයට එරෙහිව නව නීතියක් පැනවිය යුතුය යන පාස්කු කොමිසමේ නිර්දේශය අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ද අනුමත කර ඇත. ඒ අනුව ත්‍රස්තවාදයේ නව ප්‍රවණතා හා ත්‍රස්ත මර්දනයට නවීන තාක්ෂණය යොදා ගැනීමට නීති ඇතුළත් කිරීමටත් ත්‍රස්තවාදී මූල්‍යකරණ මර්දනය කිරීමට ඒ සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින පරීක්ෂක කඩිනම් කිරීමටත් නිර්දේශ කර ඇත. ඒ යටතේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් සහ ඔහුගේ කණ්ඩායම සමඟ මොහොමඩ් නෆීස් මොහොමඩ් සහ මොහොමඩ් නෆීස් පැවැත්වූ සබඳතා පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳ සලකා බැලීමටත් යෝජනා කර ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීමට සහරාන් ඇතුළු කණ්ඩායම සයිබර් අවකාශය සහ නවීන තාත්ෂණය භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් ඉදිරියේදී එවැනි අපරාධ සිදුවීම වැළැක්වීමට ද අනුකමිටුව විසින් නිර්දේශ රැසක් යෝජනා කර ඇත. ඒ අනුව සයිබර් අවකාශය තුළ අන්තවාදී ආගමික වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි ක්‍රියාත්මක කරන්නන්ට එරෙහි නීතිමය පියවර ගැනීම, සයිබර් ත්‍රස්තවාදයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අනුමනය කිරීම, සයිබර් අපරාධ පනත සංශෝධනය කිරීමට නියමිතය. එපමණක් නොව ජගංම දුරකතන සබඳතා නිකුත් කිරීමේදී දැඩි පාලනයකට ලක්කළ යුතු බවට නිර්දේශ කර ඇති අතර එහි වගකීම පවරා ඇත්තේ විදුලි සන්දේශන නියාමන කොමිසමටය.
පුපුරණ ද්‍රව්‍ය සඳහා භාවිත කළ හැකි ද්‍රව්‍ය විකිණීම දැඩි ලෙස නියාමනය කිරීමටත් පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ ජාවාරම වැළැක්වීමට මෙරට සාගර සහ ගුවන්තොටුපළ සම්පූර් ණයෙන්ම සුරක්ෂිත කිරීමටත් ආරක්ෂක අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කර ඇත. එමෙන්ම සමාජය තුළ දැඩි කතාබහට ලක්වූ මද්‍රසා පාසල් නියාමනය කිරීමේ වගකීම ආගමික කටයුතු අමාත්‍යාංශයට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ඇත.
![]() |
සාක්ෂිදීම සඳහා හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොමිසමට පැමිණි අවස්ථාවක්
|
ශ්‍රී ලංකා ජමාත්- ඊ- ඉස්ලාමීය සංවිධානය සහ ජවාහත්- ඊ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු අන්තවාදී ආගමික කණ්ඩායම් තහනම් කිරීමට නීති හා රෙගුලාසි නිර්මාණය කිරීමට පාස්කු කොමිසමේ යෝජනාවට අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශ මඟින් අනුමැතිය ලබාදී ඇති අතර ඉකුත් 11 වැනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මුස්ලිම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේද එහි පියවරක් ලෙසටය. මෙම ගැසට් නිවේදනයට අනුව තහනම් සංවිධාන තහනම නොතකා ක්‍රියාකරන පුද්ගලයකු වරදකරු වුවහොත් වසර 20කට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත කිරීමේ දණ්ඩනයකට යටත් විය යුතුය. එමෙන්ම තහනම් සංවිධානවල ක්‍රියාකාරකම්වලට අනුබල දීමේ වරදකට වරදකරුවන් වන පුද්ගලයකු වසර 10ක් බන්ධනාගාරගත කිරීමේ දණ්ඩනයකට යටත් කළ හැකි බවද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මාවනැල්ලේ බුදු පිළිම කැඩීම වැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා සියලුම නිකායන්ට අයත් පුරාණ ආගමික ස්මාරක ආරක්ෂා කිරීම සඳහා කමිටු නිර් දේශය අනුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදාව යෙදවීමට නියමිතය. එමෙන්ම මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කරමින් ජනතාව අතර ආගමික ප්‍රතිරෝදය ඇතිකිරීම, ප්‍රචණ්ඩත්වය ඇතිකිරීම, ප්‍රචණ්ඩත්වයට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවලට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නවුෆර් මවුලවි,ඊබ්‍රහිම් මවුලවි, මොහොමඩ් සහිඩ්, සාදික් අබ්දුල්ලා ඇතුළු නවදෙනකුට විරුද්ධව නීතිපතිවරයා විසින් ඉකුත් 20 වැනිදා කෑගල්ල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබීය. එම චෝදනා විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස ද නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබිණි.
මේ ආකාරයට ඉතා හිතකර සහ සාධනීය ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක වීමේ මූලික කටයුතු මේ වන විටත් සිදුවමින් තිබෙන අතර අමාත්‍ය අනුකමිටු වාර්තාවේ නිර්දේශ අදාළ ආයතන වෙත භාර දීමෙන් පසු ඒවා ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳ පසු විපරම් කිරීමට ද කමිටුව බලාපොරොත්තු වන බව කමිටු ලේකම් නීතිඥ හරිගුප්ත රෝහණදීර පැවසීය.