සර­සවි යළි කල්යයි පාසල් වැසේද? | Page 3 | සිළුමිණ

සර­සවි යළි කල්යයි පාසල් වැසේද?

කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම සිදුවූයේ ඉකුත් වසරේ මාර්තු මාසයේය. ඒ වන විට පාසල් අධ්‍යන වැඩ කටයුතු පවත්වා තිබුණේ මාස දෙක හාමාරකට ආසන්න කාලයක් පමණි. සාමාන්‍යයෙන් පාසල්වල මුල් මාස අනිවාර්යයෙන් වෙන් වන්නේ බාහිර පාසල් වැඩ කටයුතු වෙනුවෙනි. එයිනුත් පාසල් ක්‍රීඩා උත්සව වලට හිමි වන්නේ සැලකිය යුතු ස්ථානයකි. එමෙන්ම පාසල් විනෝද චාරිකා ආදියට වෙන්වීම හා අලුත් සිසුන් ඇතුළත් කිරීම් ආදිය නිසා වසරේ මුල් මාසවල එතරම් දුරට විෂය මාලාව ආවරණය වන්නේ නැත.

නමුත් ලංකාවේ මුල්ම කොවිඩ් ආසාදිතයා වර්තා වීම හා ඔහුගේ දරුවන් කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලැබීම යන කරුණු නිසා මාර්තු මස 11 වැනිදා පාසල් නිවාඩු ලබා දීම සිදුවූ අතර පසුගිය වසර පුරාම පාසල් පවත්වා ඇත්තේ දින 50ත් -70ත් අතර සීමිත දින ගණනක් බව වාර්තා විය.

සාමාන්‍යයෙන් වසරකට පාසල් පැවැත්විය යුතු දින ගණන වසරින් වසරට වෙනස් වෙයි. එහෙත් සාමාන්‍යයෙන් වසරකට දින 194- 210 ක් අතර කාලයක් පාසල් පැවැත්විය යුතු අතර පාසල් විවෘත කළ යුතු කාල සීමාවට අනුව පාසල් විෂය මාලා සකස් වන්නේය.

එහෙත් බාධක මැද මේ සියල්ල සාර්ථකව නිමා කිරීමට හැකි වූයේ දුරස්ථ අධ්‍යාපනය නිසාවෙනි.

කෙසේ වෙතත් පාසල් පසුගිය වසරේ කොටස් වශයෙන් පැවැතීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ අතර පවත්නා කොවිඩ් තත්ත්වය අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය මත යළිත් බස්නාහිර පළාත ඇතුළුව ලංකාවේම සියලු පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වූයේ පසුගිය මාර්තු 29 වැනි දාය.

ඒ කලින් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් දින ලබා දි තිබු අප්‍රේල් 19 දිනට පෙරය. ඒ අනුව අවුරුදු නිවාඩුව සතියකට පමණ සීමා වූ අතර යළිත් අප්‍රේල් 19 වනිදා පාසල් දෙවැනි වාරය ආරම්භ වූ අතර ගෙවී ගිය සතියේ සිසුන්ගේ පැමිණීම 90% ක් දක්වා සාධනීය මට්ටමක තිබු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේය.

කෙසේ වෙතත් අවුරුදු නිවාඩුවෙන් ව්‍යාප්ත වෙමින් පවතින තෙවැනි කොවිඩ් රැල්ල හේතුවෙන් නැවතත් පාසල් වසා දැමේ යැයි යම් පිරිස් අතර අදහසක් පැතිර යමින් පැවැතියද පවතින කොරෝනා තත්ත්වය හමුවේ පාසල් වසා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

යම් පාසලකින් කොරෝනා ආසාදිතයෙකු හමු වුවහොත් මීට පෙර ක්‍රියාත්මක කළ ආකාරයට එම පාසල්වල පන්ති පමණක් තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන ලේකම්වරයා පවසා සිටියි.

එසේම නිදහස් අධ්‍යාපනය දරුවන්ගේ අයිතියක් වන හෙයින් එය ආරක්ෂා කර දීමේ වගකීම රජයට ඇති නිසාවෙන් මෙතෙක් දුරස්ථ අධ්‍යාපනයට පමණක් සීමා වූ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුද එළැඹෙන 27 වැනි දින විවෘත කිරිමට තිබුණද සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකුලව යළි ආරම්භ කිරීම සති දෙකකින් කල් දැමූ බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජි. ඇල්. පීරිස් ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් පාසල් පවත්වා ගෙන යන්නේ දැඩි සෞඛ්‍ය නිර්දේශවලට යටත්වය. එහිදි විශේෂ අවධානයක් යොමු වන්නේ පන්තියක සිටිය යුතු සිසුන් ප්‍රමාණයය.

මේ පිළිබඳ අධ්‍යාපන ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ අනුව ලංකාවේ සියලුම පාසල්වලට සිසුන් ගෙන්වා ගැනීම තීරණය වෙයි.

 (වමේ සිට) අධ්‍යා­පන හා උසස් අධ්‍යා­පන ඇමැති මහා­චාර්ය ජි. ඇල්. පීරිස්, අධ්‍යා­පන ලේකම් මහා­චාර්ය කපිල සී. පෙරේරා, * විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සමේ සභා­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය සම්පත් අම­ර­තුංග,  ජය­ව­ර්ධනපුර විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය සුදන්ත ලිය­නගේ, 
අන්තර් විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩ­ලයේ සභා­පති වසන්ත මුද­ලිගේ

“ පාසල්වලට සිසුන් ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව නිර්දේශ ඉදිරිපත් කරන තුරු පසුගිය පාසල් වාරයේ ක්‍රියාත්මක කළ ආකාරයට කටයුතු කරනවා.

ඒ අනුව, පන්තියක සිසුන් සංඛ්‍යාව 15 ට අඩු නම් සියලු සිසුන් දිනපතා පාසල් වෙත කැඳවිය හැකි අතර, සිසුන් 16-30 අතර සිටියි නම් කණ්ඩායම් දෙකක් වශයෙන් ද, 30 ට වැඩි නම් කණ්ඩායම් 3 ක් වශයෙන් ද කැඳවීමට උපදෙස් ලබාදී තියෙනවා. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, දෑත් සේදීම, මුඛ ආවරණ පැලඳීම, ආහාර හුවමාරු කර නොගැනීම, නිවසේ පිළියෙල කළ ආහාර පමණක් ගෙන ඒම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දරුවන් පාසල් වෙත කැඳවීමට සෞඛ්‍ය, ප්‍රවාහන, ආරක්ෂක අංශ ඇතුළු විවිධ පාර්ශ්ව වෙතින් මෙතෙක් ලබා දුන් සහායට කෘතවේදීත්වය පළ කරනවා. “ යැයි අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා සිළුමිණට පැවැසිය.

ලොව පුරා තෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ ව ඇත්තේය. ලංකාවට ආසන්නට රට වන ඉන්දියාවේ මේ වන විට ඉතා දරුණුව කොවිඩ් වසංගතය පැතිර යන්නේය. එහෙයින් එන්නත් ලැබීමේ ප්‍රමාදයක්ද පවතින්නේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම බලාපොරොත්තු වූයේ සියලු සිසුන්ට හා ආචාර්ය මණ්ඩලයට මේ එන්නත ලබා දීමෙන් අනතුරුව සරසවි විවෘත කරන්නටය.

කෙසේ වෙතත් දැනට දුරස්ත අධ්‍යාපනය ඔස්සේ පවත්වාගෙන යන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ දිනය ඉදිරියේදි තීරණය වන අතර මේ සම්බන්ධයෙන් සිළුමිණට අදහස් දැක්වූයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගය.

“ අපිට අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්නට පෙර සියලු සිසුන්ට එන්නත ලබා දීමට. ඉදිරියේදි විශ්වවිද්‍යාල ආරම්භ කළ පසු ඒ සඳහා තම විශ්වවිද්‍යාල තුළට සිසුන් ගෙන්වා ගන්නේ කෙසේද යන්න තීරණය කිරීමට ඒ ඒ උපකුලපතිවරුන්ට සිදු වෙනවා.

විශ්වවිද්‍යාල වසා තිබුණා කියා දරුවන්ගේ අධ්‍යාපනයට කිසිදු ආකාරයේ හානියක් සිදු වුණේ නැහැ. සියලු විභාග පැවැත්වූවා. ඒ වගේම දරුවෝ පවා විශ්වවිද්‍යාලයට පැමිණ අවදානමක් දරා ගැනීමට කැමැති නැහැ. විශේෂයෙන්ම නේවාසිකාගාරවල දැඩි අවදානමක් පවතින නිසා ගොඩාක් දරුවෝ කැමැතියි දුරස්ථ අධ්‍යාපනය ඉදිරියට කරගෙන යාමට. විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීමේදි නේවාසිකාගාර ප්‍රශ්නය දැඩිව දැනෙනවා. මෙහි යටිතල පහසුකම් කොවිඩ් සෞඛ්‍ය නිර්දේශයන්ට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. ඉදිරියේදී සරසවි විවෘත කළ පසු සිසුන්ව ගෙන්වා ගැනීම ඒ ඒ විශ්වවිද්‍යාලවල පවතින පරිසරය උපකුලපතිවරුන්ගේ තීරණය සිදු වෙයි. වෛද්‍ය පීඨවල වෛද්‍යවරු ඉන්නවා. මේ අයගේ සහය අනිවාර්යයෙන්ම ලබා ගත හැකියි.....“ ඒ විශ්වවිද්‍යාල කොමිසමේ සභාපතිවරයාගේ අදහසයි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 13,500 ක් පමණ අධ්‍යාපනය ලබති. කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 10,500 ක් පමණ අධ්‍යාපනය ලබති. එසේම රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 7000 ක් පමණ අධ්‍යාපනය ලබති. පාසල මෙන් නොව මෙයින් බොහෝ සිසුන් සිටින්නේ පොදු නේවාසිකාගාර තුළය. උදාහරණයක් ලෙස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 13,500 න් 8000 ක්ම නේවාසිකාගාරවලය. කොවිඩ් නිර්දේශ අනුගමනය කරයි නම් නේවාසිකාගාර දිය හැකි වන්නේ සිසුන් 1500 කට පමණි. එසේම පාසල් මෙන් නොව සරසවිවල ලංකාවේ සියලු පළාත්වල සිසුන් අධ්‍යාපනය ලබති.

මෙහි ගුරුවරු බොහෝමයක්ම වයස අවුරුදු 50 සම්පූර්ණ වූ නිදන්ගත රෝග ඇති අයය. සරසවි විවෘත කිරීමේදි මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු වෙයි.

“ කොවිඩ් නිසා අපේ සරසවියේ සිසුන්ට පාඩුවක් වුණේ නැහැ. අධ්‍යාපන කටයුතු වගේම විභාගත් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයෙන්ම කරගෙන ගියා. ශාස්ත්‍ර පීඨ සිසුන් වගේම කළමනාකරණ පීඨවල සිසුන් ඉදිරියෙන්ම මෙහි සාධනීයත්වය පෙන්නුම් කළා. නමුත් සමහර අවස්ථාවලදි භෞතික විභාග සාර්ථක බව පෙන්නුම් වුණා. නමුත් පාසලක් ආරම්භ කිරීම සේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ නොහැකියි. නේවාසිකාර මෙන්ම අධ්‍යයන ශාලාවලට සිසුන් ගෙන්වා ගැනීම සංවිධානත්මකව සිදු කළ යුතුයි. එසේම මෙහිදී සිසුන්ගේ කල් ක්‍රියාවද වැදගත්.

මේ නිසා ඉදිරියේදි අපි බලාපොරොත්තු වෙන්නේ අත්‍යාවශ්‍ය විභාග සඳහා පමණක් සිසුන්ව ගෙන්වා ගැනීමටයි. ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලයෙන් සියයට 50 ක්ම අවුරුදු 50 ට වැඩි අයයි. මේ අය අපි ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම විශ්වවිද්‍යාලවල නේවසිකාගාර ප්‍රශ්නය ප්‍රබලයි. විවිධ පළාත්වලින් පැමිණෙන නිසා පැතිරිම වේගයෙන් සිදුවිය හැකියි. විශ්වවිද්‍යාල ආරම්භ කළ යුත්තේ මනා සැලසුමකින් අනතුරුවයි. එහෙම නැතිව සරසවි පොකුරක් නිර්මාණය කිරීමේ අදහසක් අපිට නැහැ...“ ඒ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේය.

වසරකට වැඩි දිගු නිවාඩුව නිවසේ සිට අධ්‍යාපනය ලැබූ මේ සිසුන්ට යළිත් සරසවි ජීවිතය අත් විඳීමේ ආසාව ඇත්තේය. ඔවුන්ගේ එකම අභිලාෂයද සරසවි පියසට ගොඩ වීමයි. එහෙත් කොවිඩ් නිසා ඇවැසි පහසුකම් තියේද?

“ විශ්වවිද්‍යාල ආරම්භ කරන්නට ප්‍රායෝගික ප්‍රශ්න ගොඩාක් තියෙනවා. නේවාසිකාගාර, දේශන ශාලා ප්‍රශ්න තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට ලබා දී ඇති නීති රීතිවලට අනුව මේවා ආරම්භ කරන්න අමාරුයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 13,000 ක් ඉන්නවා. කැලණියේ සිසුන් 10,500 ක් රජරට සිසුන් 7000 ක් ඉන්නවා. විශ්වවිද්‍යාල ඇරීමට කිසිදු සෞඛ්‍ය ප්‍රතිපාදනයක් හෝ ලබා දී නැහැ. අපිත් කැමතියි විශ්වවිද්‍යාල ආරම්භ කරනවට. ...“ ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති වසන්ත මුදලිගේය.

 

Comments