
“අයියෝ මේ හම්බන්තොට වරාය තාම හදලා නැද්ද? මං 1910 දීත් කිව්වා, හම්බන්තොටට වරායක් ඕන කියලා. මේ වරාය දැන්වත් කවුරුහරි හදනවානම් මේකම ඇති රටෙන් බාගයක්ම දියුණු කරන්න.” යනුවෙන් 60 දශකයේ මුල දී පැවසුවේ 1908 සිට 1911 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප දිසාපතිවරයා වශයෙන් කටයුතු කළ ලෙනාඩ් වුල්ෆ්ය. 1910 වර්ෂයේ දී හම්බන්තොටට වරායක් අත්‍යවශ්‍ය බව ලෙනාඩ් වුල්ෆ් ප්‍රකාශ කරයි. ඉන්පසුව 1960 දශකයේ දී මෙරටට පැමිණෙන ලෙනාඩ් වුල්ෆ් තමන් රාජකාරි කළ ප්‍රදේශවල වසර 50 කට පමණ පසු තත්ත්වය ගැන සොයා බැලීමට ගමන් කරනුයේ මහත් උනන්දුවකිනි.
විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ඔහුගේ තිබුණේ විශේෂ ඇල්මකි. ලෙනාඩ් වූල්ෆ් 1913 වර්ෂයේ දී රචනා කරන ලද The Village in the Jungle (බැද්දේගම) සඳහා පසුබිම වන්නේ ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශවලදී ඔහු ලද අත්දැකීම්ය. 1960 දශකයේ මෙරටට පැමිණි ලෙනාඩ් වුල්ෆ් මහත් උනන්දුවෙන් හම්බන්තොට කච්චේරිය ඇතුළු වෙරළබඩ ප්‍රදේශය නිරීක්ෂණය කළේය.
“අනේ මේ හම්බන්තොට වරාය තාමත් හදන්න බැරි වුණා ද” යනුවෙන් ලෙනාඩ් වුල්ෆ් තම ගමන් සගයාගෙන් විමසුවේය. 1910 දී ලෙනාඩ් වුල්ෆ් දැකපු හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සිහිනය ඊට වසර 100 කට පසුව 2010 වර්ෂයේ දී සැබෑ කරනුයේ එවකට ජනාධිපති, වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් විසිනි. හම්බන්තොට දිස්ත්‍රික්කයට පමණක් නොව රටෙන් භාගයක්ම දියුණු කිරීමට හම්බන්තොට වරාය මඟින් හැකි බව එදා ලෙනාඩ් වුල්ෆ් ප්‍රකාශ කරන විට ඊට වසර 100 කට පමණ පසුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදිකර ජනතා අයිතියට පත් කරනු ලබන්නේ හම්බන්තොටින්ම බිහි වූ ජනනායක මහින්ද රාජපක්ෂවීම තවත් විශේෂත්වයකි.
එම ජාත්‍යන්තර වරාය හදන විට ඇතැම් දේශපාලඥයන් ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය කවදාවත් මහින්ද රාජපක්ෂයන්ට ගොඩනැඟීමට නොහැකි බවයි. කෙතරම් අභියෝග පැමිණිය ද වරාය ඉදිකළ විට කීවේ හම්බන්තොට වරායේ විශාල කළු ගලක් තිබෙන බවයි. කළු ගලේ කතාව ද බොරුවක් වූ විට ඊට පසුව කීවේ නැව් එන්නේ නැති ස්විමින් පූල් එකක් මහින්ද සාදා ඇති බවයි.
එම ස්විමින් පූල් කතාව අතේ පැළවන බොරුවක් බවට පත් කරමින් ලෝකයේ විශාලතම මගී නෞකාව සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට සේන්දු විය. හම්බන්තොට වරාය ස්විමින් පූල් එකක් නම් එය චීනයට ලබා ගැනීමට තරම් ඔවුන්ට පිස්සුවක් නැත. දැන් පිස්සු වැටී ඇත්තේ හම්බන්තොට වරාය ස්විමින් පූල් එකක් කියපු කට්ටියටම නොවේද? හම්බන්තොට වරාය චීනයට ලබා දුන් රනිල් වික්‍රමසිංහ චෙක් එක ලබා ගත්තේ හරියට ඉන්දියාවේ විරාත් කෝලි මැච් එක දිනාගෙන කප් එක ගන්නා අයුරෙනි.
කොරෝනා තියෙන කාලෙත් හම්බන්තොට වරායේ ආදායම් ශීඝ්‍රයෙන් ඉහළ යන බව වාර්තා වේ. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ද කීවේ හම්බන්තොට වරායට නොදෙවෙනි කතාය. මොනරු පැමිණෙන එයාර්පෝට් එකක් මහින්ද හදලා යනුවෙන් එදා පැවසුවද මේ වන විට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වටිනාකම දිනෙන් දින වැඩි වන්නේ බලා සිටිද්දීය.
මත්තල වී ගබඩා කළේ ද රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමටය. නමුත් මත්තල ගුවන් තොටුපොළේ වටිනාකම දන්නා ඉන්දියාව යහපාලන ආණ්ඩුව කාලයේදී මත්තලට හොට දැම්මේය. ඉන්දියාවෙන් මත්තල යාන්තමට බේරා ගත්තේ මහින්ද රාජපක්ෂය. ඔහු පෞද්ගලිකවම ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට කතා කරමින් කීවේ මත්තල ගුවන් තොටුපොළ කිසිසේත් ම ඉන්දියාවට ලබා නොදෙන බවකි. මේ වන විට කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමට නොහැකි අති විශාල ගුවන් යානා කිසිඳු අපහසුතාවයකින් තොරව මත්තල ගොඩබායි. හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හැදීමට පෙර ද ඇතැම් දේශපාලඥයින් කීවේ සූරියවැවට මොන ග්‍රවුන්ඩ් ද කියාය. නමුත් සංවර්ධනයේ ඉදිරියේ දැක්ම හොඳින් ම දැන සිටි මහින්ද රාජපක්ෂ තම උත්සාහය අත් නොහැරියේය. 2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉදිකරන ලද සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ ද පැසසුමට ලක්විය.
හම්බන්තොට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ඇතුළු මුළු රටම වැඩ බිමක් බවට පත් වූයේ 2010 - 2015 වසර 5 ඇතුළත නමුත් 2015 ඉන්පසුව වැඩබිමක් ව තිබුණු මුළු රටම මුඩුබිමක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.
කොළඹ වරාය නගරය (CLOMBO PORT CITY) සංවර්ධනයේ නවතම අංගයක් ගැන මුලින්ම අදහස් පළ කළේ ද එවකට ජනාධිපති, වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂය. කොළඹ වරාය නගරය ගැන මුලින්ම මහින්ද රාජපක්ෂ කියන විට හම්බන්තොට වරායට, මත්තල ගුවන් තොටුපොළට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට විවිධ අවලාද නැගුවා සේ වරාය නගරයට ද දිගට හරහට පහර දෙන්නට විය. ඒ අපේ රටේ දේශපාලනයේ හැටිය.
වරාය නගරය හදන්න ලංකාවේ ම කළුගල් මදි බව කීවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය.
කොළඹ වරාය නගරය හේතුවෙන් මෙරට කළුගල් හිඟතාවයක් ඇතිවෙයි යන බියක් අනුර කුමාර දිසානායක තුළ පහළ වී තිබුණි. නමුත් ඔහු කියන ආකාරයේ කළුගල් හිඟයක් ඇති වූයේ නැත. මේ ආකාරයෙන් කොළඹ වරාය නගර ඉදිරිකිරීම්වලට දිගට හරහට පහර දෙන්නට විය. එහෙත් කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව ඇතැම් දේශපාලඥයෝ පහර දුන්හ.
යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසුව කොළඹ වරාය නගරයේ මුල්ගල ද ගලවාගෙන ගොස් මහ මුහුදට විසි කළේය. කොළඹ වරාය නගරය වසර 10 ක් තිස්සේ ඉදි වෙමින් පැවතිය ද දැන් එක්තරා පිරිසක් කොළඹ වරාය නගරය ගැන කටයුතු කරනුයේ නින්දෙන් ඇහැ ඇරුණු ආකාරයටය.
කොළඹ වරාය නගරයෙහි වටිනාකම දැනගත් යහපාලන ආණ්ඩුව යළි කොළඹ වරාය නගරය ඉදිකිරීමට තීරණය කළේය. රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම සඳහා කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් වසර 2 1/2 ක් පමණ ප්‍රමාද කිරීමට යහපාලන ආණ්ඩුවේ බලධාරීහු ක්‍රියා කළහ. මේ නිසා රටට සිදු වූ පාඩුව රුපියල් බිලියන ගණනකි.
යළිත් රාජපක්ෂ ආණ්ඩුවක් බලයට පත්වීමත් සමඟම කොළඹ වරාය නගරයේ වැඩ කටයුතු ලහි ලහියේ ආරම්භ විය. වෙනදාටත් වඩා කාර්යක්ෂමතාවකින් කොළඹ වරාය නගරය ඉදි කෙරෙමින් පවතින අතර දැන් එහි අල්ලාගෙන ඇත්තේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවයි.
එදා හම්බන්තොට වරායට, මත්තල ගුවන් තොටුපොළට, සූරියවැව ක්‍රීඩාංගණයට විරුද්ධ වූ පිරිස් ම මෙදා කොළඹ වරාය නගරයට විරුද්ධ වී සිටීම එක් පැත්තකින් අරුමයක් ද නොවේ. කොළඹ වරාය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙරට විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ට එය හොඳ රැකියා අවස්ථා ලබාදෙන තෝතැන්නකි. එපමණක් ද නොව ලෝකයේ වාණිජ නගර සමඟ කරට කර තරගයක් ලබා දෙමින් විදෙස් ආයෝජන රැසක් ලබාගැනීමේ අවස්ථාව දැනටමත් මෙරටට උදාවී තිබේ. සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, හොංකොං, තායිලන්තය ඇතුළු බොහෝ රටවල් දියුණුවීමට බලපෑවේ මෙම කොළඹ වරාය නගරය වැනි සංවර්ධන ව්‍යාපෘති බව අමුතුවෙන් කිවයුතු නොවේ.
ඒ ආකාරයෙන් දියුණු වූ රටවල් දෙස බලමින් අප හූල්ලමින් සිටියේ මෙරට පාලකයන්ට දෙස් දෙවොල් තබමින්ය. නමුත් සංවර්ධනයට අවශ්‍ය මාවත හෙළි පෙහෙළි කරදුන් විට අපේ ඇතැම් දේශපාලනඥයන් කරන්නේ කුමක්ද? කොළඹ වරාය නගරයෙන් රට දෙකඩවනවා කියන ඇතැම් දේශපාලනඥයන් රනිල් - ප්‍රභා ගිවිසුමෙන් ඇත්තටම රට දෙකඩ වනවිට නිහඬව බලා සිටීම තරම් තවත් විහිළුවක් තිබෙනවාද?
එක එක සටන් පාඨ ඔස්සේ ගොස් හති වැටී තිබෙන විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ තම බංකොලොත්භාවයෙන් ගොඩ ඒම සඳහා අලුතෙන්ම තෝරාගත් මාතෘකාව කොළඹ වරාය නගර ව්‍යාපෘතියයි.
කොළඹ වරාය නගර සංවර්ධන පනත් කෙටුම්පත සම්බන්ධව මේ දිනවල මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා මේ කාරණය දුරදිග ගොස් හමාරය. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් වැයකර වරාය නගරයට අදාළ භූමි ප්‍රදේශය ගොඩකර බාරදී ඇත්තේ 2019 වසරේදීය. මේ භූමි ප්‍රදේශය අපේ රටට අයිති කොටසක් වශයෙන් එවකට සිටි මෛත්‍රීපාල සිරිසේන ජනධිපතිවරයා ප්‍රකාශයට පත් කළේය. ඒ 2019 ඔක්තෝම්බර් 29 වැනිදාය. එලෙස පවතින කොළඹ වරාය නගරය ආර්ථික කලාපයක් වශයෙන් සංවර්ධනය කිරීම අරමුණු කරගෙන ආයෝජකයන් ගෙන්වා ගැනීමට මේ පනත් කෙටුම්පත දැනට සකස් කර තිබේ.
මෙය දැනට කෙටුම්පතක් මිස පනතක් නොවේ. මේ සම්බන්ධයෙන් විවිධ යෝජනා ඉදිරිපත් වී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඒවා ඉදිරිපත් කර ඒ දෙපාර්තමේන්තුවෙන් සකස් කළ පනත නැවත වරක් ඇමති මණ්ඩලයට යොමු වූ පසු පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරේ. එසේ ඇතුළත් කර සතියක් ඇතුළත ලංකාවේ සිවිල් පුරවැසියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එය අභියෝගයට ලක් කරමින් තර්ක ඉදිරිපත් කිරීමට පුළුවන. මේ වන විට මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 15 ක් පමණ ඉදිරිපත්ව ඇත්තේ ඒ අනුවය.
නීතිපතිවරයා මෙම පනත් කෙටුම්පත අධ්‍යයනය කර තිබේ. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් එහි නොමැති බව නීතිපතිවරයා ආණ්ඩුවට දැනුම් දී තිබේ. එහෙත් එය අවසානයම නොවේ. වරාය නගරයේ භූමි ප්‍රමාණය වෙනත් පාර්ශ්වයකට සින්නක්කරව විකිණීමක් සම්බන්ධව නොයෙක් තර්ක විතර්ක දැකගත හැකිය. එවන් දීමක් එලෙසම සිදුවෙනවා ද? දැනට ඉදිරිපත්ව ඇති පනත් කෙටුම්පතට අනුව එලෙස සින්නක්කර ලබාදීමක් පෙනෙන්නට නැත.
මෙම යෝජිත පනතෙන් ආවරණය වන භූමි ප්‍රමාණය අක්කර 1102 කි. මෙයින් අක්කර 224 ක් අයත් වන්නේ යටිතල පහසුකම් සම්බන්ධයෙනි. මෙම යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ලංකා රජය මේ වන විටත් ගනිමින් තිබේ. මෙහි තිබෙන අක්කර 286 ක් පමණ බදු දීමට දැනට එකඟ වී තිබේ. එය මුළු ප්‍රමාණයෙන් 25% ක් පමණය. මෙය සින්නක්කර ලබා දීමක් නොවේ. 99 අවුරුද්දකට බදු දීමකි. මෙය මෙම ව්‍යාපෘතියට පමණක් අදාළ වන්නක් නොවේ. මෙරට බොහෝ ව්‍යාපෘති අනුනව අවුරුදු බදු ගිවිසුම් යටතේ ක්‍රියාත්මක වන බව රහසක් නොවේ. ඒ වගේම මෙහි තවත් අක්කර 156 ක් පමණ තවත් ආයෝජකයන්ට ලබා දීමට ශ්‍රී ලංකා රජයට පුළුවන.
වරාය නගරය පාලනය කිරීමට වෙනම කොමිෂන් සභාවක් පිහිටුවීමට යෝජනා වී තිබේ. එම කොමිසම වෙත සාමාජිකයන් පස් දෙනෙකුට නොඅඩු සහ සත් දෙනෙකුට නොවැඩි වන ආකාරයට පත් කෙරෙන බව සඳහන්ය. මෙම කොමිසම පත් කරන්නේ ජනාධිපතිවරයාය. එසේ වුවත් මේ කොමිසමට පත් කරන්නේ ලාංකිකයන් ද විදේශිකයන් ද යන්න ගැටලුවකි. මෙම ව්‍යාපාර සම්බන්ධව දැනුමක් පළපුරුද්දක් ඇති අය පත්කළ යුතු යැයි සඳහන් වුවද ලාංකිකයන් පත් කරනවාද? වෙනත් රටක අය පත්කරනවාද? යන සඳහනක් නැත. මේ කවුරුන් පත් වුවද ඕනෑම අවස්ථාවක ඔවුන් ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබේ. කෙසේ වුවත් මේ අයට යම් මුක්තියක් ලබාදීම සම්බන්ධව දැඩි කතාබහක් සමාජයේ තිබේ. එසේ මුක්තිය ලබා දීමෙන් ඔවුන්ගේ සිතැඟි පරිදි කටයුතු කිරීමට අවස්ථාව උදාවෙනවා ද? යන සැකය සමාජයට කාන්දු වෙමින් තිබේ.
නගර සභාව ඇතුළු මේ සම්බන්ධව කටයුතු කරන වෙනත් ආයතනවලින් මෙම කලාපය බැහැර කර තිබීම යෝජිත පනතේ විශේෂ ලක්ෂණයකි. මෙහි හොඳ සහ නරක දෙකම සලකා බැලිය යුතුය. යෝජිත ආකාරය අනුව මේ කලාපයේ කිසිදු පාලනයක් නගර සභාවට හෝ පළාත් සභාවට අයිති නැත. ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම සකසා තිබේ. එයට බලපෑ හේතු කාරණා තිබේ. සාමාන්‍යයෙන් මෙවැනි ආර්ථික කලාපයක් ඇති කරන විට ඔවුන්ට සහනදායි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට සිදුවනු ඇත. ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල දක්නට ඇති තත්ත්වය එයයි. විශේෂ ආර්ථික කලාපයකට පැමිණෙන ආයෝජකයන්ට විවිධාකාර ආයතනවලට ගොස් කාලය නාස්ති කරමින් අනුමැතිය ලබාගැනීම ආදී කටයුතුවලට යොමු වීමට සිදු වුවහොත් ඔවුන් අධෛර්යවත් විය හැකිය.
මෙවැනි තත්වයක් යටතේ මෙරට ආයෝජකයන්ට, ව්‍යාපාරිකයන්ට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා අමුතුවෙන් පැහැදිලි කළයුතු නැත. එවන් දුෂ්කරතාවලට මුහුණ දීමට විදෙස් ආයෝජකයන් කැමති නැත. ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකයක් තිබේ. එම දර්ශකයේ ලංකාව සිටින්නේ 165 වැනි ස්ථානයේය. ලංකාව සිටින්නේ පහළම අගයක බව මෙයින් පැහැදිලිය. ආයෝජනයකට අනුමැතිය ගැනීමේ සිට අනෙක් කටයුතුවලට ගතවන කාලය සහ මුහුණ දීමට සිදුවන ගැටලු ආදිය නිසා විදෙස් ආයෝජකයන් ලංකාවට ඒමට එතරම් උනන්දුවක් නැත. මේ තත්ත්වය වෙනස් කර “එක් කවුළුවකින්” සියල්ල කරගත හැකි පසුබිමක් සකසා ආයෝජකයන්ට පහසු වාතාවරණයක් ඇති කිරීමට වරාය නගරයට අදාළ පනත් කෙටුම්පතෙන් යෝජනා වී තිබේ. වරාය නගරය පාලනයට පිහිටුවන විශේෂ කොමිෂන් සභාව හරහා සියල්ල කරගත හැකි පසුබිම ආයෝජක හිතකර වන්නට පුළුවන. මේ තත්ත්වය යටතේ වරාය නගරය ලංකාවේ පාලනයන් බැහැර වෙනවාද යන්න අවධානයට ගත යුතුය. ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට, ස්වාධීනත්වයට හානි නොවන ආකාරයට සහ ලංකාවේ පාලනයට යටත්ව මෙවන් ආයතන පාලනය කර ගැනීමට විවිධ ක්‍රමවේද යෝජිත කොමිෂන් සභාවට ලබාදී ඇත.
ප්‍රාදේශීය සභාවකින්, රජයේ ආයතනයකින් පහසුවෙන් කාර්යයක් කරගත නොහැකිය. එකම කාරණයකට හත් අට පොළකට යන්නට සිදුවෙයි. විවිධ ලේඛන ඉල්ලා සිටී. ගාස්තුව අය කරයි. ඉඩම් ලේඛනයක්, විදුලිය සැපයුමක් හෝ ජල සම්බන්ධතාවයක් ලබාගැනීමට ජනතාව විඳින දුක පාලකයන් නොදන්නවා නොවේ. කළ යුත්තේ ක්‍රමය වෙනස් කිරීමයි. ඒ සඳහා වර්තමාන ආණ්ඩුවට ජන වරමක් හිමි වී ඇත.
විශේෂ බලතල සහිත කොමිෂන් පිහිටුවීම අලුත් දෙයක් නොවේ. 1978 වසරේදී එවකට බලයේ සිටි ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවා පූර්වාදර්ශයක් සපයා තිබේ.
මහ මුහුද ගොඩකර අලුත් ගොඩබිමක් තැනීම ගැන කිසිම අදහසක් වසර 2010 ට කලින් ආණ්ඩුවට තිබුණේ නැත. 2010 වසරේදී චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම එවකට පැවැති රාජපක්ෂ ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කළ අතර, කොළඹ වරායට දකුණින් මුහුදු ස්වකීය ආයෝජනයක් වශයෙන් ගොඩකර හෙක්ටයාර් 233 ක භූමියක් තනන්නට හැකි බව දැන්වීය. මොරටුව විශ්වවිද්‍යාලය එහි හොඳ නරක සලකා බලා අනුමැතිය දී ඇති අතර පරිසර වාර්තා ද අනුමත කර තිබේ. ව්‍යාපෘතිය පිළිගැනීමට පමණක් වසර හතරක් ගත වී ඇත. 2014 සැප්තැම්බර් 17 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ එදින මෙරට සංචාරයක නිරතව සිටි චීන ජනාධිපති ෂී ජිංපිං මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කළේය. මුල් ඇස්තමේන්තුව අනුව ගොඩකරන භූමියෙන් හෙක්ටයාර් 115 ක් ශ්‍රී ලංකා රජයට අයත් වන අතර හෙක්ටයාර් 88 ක් චීන සමාගමට හිමි වෙයි.
2015 වසරේ බලයට පත් යහපාලන ආණ්ඩුව මෙම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවීය. එහෙත් නැවත කැඳවන ලද පරිසර වාර්තාවලින් පසු වැඩ ආරම්භ කරන්නට ඉඩ දී තිබේ. ප්‍රමාද වූ කාලය හා එහි අලාභ සලකා බලා ගිවිසුම අලුත් කර ඇත. අලුත් ගිවිසුම අනුව ගොඩකරන භූමි ප්‍රමාණය වැඩිකර තිබේ. අලාභය මුදලින් ලබානොගන්නට නම් හෙක්ටයාර් දෙකක ඉඩමක් චයිනා කොමියුනිකේෂන් හා කන්ස්ට්‍රක්ෂන් ඉල්ලා සිටියේය. සාකච්ඡා අවසානයේ දී ශ්‍රී ලංකා රජයට හෙක්ටයාර් 62 ක් හා පොදු පහසුකම් වශයෙන් හෙක්ටයාර් 28 ක් අයත් වූ අතර මෙම පොදු පහසුකම්වල තිබිය යුතු අංග රජයේ වියදමින් ඉදිකළ යුතු විය. ආයෝජකයාට අයිති වන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 116 කි. එය අනුනව අවුරුදු බද්දකට ලැබේ. බදු නිදහස් තීරණය අනුව එම ඉඩම්වලින් රටට බදු අය කර ගත නොහැකිය.
චීන සමාගම හා නාගරික සංවර්ධන අධිකාරිය සමඟ අස්සන් කරන ලද ගිවිසුම අනුව මෙම සම්පූර්ණ දේපළ කොළඹ දිස්ත්‍රික්කයට අයත්ය. මූල්‍ය නගරය නොඑසේනම් කොළඹ වරාය නගර ආර්ථික කලාපය රටට බලපාන ඒකකයකි. එය සංවර්ධනය කිරීම හෝ අනාගතය උදෙසා සැලසුම් සහගතව ක්‍රියා කිරීම ආණ්ඩුවේ වගකීමකි.
විරුද්ධ පක්ෂයේ අවස්ථාවාදී දේශපාලඥයන් කුමන හෝ දෙයක් අල්ලාගෙන ආණ්ඩු විරෝධයක් මතු කිරීමේ බංකොලොත් දේශපාලනයේ තවත් එක් පියවරක් වශයෙන් කොළඹ වරාය නගරයට එරෙහිව ගෙන යන විරෝධය හැඳින්විය හැකිය. කොළඹ වරාය නගරය රටට අවශ්‍ය බව සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා දැඩි ලෙස ප්‍රකාශ කරද්දී ඔවුන්ගේ ම ඇතැමුන් මංමුලා වූ සේ කටයුතු කිරීම කෙතරම් විහිළුවක් ද?